සෙම් රෝග වැඩිවෙන්න පරිසරයත් බලපානවා | සිළුමිණ

සෙම් රෝග වැඩිවෙන්න පරිසරයත් බලපානවා

 සෙම්ප්‍රතිශ්‍යාව,කැස්ස, ඇදුම, සහ පීනස වැනි සෙම් රෝග වයස් භේදයකින් තොරව වැළදෙන රෝග ලෙස හැඳින්වීමට පුළුවන. වර්තමානයේදී මිනිසුන් බොහෝ දෙනෙකුට සෙම් රෝගයක් වැළදුණු අවස්ථාවක දී සිදු කළ යුතු ප්‍රතිකර්ම පිළිබඳව නිසි අවබෝධයක් නොමැත.එම නිසා පවතින සෙම් රෝගය දරුණු තත්ත්වයකට පත් වීමට පුළුවන.පෙනහළු තුළ සෙම හිර වීමෙන් ඇතිවන සංකූලතා නියුමෝනියාව වැනි තත්වයන්ට හේතුවිය හැකියි. කුඩා කාලයේ දී ඇති වු සෙම් රෝගයකට ඒ කාලයේ දීම නිසි ප්‍රතිකර්ම සිදු කිරීම වඩාත් සුදුසු වේ. සෙම් රෝග යනුවෙන් හදුන්වන්නේ ෙමානවාද? සෙම් රෝගවල ලක්ෂණ මොනවා ද? සෙම් රෝග සඳහා ඖධෂ භාවිතා කිරීමේදි සැළකිලිමත් විය යුතු කරුණු කාරණා මොනවා ද? යනාදී කරුණු කිහිපයක් පිළිබඳව කායික රෝග විශේෂඥ වෛද්‍ය,කොළඔ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය අදහස් දැක්වුයේ මෙසේ .ය.

වෛද්‍යතුමියනි, සෙම් රෝග යනුවෙන් හදුන්වන්නේ මොනවාද? පහදන්න

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සෙම් රෝග වශයෙන් රෝග කිහිපයක් ම හැඳින්වීමට පුළුවන.බොහෝ සෙම් රෝග ඇති වන්නේ වෛරස් හෝ බැක්ටීරියා මඟින් ශරීරයේ ස්වසන පද්ධතිය ආසාදනයට ලක් වීම මඟිනි. ඉතා බහුල වශයෙන් සෙම් රෝග ඇති වන්නේ ඉන්ෆුවන්සා නමැති වෛරසය නිසා ස්වසන පද්ධතිය ආසාදනයට ලක් වීමේනි.

මීට අමතරව Haemophilus Influenza සහ pheumococcus නමැති බැක්ටීරියාවන් මඟින් ස්වසන පද්ධතිය ආසාදනය වීමෙන් විශේෂයෙන් නිවුමෝනියාව ඇති වේ.

වෛරස් සහ බැක්ටීරියා හේතුවෙන් ස්වසන හෝ පද්ධතිය ආසාදනය වීමෙන් ඇතිවන සෙම් රෝග වෙන වෙන ම පැහැදිලි කරන්න

සෙම්ප්‍රතිශ්‍යාව ඇති වන්නේ ඉන්ෆුවන්සා නමැති වෛරසය ස්වසන පද්ධතියේ ආසාදනයට ලක් වීමේනි. නිවුමෝනියාව සහ මුහුණේ අස්ථි කුහරවල සෙම හිර විම (Sinusitis) යන සෙම් රෝග ඇති වන්නේ Haemophilus Influenza සහ pheumococcus වැනි බැක්ටීරියාවන් මඟින් ස්වසන පද්ධතිය ආසාදනය වීමේනි.

සෙම්ප්‍රතිශ්‍යාව ඇති වන්නේ කෙසේ ද?

