දෘශ්‍ය කාව්‍ය | සිළුමිණ

දෘශ්‍ය කාව්‍ය

නව කතිකාව

දෘශ්‍ය යනු පෙනෙන නැතහොත් දැකිය හැකි යන අරුත් දෙයි. එබැවින් දෘශ්‍ය කාව්‍ය යනු දැකිය හැකි කාව්‍යයි.

පුරාතන භාරතීය සාහිත්‍ය ඉතිහාසය පිරික්සන විට මුලින් ම ජනිත වී ඇත්තේ කාව්‍ය නමැති එකම සාහිත්‍යංගයයි. එය ගැයිය හැකි එකකි. පසුව ගැයිය නොහැකි කියවිය හැකි ගද්‍ය ඇති විය. ඉන් අනතුරු ව මේ දෙකේ ම මිශ්‍රනයෙන් චම්පු සහ දෘශ්‍ය යන ප්‍රභේද ඇති විය. මෙයින් දෘශ්‍ය කාව්‍ය යනු රඟ දැක්වීම උදෙසා රචනා කරන ඒවායි.

ග්‍රීක සාහිත්‍ය පැත්තෙන් මේ ගැන සලකා බලන විට පෙනී යන්නේ ඔවුන්ගේ වර්ගීකරණය මීට තරමක් වෙනස් බවයි. මේ ගැන ඇරිස්ටෝටල් පඬිවරයා විසින් පැපිරස් පත්‍රිකාවල ලියන ලද ‘Poetic’ නමින් ඉංගිරිසියට පරිවර්තනය වී ඇති කෘතියේ එයි. එහි සිව් සාහිත්‍යංගයක් දක්වා ඇත. ඒවා නම්: වීරකාව්‍ය (epic), ඛෙදාන්ත (tragedy), සුඛාන්ත (comedy), ගායන පදමාලා (diagrammatic). මේ අතරින් ඛෙදාන්ත සහ සුඛාන්ත පැහැදිලිව ම රඟ දැක්විය හැකි ඒවායි.

(ඇරිස්ටොටල්ගේ මේ විග්‍රහය ස්වකීය ඇදුරු ප්ලේටෝගේ විග්‍රහයට තරමක් වෙනස් බව මෙහි දී සැලකිල්ලට ගනු වටී. ප්ලේටෝගේ විග්‍රහයේ දී භාව ප්‍රකාශන ඇරිස්ටොල්ගේ විග්‍රහයේ දී දේව ස්තෝත්‍ර වී ඇත.) ඇරිස්ටොටල් මේ විග්‍රහය ඉදිරිපත් කරන්නේ ක්‍රිපූ සිව්වන සියවසේ දී ය. එහෙත් නාට්‍ය සම්බන්ධයෙන් ඊට වඩා ක්‍රමවත් විශ්ලේෂණයක් භරතමුනි විසින් ක්‍රිපූ පස්වන සියවසේ ඉදිරිපත් කොට තිබේ. ඒ පිළිබඳව පෙර ලිපිවල සඳහන් කොට ඇති බැවින් පුනර් සඳහනක් නොකෙරෙනු ඇත.

පසු කලෙක ෙඛ්දාන්ත හා සුඛාන්ත සමග ප්‍රහසන (satire) ද එක්විය.

නාට්‍ය සම්බන්ධයෙන් ඉංග්‍රිසි වචන තුනක් භාවිතයේ පවතී. ඒවා නම් 1.drama 2.play 3.theatre මේ වචන තුන ම අවස්ථොචිත පරිදි ලේඛනවල යෙදේ. දෘශ්‍ය කාව්‍ය යන්නට වැඩියෙන් ම සාම්‍ය වචනය drama වුව ද අනෙක් දෙපදය ද නොයෙදෙන්නේ නොවේ. මහැදුරු ගම්ලතුන්ගේ ඉංගිරිසි - සිංහල මහා ශබ්දකෝශයේ drama යන්නට නාට්‍යය‚ නාටකය‚ නළුව‚ දෘශ්‍ය කාව්‍යය‚ නාට්‍ය කලාව‚දෘශ්‍ය කාව්‍ය කලාව‚ රංගන කලාව යන අරුත් ද‚ theater යන්නට නාට්‍ය ලිවීම සහ නිෂ්පාදනය; රංග කලාව‚ රංග සාහිත්‍යය යන අරුත් ද දී ඇත. එහෙත් play යන්නෙහි අරුත් ලෙස දෘශ්‍ය කාව්‍ය සඳහන් නොවේ.

ශුද්‍රක (ක්‍රිපූ 2 සියවස) නම් භාරතීය ඇදුරකු විසින් රචිත මෘච්ඡකටිකා (මෙය මැටි කරත්තය නමින් සිංහලට නැගී ඇත.) නම් නාට්‍යය ලොව මුල් ම නාට්‍යය ලෙස සැලකේ. පුරාතන සංස්කෘත නාට්‍ය රචකයන් අතර මුල්තැන ගන්නේ කාලිදාස ය. ඔහුගේ වික්‍රමෞඋර්වසියම්‚ මාලිකාග්නිමිත්‍රම් සහ අභිඥාන ශාකුන්තල සම්භාවනාවට පාත්‍ර වූ කෘති වේ.

ක්‍රිපූ 500 - 350 අතර කාලයේ ග්‍රීසියේ සහ භාරතයේ සමකාලීන ව නාට්‍ය ලියැවී ඇති බව ස‍ඳහන් ය. දැනට ඇති සාක්ෂි අනුව මුල්ම ග්‍රීක නාට්‍යය පෙළ රචකයා ඊස්කීලස් (ක්‍රිපූ 585 - 456) ය. ඔහුගේ ඔරෙස්ටියා නම් නාට්‍ය ත්‍රිකය ප්‍රථම ග්‍රීක දෘශ්‍ය කාව්‍ය ලෙස පිළිගැනේ.

