තල් රස බලන්න ආ අන්තිම ගමන | සිළුමිණ

තල් රස බලන්න ආ අන්තිම ගමන

* ගේ පිටිපස්සේ ලොකු භාජනයකට වතුර ‍පුරවාගෙන අපි ඇතා එනකම් බලා ඉන්නවා
* කවදාවත් කිසිම කෙනකුට විපතක් කර නෑ

සොබාදහමට සමිපව වන සතුන් ගෙවනා ජීවිතය කොතරම් සුන්දරද කියා දන්නේ ඔවුන් පිළිබඳ කැක්කුමක් ඇති හදවත් පමණි. නමුත් ඇතැම් පව්කාර මිනිසුන්ගේ නොමනා ක්‍රියා නිසා අද වන විට සිදුවෙමින් පවතින්නේ අහස පොළොව නුහුලන අපරාදයන්ය. මුදල් තණ්හාව නිසා ඇතැම් මිනිසුන් වන සතුන් විනාශ කරන්නේ නරුමයන් ලෙසිනි. මේ වෙනුවෙන් තවත් අටුවා ටීකා අවශ්‍ය නොවන්නේ ඉකුත් දිනයකදී මුළු රට පුරාම කඳුළක කැළලක් ඉතිරි කර මෙලොවින් සමුගත් මහා සද්දන්තයාගේ කතාව නිසාය. ගල් ගමුවේ දළ පුට්ටුවා ලෙසින් නම් ලබා සිටි මේ මහා දැවැන්ත හස්තිරාජයා පිළිබඳ පළමුවෙන්ම තොරතුරු අනාවර්ණය වුයේ 2011 වසරේදීය. ගල්ගමුව අවට ප්‍රදේශය පුරා සැරිසැරූ මේ හස්තියා ඒතාක් පටන් ගල්ගමුවට පමණක් නොව මුළු රටටම ආභරණයක් බඳුවිය. විශාල ශරීරයකට හිමිකම් කී මෙවන් දැවැන්තයකු ගම් සීමාවකට පැමිණෙද්දි මිනිසුන් නොසන්සුන්විම සාමාන්‍ය දෙයකි. එහෙත් මේ සද්දන්තයා ගැන දැනගත් දා පටන් ගම්මුන් මේ සතා පිළිගත්තේ තමන්ගේම කෙනකු ලෙසිනි. බොහෝ වන අලි දැක පණ බයෙන් දුව ගිය ගම්මු කාලයාගේ ඇවෑමෙන් මේ දැවැන්තයාට ආහාර දී රැක බලා ගැනීමට පවා පෙලඹුණහ. ගැමියකු වෙහෙස මහන්සියෙන් වගා කරගන්නා හේනකට පැමිණියද දළ පුට්ටුවා ඒ හේන පාගා විනාශ නොකරන්නේය. අයිනකට වී තමන්ට ඇවැසි තරමක් ගිලා දමා යන්නට යන්නේ වගා පාළු නොකරමිනි. මෙනිසාම ගම්මු දළ පුට්ටුවා සිය හේන් අසලට ආ විට රිසි සේ හැසිරිමට ඉඩ දි බලා සිටියහ. අනෙක් වන අලින්ට මෙන් අලි වෙඩි දමමින් කෑකෝ ගසමින් එළවා හැරිමට උත්සාහ නොකළහ.

මීට කලකට ඉහතදී වනය සිසාරා දැවැන්තයකුගේ පා සටහන් එකින් එක සලකුණු වී තිබෙද්දී ඒ කුමන හස්තියාගේද යන්න කාගේත් විමසීමට ලක්විය. ඒ වෙද්දී දළ පූට්ටූවා කිසිවෙකුත් හඳුනාගෙන සිටියේ නැත. මේ සද්දන්තයා සිය දින චරියාව කිසිවෙකුටත් කරදරයක් නොවී ගෙවා දමන්නට ඇත. නමුදු කිසිවෙකුත් නොසිතු මොහොතක දළ පුට්ටූවා පිළිබඳ කවුරු කවුරුත් කතා කරන්නට වූහ. ඒ සමඟම වන ජීවි නිලධාරිහුද සද්ධන්තයා පසු පස යන්නට වූහ. එයට හේතුව වූයේ මෙතරම් විශාල හස්තියකු ඒ වන විට ඔවුන් දැක නොතිබීමය. එතැන් පටන් ගල්ගමුවේ දළ පූට්ටූවාට මෙරට හස්ති පරපුරේ සුවිශේෂී ස්ථානයක් හිමි වූයේය.