Influenza වෛරසය ආසාදනය වීම හේතුවෙන් සෙම්ප්‍රතිශ්‍යාව (Common Cold) ඇති වේ. මෙය තවත් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවීමට පුළුවන.දිගු කාලීනව පවතින රෝගයක් ද නොවේ. සෙම්ප්‍රතිශ්‍යා රෝගයේ ලක්ෂණ වශයෙන් නාසයෙන් සොටු දියර ගැලීම, කිඹුහුන් යාම, උණ, කැස්ස යනාදිය පෙන්වා දීමට පුළුවන.බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා නොදේ.

සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් ඇතිවන අහසුතාවන් අවම කර ගැනීමට භාවිතා කරන ඖෂධ මොනවා ද?

දවස් කිහිපයකින් ශරීරයේ ප්‍රතිෂක්තීකරණ පද්ධතිය මඟින් වෛරසය ඉවත් කරන නිසා මේ සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට අවශ්‍ය නැත. නමුත් කිඹුහුන් යාම,සොටු දියර ගැලීම නිසා දැඩි අපහසුතාවයට පත් වන්නේ නම් Antihistamine කාණ්ඩයේ ඖෂධ වන Loratidine ඖෂධය Cetirizine ඖෂධය වැනි ඖෂධ වර්ග භාවිතා කිරීමට පුළුවන. උණ තිබේ නම් පැරසිටමෝල් භාවිතා කිරීමට පුළුවන. එමෙන් ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව කොත්තමල්ලි, පස්පංගුව පානය කිරීමට ද පුළුවන.

නිව්මෝනියාව ඇතිවන ආකාරය සහ ඒ සඳහා ලබා දෙන ඖෂධ මොනවා ද?

නිව්මෝනියාව ඇති වන්නේ Haemophilus Influenza සහ pheumococcus නමැති බැක්ටීරියාවන් මඟින් ස්වසන පද්ධතිය ආසාදනය වීමෙනි.කැස්ස,අධික උණ,කැස්සත් සමග සෙම පිටවීම,හුස්ම ගැනීමේ අපහසුතාව,හුස්ම ගැනීමේදී කැක්කුම ඇති වීම නිව්මෝනියා රෝගයේ ලක්ෂණ වේ. නිව්මෝනියාව පාලනය කිරීම සදහා ඊට සුදුසු ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනු ලබයි.ඊට අමතරව පැරසිටමෝල් සහ Antihistamine කාණ්ඩයේ ඖෂධ වන Loratidine ඖෂධය Cetirizine ඖෂධය වැනි ඖෂධ වර්ග භාවිතා කිරීමට පුළුවන.

පීනසය(allergic rhinitis) ඇතිවන ආකාරය සහ ඒ සඳහා ලබා දෙන ඖෂධ මොනවා ද?

ස්වසන පද්ධතියේ ඉහළ කොටසේ ඇතිවන ආසාත්මිකතාවක් හේතුවෙන් පීනසය (allergic rhinitis) රෝගය ඇති වේ.හිසරදය,වැඩිවශයෙන් උදෑසන කාලයේ දී කිවිසුම් යාම,නාසයෙන් සොටු දියර ගැලීම පීනස රෝගයේ ලක්ෂණ වේ.එමෙන් ම මෙම රෝගයට හේතු වන්නේ සීතල කාලගුණය, දුවිල්ල, ආහාර නිසා ඇතිවන ආසාත්මිකතාවන් වේ.

මේ සදහා ද Antihistamine කාණ්ඩයේ ඖෂධ වර්ග ලබා දේ. එමෙන් ම නාසය තද වීම අඩුකරන්නට නාසයට බිංදු දැමීමට ලබා දේ. ඒ වාගේ ම නාසයේ බර ගතියට හා කිවිසුම් යාම සදහා Steroid කාණ්ඩයේ Betamethasone වැනි ඖෂධය නාසයට වීදීම සදහා (Nasal Spray )ලෙස භාවිතා කිරීමට උපදෙස් ලබා දේ.

