වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට සුපිරි බෝට්ටු | සිළුමිණ

වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට සුපිරි බෝට්ටු

 රටක ආර්ථිකයේ ප්‍රධාන මිනුම් දණ්ඩක් ලෙස එරට ප්‍රවාහන පද්ධතියේ ඇති කාර්යක්ෂමතාව සලකනු ලැබේ. අධිවේගී මාර්ග මෙන්ම අධිවේගී දුම්රිය සේවාවන් ලොවට හඳුන්වා දුන්නේ එහෙයිනි. අපේ රටේද අධිවේගී මාර්ග මෙන්ම පැයට කිලෝමීටර් 100ක 120ක වේගයෙන් යා හැකි දුම්රිය මාර්ග ඉඳි කළද නාගරිකව ඇති මාර්ග තදබදය අවම කර ගැනීමට තවමත් හැකියාවක් ලැබී නැත.

මේ සඳහා විශේෂයෙන්ම පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීම ලෝකයේ දියුණු මෙන්ම දියුණු වෙමින් පවතින රටවල සිදු කරමින් තිබේ.

අපේ රටේද පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා කාලයක් සිට විවිධාකාරයේ ක්‍රියාමාර්ග ගත්තද ඒවායින් සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැත. ඊට හේතුව තිබෙන මාර්ග මතම යැපෙමින් විවිධ ප්‍රතිකර්ම සිදු කිරීමට උත්සාහ කිරීමයි. මේ සඳහා දිගු කාලීන විසඳුම් ලෙසින් කොළඹ නගරය හා සම්බන්ධිතව ගුවන් මාර්ග, සැහැල්ලු දුම්රිය සේවා මෙන්ම අධිවේගී මාර්ග සැකසෙමින් පවතී. එහෙත් ඒ සියල්ල අධික මුදල් වැයවන බහුකාර්ය යෝජනා ක්‍රම අතරට අයත් වන බව අමුතුවෙන් කිව යුත්තාක් නොමැත්තා සේම ඒ සඳහා අවම වශයෙන් වසර 5කට අධික කාලයක් වැය වන බවද පෙන්වා දිය යුතු වේ.

අපේ රටේ දශක ගණනාවකට පෙර පැවතුණු බව පැවසෙන ජල ප්‍රවාහන සේවාව කෙරෙහි අපගේ අවධානයක් යොමුව තිබුණේම නැත. එහෙත් මාර්ග පද්ධතිය ඉඩ මදිවීමත් අධික වැය පාර්ශ්වයක් සිදු කළ යුතු යෝජනා ක්‍රම රටට බරක් වන නිසාත් මේ වන විට ජල ප්‍රවාහන ක්‍රම කෙරෙහි අපේ රටේ අවධානය යොමුව තිබීම සතුටට කරුණකි.

මේ සම්බන්ධයෙන් මහ­ානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් විශේෂිත ව්‍යාපෘතියක්ද හඳුන්වා දී ඇත. ඒ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය හරහාය. එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ පී.පී. විජේසේකර මහතා අපට හමු විය. ඔහු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයකු ලෙස මීට වසර කිහිපයකට පෙර කටයුතු කර හසළ දැනුමක් ඇත්තෙකි. එපමණක් ද නොවේ. වසර තිස් ගණනක් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවක් වූ විජේසේකර මහතා ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය දුම්රිය සේවාවන් සඳහා රේල් බස් රථය හඳුන්වා දුන්නේ විජේසේකර මහතා විසිනි. ඒ මහතා මේ නව ව්‍යාපෘතියට අත ගසා තිබීම වාසනාවක් ලෙසද පෙන්වා දිය හැකිය. අපේ රටේ දුම්රිය ඉතිහාසයේ බස් රථයක් දුම්රිය මඟට යෙදවූ විජේසේකර මහතා හරහා අපට ලැබෙන්නට යන්නේද නවතම ප්‍රවාහන සේවා පද්ධතියකි.

