ස්වාභාවික විපත්වල ආර්ථික අවදානම මැද IMF මීළඟ ණය වාරිකය මුදා හරී | සිළුමිණ

ස්වාභාවික විපත්වල ආර්ථික අවදානම මැද IMF මීළඟ ණය වාරිකය මුදා හරී

 මේ වසර ආරම්භයේ ශ්‍රී ලංකා ආර්ථීකය පිළිබඳ 2017 මහ බැංකු වාර්ෂික ඉදිරි දැක්ම ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ රටේ ආර්ථීකය මේ වන විට පසු වන්නේ “දැඩි සත්කාර ඒකකයේ” බවයි. මෙය එවකට සිටි මුදල් ඇමතිවරයාගේ නොසතුටට පත් වු ප්‍රකාශයක් විය. කෙසේ වුවද ස්වාධින මහ බැංකු අධිපතිවරයෙකු ලෙස ඔහු එදා ගෙන හැර දැක්විමට උත්සාහ කළේ යම් රටක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජා.මු.අ) ගෙවුම් ශේෂ හා සැබැදි ආධාර ක්‍රමෝපාය වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වේද එමගින් එම රටේ ආර්ථීකය පත් වි ඇති අසාධ්‍යතාවයේ තරම පිළිබිඹු කරන බවයි.

ආර්ථීකයේ බාහිර හා අභ්‍යන්තර කම්පන තත්ත්වයනට මුහුණ දිම සම්බන්ධයෙන් වන දෙස් විදෙස් ස්වාධින විශේෂඥ ආර්ථීක වෙද හෙද මඩුල්ලේ නිති සැලසුම් නිර්දේශ නොසලකා හැරි “අගතිකාම් දේශපාලන ගොඩ වෙද හෙදුන්ගේ” නොහොබිනා අපරික්ෂාකාරි ක්‍රියා කලාප නිසා ආර්ථීකය මෙසේ යළි ගොඩ නොගත හැකි තරමට ගිලන් වු බව බොහෝ දෙනා එදා චෝදනා කර සිටියහ.

මෙනයින් ශ්‍රී ලංකා ආර්ථීකය නම් වු අසාධ්‍ය රෝගියා“ගොඩ දැම්ම” සඳහා අක­ැමැත්තෙන් වුවද

ජා.මු. අ. (විජාතික) විශේෂඥ ආර්ථීක වෙද හෙද මඩුල්ලේ පිහිට පැතිමට ලක් මාතාවට සිදු විය. (2016 ජුනි මස ජා. මු. අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඩොලර් බිලියන 1.5 ක තෙවසරක විස්තීර්ණ ණය පහසුකමක් මේ අනුව අනුමත කරයි.) ජා. මු. අ රමුදලේ ආර්ථීක වෙද හෙද කම් හා බැඳුන කොන්දේසි ජනාතාව මත කෙටි කාලිනව බර පැටෙවෙන දේශපාලකයින්ට “තිත්ත කසාය” බදු වුවකි. නමුත් ජා. මු. ප්‍රතිකර්ම හා බැඳුණු ආර්ථීකයන් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ජාත්‍යන්තරයේ ඇත්තේ වැඩි විශ්වාශයකි. මැදි ගණයේ ආදායම් කාණ්ඩයට අයත් රටක් ලෙස අඩු පොලි ලිහිල් කොන්දේසි යටතේ වන ජාත්‍යන්තර ආධාර අනුබල ලබා දිම් මේ වන විට ශ්‍රී ලංකාවට අහිමිවද ඇත. මෙම තත්ත්වයන් තුළ ජාත්‍යන්තරය හා කේවල් කරමින් සාපේක්ෂව ණය පැහැර හැරිමේ අඩු අවදානම් තත්ත්වයන් ඇති රටක් ලෙස ශ්‍රී ලංකා ලෝකයාට එත්තු ගන්වමින් අඩු පොලි අනුපාත මත අරමුදල් රැස් කර ගැනිමට දැන් අපට සිදු ව ඇත. එමෙන්ම තරගකාරි ලොව ආයෝජක/වෙළෙඳ පොළ විශ්වාශය දිනා ගැනිමට ශ්‍රී ලංකාවට මහැඟි පිටු වහලක් ලබා ගැනිමද මෙම ජා. මු. අණ අයදුම් කිරිමට එවකට සලකා බැලුන මුළික කාරණා අතර විය.