දිගින් දිගටම නාසයේ තද ගතිය තිබේ නම් නාසයට දුම් ඇල්ලී (Steam Inhalation) සිදු කළ යුතු ය.උතුරන ජලයට මෙන්්තෝල් බිංදුවක් හෝ උතුරන ජලයට දෙහි කොළ කිහිපයක් දමා දවසට වරක් හෝ දෙවරක් නාසයට දුම් ඇල්ලීම සිදු කළ හැකි ය.

ඇදුම (asthma) රෝගය සදහා ලබා දෙන ඉන්හේලර් වර්ග මොනවා ද?

ඇදුම රෝගය ඇති වන්නේ ස්වසන පද්ධතියේ ස්වාසනාල හීනි වීමෙනි.එම නිසා ස්වාස නාල විස්තාරණය වීම සදහා ඉන්හේලර් භාවිතා කිරීමට ලබා දේ.Salbutamol ඖෂධය අඩංගු ඉන්හේලරය දවසට 3-4 භාවිතා කිරීමට උපදෙස් දේ.දිගින් දිගටම ඇදුම තිබේ නම්

Steroid කාණ්ඩයේ ඉන්හේලර් වන Betamethasone ඖෂධය, Budesonide ඖෂධය , සහ Fluticatzon ඖෂධය අඩංගු ඉන්හේලර් භාවිතා කළ හැක.මේ මගින් ශ්වසන පද්ධතියේ ඇතිවන ප්‍රදාහය අඩුකර ඇදුම රෝගය පාලනය කර ගැනීමට උපකාරී වේ. වෛද්‍ය වරයකුගේ උපදෙස් අනුව නිසිලෙස මෙම ඉන්හේලර් භාවිතා කළ යුතු ය. වර්තමානයේ දී Salmeterol ඖෂධය සහ Fluticatzon ඖධෂ දෙකම අඩංගු කර ඇති ඉන්හේලරයක් දවසට වරක් හෝ දෙවරක් භාවිතා කිරීමට උපදෙස් දෙනු ලබයි.ඉන්හේලර් ඇතුළත තිබෙන ඖෂධ කුඩක් වශයෙන් හෝ දුමක් වශයෙන් තිබේ.රෝගියා අනුව දිය යුතු ඉන්හේලර් වර්ගය කුමක් ද යැයි වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබයි.

ඉන්හේලර් භාවිතා කරන වැඩිහිටියන් සහ දරුවන් පිළිපැදිය යුතු කරුණු කවරේ ද?

කුඩා දරුවන්ට ඉන්හේලර් භාවිතය අපහසු නිසා ඒ සඳහා විශේෂිත වූ ස්පෙසේර් (Spacer) උපකරණයක් මගින් ඉන්හේලර් භාවිතයට උපදෙස් ලබා දේ. Spacer යනු බෝතලයක් වැනි උපකරණයකි. විශේෂයෙන් කුඩා දරුවන්ට මෙම බෝතලය ඇතුළට දුම යවා,එම බෝතලයේ එක් පැත්තකට කට තබා දරුවාට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට ලබා දේ. මෙය හදුන්වන්නේ ( Spacer) යනුවෙනි.විවිධ ඉන්හේලර් වර්ග තිබෙන හෙයින් එක් එක් ඉන්හේලර් වර්ගය භාවිතා කරන ආකාරය මැනවින් දැන ගත යුතු ය.

වෛද්‍යවරයෙකු විසින් නියම කරන ලද ඉන්හේලරය එම වෛද්‍යවරයාගෙන් , හෝ ඖෂධ වේදියෙකුගෙන් එය භාවිතා කළ යුතු ආකාරය ප්‍රායෝගිකව දැන ගෙන භාවිතයට ගැනීම අනිවාර්යයෙන් ම කළ යුතු ය.එසේ නොකර ඉන්හේලරය නිසියාකාරව භාවිතා නොකිරීමෙන් ඖෂධ පෙනහළු තුළට නොයන්නේ ය. එම නිසා ඇදුම රෝගය අඩු කර ගැනීමට ද නොහැකි වේ.

