මතට තිත තැබූ ගමක් | සිළුමිණ

මතට තිත තැබූ ගමක්

පෝ දා ගමේ පන්සලේ සිල් සමාදන් කරවූ පිරිමි සැමගෙන් යළි මත් වතුර නොබොන බවට පොරොන්දුවක් ගත්තා. එදා පටන් ගමේ මත්වතුර පෙරන්නෙත් නෑ. ගම්මුන් යහපත් ධාර්මික රැකියාවලට යොමු වෙලා.

මත ගැන කී පමණින් අප සිතට නැඟෙන්නේ විවිධ නම්වලින් එන මත් ද්‍රව්‍යය. සමාජ මට්ටම හා තරාතිරම අනුව මේ මත් ද්‍රව්‍ය පාවිච්චිය වෙනස් වේ. අප රටට මහා පරිමාණ වශයෙන් හොර රහසේ රැගෙන ආ මෙවන් මත් ද්‍රව්‍ය පසුගිය දින කීපයේදී නීතියේ රැහැනට හසුවූ පුවත් අපමණ වාර්තා විය. එපමණක් නොව මතින් තොර රටක් සඳහා නීති සම්පාදනය කරමින් රජය ද ඒ සඳහා සියලුම උපක්‍රම යොදන්නේය.

කෙසේ වෙතත් අප රටේ ඇතැම් ගැමි ජනතාව මත් වතුර හා දුම් පානයට බොහෝ සෙයින් ඇබ්බැහි වී සිටිති. මෙනිසා අපේ රටේ ගම්වල මෙන්ම නගරයේද තරාතිරමක් නැතිව අද අසන්නට දකින්ට ඇත්තේ මතින් විකල් වූ ඇතැම් මිනිසුන්ගේ නොපනත් ක්‍රියාය. එවන් තත්ත්වයක් හමුවේ මත් රකුසා එක් ගමකින් හෝ පන්නා දැනීමට මහත් වෙහෙසක් ගත් අපූරු පුද්ගලයකු හා මතින් මිදුණු ගමක් පිළිබඳ අපට අසන්නට ලැබුණේ මත්පැන් නිසා පීඩාවට පත් අන් අයට දෙන ආදර්ශයත් සමඟය. වසර ගණනක් තිස්සේ මත් රකුසාට නතුව මත් රකුසාගේ පිහිටෙන් ජීවිතය සරි කරගත් ගම්මානයක්ම ඒ උතුම් මිනිසාගේ නොපසුබට උත්සාහය නිසාම ධර්මයට යොමු වූයේ ගමේ මිනිසුන්ට පමණක් නොව රටේම ජනතාවට අපූරු පණිවිඩයක් කියා දෙමිනි.

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් නවගත්තේගම ප්‍රදේශය කාගේත් ඇසට හා කනට හුරුව ඇත්තේ සයිමන් නවගත්තේගම නම් වූ ප්‍රවීණ සාහිත්‍යකරුවා නිසාය. මේ සත්කාර්ය ද පසුගියදා අපට වාර්තා වූයේ නවගත්තේගමිනි.

ආණමඩුව නගරයේ සිට කිලෝමීටර් විස්සක් පමණ දුර ගෙවා යද්දී හමු වන්නේ නවගත්තේගම නගරයයි. නගරයේ සිට දාහතේ කණුව මාර්ගයේ කිලෝ මීටර් හතරක් පමණ ගෙවා එන විට හමුවන කොන්ක්‍රීට් මාර්ගය ඔස්සේ යා හැක්කේ අපි මේ කියන්නට යන ගම් පළාතටය. මේ ගමට යන මාර්ගයේ ගම්මානයට අැතුළු වන තැනම වූ පුවරුවක් අප නෙත ගැටිණ. ‘ඔබ මේ පිවිසෙන්නේ මතින් නිදහස් මොරගහවැව ග්‍රාම නිලධාරී වසමටය’ යන්න එහි සඳහන්ය. මෙය විශේෂ වන්නේ ලංකාවේ හතර දිග් බාගයේ කොතැනකවත් මෙවන් පුවරුවක් දැක ගැනීමට හැකියාවක් තිබේදැයි සැක සහිත නිසාය. නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 643 මොරගහවැව ග්‍රාම නිලධාරී වසමට අයත් මහපිටිය ගම්මානය ධර්මයට නතු කළේ ඒ පළාත බාර ග්‍රාම නිලධාරිවරයාවරයාය.