ජා. මු. අරමුදලේ මෙම විස්තීර්ණ ණය පහසුකම යටතේ කියාත්මක වන ආර්ථීක ප්‍රතිසංස්කරණවල ජාත්‍යන්තර විශ්වාශය තහවුරු කරමින් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරිමේ ආයතන වන ෆච් රේටිංස් හා ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ද ස්වකිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පිළිවෙලින් “ B+“ හා 'B+/B' වන සෛවරිත්ව ණය ශ්‍රේණිගත කිරිමේ ඉදිරි දැක්ම සෘණ දැක්මක සිට ස්ථාවර දැක්මක් දක්වා මේ වන විට ඉදිරියට ගෙන විත් ඇත.

ඒ හැරෙන්නට මේ හිතකර ජාත්‍යන්තර විශ්වාශය තහවුරු විමේ ප්‍රනතා හමුවේ ශ්‍රී ලංකාව මේ වසරේ ගත වු මාස 11 තුළ අති සාර්ථකව සාපේක්ෂව අඩු පොලි අනුපාත තත්ත්වයන් යටතේ ජාත්‍යන්තර සෛවරිත්ව බැඳුම්කර නිකුතුවක් හා සාමුහික ණය පදනමින් ඩොලර් බිලියන 2.5 ක්ද රැස් කර ගන්නා ලදි.

මේ ආකාරයෙන් ජා. මු. අරමුදලේ නිවැරදි රෝග විනිශ්චයන් හා දැඩි ප්‍රතිකාර කොන්දේසි ප්‍රකාරව ලක් ආර්ථීකය දැඩි සත්කාර කළ යුතු තත්ත්වයෙන් ක්‍රමයෙන් මිදි පැහැදිලි ඉදිරි නිරෝගි පියවරයන් කිහිපයකින්ම මේ වන විට ඉදිරියට ඇවිත් ඇති බව තහවුරුය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ වැඩ්දුර ප්‍රගතිය ආශ්‍රිතව අරමුදලේ විමර්ශණ කණ්ඩායමේ කටයුතු අනුව යමින් ජා. මු. අ. මෙම දෙසැම්බර් මසදි මෙහි ඊළඟ හෙවත් තෙවන වාරිකය ලෙස ඩොලර් මිලියන 168 ක ට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට මුදා හැරිමට නියමිතය. මේ බව සලකා බැලෙන ජා. මු. අරමුදලේ විධායක මණ්ඩලයේ රැස්විම හෙවත් මීළඟ රෝග නිවාරණ පිළියම් ඉදිරිපත් කිරිම දෙසැම්බර් 06දා පැවැත්විමට නියමිතව ඇත.

පසුගිය දෙසැම්බරයේ සිට මෙම දෙසැම්බරයේ අදාළ සලකා බැලෙන කාලය වන විට ශ්‍රී ලංකාවේ ඇති ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය හා එහි වර්ධනයේ ප්‍රගතිය, රාජ්‍ය අය-වැයේ ප්‍රාථමික ගිණුමේ හිඟය, උද්ධමනය මනින කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ සීමාවේ කාර්තුමය සාමාන්‍ය අගයේ ප්‍රමානය මෙම ජා. මු. අරමුදලේ විධායක මණ්ඩල රැස්විමේදි සලකා බැලෙන මුළික නිර්ණායක නැතිනම් රෝග විනිශ්චයන් තුන අතර වේ. මේ හැරෙන්නට ජා. මු. අරමුදලේ නිර්දේශ ප්‍රකාරව ශ්‍රී ලංකා ආර්ථීකය මේ දක්වා පෙන්වා ඇති කාර්යය සාධනයද නැතිනම් සමස්ත රෝග නිවාරණ නිර්දේශ ක්‍රියාත්මක කිරිමේ ප්‍රගතියද මෙහිදි සමාලෝචනයට බඳුන් කර අවශ්‍ය වෙනස් කිරීම්/පසු ප්‍රතිකර්ම සිදු කළ යුතුව ඇත්නම් ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරිමද මෙම 06 දා රැස්විමේදි සිදු වනු ඇත.

