මිරිවැඩි සඟලක - නිමැවුම් පෙළහර සංස්ථා පාවහන් | සිළුමිණ

මිරිවැඩි සඟලක - නිමැවුම් පෙළහර සංස්ථා පාවහන්

ආර්ථික ගැටලු සියල්ලට ඇති හොඳම විසඳුම වහල් මෙහෙවර සඳහා එතෙර යාම පමණකැයි සිතා දරු පවුල් අත­ැර එතෙර යන බොහෝ කාන්තාවනට ඔවුන් දෙන ආදර්ශය අපූරුය!

“මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
‍පා යුග නැති ඔබ දකින තුරා....”

මේ අරුත්බර ගීතයෙහි වදන්වැල් මගේ මතකයට නැගුණේ අනුන්ගේ දෙපා සරසන්නට අගනා මිරිවැඩි නිපදවන ඒ දිළිඳු ළඳුන්ගේ නිරුවත් දෙපා ඇස ගැසුණු මොහොතේදී. ඇති හැකි ළඳුන්ගේ දෙපා සරසන්නට අගනා සොඳුරු පාවහන් නිමවන ඒ වතුකර ළඳුන්ගේ ජීවිත ඔවුන් විසින් නිමවන ලද පාවහන් තරම් විසිතුරු නොවන බව වටහාගන්නට ඔවුන් ජීවත්වන පරිසරය දුටුවකුට එතරම් අපහසු වන්නේ නෑ. අව්, වැසි, සුළං සේම ඇටමිදුළු පසාරු කරගෙන යනතරම් කටුක සීතල සම සිතින් විඳ දරාගෙන කූඩැල්ලන් ගහන කඳුකර තේවතු යායෙහි ඇවිදිමින් දලු නෙළන්නට, වල් නෙළන්නට, උදලු ගාන්නටම හුරු පුරුදු වූ ඔවුන්ගේ රළු දෑත් දැන් නෙක පැහැ ගත් සියුමැලි රටා දමමින් සුමුදු මුදු පාවහන් තනන්නට හුරු වෙලා. නෙක වර්ණ ගැන්වූ රෙදි පිළිද, රෙක්සින් ද යොදා ගෙන මේ අපූරු පාවහන් නිපදවන කඩිසර ළඳුන් අපට හමු වුණේ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් කැලෑබොක්ක වතු යායේ පැරැණි කම්හල් භූමියේදී.

කලක් මෙරට ඉහළම ආදායම් වාර්තා තැබූ රාජ්‍ය වැවිලි සංස්ථාව පසුගිය දසක කිහිපය මුළුල්ලේම ශීඝ්‍ර ලෙස පාඩු ලබමින් වසා දමන තත්ත්වයට පත්ව තිබුණා. එහි පැවැති සරුසාර තේ, පොල් හා රබර් වතු සියල්ල වරින් වර බලයට පත් වුණු රජයන් යටතේ කටයුතු කළ බලධාරීන් හා අකාර්යක්ෂම නිලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් එම අවාසනාවන්ත ඉරණමට ගොදුරු විය. එසේ වූ සංස්ථාවට යළි පණ දෙන්නට වත්මන් රජය යටතේ පත්වුණු නව සභාපති තිලක් මහානාම මහතා දරන උත්සාහයේ එක් ප්‍රතිඵලයක් ලෙසයි ඉහත සඳහන් කළ සපතේරු ලියන් පිරිස දැක බලා ගන්නට අපට හට අවස්ථාව උදා වූයේ. රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් කැලෑබොක්ක වතු යායේ කම්කරු පවුල්වලට අමතර ආදායම් මාර්ගයක් හඳුන්වා දෙමින් ඇරැඹූ ස්වයං රැකියා ව්‍යාපෘතිය යටතේ ඔවුන් මෙලෙස පාවහන් නිෂ්පාදනය කරනවා.

