ගුවනේ විස්කම් මවන දෑත් අහිමි නියමුවරිය | සිළුමිණ

ගුවනේ විස්කම් මවන දෑත් අහිමි නියමුවරිය

මනුෂ්‍ය ආත්මයක් ලැබුව ද සමාජය ඉදිරියෙහි අනේකවිධ අප්‍රසාදයන්ට බඳුන් වන පුද්ගලයින් සුලභව දක්නට ලැබේ. ඒ අතුරින් කායික අඩුපාඩුකම් සහිතව ලැබු මනුෂ්‍යත්වයෙන් මුළු ලොවක් ඉදිරියෙහි ප්‍රසංශාවට ලක් වන පුද්ගලයින් ද සිටී. එවැනි පුද්ගලයින්ගේ ජීවිත කතා තුළින් අපට ඉගෙන ගත හැක්කේ මුළු ජීවිතයට ම වටිනා පාඩමකි. ඇමරිකාවේ ජීවත්වන තිස් හත් හැවිරිදි ජෙසිකා කොක්ස්ට උපතින් ම දෑත් අහිමි විය.කුඩා කාලයේ සිට ම ඇය තම එදිනෙදා වැඩ කටයුතු කිරීමට හුරු වුයේ පාදවල ඇඟිලිකරු ආධාර කර ගනිමිනි.අනෙකුත් පුද්ගලයින් තමන්ගේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරද්දී ඇය ආසාමාන්‍ය අයුරින් පාදවල ඇඟිලිකරු මඟින් වැඩ කටයුතු කිරීමට පෙළඹුණේ පුද්ගලයෙකුට කොපමණ කායික අඩුපාඩුකම් තිබුණ ද සිදු කළ නොහැකි දෙයක් නැත යන්න හඟවමිනි.

“බොහෝ දෙනා මාව දැක්කහම කියනවා ඔයාට ඔය තරම් වැඩ කරන්න පුළුවන් ද කියලා.ඔවුන් සෑම දෙනෙක් ම මාව දැකලා පුදුම වෙනවා. ඒ ගොල්ලෝ කියනවා ඒ ගොල්ලන්ටත් වඩා මම වැඩ කරනවා” යනුවෙන් ජෙසිකා ප්‍රකාශ ක‍ළේ සමාජය ඇයගේ ක්‍රියාවන් දෙස ලබා පුදුමයට පත් වන අන්දම ය. ශරීරයේ අවයව සියල්ලක් සර්ව සම්පුර්ණව හිමි වී තිබෙන බොහෝ දෙනෙකු අභිබවා යමින් ජෙසිකා කුඩා කාලයේ පටන් ම මහන්සි වී තමන් ඇලුම් කරන විෂය ක්‍ෂේත්‍රයන් අධ්‍යනය කිරීමට පෙළඹුන හ.කිසිදු ශාරීරික අඩුපාඩුකමක් නොමැති පුද්ගලයින් නිකරුණේ කාලය නාස්ති කරද්දී ජෙසිකා තමන්ට හිමි වී ඇති ශරීර අවයව මඟින් තමන්ට හැකි උපරිම කාර්යභාරයක් නොපිරිහෙළා ඉටු කළා ය.ඇගේ ප්‍රධානතම බලාපොරොත්තුව වුයේ ස්වකීය අනන්‍යතාවය මත සමාජයට වැඩදායී පුද්ගලයෙකු වීම ය.

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන ප්‍රකට කියමනක් තිබුණ ද ජෙසිකා ඊට ප්‍රතිවිරුද්ධ වෙමින් ක්ෂේත්‍ර ගණනාවකම දක්ෂතා පෙන්නුම් කළා ය. ඇය තමන් ඇලුම් කරන විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව ඉගෙන ගෙන එම විෂයන්ගේ දැනුම තව තවත් වර්ධනය කර ගැනීමට හුරු වුයේ සාමාන්‍ය තත්ත්වයේ සිටින මිනිසුන් අභිබවා යවමිනි. ඇය වයස අවුරුදු 03 වන විට දී ජිම්නාස්ටික් ක්‍රීඩාව ඉගෙන ගත්තා ය. අවුරුදු 06 පසුවෙද්දීම ඇය තමන්ට විශේෂ වු නර්තයක් පුරුදු වුවා ය. ඉන් අනතුරුව ඇය සර්ෆ් ක්‍රීඩාව සහ පිහිනිම ඉගෙන ගත්තා ය.ජෙසිකා කිසි විටක ඇගේ ආබාධිත තත්ත්වය පිළිබඳව කනගාටු වී මේ දෙය කළ නොහැකියි යන්න ප්‍රකාශ නොක‍ළේ සමාජයේ වෙසෙන අනෙකුත් පුද්ගලයින් ද පුදුමයට පත් කරමිනි.