පිට පිට යල මහ කන්න හතරක් වගාව අහිමි වූ මේ පළාතේ වැසියන් දිවි සවිකර ගත්තේදහඩිය මහන්සිය උකසට තැබීමෙනි. ඔවුන්ට එළවළුවක් වවා ගන්නට වැසි පොදක්වත් පසුගිය මාස කීපයේම නොලැබුණු තරම්ය. ඒ නිසා ගමේ ඇතැම් කාන්තාවන් කුලී වැඩට යද්දී ඇතැම් පිරිමි පෙලඹුණේ ලෙහෙසියෙන් මුදල් හොයන නීති විරෝධී මත්පැන් පෙරීම. නමුත් ඒ සියල්ල සිදුවූයේ කලකට පෙරය. රුවන් රාජපක්ෂ නම් වූ ග්‍රාම නිලධාරිවරයා අලුතින් මේ ගමට පත්ව එන්නේ මේ අතරය.

“ මම 2012 වර්ෂයේ ග්‍රාම නිලධාරියකු විදිහට මේ වසම බාර ගද්දි වසමේ වැඩි දෙනෙක් ජීවත් වුණේ මත්වතුර සමඟයි. මේ වසමේ ගම්මාන 04 ක් තියනවා. ඒ ගම්මාන හතරෙන් මහපිටිය ගමේ විශාල වශයෙන් නීති විරෝධී මත්පැන් පෙරීම සිදු කළා. ගමේ හුඟක් පිරිමි ජීවත් වුණේ මත්පැන් පෙරලා විකුණලා. ඒ වෙද්දි මේ ගමේ තිබුණේ හරි වෙනස් පසුබිමක්. ගමේ හැම පිරිමියෙක්ම තදින් මත්වතුර බොන්නත් දුම්වැටියටත් දැඩි ලෙස ඇබ්බැහි වෙලා හිටියා. මෙය කොහොම හරි නතර කරන්න ඕනෑය කියා මම කල්පනා කළා. එහෙම හිතලා මං මුලින්ම කළේ මත්පැන් පෙරන පුද්ගලයන් ගැන සෙවීමයි. එහෙම හොයලා මත්වතුර පෙරන අයයි බොන අයයි සේරම නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිතුමා එක්ක එකතු වෙලා නීතිය හමුවට අරන් ගියා. මෙලෙස කරද්දී ඇතැම් කසිප්පු පෙරන අයගෙන් මට මරණ තර්ජන පවා ආවා. මේ ගමේ එක පුද්ගලයෙක් හිටියා ගිරිබාව ප්‍රදේශටයම නීති විරෝධී බීම විකුණපු කෙනෙක්. මේ අයත් අපි අවස්ථා කිහිපයකදී පොලීසියට අල්ලලා දුන්නා. මේ විදිහට කාලයක් තිස්සෙම මම මේ වැරැද්ද කරන අය හොයලා උසාවියට ඉදිරිපත් කරද්දි පෙරීම ක්‍රමයෙන් අඩු වුණා.”

වසර ගණනාවක් තිස්සේ ගම පුරා පාලනය කළ නොහැකි තරමින් පැතිර තිබූ මත් උවදුර සැබවින්ම ඒ ගමේ ඇතැම් දෙනාට මහත් පිළිලයක් ව තිබිණි. එවන් යුගයක ග්‍රාම නිලධාරිවරයා මැදිහත් වී ඒ උවදුර මැඩපැවැත්වීමට කටයුතු කිරීම ඇතැමුන්ගේ සතුටට හේතු වෙද්දී තවත් බොහෝ දෙනෙක් ඔහු ඝාතනය කිරීමට පවා සැලසුම් කළහ. එහෙත් නවගත්තේගම පොලිසීය සමඟ එක්ව එම තර්ජන ගර්ජන පවා නොතකා ඔහු සිය කාර්යය දිගින් දිගටම සිදුකරගෙන ගියේ උදාර චේතනාවක් පෙරදැරි කර ගනිමිනි.

