බෙත්මේ වලව්වෙන් සමනොළ ගිරගට | සිළුමිණ

බෙත්මේ වලව්වෙන් සමනොළ ගිරගට

මනරම් වෙල් යායක් මැදින් අපි බෙත්මේ වලව්වට ළං වුණෙමු. සිරිපා කරුණා කරන සමයේ බෙත්මේ යන්නේ කුමටදැයි සමහරු විමතිය පළ කළහ. එහෙත් බෙත්මේ වලව්ව ඇත්තේ වේහැල්ලේ යැයි පවසන විට සපරගමුවේ සහ දකුණේ ශාසන ඉතිහාසයත්, ඒ හා සමනොළ ගිරට ඇති බැඳීමත් පිළිබඳ දන්නෝ තම තමන්ෙග් අදහස් අප සමඟ බෙදාගත්හ. අද බෙත්මෙ වලව්ව විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන් වෙන් වූ මධ්‍යස්ථානයකි. එය අද දිනට නම් ගැළපේ. එහෙත් අප කතා කරන්නේ ඔවුන් පිළිබඳ නොවේ. මීට වසර හාර සියයකට පමණ පෙර රජ කළ දෙවැනි රාජසිංහ රජු සමයේ සිට මෙරට බුදු සසුනේ නොයෙක් බිඳවැටීම් හා සමනොළ ගිර ඇසුරෙහි එන කතා සමඟ මේ වලව්වෙන් බිහි වූ බුද්ධපුත්‍රයකුගේ සම්බන්ධය පිළිබඳවය. ඒ වේහැල්ලේ ධම්මදින්න හිමියන් පිළිබඳ කාල තිරයෙන් සැඟවී ගිය කතාවයි.

රුවන් හැල්, පොසොන් හැල්, වේ කොළ හැල්, නුගපත් හැල්, ඉඳිපත් හැල්, මීපත් හැල්, හැටදා හැල් ආදි වශයෙන් හැල් වී වර්ග විසි දෙකක් පමණ පැවැති අපේ රටේ රෝහණ රාජ්‍යයේ වේ කොළ හැල් සරුවට වැඩුණු පෙදෙස ‘වේහැල්ල’ නම් වූයේ ය. රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නායක හිමි සඳහන් කරන අයුරින් මේ පද පෙරළිය සිදු වූයේ හැල් වී සුලබ වූ ගම ‘වීහැල්ල’ ලෙස පටන්ගෙනය. එවන් වූ වේහැල්ලේ බෙත්මේ වලව්වේ අභිමානය හිමි විජේසිරි ගුණතිලක වික්‍රමරත්න දිසානායක ලොකු මහත්මයාට සහ ඔහුගේ කුමාරිහාමි වූ කුරුඳුපොකුණේ නවරත්න පොඩි හාමිනේට දරුවන් තිදෙනෙක් වූහ. දරුවන් තිදෙනා සහ තම නැඟණිය වූ කුමාරිහාමි බැලීමට නෑගම් වැඩි එවක තිස්සමහාරාම විහාරාධිපති කුරුඳුපොකුණේ නවරත්න බුද්ධරක්ඛිත හිමි ආපසු විහාරයට වැඩියේ නැඟණියගේ දොළොස් හැවිරිදි දෙටු පුත් අප්පුහාමිද කැටුවය. සාමණේර නමක වීමට අවශ්‍ය බණ-දහම් ආදියෙහි දක්ෂ වූ අප්පුහාමි දරුවා ප්‍රව්‍රජ්‍යා භූමියට පත් වූයේ ‘වේහැල්ලේ ධම්මදින්න’ නමිනි. ඒ 1693දීය.

පෘතුගීසින් 1505දී ලක් දිව ආක්‍රමණය කළ පසු දිවයිනේ වැල්ලබඩ තීරයේ බුදු සසුන දැඩිව පිරිහී-යෑමේ තර්ජනයට මුහුණ පා තිබිණි. හේතුව සීතාවක රාජසිංහ රජු පිළිබඳ පැතිරුණු කටකතාය. රජුගේ ඇවෑමෙන් වසර විස්සකට පමණ පසු සපරගමුව ආක්‍රමණය කළ පෘතුගීසින් ඒ පෙදෙසේ සියලු බෞද්ධ සිද්ධස්ථාන ආදිය සමතලා කොට දැමීය. දෙවැනි විමලධර්මසූරිය රජු 1687 කාලයේ රක්ඛංග දේශයෙන් උපසම්පදා භික්ෂූන් වැඩම කරවා ගැටඹේ තොටේදී උපසම්පදා කර්මයක් පැවැත්වුවද එය වැඩිකල් පැවතීමට රටේ කලබලකාරි තත්ත්වය ඉඩ දුන්නේ නැත. මේ අතර වේහැල්ලේ ධම්මදින්න සහ සිටිනාමළුවේ ධම්මජෝති සාමණේරවරු සිය සාමණේර භාවයේ සලකුණ වූ කහ සිවුර උනා දමා සුදු සිවුරු පෙරවාගෙන දස සිල් ආකාරයෙන් වැඩ සිටිමින් තවත් අය තම කණ්ඩායමට එක් කරගත්හ. ඔවුන්ට දැනුම බෙදා දුන්හ.