මුහුණේ අස්ථි කුහරවල සෙම හිර විම (Sinusitis) තත්ත්වය ඇති වන්නේ කෙසේ ද? ඒ සඳහා කළ යුතු ප්‍රතිකර්ම මොනවා ද?

මෙහිදී සිදු වන්නේ මුහුණේ නළල ආශ්‍රිතව පවතින අස්ථි කුහරවලට විෂබීජයක් ඇතුළුවීම නිසා එම කුහරවල සෙම රැදී පැවතීමයි. මෙසේ සෙම රැඳී පැවතීම නිසා ඔළුවේ කැක්කුම, මුහුණේ කැක්කුම.නාසයේ බර ගතිය,ඔලුව බර වීම, නාසයෙන් තද කහ පැහැතියෙන් සෙම පිටවීම,මෙන් ම උණ ද ඇති වේ.මේ සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා දීම මගින් රෝගී තත්ත්වය සුව කර ගැනීමට පුළුවන.එමෙන් ම අස්ථි කුහරවල තිබෙන සෙම තත්ත්වය උතුරන ජලයට මෙන්තෝල් බිංදුවක් හෝ දෙහි කොළ කිහිපයක් දමා දුම් ඇල්ලීමෙන් ද අඩු කර ගත හැකි ය.

සෙම් රෝග ඇති වීමට බලපාන හේතු කවරේ ද?

සෙම්ප්‍රතිශ්‍යාව ඇති වන්නේ ඉන්ෆුවන්සා වෛරසය මඟින් ස්වසන පද්ධතිය ආසාදනය වීමෙනි. නිව්මෝනියාව ඇති වන්නේ Haemophilus Influenza සහ pheumococcus වැනි බැක්ටීරියාවන් මඟින් ස්වසන පද්ධතිය ආසාදනය වීමෙනි. පීනසය(allergic rhinitis) ඇති වන්නේ ස්වසන පද්ධතියේ ඉහළ කොටසේ ඇතිවන ආසාත්මිකතාවන් හේතුවෙනි. ඇදුම ඇතිවන්නේ ස්වසන පද්ධතියේ යට කොටසේ ස්වසන නාළිකා ආසාදනය වීමෙනි. මුහු‍ණේ කුහර තුළ සෙම හිර වීම ( Sinusitis) සිදු වන්නේ මුහුණ ආශ්‍රීතව පවතින අස්ථි කුහරවල විෂබීජ ආසාදන රැඳී තිබීමෙනි. මෙමගින් සෙම පිටවන කුහර වැසී යයි.

සෙම් රෝගවලට ඖෂධ ගැනීමෙන් පසුව ද සෙම් රෝග වැළදෙන අවස්ථා බහුලව පවතී. එසේ සිදු වන්නේ ඇයි?

සෙම ඇති වී තිබෙන්නේ පීනස , ඇදුම රෝග හේතුවෙන් නම් නිසි දිගු කාලයක් ඒ සඳහා ඖෂධ ලබා ගැනීමට බොහෝ විට සිදුවේ. දුවිලිවලින් ආරක්ෂා නොවී ඖෂධ නිසි පිරිදි පාවිච්චි නොකළහොත් සෙම රෝගය නැවත උත්සන්න වීමට පුළුවන.

සෙම් රෝගියෙකුට කැස්ස තත්ත්වය ඇති වන්නේ කෙසේ ද?

නාසයෙන් සෙම , බිංදු වශයෙන් උගුරට පැමිණීම නිසා උගුර කැසීමේ තත්ත්වය (Irritation) වී ඉන් අනතුරුව කැස්ස ඇති වේ.ඇදුම තිබෙන විට ස්වාසනාල හීනි වීම නිසා කැස්ස ඇති විය හැකි ය. ඒ වාගේ ම නිව්මෝනියාව තත්ත්වයේ දී පෙනහළුවල ආසාදනය වීම නිසා කැස්ස ඇති විය හැකි ය.