බීමත්ව නිවෙසට පැමිණෙන සැමියන්ගේ පහර කෑමට ලක්වන බිරියන් මෙන්ම පියවරුන්ගේ බිමත් කෑ කෝ ගැසීම් නිසා පොතක් පතක් කියවා ගැනීමට නොහැකිව පාඩමක් කර ගැනීමට නොහැකිව ළතැවෙමින් කඳුළු සලන දරුවෝ ද මේ වෙද්දී මත්පැනේ වින්දිතයන්ව සිටියහ.

“ගමේ පවුල් 25ම වගේ ගොවිතැන්කරලා තමා ජීවත් වෙන්නෙ. ගමේ රජයේ රැකියා කරන අය නැති තරම්. මත්වතුර පෙරීම අඩු වුණත් මට ඕනෑ වුණේ මේ උවදුර ගමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නයි. එහෙම හිතලා මම මේ අය ධාර්මික පැත්තට නැඹුරු කරන්න වැඩ පිළිවෙළක් හැදුවා. ඒ අනුව පොලීසියයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි සමූපකාරයි එක්ක එකතු වෙලා මේ අයට සීලමය වැඩසටහනක් සංවිධානය කළා.”

ඒ මීට මාස කිහිපයකට උඩදී උදා වූ බිනර පුන් පොහෝ දිනයයි. නවගත්තේගම පොලිස් ස්ථානයත්, නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් නවගත්තේගම සමූපකාරයත් එක්වන්ව ඔහුගේ මේ සත්ක්‍රියාවට අත්වැල සැපයීම ඔහුට ශක්තියක් විය. ගමේ සෑම නිවෙසක් පාසාම ගිය රුවන් බිනර පොහෝ දින නිවෙසේ ප්‍රධානියා වන පිරිමියා සිල් සමාදන් විය යුතු බවට දැනුම්වත් කළේය. ඔහු සිය වැඩසටහන සඳහා තෝරා ගත්තේ ගමේ අලුතින් ඉදි වූ ගල්කරුපැලැස්ස විහාරස්ථානයයි. සිල් සමාදන් වීම සඳහා සුදුසු ඇඳුම් නොතිබූ ගමේ ඇතැම් උදවියට සුදු ඇඳුම් ලබා දීමටද ග්‍රාම නිලධාරීවරයා කටයුතු කළේය. පෝ දිනයට පෙර ගමේ නිවෙස් කරා ගිය ඔහු ඉතිරි අඩුපාඩුද සපුරාලීය. සිල් සමාදන්වන උපාසක උපාසිකා සියලු දෙනාටම දානය ද සූදානම් කිරීමට ඔහු කටයුතු කළේය. සියල්ල සම්පානය කළ ඔහු පොහෝ දිනයේ උපාසක උපාසිකාවන්ට ලබා දීමට පැදුරු හා නවගුණ වැල් පවා සූදානම් කළේය. පෝ දා පන්සලට ගිය ඔහු ගමේ ජනතාව සමඟ එක්ව සිල් සමාදන් වූයේ අවවාදයට වඩා ආදර්ශය උතුම් යැයි පසක් කරමිනි.