ගල්ගමුවේ වෙල් දෙණි පුරා සැරිසැරූ හස්තිරාජයා කලා වැව ජාතික උද්‍යානයට පිටව යන්නේ සිය තේජස පතුරවමිනි. දුටුවන් ඇස පිනවන දළ යුගල ඇතාගේ ආභරණය විය. එය වඩාත් සුවිශේෂී වුයේ ඇතාගේ දළ යුගල එකිනෙක පූට්ටු වී පිහිටා තිබීමය. මෙනිසා රට පුරාම සද්දන්තයා ප්‍රසිද්ධියට පත් වුයේ ගල්ගමූවේ දළ පූට්ටූවා යන ආදරණිය නාමයෙනි. දුටුවන්ට සොඳුරු දසුනක් වූ දළ පූට්ටූවාගේ එකම අඩුව වූයේ ඌගේ දකුණු ඇසේ පෙනීම දුර්වල වීමය. කලාවැව රක්ෂිතයේ දිවි ගෙවු හස්තියාට ඒ වන විටත් කිසිවෙකුගෙන් ආපදාවක් නොවූයේය. එනමුදු වනජීවි නිලධාරීහු හස්තියා ගැන ඇස ගසා සිටින්නට වූහ. පෙනෙන වම් ඇසින් මඟ හසර හොයා ගනිමින් ඌ උගේ පාඩුවේ දවස ගෙවා දැමුවේය. කැලේ ගසකට හෝ මේ ඇතාගෙන් කිසිදු විටෙක හානියක් වූ බවට තොරතුක් නැත. කෙසේ හෝ කලාවැවට පැමිණිමෙන් පසු තම වර්ගයාගෙන් ඈත් වූ දළ පූට්ටුවා වන ජීවි නිලධාරීන් විසින් රක්ෂිත ප්‍රදේශයකට හස්තියා කැටුව යනු ලබන්නේය. ඒ ගල්කිරීයාගම, කෝන්පොළයාගම , කටුකැලියාව හරහා වැටුණු වන රොද අතරිනි. රක්ෂිතය මැද අලුත් පරිසරයක තනි වූ සද්දන්තයා ඊට පසු දින මතු වුයේ මඩාටුගම ගම්මානය මැද්දෙනි. විශාල සද්දන්තයෙක් ගමට කඩ වැදීමත් සමඟ කලබල වූ ගම්මුන් හිස් ලූ ලූ අත දිව ගියේ සිදු වන්නේ කුමක්දැයි සිතා ගන්නට බැරිවය.