දීර්ඝ කාලයක් පවතින කැස්ස ශරීර සෞඛයට අහිතකර ලෙස බලපාන්නේ කොසේ ද?

යම් පුද්ගලයෙකුට දීර්ඝ කාලයක් කැස්ස පවතින්නේ නම් ඒ සඳහා හේතු කිහිපයක් බලපානු ලබයි. එලෙස දීර්ඝ තාලයක් කැස්ස ඇති වීම සඳහා ක්ෂය රෝගය,ගැස්ට්‍රයිටිස්,සහ ඇඳුම යනා දී රෝග රෝගී තත්ත්වයන් බලපායි. එම නිසා ප්‍රථමයෙන්ම කැස්ස ඇති වීමට බලපෑ ඇති රෝගී තත්ත්වය හඳුනා ගෙන ඉන්පසුව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගත යුතු ය. පුද්ගලයාට කැස්ස ඇති වීම සඳහා බලපා ඇත්තේ ක්ෂය රෝගය නම් නිසි පරිදි හඳුනා නොගෙන සිටීමෙන් රෝගය දරුණු වේ.

සෙම් රෝග සඳහා දෙනු ලබන ඖෂධ හේතුවෙන් අධික නිදිමතක් ඇති වන්නේ ඇයි?

සෙම් රෝග සඳහා ලබා දෙන Antihistamine කාණ්ඩයේ ඖෂධ භාවිතයේ අතුරු ආබාධයක් වශයෙන් නිදි මත ඇති වේ.

පෙනහළු ආශ්‍රීතව පවතින සෙම තත්ත්වය වැඩි වී ඒ සෙම සමඟ රුධිරය මුඛයෙන් පිටවන්නේ කුමන හේතුවක් නිසා ද?

සෙමත් සමඟ රුධිරය පිටවනවා නම් එය ක්ෂය රෝග ලක්ෂණයක් විය හැක. සෙම අධික ලෙස පෙනහළුවල තිබීම නිසා ඇතිවන නිවුමෝනියා තත්ත්වය හේතුවෙන් ද සෙමත් සමඟ රුධිරය පිටවේ. එම නිසා සෙමත් සමඟ රුධිරය පිටවනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය.

සෙම් රෝගයේ අවසාන ප්‍රතිඑලය වශයෙන් නිව්මෝනියා තත්ත්වය ඇති වනවා. ඒ තත්ත්වයෙන් මිදීමට කළ යුත්තේ මොනවා ද?

සෙම් රෝගය ඇති වීමට බලපාන එක් හේතුවක් ලෙස නිව්මෝනියාව හැඳින්විය හැකි ය. නිව්මෝනියව කලින් දැන හඳුනා ගෙන වෛද්‍ය උපදෙස් මඟින් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම මඟින් නිව්මෝනියාව නිට්ටාවටම සුවකිරීමට කිරීමට පුළුවන.

සමහර පුද්ගලයින්ගේ සෙම් රෝග තත්ත්වය නිට්ටාවටම සුව කළ නොහැකි වන්නේ ඇයි?

සමහර පුද්ගලයින්ගේ පීනස සහ ඇඳුම තත්ත්වයන් නිට්ටාවටම සුව කිරීම අපහසු විය හැකිය. එහි දී සිදු කළ හැක්කේ රෝග පාලනය කිරීමක් පමණි. එම නිසා එවැනි පුද්ගලයින් නිරතුරුවම වෛද්‍ය උපදෙස් ලබා ගෙන රෝගය පාලනය කිරීම සඳහා උත්සාහ ගත යුතු ය.

සෙම් රෝගයට බටහිර ඖෂධ භාවිතා කරන රෝගියෙකු ඒත් සමඟම ආයුර්වේද ඖෂධ භාවිතා කිරීම සුදුසු ද?