තේ වතුවල දලු අඩු කාලෙට වතු කම්කරුවන්ගේ දෛනික ආදායමත් අඩුයි. ආදායම අඩු කාලෙට කම්කරුවන් කුලී වැඩ සොයාගෙන වතුවලින් පිටතට මෙන්ම රට හැර යන්නටත් පෙළැඹීම සාධාරණයි. එවිට වතුහිමියන්ට කම්කරුවන් අහිමි වන්නා සේම, කම්කරු පවුල්වල දරුවන්ට අම්මා අහිමි වීමෙන් ද, සැමියන්ට බිරින්දෑවරුන් අහිමි වීමෙන් ද ඇතිවන සමාජීය ගැටලු රැසකි. මේ ගැටලුවලට විසඳුමක් ලබාදීම මෙන්ම කම්කරු ළඳුන්ගේ ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණත් පෙරදැරි කරගෙන වැවිලි සංස්ථාවේ කම්කරුවන්ට ස්වයං රැකියා ව්‍යාපෘති හඳුන්වා දෙන්නටය සභාපතිවරයා කටයුතු කර ඇත්තේ. මෙලෙස හඳුන්වා දෙන ලද ස්වයං රැකියා අතර, මදුරු කූරු නිෂ්පාදනය, පාවහන්, පාසල් සහ කාන්තා ගමන්මලු නිෂ්පාදනය, තිර රෙදි, ඇද ඇතිරිලි තුවා කොට්ට උර සහ විසිතුරු රෙදිපිළි මැසීම වැනි කර්මාන්ත ද වේ. ‍මේ සියලු දේ නිෂ්පාදනය කිරීම සඳහා කම්කරුවන්ට උපදෙස් හා පුහුණුව ලබා දෙනු ලබන්නේ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ස්වයං රැකියා පුහුණු උපදේශිකාවක හා සංස්ථාවේ ස්වයං රැකියා ව්‍යාපෘතියේ උපදේශිකාවද වන අනුලා රත්නායක මහත්මිය විසිනි. ඇගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මේ වන විට කැලෑබොක්ක කොටගඟ සහ මිඩ්ලන්ඩ් වතුයායන්හි කම්කරු ළඳුන් සීයක් පමණ පාවහන් මදුරුකූරු, ගමන්මලු සහ තිර රෙදි නිපදවති. වතුකර කාන්තා පුරුෂ දෙපිරිසටම හඳුන්වා දෙන ලද මෙම ව්‍යාපෘතිවල දැනට නියුතු වන්නේ කාන්තාවන් පමණි. කැලෑබොක්ක වතු යායේ කම්කරු කාන්තාවන් දස දෙනෙකු මෙලෙස පාවහන් නිෂ්පාදනයෙහි නියැළෙති. පාවහන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ යන්ත්‍රසූත්‍ර සමාගම මඟින් සපයනු ලැබේ. අනුලා මහත්මියගේ අධීක්ෂණය යටතේ නිපදවනු ලබන මේ පාවහන් විසිතුරුය. නිමැවුම කදිමය. සවිශක්තියෙන් හා කල්පැවැත්මෙන් ඉහළය. එහෙත් ඒවායෙහි මිල ගණන් වෙළෙඳපොළෙහි ඇති බොහෝ පාවහන්වලට වඩා අඩුය. කාන්තාවන් සඳහා වැඩි වශයෙන් ම පාවහන් නිපදවේ. පාවහන් මිල දී ගන්නන් සඳහා පොලිතීන් කවර හෝ පෙට්ටි වෙනුවට රෙදිවලින් මැසූ ‘සංස්ථා පාවහන්’ යන සන්නාමය සටහන් කරන ලද පරිසර හිතකාමී බෑගයක් ලබාදේ. අගනුවර සුපිරි වෙළෙඳසල්වල අලෙවි කෙරෙන මිල අධික විසිතුරු පාවහන් තරමටම තත්ත්වයෙන් හා අලංකාරයෙන් උසස් වන මේ සංස්ථා පාවහන් දැනට විවිධ අත්කම් හා මෝස්තර ප්‍රදර්ශනවලදී අලෙවි කර ඇති අතර ඉදිරියේදී දිවයින පුරා අලෙවිසල්වල අලෙවි කිරීමට අපේක්ෂා කරන බව සංස්ථාවේ ව්‍යාපෘති නිලධාරී දර්ශන විජේසිංහ මහතා පවසයි. දැනට ඒ සඳහා අලෙවිකරුවන් කැඳවමින් සිටින බවද ඔහු කියයි. පාවහන් නිමැවීම සඳහා අවැසි අමුද්‍රව්‍ය සියල්ල දේශීය වෙළෙඳපොළවලින් මිලදි ගනු ලබන ඒවාය. රෙදි, රෙක්සීන්, නූල්, ගම් වර්ග, පටි, පබලු හා විසිතුරු මල් ආදී සියල්ලම ළඟටම ගෙනැවිත් දෙන හෙයින් කම්කරු ළඳුනට අමුද්‍රව්‍ය සොයා වෙහෙස වීමට සිදු නොවේ. ආයුධ, මහන මැෂින් ඇතුළු ආම්පන්නද කම්හලෙන්ම සැපැයෙන හෙයින් දුරබැහැර යාමටද ඇවැසි නැත. උදෑසන අටට පමණ කම්හලට ගොඩවන මේ කාන්තාවෝ සවස පහ වන විට දවසේ මෙහෙවර නිමවති. වෙහෙස මහන්සියෙන් තොරවම අලංකාර මිරිවැඩි සඟළක් නිමවන්නට ළඳකට ගත වන්නේ විනාඩි 20 ක් වැනි කෙටි කාලයකි. තම තමන්ගේ කාර්යක්ෂම භාවය අනුව එකිනෙකා විසින් නිපදවනු ලබන පාවහන් යුවළ ගණන තීරණය වෙයි. එක් පාවහන් යුවළක් නිපදවීම සඳහා සංස්ථාව මඟින් ළඳකට රුපියල් 40 බැගින් ගෙවනු ලබයි. උදේ සිට රෑ වනතුරුම අවු - වැසි - සීත නොතකා තේ පඳුරු වටා වෙහෙසෙමින් ගෙවුණු කටුක දිවි පෙවෙත වෙනුවට දැන් ඔවුනට හීල් හෙවනේ ඉඳගෙන සතුටු සාමීචි කතාබහ මැද ගෙවෙන සොඳුරු රැකියාවක් ද සැලකිය යුතු ආදායමක් ද ලැබී තිබේ. නිවෙස පෙනන මානයේම හිඳගෙන, දරු පවුලද රැකබලාගෙන උපන් බිමෙහිම රැඳී සිටිමින් සතුටින් කළ හැකි රැකියාවක් දැන් ඔවුන් සතුය. උසස් අධ්‍යාපනයක් නොලද ද, දෑතේ හැකියාවත්, උත්සාහයත් උනන්දුවත් අතින් වතුකර ළඳුන් අන්‍යයන් පරදවන්නට සමත් වන බව අනුලා මහත්මිය පවසන්නේ සතුටිනි. දුෂ්කර දිවියක් ගත කරන දිළිඳු කම්කරු ලියන් ගේ දිවිය සරු කරගන්නට තමා සතු දැනුමත්, ඇතැම්විට අමු ද්‍රව්‍යයත් යන්ත්‍ර සූත්‍රත් පරිත්‍යාග කරන්නේ හද පිරි සොම්නසින් යුතුව බවද ඇය පවසයි.