මිනිසුන්ගේ කලබැගෑනියෙන් කලබලයට පත්වූයේ මේ තේජවන්තයා නොවේ. ඌ සිය ගමන් ඉරියව්වෙන්ම තවත් ඉදිරියට ඇදුණේ නිහඬවමය. එතැනින් දළ පුට්ටුවා පැමි‍ණියේ දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයටය. ඇතැම් විටක මේ සද්දන්තයා සිදු වුයේ කුමක්දැයි සිතාගත නොහැකිවම ඒ ප්‍රධාන මාර්ගයේම ගමන් කරන්නට ඇත. සංවේදීම සිදුවීම සිදු වුයේ ඉන් පසුය. ඒ අන් කිසිවක් නොව මාර්ගයේ ගමන් ගන්නා වාහනවල ගැටෙන මේ හස්තියා තුවාල වී රුධිරය වෑහෙන්නට වීමය. වේදනාව දරා ගනිමින්. වන රොදක් අයිනෙහි නතර වු හස්තියා සොයා වනජිවි නිලධාරිහු ද පැමිණියහ. ඒ වෙද්දි මාර්ගයේ ගමන් ගත් වාහන 49 ක ගැටී සිටි ඇතාට වෙදකම් කිරිමට පශු වෛද්‍ය නිලධාරිහු බොහෝ දෙනෙක් පැමිණියහ. එතැන් පටන් මාස එක හමාරක පමණ කාලය පුරාම ඇතාට වෛද්‍ය ප්‍රතිකාර සිදු කළේ කලාවැව ජාතික උද්‍යානයේ තුරු ගොමු සෙවණේ සිසිලස මැදය. ක්‍රමයෙන් සුව වු ඇතාට යළිත් අවශ්‍යව තිබුණේ සිය නිජබිම වු ගල්ගමුවේ වනාත්තරයට එන්නටය. නමුත් පෙරමෙන් ශක්තියක් ඒ මහා ශරීරයේ තිබුණේ නැත. ඉන්පසු සිදු වුයේ තවත් සංවේදී සිදුවීමකි. ආගන්තුක හස්තියාට උදව් කරන්නට පැමිණියේ කැලාවැව ජාතික උද්‍යානයේම වෙනත් අලි කණ්ඩායමකි. ඒ කණ්ඩායමේ අලි ඇත්තු තිහකට ආසන්න ප්‍රමාණයක් වුහ. දළ පුට්ටුවාට අවශ්‍ය ආරක්ෂාව නොඅඩුව ඒ කණ්ඩායමෙන් ලැබිණි. ඇතැම් අවස්ථාවලදී හොඬවැල ඔසවා අතු රිකිලි කඩා ගන්නට නොහැකි තැනදී අලි මිතුරෝ මෙම හස්තියාට ආහාර සපයා දුන්නහ. ආදරයෙන් රැකබලා ගත්තා හැරෙන්නට කිසිවෙක්වත් සණ්ඩු සරුවල් කරන්නට නොගියහ. සියල්ල ඒ ආකාරයෙන්ම සිදු වෙද්දී කණ්ඩායමේ නයිකාව වු 'හක්කී' ඒ සියල්ල නිරික්ෂණය කළාය. අවසානයේ තම නිජබිම වෙත ගල්ග‍මුවේ දළ පුට්ටුවා පැමිණෙන්නේ හක්කී ගේ මඟ පෙන්වීම යටතේය. තම හිතවතා ගල්ගමුවට ඇරලවා හක්කී ඇතුළු අලි රැළ ආපසු තම කැලෑවට ගියහ.

ගල්ගමුවේ බොහෝ ප්‍රදේශ මෙම ඇතාගේ වාස භූමි වී තිබුණේය. මේ අහිංසක දැවැන්තයා ගල්ගමුවේ වෙල් ඉපනැලි, වන රොදවල ගුණ සුවඳ හොඳින් හඳුනන්නේය. බොහෝ අවස්ථාවලදී ආහාර සොයා ඇවිද යද්දී සිය ඉවට හසුව පා තැබු හේන් යායවල් පවා මේ දැවැන්තයා සිය පා පහරින් විනාශ නොකිරීමට වගබලා ගත්තේය.

කුස ගින්නක් ඇත්නම් පමණක් රට කජූ ගහක් දෙකක්, පැණි කොමඩු ගෙඩි දෙක තුනක් කෑවා හැරෙන්නට හේන් පිටින් පාළු කරන්නට තරම් දළ පූට්ටුවා සාහසික වුයේ නැත. හදිසියෙන් හෝ නිවෙසකට පැමිණිය ද බොන්නට වතුර පුරවා තබන්නට ගැමියෝ කාරුණික වුයේ සද්දන්තයා ගුණ යහපත් යැයි ගැමියා තුළ මතයක් ගොඩනැගි තිබුණු බැවිනි. ප්‍රදේශවාසීන්ගේ ආදරය දිනා ගනිමින් ගල්ගමුව අවට කැලෑ රොදවල ඇවිදිමින් දවස ගෙවූ දළ පූට්ටූවාට ඒ වන විටත් ජීවිත අවදානමක් තිබූ බවට සැකයක්වත් නොතිබිණි. රැස්වෙහෙර, පාලුකඩවල,උස්ගල, සියඹලන්ගමුව, මීගලෑව ප්‍රදේශවල නිතර නිතර සැරි සැරූ දළ පුට්ටූවා ගැමියන්ට ප්‍රිය දසුනක් වූයේය.