ඒ පිළිබඳව බටහිර වෛද්‍යවරයෙකුට මෙන් ම ආයුර්වේද වෛද්‍යවරයෙකුට ද ප්‍රකාශ කර ඉන් අනතුරුව සෙම් රෝගය සඳහා පාවිච්චි කරන ඖෂධ සමඟ පාවිච්චි කළ යුතු අනෙක් ඖෂධ වර්ග මොනවා ද, යන්න පිළිබඳව දැන ගෙන බටහිර සහ ආයුර්වේද ඖෂධ එකට භාවිතා කල යුතුය.

සෙම රෝගයෙන් පීඩා විඳින ‍බොහෝ දෙනෙකුට කනෙහි කැක්කුම ඇති වනවා. එසේ සිදු වන්නේ ඇයි?

නාස් කුහරයත් මැද කනත් සම්බන්ධ වන නාළයක් පවතී. සෙම්ප්‍රතිශ්‍යාව, පීනස වැනි රෝග වැළදී සෙම ඇති වීම නිසා එම නාළය අවහිර වේ. තව ද එම නිසා මැද කනෙහි පීඩනය වැඩි වේ. ඒ හේතුවෙන් කනේ කැකුම ඇති වේ.

සමහර පුද්ගලයින් සෙම හිර වීමෙන් මරණයට පත් වනවා. එලෙස පුද්ගලයෙකු මරණයට පත් වන්නේ කොසේ ද?

ඇඳුම රෝගය ඇති වී සෙම හිර වී මරණයට පත් වේ. එම නිසා ඇඳුම රෝගය වැඩි වනවා නම් ඉතා ඉක්මනින් ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුණහොත් පෙනහළුවලට වාතය ගෙනයන ස්වාස නාල සම්පුර්ණයෙන් ම අවහිර වීම නිසා හුස්ම ගැනීමට අපහසු වී මරණයට පත් වීමට පුළුවන.

ඒ වගේම නියුමෝනියා රෝගී තත්වයට ඉක්මනින් ප්‍රතිකාර ලබා නොදුන්නොත් විශේෂයෙන් වයසක රෝගීන් මේ මගින් මරණයට පත් විය හැකියි.

නිරතුරුවම සෙම් රෝග වැළදෙන පුද්ගලයින් පිළිපැදිය යුතු කරුණු කාරණා තිබේ ද?

සෙම්ප්‍රතිශ්‍යාවෙන් මිදීමට නම් සෙම්ප්‍රතිශ්‍යාව වැළදී ඇති පුද්ගලයින් අසළ නොසිටීමට වග බලා ගත යුතු ය. ඒ මන්ද යත් ඉන්ෆුවන්සා වෛරසය මගින් ඇති වන සෙම්ප්‍රතිශ්‍යාව තවත් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමට පුළුවන. නහයෙන් කිඹුහුන් යන්නේ නම් නාසය සහ මුඛය ලේන්සුවකින් වසා ගත යුතුය. ඉන් පසු අත් සබන් හෝ විෂබීජ නාශයක් යොදා පිරිසිදු කර ගත යුතුය. නැතිනම් අන් අයට සෙම්ප්‍රතිශ්‍යාව පැතිරීමට හේතුවේ. පීනස , ඇදුම වැනි සෙම් රෝග අසාත්මිකතා හේතුවෙන් වැළදෙන නිසා ජීවත් වන පරිසරය තුළ හැකි තරම් දුහුවිල්ල පාලනය කළ යුතු ය. ඒ වාගේ ම නිවෙස්වල ඇද ඇතිරිලි, කොට්ට දිනපතා පිරිසිදුව තබා ගත යුතු ය. පීනස සහ ඇදුම වැඩි වන බවට හැඟෙන ආහාර වර්ග හා පාන වර්ග භාවිතා කිරීමෙන් වැළකිය යුතු ය.

මදාරා මුදලිගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.