අපි ඒ ගැන ඔහුගෙන්ම විමසුවෙමු.

‘රටේ ප්‍රවාහන අර්බුදය විශේෂයෙන්ම මාර්ග තදබදය අවම කර ගැනීමට පහුගිය කාලයෙ විවිධ පියවර ගත්තා. බස් රථ සඳහා වෙන් වශයෙන් මං තීරු යෙදවීම එයින් එකක්. සුනම්‍ය ලෙස කාර්යාල වේලාවන් වෙනස් කරලීම තවත් එකක්. නමුත් මේ එකදු ක්‍රියාවකින්වත් නිසි පළ ප්‍රයෝජන ලැබුණායැයි කියන්න බැහැ. මේ නිසා කාලාන්තරයක් පවතින ස්ථිර විසඳුමක් සිදු කරලීම පිණිස ජල ප්‍රවාහන මාධ්‍ය ප්‍රයෝජනයට ගැනීමට මේ වන විට විශේෂිත ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. කලකට පෙර හැමිල්ටන් ඇළ හරහා මේ ආකාරයේ ප්‍රවාහන මාධ්‍යයක් තිබුණු බව අපට වාර්තා වී ඇතත් එවැන්නක් අප දැක නැහැ.

අඩු වියදම් ප්‍රවාහන මාධ්‍යයක් ලෙසින් ජල ප්‍රවාහනය අපට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේ නිසා කොළඹ නගරයට විශේෂයෙන්ම මුහුදුබඩ මාර්ගයේ සිට දුම්රියෙන් පැමිණෙන මඟීන්ට බත්තරමුල්ල දක්වා කඩිනමින් ගමන් කිරීමට හැකි ප්‍රවාහන මාධ්‍යයක් ලෙස වැල්ලවත්ත ඇළ හරහා බත්තරමුල්ල දක්වා ප්‍රවාහන සේවාවන් ලබන වසරේ මුල් භාගයේ ආරම්භ කරනු ලබනවා. එය වැල්ලවත්ත ඇළෙන් ආරම්භ වී බත්තරමුල්ල දියවන්නා ඇළ දක්වා විහිදී යනවා.

මෙය ඉතාම අඩු වියදම් ප්‍රවාහන මාධ්‍යයන් ලෙස හදුන්වා දෙන්න පුළුවන්.

මේ ප්‍රවාහන මාධ්‍යය සඳහා සුදුසු පරිදි මේ වන විට ඇළ මාර්ග සකස් කරමින් පැවතෙනවා. බෝට්ටු ගමන් කළ හැකි වන සේ ඇළ ඉවුරු පළල් කිරීම හා ගැඹුරු කිරීම මේ වන විට ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව හරහා හරහා සිදු කරනු ලැබේ.

ඒ හරහා වැල්ලවත්ත දුම්රිය ස්ථානයේ සිට බත්තරමුල්ල දක්වා ආරම්භ කෙරෙන බෝට්ටු සේවාව මඟී ජනතාවට නවමු අත්දැකීමක් වනු ඇත. ඒ අත්දැකීම් කඩිනම් ගමනාගමනය සඳහා ඉවහල් වීමක්ද වේ. මේ සඳහා යොදවනු ලබන බෝට්ටුවලට ගොඩ වීම සඳහා වැල්ලවත්තේ සහ බත්තරමුල්ලේ නව ජැටි දෙකක් මේ වන විට ඉඳි වෙමින් පවතී. එපමණක් නොවේ මේ ගමන් මඟේ අතරමඟ ප්‍රධාන නැවතුම් පොළක් ලෙස විවෘත විශ්වවිද්‍යාලය අසල ජැටියක් ඉඳි කරමින් තිබේ.