පෙනීමේ දුර්වලතාව නොවන්නට වෙනත් ආබාධයක් නොතිබුණද සද්දන්තයාගේ පාදය ආබාධයකට ලක්වන්නේ කවුරුන් හෝ විසින් අටවන ලද බදින තුවක්කුවක් පෑගීමෙනි. ඒ දෙදහස් දාසය වසරේදීය. තුවක්කුවට බිලි වීමෙන් පසුපස වම් පාදය ආබාධයට ලක්වන අතර වේදනාව ඉවසා ගනිමින් පාදය කුණු වි සැරව ගලමින් වනයේ සැරි සෑරු සද්දන්තයා වනජීවි නිලධාරීන්ට හසු වන්නේ ඌගේම වාසනාවකටය. වනජීවි නිලධාරීන් බොහෝ පරිශ්‍රමයක් දරා සද්දන්තයාගේ පාදයට ප්‍රතිකාර කිරීමට පටන් ගත්හ. දිගින් දිගටම සද්දන්තයාගේ කකුලට ප්‍රතිකාර කළ ද ඌ මිය යන මෙහොත දක්වාම තුවාලය සුව වී නොතිබිණි.

හස්ති කුලයට සාඩම්බර බවක් ගෙනා දළ පූට්ටූවා ජීවත්ව සිටි කාලයේ බොහෝ දුක් පීඩා වින්දේය. ධන තණ්හාවෙන් වියරූ මිනිසුන්ගේ වෙඩි පහරවලට ලක් වූ අවස්ථා එමටය. ඒ වෙඩි පහරවලින් තුවාල වූ සද්දන්තයා කොතෙක් නම් වේදනා විඳින්න‍ට ඇත්ද?. වේදනා විදිමින් සිටි දළ පූට්ටූවා ගැන දුක්බරම පුවත අසන්නට ලැබෙන්නේ පසුගිය වසරේ මුල් මාස කිහිපයේදීය. යම් පිරිසක් විසින් සියඹලන්ගමුව ප්‍රදේශයේදී සද්දන්තයාට වෙඩි තැබූ පුවතයි. මහත් ආදරයකින් සතා රැක බලා ගත් ගම්මු ඉන් කම්පාවට පත් වූහ. කැලෑ රොදක වැටි සිටි සද්දන්තයා දෙස බලමින් ගම්මු අපරාදය කළවුන්ට සාප කරමින් සුසුම් හෙළන්නට වූහ. නමුදු උත්සාහය අත් නොහරිමින් වයඹ වනජීවි කලාපය බාර පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සද්දන්තයාගේ දිවි රා ගැනීමට උත්සුක වුහ.

සුවපත් වූ ඇතා යළි වන‍යේ කැලෑ රොදවල සැරි සරන්නට වුයේය. ගල්ගමුව ප්‍රදේශයේ සිට සියඹලන්ගමුව හරහා කහගල්ල පලල් කැලේ රක්ෂිතයට වෙනදා මෙන්ම දළ පූට්ටූවා තම වර්ගයා දැකීමට මිතුරන් ඇසුරු කරන්නට පැමිණෙන්නට වුයේය. මේ එන අතර මඟදී සුපුරුදු ලෙස විඩාව බඩගින්න නිවා ගැනීමට හේන්වල ඇවිදිමින් රට කජු හා බඩඉරිඟු ගහක් දෙකක් ගලවමින් කන්නට වූයේ හේන් බිමට වත් නොදැනෙන අයුරිනි. මේ අයුරින් දිවි ගෙවූ සද්දන්තයා ඉකුත් ඔක්තෝබරයේ දාසය වැනිදා මොරගොල්ලාගම, හේරත්ගම වැව ඉස්මත්තේ වු කැලෑ රොදේ දින කිහිපයක් විඩාව නිවා ගනිමින් ඔබමොබ සැරිසරන්නට වුයේය. නමුදු එතැනින් පසුව කිසිවෙකුට සද්දන්තයා දැක ගන්නට ලැබුණේ නැත. ගැමියෝ යළිත් විමසිලිමත් වන්නට වූහ. එකත් එකටම ඌ කොහෝ හෝ කැලෑ රොදක ඇතැයි ඔවූහු සිතුහ.