වැලිවිට සරණංකර හිමියන්ගේ ඇසුරට පත් වේහැල්ලේ ධම්මදින්න සාමණේර නමට ඉතා ඉක්මනින් හා ලස්සනට පුස්කොළ ලිවීමටත් ධර්ම දේශනා පැවැත්වීමටත් හැකියාව ඇති බව සරණංකර හිමියෝ වටහා ගත්හ. උන් වහන්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රජමාලිගයට වඩින අවස්ථාවලදී ධම්මදින්න සාමණේරයන් අතවැසිකමට රැගෙන ගියද බොහෝ විට රජුට දහම් දෙසුවේ සාමණේර නම විසිනි. වසර විසිතුනක් මේ කටයුතුවල යෙදී ගම්රටවල් බලා වැඩම කිරීමට සිතූ වේහැල්ලේ සාමණේර හිමියන් ඒ බව රජුට දැන්වීමට වැඩි මොහොතේ මේ මනා රූපසම්පත්තියෙන් හා චතුර ධර්ම දේශනා ශක්තියෙන් හෙබි ධම්මදින්න සාමණේරයන් වෙත කුට්ටාපිටිය හා පැල්මඬුල්ල විහාර දෙකත් ඊට සම්බන්ධ සියල්ලත් සමනලගල විහාර පදවියත් තඹ සන්නසකින් පිදීමට රජු කටයුතු කළේය. එය රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නායක හිමියන් විසින් රචිත ‘වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න ශාසන ඉතිහාසය’ නම් පොතේ මෙසේ සඳහන් වේ:

‘ශ්‍රී උතුම් වූ පණිවුඩ පනත නම්... වේහැල්ලේ ධම්මදින්න ගණවොලින් මහ වාසලට හොඳ හිතින් පක්ෂ පිරමානකම් ඇතුව දුක් ගැණ හිටින නිසා සපරගමු දිශාව බද සමනල ගල විහාර පදවිය සහ මෙම විහාර පදවියට අඩුත්තු ගොඩ මඩ විල් ඉම් ගම් ඇතුළුව භුක්ති විඳිනා පනතටත් දිසාවෙන් දෙවොලෙන් පැමිණි කෙනෙකුන්නෙන් අවුලයක් උඬරණයක් නැති වගට... ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් දෙසිය අනූ හතරක් වූ වෙසඟ පුර පසළොස්වක් ලත් කිවි දින මෙ දවසැ දෙවා වදාළ පනතත්... මෙසෙම පණිවුඩ පනතයි...

මේ සන්නස ලද වේහැල්ලේ ධම්මදින්න සාමණේර වහන්සේ කරන්ගොඩ පොත් ගුල් විහාරයට වැඩ සමනලගල විහාර පදවිය දරමින් ශ්‍රීපාදස්ථානය ඇතුළු සපරගමුවටත් දකුණටත් අයත් ශාසනික උන්නතියට කැප වුණහ.

මෙසේ සසුනට කැප වන බෙත්මේ වලව්වේ දෙටු පුතු බැහැදැකීමට කනිටු පුතු පැමිණියේය. ඔහුද සොහොයුරා මෙන්ම කඩවසම් පෙනුමැති තරුණයෙකි. දිනක් රජදැක්මට එක් වූ ධම්මදින්න හිමියන්ගේ බාල සොහොයුරා පිළිබඳ කිත්සිරි රජසිහ රජු පැහැදුණේය. ඒ ඔහු උඩරට රාජධානිය ලන්දේසීන්ගෙන් රැකගැනීමේ මුර කපොල්ලේ සේවය කරන බව දැනගැනීම නිසාය. වේහැල්ලේ හිමි පිළිබඳ ඇති පැහැදීමත්, තරුණයා පිළිබඳ ඇති වූ විශ්වාසයත් නිසා සපරගමුව හා දකුණ යා කෙරෙන ප්‍රධාන මුරපොළ වූ ‘මුලමුර’ රැකීමේ ප්‍රධානියා ලෙස හිමියන්ගේ සොහොයුරුට පත් වීමක් දුන්නේය. එය රජු සිදු කළේ තරුණයාගේ මවු-පිය පාර්ශ්ව දෙකෙහි නම් ගළපා ගම්වරයක්ද ප්‍රදානය කිරීමෙනි. ‘වේහැල්ලක නවරත්න දිශානායක පණ්ඩිත මුදියන්සේ’ නම් වූ එයට පිදූ ගම්වරය ‘මොලමුරේ’ නම් විය. ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායකධුරය දැරූ ශ්‍රීමත් ෆ්රැන්සිස් මොලමුරේ මහතාගේ පෙළපතේ ආරම්භය එයයි.

මතු සබැඳේ...

සේයාරූ රුවන් ද සිල්වා

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.