නොවැම්බර් මස ආරම්භය වන විට ඩොලර් බිලියන 7.4 ක දළ විදේශ සංචිත ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුව පැවති අතර එය මාස 4.2 ක ආනයන සඳහා ප්‍රමානවත් මට්ටමක තිබිණි. මෙය පසුගිය වසරේ දෙසැම්බර් තත්ත්වයන් හා සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි. සෛවරිත්ව බැඳුම්කර හා සාමුහික ණය පදනමින් ශ්‍රී ලංකාව මේ වසරේ රැස් කළ ඩොලර් බිලියන 2.5 ක මුදල හා මූල්‍ය අරමුදලේ නියමයන් ප්‍රකාරව මහ බැංකුව දේශිය විනිමය වෙළෙඳපොළින් ශුද්ධ වශයෙන් මේ වන විට මිලදි ගෙන ඇති ඩොලර් බිලියන 1.4 ක මුදල මෙම බාහිර විනිමය සංච්ත ශක්තිමත් විමට බලපාන ලදි. ඒ හැරෙන්නට මුල්‍ය අරමුදලේ නියමයන් ප්‍රකාරවම මේ වන විට ඩොලරයේ රුපියල් අගය හෙවත් විනිමය අනුපාතය තිරණය කිරිමේ කටයුත්ත මේ වන විට මහ බැංකුවේ මැදිහත් විමකින් තොරවම සම්පුර්ණයෙන්ම විදේශිය විනිමය වෙළෙඳ පොලේ ඉල්ලුම් සැපයුම් බලවේග මත තිරණය විමට මහ බැංකුව පියවර ගෙන ඇත.

රාජ්‍ය අය-වැයේ ප්‍රාථමික ගිණුමේ හිඟය (සමස්ත අය-වැය හිඟයෙන් පොලි ගෙවිම් අඩු කළ පසු තත්ත්වය) මේ වසරේ මුල් මාස 8 තුළ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 0.0 මට්ටමකට ළගා වි තිබු අතරේ (හිඟය රුපියල් බිලියන 1.6 ක් විය) එය පසුගිය වසරේ අදාළ කාලයේ රුපියල් බිලියන 70.5 ක් හෙවත් සියයට 0.6 ක් විය. මෙය ලබන වසරේ අතිරික්තයක් වනු ඇති බව මහ බැංකු අපේක්ෂාවයි.