ගෙවුණ ජූලි මාසයේදී ගල්ගමුව ගොජරාගම වෙල් යායේ සද්දන්තයා සැරි සැරුවේ තල් ගෙඩිවල සුවඳ දැනීමෙනි. සද්දන්තයා ඉඳුණු තල් රස බැලීමට සුවීශේෂි කැමැත්තක් දැක් වූයේය. තම සඟයන් දෙදෙනෙකු ද සමඟ වෙල් යායට පැමිණෙන සද්දන්තයා අඳුර වැටෙන තුරුම එහි සැරි සරන්නේය. මෙය ගැමියන්ට සොඳුරු දසුනක වුයේය. ඒ සොඳරු දසුන නැවත යළිත් කිසිවෙකුට දැකීම නොහැකිය.

“ඇතා මේ පැත්තේ ආවා ගියාට කවදාවත් මනුස්සයකුට හිරිහැර කෙරුවා කියලා අපි නම් අහලා නැහැ. හේනකට ආවත් ගහක් දෙකක් කාලා යනවා මිස වගාවට කවදාවත් හානි කරන්නේ නැහැ. අපි ඉන්න වෙලාවට හේනට ආවොත් අපි අහනවා කොහේද මේ එන්නේ කියලා. ඒ වෙලාවට අපි දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා හිමීට හැරිලා ආපහු යන්න යනවා. පුදුම ලස්සන හැඩරුවක් මේ ඇතාට තිබුණේ. සද්දන්තයෙක් වුණාට අංහිසක හැසිරීමක් තිබුණු සතාට තමයි මේ අපරාදය කළේ. මේක මහ පවක් දෙවියනේ. ” කම්පාව පත්වූ ගල්ගමුවේ ගැමියකු පවසන්නේ එසේය.

ඇතැම් ගැමියෝ සද්දන්තයාට ගරු කළහ.

“ බොහෝ වෙලාවට රෑට ගෙවල් තියෙන පැතිවලට එනවා. ඇස් පේන්නේ නැති නිසා ඉව අල්ලගෙන තමයි හැම තැනම ගියේ. අපි ගේ පිටිපස්සේ භාජනවලට වතුර පුරවලා තියෙනවා ඌට බොන්න. ඉඳලා හිටලා ටිකක් සැර වෙනවා. ඒත් කාටවත් අනතුරක් නැහැ. කලබලයක් කරන්නෙත් නැහැ. උසට මහතට හිටපු නිසා ඇතාගෙ පුදුම තේජස් බවක් තිබුණා. ඒක‍ මෙහෙමයි කියලා විස්තර කරන්න නම් තේරෙන්නේ නැහැ. අපේ ගම පාළුවට ගියා වගෙයි දැන්. මේ සද්දන්තයා රටටම සම්පතක්. ඒත්.....” ගැමි ගැහැනිය කඳුළක් පිසින්නට වුවාය.

දැන් ඇතා පිළිබඳ සියලු මතක අතීතයට එක්වී හමාරය.

තම ගම්පියසේ නිතර දෙවේලේ සැරිස සැරු සද්දන්තයා මාස එකහාමාරක කාලය සිට දකින්නට නොලැබීම නිසා‍ ගැමියෝ ඌ ගැන සෙවුම් බැලුම් කරන්නට වූහ.