කලකට ඉහත යුද සෙබළියකව සිටි අනුලාගේ සොහොයුරෝ තිදෙනක්ම උතුරු නැඟෙහිර යුද බිමේදී රට උදෙසා දිවි පිදුවෝය. ද්‍රවිඩ ජාතිකයන් අතින් සිය සොයුරන් මිය ගියද ඔවුන් කෙරෙහි කිසිදු වෛරයක් තම සිත තුළ නොවන බව පවසන අනුලා ජාතික සංහිඳියාව යනු මේ යැයි පවසන්නට කදිම ආදර්ශයක් සපයන්නී යැයි මට සිතෙයි. අනුන්ගේ දෙපා සරසන්නට තමන්ගේ ශ්‍රමය යොදවන මේ දමිළ ළඳුන්ගේ උත්සාහය අගනේය. දෑතේ වීරියෙන් ස්වෝත්සාහයෙන් උපයා සපයාගන්නා ධනය වඩාත් වටනා බැවිනි. ආර්ථික ගැටලු සියල්ලට ඇති හොඳම විසඳුම වහල් මෙහෙවර සඳහා එතෙර යාම පමණකැයි සිතා දරු පවුල් අතහැර එතෙර යන බොහෝ කාන්තාවනට ඔවුන් දෙන ආදර්ශය අපූරුය! ඒ සැනසීම කම්කරු පවුල්වලට ලබාදීමට මුල් වී කටයුතු කරන රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ වෑයමද ප්‍රසංසා කටයුතුය.


 සාගරිකා දිසානායක
ඡායාරූප - තිලක් පෙරේරා 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.