මුල්‍ය අරමුදලේ නියමයන් පරිදි මහ බැංකුව උද්ධමන ඉලක්කගත කිරිමේ පියවරයන් අනුගමනය කිරිමට කටයුතු යොදමින් පවති. මේ වසර අවසානයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව සමස්ත උද්ධමන අනුපාතය සියයට 5.1 ක් වැනි තනි මධ්‍යස්ථ අගය ප්‍රතිශතයක් අපේක්ෂා කළද කාලගුණික විපර්යාස හමුවේ සිදු වු බඩු මිලේ ඉහළ යාම් හා රුපියල අවප්‍රමාණ තත්ත්වයන් හමුවේ නොවැම්බර් මස උද්ධමනය පසුගිය මසට වඩා සියයට 1.2 කින් ඉහළ යමින් සියයට 7.6 ක් වි ඇත. කොළඹ පාරිභෝගික මිළ දර්ශකය පසුගිය වසරේ දෙසැම්බර් මස වු පදනම් අංක 120.8 සිට 122.2 දක්වා ගත වු මාස 12 තුළ වැඩ් වි තිබේ. සියයට 8.2 ක ඉහළ උද්ධමන අගයක් හා සියයට 5.2 ක මධ්‍යස්ථ අගයක් හා සියයට 2.2 ක අවම අගය පරාශයක් මත පිහිටා මුල්‍ය අරමුදල මේ වන විට ශ්‍රී ලංකාවේ උද්ධමන තත්ත්වයන් නිරික්ෂණය කරයි. මෙම ඉහළ හා අවම සීමා ඉක්මවන තත්ත්වයන් මත මූල්‍ය අරමුදලේ උපදෙස් ලංකාව ලබා ගත යුතුව ඇත. කෙසේවෙතත්, මුල්‍ය අරමුදලේ මිළඟ ණය වාරිකය මුදා හැරිම සඳහා ඒ ආශ්‍රිත සලකා බැලෙන කාලයේ ආසන්න මාස 3 ක උද්ධමන අනුපාතයේ මධ්‍යස්ථ තත්ත්වය නිරික්ෂණය කරන බැවින් ශ්‍රී ලංකාව අවශ්‍ය නිර්නායක සපුරා ඇති බව මහ බැංකුව කියයි.

මේ අතරේ ජා. මු. අරමුදලේ නිවුන් සොහොයුරා වන ප්‍රතිසංස්කරණ සහ සංවර්ධනය පිළිබඳ අන්තර් ජාතික බැංකුව,හෙවත් “ලෝක බැංකුව“ පසුගියදා ශ්‍රී ලංකා ආර්ථීකය සම්බන්ධයෙන් නිකුත් කළ ස්වකිය නවතම අර්ධ වාර්ෂික වාර්තාව වන ‘‘ශ්‍රී ලංකාවේ සංවර්ධන ඇගැයුම” (Sri Lanka Development Update) මගින්ද ශ්‍රී ලංකා ආර්ථීකයේ ප්‍රගතිය ඉහළින් තක්සේරු කර ඇත.

සාමාන්‍යයෙන් ලෝක බැංකුවේ අරමුණ වන්නේ ස්වකිය සාමාජික රටවල දරිද්‍රතාව පිටු දැකිමට කටයුතු කිරිමයි. ලෝක බැංකුවට අනුව ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ දරිද්‍රතාව ඉහළ මට්ටමක ඇත. කෙසේවෙතත් සමසතයක් ලෙස ගත් විට ශ්‍රී ලංකාවේ දිළිඳුකම අඩු වෙමින් ඇත. 2012/13 දත්ත අනුව (2016 දත්ත තවම නිකුත් වි නැත) මෙරට ජනගහනයෙන් හා වතු ආශ්‍රිත ජනගහනයෙන් සියයට 15 ක් දිනකට ඩොලර් 3.10 ක වඩා අඩු ආදායමක් ලබයි. උතුර, නැගෙනහිර, වතුකරය හා මොණරාගල දරිද්‍රතාවය බහුල පළාත් හා නගර ලෙස හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ඇති නැති පරතරයට බලපාන කරුණු කිහිපයක් මෙම වාර්තාව මගින ලෝක බැංකුව අවධාරණය කර ඇත. ඒ අතරේ මුලික වන්නේ මෙරටට පසුගියදා හඳුන්වා දුන් අගය එකතු කළ බදු මත වන ප්‍රතිසංස්කරණ හා ඉදිරියේදි මුල්‍ය අරමුදලේ නියමයෙන් විදුලි හා ඉන්ධන සඳහා මිල සුත්‍රයක් හඳුන්වාදිමේදි මතුවන සමාජ තත්ත්ව විෂමතා හා වෙනස් වන කාලගුණික දේශගුණික තත්ත්ව නිසා ඇතිවන දරිද්‍රතා අවදානම් අවම කිරිමට කටයුතු කිරිම ආශ්‍රිත කාරණායි. මෙහිදි විදුලි හා ඉන්ධන පරිභෝජනයේදි වැඩි කොටස සමාජයේ ඇති හැකි අය විසින් සිදු කිරිම නිසා ඒ ආශ්‍රිතව ලබා දෙන සහනාධාර හා මිල සූත්‍ර ගැළපුම් වල විෂමතාවයන් තුරන් කිරිමේ අවශ්‍යතාවයද අවධාරණය කර ඇත.