ඉකුත් නොවැම්බර් 22 දා මොරගොල්ලෑගම, නිකවැව ප්‍රදේශයේදී ඇත් දළ යුගලක් , ගජමුතු හයක් හා සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනිමේ සිද්ධියත් සමඟ ගල්ගමුවේ දළ පූට්ටුවා ගම අවට නැතිවීමේ සැකය කාගේත් සිත් පීරන්නට විය. සැකයක් හිත්වල මතු වූවද ඒ දළ යුගල සද්දන්තයාගේ යැයි සිතන්නට කවුරුත් එකවර අකමැති වූහ. ඒ ඒවන විටත් සද්දන්තයා කොහේ හෝ සුවෙන් ඇතැයි ඔවුන් සිත රවටාගෙන සිටි බැවිනි. එසේ වුව නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබු දළ යුගලය දළ පූට්ටුවාගේ බවට වන ජීවි නිලධාරිහු සැක කළහ. එහෙත් අප කවුරුත් හැම විටම සිතුවේ අ‍පේ හස්තිරාජයා මේ මහා කැලෑව තුළ කොහේ හෝ සිටිනු ඇති බවය. එහෙත් ඒ අපේ සිත් රැවටු සිතුවිල්ලක් බව හෙළිවීමට ගත වුයේ කෙටි කාලයකි.

පසුගිය 24 වැනිදා සිට වනජිවි නිලධාරිහු, සිවිල් නිලධාරිහු මෙන්ම පොලිස් නිලධාරිහු ද කණ්ඩායම් ලෙස කැලය පිරන්නට වුහ. කුසට අහරක් නොමැතිව පිපාසයට දිය පොදක් නොමැතිව යන මේ ගමනට මම ද එක්විමි. දළ පුට්ටුවා සො‍යා මෙහෙයුම් කටයුතු ආරම්භ වුවද මහා ඝන කැලැවේ කොතැනකින් හෝ ඒ සද්ධන්තයා මතු වේවායි මම දහස්වර සිතින් ප්‍රාර්ථනා කෙරුවෙමි. එහෙත් දවසින් දවස ගෙවි යද්දී සිතේ තිබු අවසාන බලාපොරොත්තුවත් ක්‍රමයෙන් වියැකි යන්නා සේ මට හැගුණි. 24 වැනිදා සිට මෙහෙයුම් කටයුතු සිදු කළද ඇතා සම්බන්ධ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වෙද්දි මහව අධිකරණයේ තිබු දළ යුගලය දළ පුට්ටුවාගේ බවට වන ජීවි නිලධාරිහු හඳුනා ගත්හ.

දෙනෙත පුරා කඳුළු නැගෙද්දි අහස කම්පා වී මහ වැසි වසිද්දී සැමටම අවශ්‍ය වුයේ මේ සද්ධන්තයාගේ ඉරණම විසඳුණු සැටි දැන ගැනීමටය. ඇතැම්හු කට කතා පතුරුවමින් ඇතා ඝාතනය කර කැබලිවලට කපා වළ දමා ඇතැයි කිහ. තවත්අයෙකු කීවේ ඇතා මරා පුලුස්සා ඇති බවය.

දින පහක් ගත වෙද්දි යම් යම් සාධක හමුවුණ ද ඒ අතර වඩා වැදගත් වුයේ දළ යුගල සමඟ ‍කොටු වු සැක කරුවන් විසින් ඩෝසර් කළ ඉඩම සම්බන්ධ සැකයයි. එහි ස්ථාන කිහිපයක් බැකෝ යන්ත්‍ර මඟින් හාරා ඇතා ඝාතනය කර වළදමා ඇද්දැයි සෙවු නමුත් කිසිදු හෝඩුවාවක් ලබා ගැනිමට නොහැකි විය. රට පුරා දළ පුට්ටුවාගේ අතුරුදන් වීම ගැන කතා කරද්දී විමර්ශන කණ්ඩායම්ද වැඩියෙන් යෙදවිණි. අවසානයේ හමුදා විශේෂකාර්ය බළකා නිලධාරින්ද මෙම විමර්ශන කටයුතු සඳහා යෙදවීමට ර‍ජය කටයුතු කළේය.

අලියා සෙවිමේ කටයුතු සය වැනි දිනටත් ආරම්භ විය. වේලාව දවල් එක පසු වී මිනිත්තු කිහිපයකි. අප සුදානම්ව සි‍ටියේ විශේෂ කාර්ය බළකා නිලධාරින් සමඟ කැලය පීරන්න‍ට යැමටය. නමුත් එක් වරම හේරත්ගම වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරිවරයාට මියගිය හස්තියකුගේ මළ සිරුරක් එක් විමර්ශන කණ්ඩායමක් විසින් සොයාගත් බවට ඇමතුමක් ලැබිණ.

