ඉංජෝ වෙන්නට කැම්පස් ආවාලු ආවාම දැනගත්තේ ඇඩ්‍රස් නෑලු | සිළුමිණ

ඉංජෝ වෙන්නට කැම්පස් ආවාලු ආවාම දැනගත්තේ ඇඩ්‍රස් නෑලු

 යූ ටියුබ් එකේ එහා මෙහා යද්දී අපූරු සින්දු ටිකක් මුණගැහුනා. මේ සින්දු නිර්මාණය කරලා තියෙන්නෙ ලංකාවෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යයො. හැබැයි ඒ කලා පීඨවල ශිෂ්‍යයො නම් නෙමෙයි. මේ බහුතරයක් සින්දුවල අයිතිය තියෙන්නෙ ඉංජිනේරු හා තාක්ෂණ පීඨවලට.

ඉංජිනේරු, තාක්ෂණ පීඨවල ශිෂ්‍යයෝ කිව්වම ගොඩක් දෙනෙක්ගෙ හිතට එන්නෙ පොත් පත්, යන්ත්‍ර සූත්‍ර එක්කම කාලය ගෙවන, කිසිම විදිහක කලාකාමී හැඟීම් නැති පිරිසක් කියලා. ඉංජිනේරුවෙක්, තාක්ෂණ ශිල්පියෙක් කිව්වත් සමාජයෙ බහුතරයක් හිතන්නෙ නීරස යන්ත්‍ර වගේ ජීවිත ගෙවන පිරිසක් කියලා. ඒත් එහෙම හිතන අයට හොඳ උත්තරයක් මේ සින්දු ඇතුළෙ තියෙනවා.

මේ සින්දුවල ගොඩක් වෙලාවට දකින්න තියෙන්නෙ හින්දි සිංදුවක තනුවට සිංහල වචන යොදලා තියෙන එක. හැබැයි ඇතැම් ගීත ස්වතන්ත්‍ර නිර්මාණ. ඒ විතරක් නෙමෙයි ඔවුන් මේ ගීතවලට ඉතාමත් නිර්මාණශීලී විදිහට රූප රචනාවකුත් නිර්මාණය කරලා තියෙනවා. මේ සින්දුවල පද රචනය, ගායනය වගේම රූප රචනයෙ රංගනය, අධ්‍යක්ෂණය වගේ දේවලුත් සිද්ධවෙන්නෙ මේ ශිෂ්‍යයෝ අතින්මයි. කලා පීඨවල ශිෂ්‍යන්ට විතරක් තියෙනවා කියලා හිතන් හිටපු දක්ෂතාවන් මේ ශිෂ්‍යයෝ ගාවත් අඩුවක් නැතිව තියෙනවා කියලා දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා.මේ සමහර ගීත අහද්දි ඔවුන් තමන්ගෙ හැකියාව කලාවටම යෙදෙව්වනම් කොයිතරම් අපූරුද කියලා හිතෙන තරම්...

පාසැල් තුළ වුනත් අපිට මේ තත්වය දකින්න පුළුවන්. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුනාම ගොඩක් ශිෂ්‍යයො උසස් පෙළ විෂය විදිහට තෝරගන්නෙ ගණිත හෝ විද්‍යා විෂයන්. බහුතරයක් තමන් උසස් පෙළට කරන විෂය තෝරගන්නෙ නිවෙසින් එල්ලවෙන බලපෑම මත. තවත් සමහරු රැල්ලට... කොහෙමෙන් හරි සංගීත, චිත්‍ර, රංගනය වගේ කලාවන්ට පොඩිකාලෙ ඉඳන් දක්ෂකම් පෙන්නපු ගොඩක් ශිෂ්‍යයො නතර වෙන්නෙ විද්‍යා, ගණිත අංශවල. ඔවුන්ගෙන් ඇතැම් දෙනා ඉගෙනීම් කටයුතු අවුල් කරගනිද්දි තවත් අය සාර්ථකව ඉගෙනීම් කටයුතු කරගන්නවා. ඒත් ඔවුන් තෝරගන්න විෂයන් නිසා ගොඩක් වෙලාවට ඔවුන් සහජයෙන් ගෙනාපු දක්ෂතාවන් යටපත් වෙලා යනවා.

