ශ්‍රී ලංකා නැව් සඳහා සැපයුම්කරුවන්ගේ සංගමය | සිළුමිණ

ශ්‍රී ලංකා නැව් සඳහා සැපයුම්කරුවන්ගේ සංගමය

 මුහුද මගේ ගොඩබිමයි, නැව මගේ නිවහන තමයි' මෙහෙම කියන්නේ දොස්තර හොඳ හිතය. මහ මුහුදෙන් වට වූ ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ ඉතාම වැදගත් ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව, එලෙස නැව නිවහන කරගත් බොහෝ දෙනෙකුගේ නිරන්තර නැවතුම් ස්ථානයකි. යුරෝපය සහ නැගෙනහිර ආසියාවත් ඕෂනියාවත් යා කරන ප්‍රධාන මුහුදු ගමන් මාර්ගයේ ගමන් කරන බොහෝ නැව් තම අවශ්‍යතා සඳහා මෙන්ම ආනයන, අපනයන සහ ප්‍රති අපනයන ආදී නොයෙකුත් අවශ්‍යතා සඳහා සේවාව සැපයීමට කොළඹ වරාය තුළ නැංගුරම් දමති.

විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වාදීමෙන් පසු ලෝකයේ බොහෝ රටවල නිෂ්පාදනය කළ නවීන තාක්ෂණයෙන් සපිරි උපකරණ, යාන වාහන සහ ආහාර පවා මෙරට ජනතාවට පරිභෝජනය කිරීමට අවස්ථාව උදා විය. එමෙන්ම 'සිලෝන් ටී' නාමය ඇතුළු ශ්‍රී ලාංකික නිෂ්පාදන බොහොමයකට බටහිර වෙළදපළ විවෘත විය. මේ සියලු ආනයන අපනයන වෙළඳාම්වල ප්‍රවර්ධනයට දායක වූ දැවැන්තම ක්ෂේත්‍රය වන්නෙ නාවික ගමනාගමන ක්ෂේත්‍රයයි.

ශ්‍රි ලංකා මුහුදු තීරයේ වරාය තුළ නැංගුරම්ලන නැව් සඳහා සේවා සපයන ආයතන කරනු ලබන සේවාව සහ ඔවුන් විසින් රටට අත්කරදෙන විදේශ විනිමය ප්‍රමාණය සුළුපටු නොවේ. එලෙස නැව් සඳහා සේවාවන් සපයන ආයතන වල කාර්ය විධිමත්ව පවත්වාගෙන යාම, රජයේ ආයතනවලට අවශ්‍ය උපදේශන ලබාදිම, ශ්‍රී ලංකාවේ නැව් සඳහා සේවා සපයන ආයතන අන්තර්ජාතිකව නියෝජනය කිරීම, සාමාජික ආයතන අන්තර්ජාතික සමුළු, ප්‍රදර්ශනවලට සහභාගී වීමේදී ඔවුන්ට අවශ‍ය පහසුකම් සැපයීම ආදිය අරමුණු කරගෙන 1974 වසරේදී 'ශ්‍රී ලංකා නැව් සදහා සැපයුම්කරුවන්ගේ සංගමය' (Sri Lanka Ship Suppliers Association) ආරම්භ වීම එම ක්ෂේත්‍රය ලැබූ සැබෑ ජයග්‍රහණයක්ය. ශ්‍රී ලංකා නැව් සඳහා සැපයුම්කරුවන්ගේ සංගමය, අන්තර්ජාතික නැව් සඳහා සැපයුම්කරුවන්ගේ සහ සේවා සංගමයේ (International Ship Suppliers and Services Association ) ශ්‍රී ලාංකීය නියෝජිතායතනයද වේ.

ශ්‍රි ලංකාවේ නාවික ක්ෂේත්‍රයට සම්බන්ධ සංගම් අතුරින් පැරණිම සංගමය ද වන්නේ මෙම සංගමයයි. නාවික ගමනාගමන ක්ෂේත්‍රයට සම්බන්ධව පැන නගින ගැටළු නිරාකරණය කරගැනීමේදී අවබෝධතා මැදිහත්කරුවෙකු ලෙස නැව් සඳහා සැපයුම්කරුවන්ගේ සංගමය සම්බන්ධ වූ අවස්ථා සඳහා මෑත කාලීන උදාහරණ බොහෝ ඇත. නාවික වෙළද ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ආයතනික වෙළඳ හමු සංවිධානය කිරීම, නාවික ගමනාගමනයෙ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම මෙම සංගමය විසින් කරනු ලබන තවත් මහගු කාර්යයකි.

 මංජුල සමරසේකර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.