2012 වර්ෂයේ දී ජෙසිකාහට තිස් දෙහැවිරිදි පැට්ට්‍රික් වැම්බලෑන් හමු විය.පාසැල් අධ්‍යාපන උපදේශකයෙකු වන පැට්‍රික් ජෙසිකාගේ අරුම පුදුම දක්ෂතා පිළිබඳව පැහැදුනේය. මේ ලෝකයේ සියලු දෑ සහිතව උපත ලද බොහෝ දෙනෙකුට සාපේක්ෂව දෑත් නොමැති ජෙසිකා ජීවිතය ගොඩනඟා ගන්නට වෙර දරන අන්දම පැට්‍රික් තමන්ගේ ජීවිතයට ලබා ගත් කදිම ආදර්ශයක් විය. ජෙසිකා 2008 වර්ෂයේ දී ලොව ප්‍රථම දෑත් නොමැති ගුවන් නියමුවරිය ලෙස ගුවන් බලපත්‍රය ලබා ගනිමින් ගිනස් පොතෙහි වාර්තාවක් ද පිහිටු විය.2005 වර්ෂයේ දී ඇය එක් පාදයකින් වයින් වීදුරුවක් රඳවා ගෙන සිටීමේ තරඟයකින් ශූරතාවය හිමි කර ගත්තා ය. 2011 වර්ෂයේ දී ජෙසිකා ගැඹුරු මුහුදේ කිමිදුම්කාරික් බවට පත් විය.තව ද ඇය American Tae Kwon Do Assocation හි කෑපී පෙනෙන දක්ෂතා දැක්වුයේ ක්‍රීඩා ජයග්‍රහණ ලබා ගැනීමට ශාරීර අවයවයන්හි අඩුපාඩුකම් තිබීම අභියෝගයක් නොකර ගනිමිනි.

“ජීවත් වෙනකොට සමාජයේ මිනිසුන් ඉදිරියෙහි යම් අවබෝධයක් ලබා ගෙන විමසිලිමත්ව ජීවත් වෙන්න මට කියා දුන්නේ ඇයයි. මම ටික කාලයක් ඇයව ආශ්‍රය කරන විට ඇය මගේ ජීවිතයට වටිනාකමක් ගෙනත් දීලා මාව හොඳින් අවබෝධ කර ගනී කියා හිතුවා.

ඊට පස්සේ තමයි මම ඇයව විවාහ කර ගන්නවා කියලා හිතුවේ. ඇය නිරතම ධනාත්මකව හිතලා වැඩ කරන කෙනෙක්. ඒ වාගේම ඇය හිතුවොත් ඒ දෙය කොහොම හරි කරනවා.කිසිම විටක ඇගේ ආබාධිත තත්ත්වය ඇගේ දියුණුවට බාධා වෙලා නෑ.” යනුවෙන් පැට්‍රික් ජෙසිකා පිළිබඳව සිතට දැනෙන දෑ ප්‍රකාශ කළේ තම භාර්යාව පිළිබඳව ගෞරවයෙන් යුක්තව ය.

රිය පැදවීම, පියානෝව ඇයට ආවේණික ක්‍රමයකට වාදනය කිරීම, සහ නිවසේ වැඩ කටයුතු තමන්ට හැකි ක්‍රමවේදයන්ට හසුරවා ගෙන ඇති ඇය මුළු මහත් සමාජයටම ආදර්ශයෙන් මඟ පෙන්වන්නියක වී අවසානය.තමන්ට හිමි වී තිබෙන මනුෂ්‍ය ආත්මයට නිග්‍රහ නොකරමින් ලද දෙයින් උපරිම තලයට පිවිසී සිටින ජෙසිකා කොක්ස් වර්තමානයේ සමාජයේ ජීවත්වන පුද්ගලයන්ට කියා දෙන්නේ “අඩුපාඩුකම් කොපමණ තිබුණ ද කළ නොහැකි දෙයක් නැත” යන්න ය.

අන්තර්ජාලය ඇසුරිණි

මදාරා මුදලිගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.