“පෝය දවසෙ උදේ මට පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් පණිවිඩයක් ආවා හිතපු නැති තරම් සෙනඟක් පන්සලට ඇවිත් ඉන්නවා කියලා. මමත් හිතුවෙ නෑ මේ තරම් සෙනඟක් සිල් සමාදන් වෙන්න පැමිණෙයි කියලා. පැමිණි පිරිසට ටිකක් වෙනස් යමක් දෙන්න ඕනේ නිසා මම පුලියන්කුලම පන්සලේ හාමුදුරුනමක් කවි බණක් කියන්න වැඩම කෙරෙව්වා. කවි බණ කියලා ධර්ම දේශනා පවත්වලා සවස් වෙද්දි පැමිණ සිටි පිරිමි පාර්ශ්වය සමඟ කතා කරද්දි ඔවුන්ගේ සිත්වල යම් වෙනසක් ඇති වෙලා තියෙන බව තේරුම් යද්දී මට ඇතිවුණේ ලොකු සතුටක්. ඒ හැම කටයුත්තක්ම ඉවර වෙලා සිල් පවාරණය කරන්න හදන වෙලාවේ මමයි පන්සලේ ලොකු හාමුදුරුවොයි එකතු වෙලා පන්සලේ බුදු මැදුරේ දී ආයේ කවදාවත් මත්වතුර පානය කරන්නේ නෑ කියලා මේ අයගෙන් පොරොන්දුවක් ගත්තා. ඒ වගේම මත්වතුර පෙරන්නෙත් නෑ කියලාත් පොරොන්දු කර ගත්තා. ඒ පොරොන්දුව පිට තමා මේ අය එදා පන්සලෙන් පිටවෙලා ගියේ.”

එදා එලෙස ප්‍රතිඥා දී පන්සලෙන් බැහැර ගිය ඒ ගම්වාසී පිරිමි පක්ෂය එදායින් පසු ඒ ප්‍රතිඥාවේ පිහිටා කටයුතු කළේ තමන් සමාදන් වූ සීලය නොබිඳිමිනි. එතැන් පටන් ඔවුහූ සිය පොරොන්දු ඒ ආකාරයෙන්ම රකින්ට ද ක්‍රියා කළහ. එය ඇත්තෙන්ම මෙම ගමට නව ඉරක් පායා ආ දිනයක් ලෙස ගමේ කාන්තාවෝ සහ දරුවෝ සලකති. ඔවුන් ලද ඒ සැනසීම තව දුරටත් පසක් කරමින් ගමේ සෑම නිවෙසකම ප්‍රදර්ශනය වන කුඩා පුවරුවක්ද වෙයි. එහි සදහන් වන්නේ ‘ඔබ සැමට තෙරුවන් සරණයි. මෙය මතින් තොර වූ නිවෙසකි’යන්නය.

“සැබවින්ම එදායින් පස්සේ මේ ගමේ නීතිවිරෝධී මත්වතුර බොන අය අපි දැක්කෙ නෑ. දැන් මේ අය එදා වූ පොරොන්දුව රකිමින් හැම මාසයකම සිල් සමාදන් වෙනවා. ඒ පොරොන්දුව මේ වනතුරුම හරියටම ක්‍රියාත්මක කරනවා. ඊට පස්සෙ මම මේ අය අනුරාධපුරේ අටමස්ථානය වන්දනාමාන කරන්න චාරිකාවක් සංවිධානය කළා. ගමට විශාල ශක්තියක් වෙමින් ‘වර්ල්ඩ් විෂන්’ ආයතනය ඒ චාරිකාවේ සියලුම බර පැන දරන්න බාර ගත්තා. අපට තිබුණේ ගමන ගිහින් එන්න විතරයි. මේ ගමනට අපි ගමේ හැම නිවෙසකම අය සහභාගි කර ගත්තා. අටමස්ථානය වැඳලා ඒ හැම තැනකදීමත් අපි මේ අයගෙන් පොරොන්දු ලබා ගත්තා මින් මතුවට අරක්කු දිහා බලන්නෙවත් නෑ කියලා. අද වෙද්දි මුළු ගමම මතින් තොරයි. මාසේ පෝයට විතරක් නෙමේ සතර පෝයටම දැන් ගමේ අය සිල් සමාදන් වෙනවා. අපි ගමේ කට්ටිය එකතු වෙලා ලැයිස්තුවක් හදලා පෝය අනුව බෙදලා ඒ පින්කම් වැඩත් කරනවා. දැන් ගමේ හැමෝම හුඟක් සමගියෙන් තමයි ජීවත් වෙන්නේ.”