මේ නැවතුම් පොළ තුන මේ වන විට ප්‍රධාන නැවතුම් ස්ථානයන් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව වැල්ලවත්තේ සිට විවෘත විශ්වවිද්‍යාලය අසල නැවතුම් පොළද සහිතව විනාඩි 30ක පමණ කාලයකින් බත්තරමුල්ල දක්වා ගමන් කිරීමට හැකි වේයැයි විශ්වාස කරනවා. මේ සහනය ජනතාව දැනට දෙහිවල හෝ කොළඹට පැමිණ හෝ බත්තරමුල්ලට යන ගමන් කාලයට වඩා සැලකිය යුතු ලෙස අඩු කර දීමක්. මේ සඳහා තවත් නැවතුම් ස්ථාන 9ක් පමණ මේ වන වි යෝජනා වී තිබෙනවා. විශේෂයෙන් මාර්ග අංක 120/138 බස් රථ මාර්ගය සම්බන්ධ හැව්ලොක් ටවුම ආසන්න ප්‍රදේශය එයින් එකක්. මේ ආකාරයේ ඉතිරි නැවතුම් අවශ්‍යතාව පරිදි සකස් කරන්න බලාපොරොත්තු වනවා.

කෙසේ වුවත් ඒ සියලු නැවතුම්වල නවත්වා ගමන් කළත් මේ සඳහා උපරිම වශයෙන් වැය වන්නේ විනාඩි 50ක පමණ කාලයක්. එමෙන්ම තවත් වැදගත් කරුණක් වන්නේ මේ සඳහා විදුලිය බලයෙන් ආරෝපණය කළ බැටරි සහිත මෝටර් බෝට්ටු මේ සඳහා යොදා ගැනීමයි. එය පරිසරය රැක ගැනීමට විශාල දායකත්වයක් ලබා දෙන්නා සේම මෙරට බල ශක්ති අර්බුදයටත් හොඳ විසඳුමක් වනවා. එමෙන්ම මේ සඳහා යොදා ගනු ලබන්නේ දැනට අපට දකින්නට තිබෙන මෝටර් බෝට්ටු නෙමෙයි. ඒ සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද සුඛෝපභෝගී බෝට්ටු බවත් මෙහිදී පෙන්වා දිය යුතුයි.

ආරම්භයේදී මඟීන් 50කට ගමන් කළ හැකි වනවා. ක්‍රමයෙන් ජනතා අවශ්‍යතාව අනුව මඟීන් 200කට ගමන් කළ හැකි බෝට්ටු මේ සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වනවා. මේ බෝට්ටු ගමන් සඳහා විශේෂ ‘ට්‍රැවල් කාඩ්‘ පතක් හඳුන්වා දීමටත් බලාපොරොත්තු වනවා. එම කාඩ්පත දුම්රිය හා බස් රියටත් යොදැ ගත හැකියි. එමෙන්ම ගමන් ගන්නා අවස්ථාවේදී මුදල් ගෙවා යාමටත් හැකියාව ලැබෙනවා.

ආරම්භයේදී විනාඩි 10කට වරක් බෝට්ටුවක් ධාවනය කිරීමට අප බලාපොරොත්තු වනවා. අවශ්‍යතාව පරිදි ඒ තත්ත්වය ක්‍රමයෙන් වැඩි කිරීමටත් අප කටයුතු කිරීමට සූදානම්.

එමෙන්ම මේ සඳහා යොදා ගැනෙන බෝට්ටු සාමාන්‍ය වේගයකින් ගමන් කරන්නේ ඇළ ඉවුරු පවත්නා තත්ත්වයෙන් තිබෙන නිසයි. අවශ්‍ය වන්නේ නම් එම ඉවුරු ශක්තිමක් කිරීමෙන් පසුව අධිවේගී බෝට්ටු මේ සඳහා යොදා ගැන්මට පුළුවන්. එවිට ගමන් කාලය සැලකිය යුතු ලෙසින් අඩු කර ගන්නට හැකියාව ලැබේවි.