දෘශය කාව්‍ය රචනා ඉන්පසු එතරම් ප්‍රගතියක් පෙන් වු බවක් නොපැවසේ. එය යළි පණ ලබන්නේ ශේක්ස්පියර් ගේ (1564 - 1616) ආගමනයත් සමග ය. ඇතැම් විචාරකයන්ට අනුව ඔහු මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම දෘශ්‍යකාව්‍ය රචකයා වේ.

නාට්‍යයක් ප්‍රෙක්ෂකයා නරඔන්නේ අවස්ථා තුනක් පසු කිරීමෙන් ඉක්බිතිව ය. පළමුවෙන් ම එහි පිටපත රචනා කළ යුතු ය. දෙවනුව එම පිටපත අනුව පුහුණවීම් සිදු වන අතර ඉන්පසු වේදිකා ගත කෙරේ. මෙහි දෙවන හා තුන්වන අවස්ථා අතිශය සංකීර්ණ සාමුහික ක්‍රියාවලියකි. එහෙත් නාට්‍යයේ පිටපත හෙවත් පෙළ තනිකර ම ඒක පුද්ගල කර්තව්‍යයක් වන අතර සාහිත්‍යමය ද වෙයි. දෘශ්‍ය කාව්‍යය යනු එකී සාහිත්‍ය කෘතියයි.

මෙම පෙළ හෙවත් පිටපත ලොව විවිධ භාෂාවලට පරිවර්තනය විය හැකි ය. එවිට ඒ ඒ රටවල ජනයා සිය බසින් ඒ කෘතිය රසවිඳිනු ඇත. නවකතා‚ කෙටිකතා‚ කවි රස විඳින්නාක් මෙනි. රස විනිස දන්නා විදග්ධයන් මෙන් ම සාමාන්‍ය මිනිස්සු ද ඒවා වටහා ගනිති. රෝමියෝ‚ ජුලියට්‚ දුශ්මන්ත‚ ශකුන්තලා වැනි චරිත ඔවුන් තමන්ගේ සමාජයේ ද හඳුනා ගනු ඇත. මෑත කාලයේ ආ නෝරා (ඩෝල්ස් හවුස්)අසඩෙක් (කොකේසියන් චෝක් සර්කල්) වැනි චරිත ද කාගේ කවුද යි මිනිසුන් හඳුනන්නේ නළුව නැරඹීමෙන් ම නොවේ; පිටපත කියැවීමෙනි.

අන්තර්ජාතික සාහිත්‍යයේ ද මුද්‍රිත නාට්‍ය පෙළට සෑහෙන ඉඩක් වෙන් ව තිබේ. ඒවා නවකතා‚ කෙටිකතා සහ පද්‍ය තරමටම ජනතාව අතර ප්‍රචලිත ය. ඒ අතරින් ශේක්ස්පියර්ගේ කෘති ප්‍රමුඛ බව සඳහන් ය. ඒවා කිසිදා වේදිකා ගත නොකරන ලද පෙදෙස්වල පවා‚ වේදිකාව මත දී ඒවා කිසිදා දැක නැති මිනිසුන් අතර පවා කියැවීම සහ අධ්‍යයනය නිරන්තරයෙන් සිදු වෙයි.

නාට්‍ය පිටපත කියැවීමෙන් නාට්‍යය නරඹනවාට වඩා වෙනස් රසයක් ලැබිය හැකි ය. ඇතැම් නාට්‍ය වටහා ගත හැක්කේ නළුව නැරඹීමෙන් නොනැවතී පිටපත පරිශීලනය කිරීමෙනි. උදාහරණයක් ලෙස ‘සිංහබාහු’ නාට්‍ය යේ පරම්පරා ගැටුම‚ ‘සුබ සහ යස’ හි රාජ්‍ය පාලනයේ ඇති අවුල් සහගත බව මැනවින් ග්‍රහණය කැර ගත හැකි වනු ඇත්තේ එවිට ය. ‘තාරාවෝ ඉගිලෙති’‚‘බෙකට්’ මේ අවස්ථාවේ සිහිපත් වන තවත් උදාහරණ දෙකකි.

ඇතැම් නාට්‍යවල පිටපතේ ඇති දීර්ඝ විස්තර පිටපත කියවා මිස දැන ගත නොහැකි ය. ආතර් මිලර්ගේ The Crucible (සිංහල පර්වර්තනය: මායා බන්ධන - ගාමිණී වියන්ගොඩ) ඊට හොඳ උදාහරණයකි. ශේක්ස්පියර්ගේ නාට්‍යවල ද මේ ලක්ෂණය පවතී. ශේක්ස්පියර්‚ ජෝන් මිල්ටන් වැනි ලේඛකයන්ගේ නාට්‍ය කෘති බොහොමයක දීර්ඝ නිදහස් පද්‍ය (blank verse) තිබේ. මේවා වටහා ගන්නට නම් පෙළ කියැවීම වැදගත් ය. මන්දයත් වේදිකාවේ එක දිගට කියාගෙන යනවිට ඒවා ග්‍රහණය කැර ගන්නට අපාසු හෙයිනි. වේදිකා නිෂ්පාදනය නොනැරඹිය යුතු බවක් මෙයින් අදහස් නොකෙරේ. පෙන්වා දෙන්නේ දෘශ්‍ය කාව්‍යය නමැති සාහිත්‍ය කෘතියේ යටිපෙළ වටහා ගන්නට එහි පෙළ කියැවීම ප්‍රයෝජනවත් විය හැකි ය කියා ය.

Comments