අඬදබරින් පිරි මහපිටිය ගමට සාමයේ මල් පිපුණේ එලෙසිනි. ජීවිත අවදානමවත් නොතකා හොර අරක්කු පෙරන්නන්ගේ තර්ජන ගර්ජන මැද්දේ ගමට මේ සෙත සැලසුවේ ග්‍රාම නිලධාරීවරයායා. ඔහු කළ මෙහෙය ගමේ සැවොම අගය කරති.

“අපේ ග්‍රාම සේවක මහත්තයාට පින් සිද්ද වෙන්න අද මේ ගම පුරාම තියෙන්නෙ හරි සුන්දර බවක්. වෙනදා හවස හය හත වෙද්දි හැම ගෙදරකම වගේ අඬ දබර ඇහුණා. ඒත් දැන් අපේ ගම ඒ කරදරවලින් නිදහස් වෙලා. දැන් ගමේ හැමෝම පන්සල ඇසුරට පත් වෙලා ඉන්නවා. අරක්කු විකුණලා ජීවත්වුණ අය විවිධ රැකියාවලට ගිහිල්ලා. සමහරු කුලි වැඩ කරනවා. දැන් ගමේ හැමෝම සමගියෙන් ජීවත් වෙනවා” මහපිටිය ගමේ එච්. එම්. ඇසිලින් මහත්මිය අප සමඟ පැවසුවාය.

ගමේ මිනිසුන්ගේ දියුණුවට උර දෙන මිනිසුන් අද අප සමාජයේ විරලය. බොහෝ මිනිසුන් තමාගේ වාසියට පමණක් කටයුතු කර සාක්කු පුරවා ගන්නට වෙර දරන යුගයක මෙම ග්‍රාම නිලධාරිවරයාගේ සේවය රුපියල් ශතවලට ලගු කළ නොහැකිය.

“අපේ ග්‍රාම නිලධාරිතුමා මූලික වෙලා මේ ගත් උත්සාහය නිසා දැන් අපේ ගම දියුණු වේගෙන යනවා. දැන් ගමේ හැම දෙනාම වගේ පන්සල ඇසුරු කරනවා. ධර්මය ශ්‍රවණය කරනවා. අද රාජ්‍ය නිලධාරීන් කරන ඇතැම් නොමනා ක්‍රියා දැක්කාම මේ රජයේ සේවකයා කරන සේවය ඉතාම ඉහළයි. ඉදිරියේදී අපි එතුමා එක්ක එකතු වෙලා මේ ගම වගේම අනෙක් ගම්මානත් දියුණු කරලා මිනිසුන් සුමඟට යොමු කරන්න අවශ්‍ය කටයුතු සිදු කරනවා.” යනුවෙන් ගල්කරුපැලැස්ස විහාරස්ථායේ විහාරාධිපති ආණමඩුවේ චන්ද විමල හිමියෝ පැවසුහ.

වසර ගණනක් තිස්සේ මත්වතුර උවදුර අරක් ගත් ගමක් එළිය කෙරුණේ මේ ධෛර්යසම්පන්න මිනිසාගේ නොපසුබට උත්සාහය නිසාය. ඒ සඳහා ඔහුට සහාය වූවෝ බොහෝය. දුගතියෙන් මිනිසුන් මුද­ාලන්නටත් ඔවුන් යහපතට යොමු කිරීමටත් රාජ්‍ය නිලධාරියකු වශයෙන් ඔහු ගත් වෑයම අගය කළ යුතුය. දැන් මහපිටිය ගම්මානය මතට තිත තැබූ ගමකි. යහපත් මිනිසුන් වෙසෙන ගමක් ලෙස එහි නාමය නවගත්තේගම කොට්ඨාශය පුරා පැතිර ඇත්තේය.

ඡායාරූප - ගල්ගමුව සමූහ
එම්. එම්. ක්‍රිෂාන්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.