එමෙන්ම එම වාර්තාව මගින් ලෝක බැංකුව කියා සිටින්නේ ශ්‍රී ලංකාව පෞද්ගලික ආයෝජන හා අපනයන මුල් කරගත් ආර්ථිකයක් කරා ගමන් කිරීමට සුභවාදී පියවර ගනිමින් සිට්න බවයි. මෙම නව ආර්ථික ක්‍රමෝපාය කරා යන ගමනේදී දැනට පවත්නා ආර්ථික අවදානම් අඩු වන නමුත් නව අවදානම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් කියයි. එසේම අවදානම් කළමණාකරණය තිරසර සංවර්ධනයට මං පෙත් විවර කරනු ඇති අතර ඒ සඳහා ක්‍රමානුකූල වේශයක් අවශ්‍ය බවද අවධාරණය කරයි. මෙහිදි මෑතදී රජය එළි දැක්වූ ‘Vision 2025 දැක්ම‘ ඒ සඳහා මාර්ගෝපදේශනයක් වනු ඇතැයි ද විශ්වාසය පළ කරයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ගමන්මගට සහාය විය හැකි පරිදි, රට තුළ කලින් කලට නැගී එන අවදානම්වලට හා ඉදිරියේදී මුහුණ පෑමට සිදුවිය හැකි නව අවදානම්වලට වඩා ස්ථිරසාර ලෙස මුහුණ දීමට හැකි නව අවදානම් කළමණාකරණ වැඩසටහනක අවශ්‍යතාව මෙම සංවර්ධන ඇගයුම යෝජනා කර ඇත. කුටුම්බ, ආයතන, රාජ්‍ය අංශය මෙන්ම සමස්ත ආර්ථිකය සඳහා ඇති අවස්ථා උපරිම කිරීම සඳහා මෙම අවදානම් කළමනාකරණය අත්‍යයෙන්ම සිදු කළ යුතු බවද කියා ඇත.

සංවර්ධන ඇගයුමෙහි මෙම කලාපය මගින් , රාජ්‍ය මූල්‍ය හා ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ණය හා පූර්ව නිශ්චය කළ නොහැකි වගකීම් සහ ස්වාභාවික විපත් සම්බන්ධව අවදානම් කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරයි.

වසරේ මුල් භාගයේ ආර්ථික වර්ධනය ස්වභාවික ආපදා නිසා සාපේක්ෂව අඩු අගයක් ගනු ලැබුවද දෙවන අර්ධයේ වර්ධනය නිසා 2017 මුළු වසර සඳහා ආර්ථිකය 4.6%කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව අපේක්ෂා කරයි. මහ බැංකුව නම් කියන්නේ මෙම වර්ධනය සියයට 4-4.5 ක අගයකට පසු බැසිය හැකි බවයි. රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ගන්නා ලද පියවරයන් 2017 වසරේ රාජ්‍ය අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.2% දක්වා අඩු කරනු ඇති බවත් එය තවදුරටත් 2020 වන විට සියයට 3.5 දක්වා අඩු කිරිමත් රජයේ අපේක්ෂාවයි. එමෙන්ම මුල්‍ය අරමුදලේ නිර්දේශ ප්‍රකාරව නව දේශිය ආදායම් පනතක් සම්මත කරගැනීම 2017 රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි ප්‍රමුඛතම ජයග්‍රහණයක් බවද සඳහන් කරයි. එළඹෙන අප්‍රේල් 1දා සිට ක්‍රියාත්මක වන නව දේශිය ආදායම් පනත මගින් මෙතෙක් බදු සහණ ලබා දිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සතුව තිබු වරප්‍රසාද අහිමිව ගොස් රටේ සමස්ත බදු ආදායම් ව්‍යුහය එක් බලාධිකාරියක් මතට එකරාශි කර රටේ බදු පදනම සම්බන්ධයෙන් යම් ස්ථාවර බවක් ලබා දි ඇත. මෙය ආයෝජකයින්ට ස්වකිය ආයෝජන පෙර විමසුම් කර්තව්‍ය පහසු කරමින් සැඟවුණු බදු බර නැති වඩාත් පහසු බදු ව්‍යුහයක් පිළිබඳව ස්ථාවර දැක්මක් ලබා දි ඇත.