එසේම විදුලි බෝට්ටුව මේ සඳහා යොදා ගන්නා හෙයින් ශබ්ද දූෂණයත්, ශබ්දයෙන් වන පීඩනයත් වළක්වා ගැනීමට හැකියි. මේ සියලුම කාර්යයන් සිදු කර ගැන්මට හැක්කේ ජල ප්‍රවාහන මාර්ගයන් ඔස්සේ ප්‍රවාහන මාර්ගයන් දියුණු කර ගැන්මෙන්. ඒ හරහා අතුරු ප්‍රතිඵල රැසක්ද අපට උරුම වන බවයි පෙන්වා දිය යුතු වනවා. එයින් ප්‍රධාන තැනක් ගන්නේ ඇළ මාර්ග නිසි ලෙසින් නඩත්තු කිරීම නිසා ගංවතුර තර්ජනයක් නොමැති වීමයි. අනෙක් කරුණ වන්නේ ඩෙංගු මදුරු තර්ජනය ඇතුළු මදුරු තර්ජනයන් මෙන්ම අනෙකුත් බෝවන ලෙඩ රෝග පැතිරීම වැළකීමයි. ජලාශ අපිරිසිදුව ඇති තාක් මේ ලෙඩරෝගවලට ජනතාවට ගොදුරු වන්නට සිදු වෙනවා. මේ නිසා ජල ප්‍රවාහන මාර්ග ඉදිරියේදී අනෙකුත් ප්‍රදේශ සඳහා යොදා ගැනීමෙන් අපේ රටට සැලකිය හැකි ලෙසින් විදේශ විනිය ඉතිරි කර ගත හැකිවාක් මෙන්ම රටේ ප්‍රවාහන ප්‍රශ්නයටත් විසඳුමක් ලබාදී මාර්ග තදබදයටත් විසඳුමක් ලබා දෙන්න පුළුවන්.

මේ ජල ප්‍රවාහන මාර්ග පද්ධතිය නිසා රටේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න හැකි බව අපට පැහැදිලි විය. නගර බඳබොහෝ පළාත්වල ගංවතුර තර්ජන ඇති වන්නේ ජලය බැසයන මාර්ග අවහිර වී ඇති නිසා වන අතර මේ ජල ප්‍රවාහන පද්ධතිය නගර බද පළාත්වල ආරම්භ කිරීමෙන් පසුව රටේ පළාත්වල ගංවතුර තර්ජනය ඇති වීම වැළැක්වීමත් පරිසරය ආරක්ෂා වී රෝග පැතිර යෑම වැළැක්වීම ඇතුළු අතුරු ප්‍රතිඵල රැසක්ම අත්පත් කර ගත හැකි බව අපට මෙයින් පැහැදිලි වේ.

එමෙන්ම ඉදිරියේදී මේ බෝට්ටු සේවාව හරහා සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් ප්‍රියා සාද පැවැත්වීමට බෝට්ටු ලබා දීමටත් පියවර ගැනෙනු ඇත. එසේම බෝට්ටු නවත්වනු ලබන ජැටි සාමාන්‍ය ජැටියක් මෙන් නොව වෙළෙඳසල්වලින් සමන්විත අතර දුරකථන පවා ආරෝපණය කර ගත හැකි ස්ථාන ආදිය ඇතුළත් නවීන ස්ථාන ලෙසින් සංවර්ධනය කිරීමටද මේ ව්‍යාපෘතිය යටතේ පියවර ගැනෙනු ඇත. අපේ රටේ නවතම ප්‍රවාහන මාධ්‍යයක් ලෙසින් ජල ප්‍රවාහනය යොදා ගැනීමෙන් සැලකිය යුතු සංවර්ධනයක් කරා අපට කඩිනමින් යෑමට හැකි වන බව නම් පැහැදිලිය.

තාරක වික්‍රමසේකර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.