වනජීවි නිලධාරිනුත්, මමත්, මාගේ මාධ්‍ය සහෝදරයිනුත් රැගත් ජිප් රිය අදාළ රක්ෂිතයට දුරින් නතර වුයේ කිලෝමිටර් 10 ක් පමණ පැමිණීමෙන් පසුය. එතැන් පටන් මහ ඝන කැලයේ විවිධ දුෂ්කරතා මැද අපි අදාළ ස්ථානය කරා ගියෙමු. අප යන විටත් විමර්ශන කටයුතුවල නිරත වු අනෙක් කණ්ඩායම් සගයෝ රූස්ස ගස් අතරින් රිංගමින් මේ ස්ථානයට පැමි‍ණෙමින් සිටියහ.

එතැන වූ ඇත් කුණ දුටු මාගේ දෑස් අදහා ගත නොහැකි විය. සැවොම සොවින් බරව දෑසේ උපන් කඳුළු මතින් එදෙස බලා ගත්වනම සිටියහ. කලකට පෙර ගොජරාගම වෙල් ඉපනැැල්ලේ තණ බුදින මේ මහා හස්තිරාජයා කැමරා කාචයට හසුකර ගැනීමට මා උත්සාහ කරද්දී මනුස්ස ප්‍රාණියකු අසල ගැවසෙනු දැන දැනත් ඇතා නිසලව කරගන්නකට ඉඩදී සිටි අයුරු මසිතේ මැවී පෙනිණි.

සාහසික නරුමයන් ඒ අපරාදය කළේ කෙසේදැයි කාටත් අදහාගත නොහැකි තරම්ය. එතැන වූ කුණුව ගිය සිරුර ගල්ගමුවේ සද්දන්තයාගේ යැයි වනජීවී නිලධාරීහු අවසානයේ නිගමනය කළහ.

අවසානයේ ගල්ගමුවේ සාඩම්බරයක් බඳු දළ පූට්ටුවා අවසන් ගමන් ගියේය. අවුරුදු 52ක් තිස්සේ කාටවත් කරදරයක් නොකර තමන්ගේ පාඩුවේ කැලේ ඇවිද ගිය ඒ සද්දන්තයා සදහටම නිහඬ වීය.

පශු වෛද්‍ය නිලධාරීන් ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරද්දී හොරොව්වැව ප්‍රදේශයේ මහා වනය නොතකා ගම්මුන්ගෙන් පිරී ගියේ ඔවුන්ගේ සුසුම් පොද හා සමානව රැක බලාගත් මේ ඇත් රජා අවසන් ගමන් ගිය අන්දම අදහා ගත නොහැකිව ඒ දැක බලා ගැනීමටය.

“ගල්ගමුවේ දළ පුට්ටුවාගේ” ඝාතනය පිළිබඳ තොරතුරු සොයා ගැනීමටත් මත්තෙන් තවත් සද්දන්තයකුගේ මරණය පිළිබඳ ශෝචනීය පුවතක් අසන්නට ලැබිණි. ඒ ඉකුත් විසිනව වැනිදා අලුයම් කාලයේදී ය. තබ්බෝව ජලාශයේ දිය බීමට පැමිණි දළ ඇතකු වෙඩිතබා මරා දමා තිබීයදී සොයා ගනු ලැබිණි.

අඩි දෙකහාමාරක් දිගැති දළ යුගලක් සහිත වයස අවුරුදු විස්සත් විසිපහත් අතර වූ මේ ඇතා තබ්බෝව වැව් ඉවුරේ මියගොස් සිටියදී සොයාගනු ලැබුවේ ප්‍රදේශවාසීන් විසිනි. මේ වන විට වනජීවි නිලධාරීහු ඒ පිළිබඳ පරික්ෂණ පවත්වමින් සිටිති.

එම්. එම්. ක්‍රිෂාන්
ගල්ගමුව සමූහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.