මෙම ප්‍රකාශනයේ ප්‍රධාන කර්තෘ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥ රැල්ෆ් වෑන් ඩූන් පවසන්නේ "නිතර ඇතිවන ස්වභාවික විපත් සඳහා තව දුරටත් සූදානමින් සිටිය යුතු බවයි.“සාර්ව මූල්‍ය ස්ථායීතාව පවත්වා ගෙන යාම සහ ස්වාභාවික විපත් සඳහා සූදානම් වීම හරහා ශ්‍රී ලංකාවට ඉහළ මැදි -ආදායම් සහිත රටක් බවට පත් විය හැකි බව“ ඔහුගේ නිගමනයයි.

සංවර්ධන ඇගයුමට අනුව, Vision 2025 දැක්මෙහි ද හඳුනාගන්නා පරිදි, පෞද්ගලික ආයෝජන සහ අපනයන මත පදනම් වූ වර්ධන ආකෘතියක් සහිත, වෙළඳාම මූලික කොටගෙන මෙහෙයවන ආකෘතියක් වෙත පිවිසීම අත්‍යවශ්‍ය වන්නේ එමගින් ලෝකය තුළ සීඝ්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයන්ට සමීප වෙමින් පුරවැසියන්ට ප්‍රතිලාභ හිමිකර ගැනීමට ඉඩ සැලසෙන හෙයිනි.

Vision 2025 රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමේ හැකියාව රඳා පවතිනුයේ ආර්ථික ප්‍රතිසංස්කරණ මත බව ලෝක බැංකු විශ්වාශයයි. ඒ අනුව ආර්ථිකයේ තරගකාරීත්වය වර්ධනය සහ අපනයන පදනම් කරගත් ආර්ථික ක්‍රමෝපායයන් කරා ගමන් කිරීම වැදගත් වන බවත් ප්‍රතිසංස්කරණ නිසා බලපෑමට ලක්වන පුරවැසියන් ආරක්ෂා කොට ආර්ථික අවස්ථා උත්පාදනය කර දීම රජයේ වගකීමක් වනු ඇති බවත් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වන අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මෙහිදි සදහන් කරයි.

ව්‍යාපාර සඳහා ස්ථාවර පරිසරයක් පවත්වා ගැනීම, ජාත්‍යන්තර වෙළඳකටයුතුවලට ඇති අපහසුතා ඉවත් කිරීම හා රාජ්‍ය මූල්‍ය තවදුරටත් ස්ථාවර කිරීම අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ අතර ප්‍රධාන තැනක් ගනියි. තවද රාජ්‍ය ණය කළමණාකරණය දියුණු කිරීමට පියවර ගැනීම, සම්පූර්ණ රාජ්‍ය මූල්‍ය කළමණාකරණ නීති පද්ධතියක් පිළියෙල කිරීම සහ ජාතික විගණන පනත සම්මත කර ගැනීම ද ඉදිරි කාලයේ සිදුවිය යුතු මූලික ප්‍රතිසංස්කරණ වනු ඇත.

මුදිත ගමගේ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.