සාමාන්‍ය පෙළ ඉහළින් සමත්වුණු කෙනෙක් උසස් පෙළට කලා විෂයන් තෝරගන්නෙ හුඟක් කලාතුරකින්. තමන්ගෙ හැකියාවන් අඳුනගෙන කලාවට ඇති ලැදියාව නිසා කලා විෂයන් තෝරගන්න ශිෂ්‍යයොත් නැත්තෙම නෑ. ඒත් කලා පන්තිවල ගොඩක් වෙලාවට දකින්න පුළුවන් සාමාන්‍ය පෙළ යන්තමින් සමත්වුණු, වෙන විෂය ධාරාවක් තෝරගන්න බැරි නිසා කලා විෂයන් තෝරගත්තු අය. ඉතින් ගොඩක් වෙලාවට සිද්දවෙන්නෙ කලා හැකියාවන් තියෙන ළමයි විද්‍යා, ගණිත, තාක්ෂණ අංශවල ඉගෙනුම ලබද්දි කලා හැකියාවන් නැති ළමයි කලා අංශවල ඉතිරි වෙනවා.

මේ හේතුව නිසාමයි පස්සෙ කාලෙකදි අපිට දකින්න පුළුවන් සින්දු කියන, පොත් ලියන දොස්තරලා වගේම චිත්‍ර අදින, සින්දු ලියන ඉංජිනේරුවො වගේ අය. මොකද ඔවුන් හදාරන විෂයට, ඔවුන් නියැලෙන රැකියාවට අදාල නොවන ගොඩක් දක්ෂතාවයන් ඔවුන් තුළ සැගවිලා තියෙනවා. ඉතින් අර ඉහත කියපු සින්දු මං දකින්නෙ ඔවුන්ගෙ සැඟවුණු හැකියාවන් එළියට ගන්න වගේම හදුනාගන්නත් ඔවුන්ට ලැබුණු හොඳ අවස්ථාවක් හැටියට.

'ඉංජෝ වෙන්නට කැම්පස් ආවාලු
ආවාම දැනගත්තේ ඇඩ්‍රස් නෑලු'

මෙහෙම කියන්නේ රුහුණු කැම්පස්එකේ 2016 බැච්එකේ කට්ටිය. ඔවුන් මේ ගීතය නිර්මාණය කරන්නේ 2017 වසරේ නවක සිසුන් පිළිගැනීමේ ප්‍රෙෂර්ස් නයිට්එක වෙනුවෙන්. ඔවුන් ගීතයට ඉදිරිපත් කරන නර්ථනයත් ඉතාම අගෙයි. එකිනෙකට වෙනස් ලොකේෂන්වල, කැම්පස් කොල්ලෝ කෙල්ලෝ පිරිසක් හරිම අපූරුවට නර්ථනයේ යෙදෙනවා. බැලූ බැල්මට හිතෙන්නේ මේ කිසියම් නැටුම් කණ්ඩායමක පිරිසක් කියලයි. මේ නැටුම් වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න ශිෂ්‍යාවන් විශේෂයෙන් අගය කරන්න ඕනේ. මොකද ඔවුන්ගේ කැපවීම ඉහළයි. නර්ථනය ඉතාම ආගන්තුක බව ‍පෙනුනත් ඔවුන් ගීතය වෙනුවෙන් ඔවුන්ගේ සහයෝගය දක්වලා තියෙන බව පේනවා.

'මොන වැඩ තිබ්බත් අපි ෆන්එකේ ඉන්නේ
අපට නෑ කැම්පස්එක අමතක වෙන්නේ'

ගීතයේ වරින්වර මේ පේළි ඉස්මතු වෙනවා. ඒ තමයි හොඳම කොටස. මොකද ඔතනින් අයින් වෙලා ගියට පස්සේ තමයි ඔවුන් හරියටම වටහා ගන්නේ කැම්පස් ජීවිතේ තමයි සුන්දරම කාලේ කියලා. විෂුවල්එක අවසාන හරියේ මෙහෙම සඳහනක් දිස් වෙනවා.

No matter how hard we work
We are happy" funny and loving
Because we love what we do

මේ ඔවුන් සරලව කියන්නේ කවදාහරි වෘත්තියවේදියකුගෙන් ප්‍රකාශ විය යුතු දෙයක්. තමන් කරන දෙයට ආදරයෙන්, ගෞරවයෙන් සලකන පුද්ගලයා ජීවිතයම ජීවත් වෙන්නේ සතුටින්. මොකද තමන් කැමති දෙයක නිතර වෙන පුද්ගලයාට හැම මොහොතකම සතුටින් ජීවත් වෙන්න හැකියාව ලැබෙන නිසා.

ජීවිතයේ සුන්දම අවධිය ගෙවන මේ වගේ සිසුන් මෙහෙම දෙයක නිරත වෙනකොට එයාලාගේ අධ්‍යාපනයේ ඒ වගේම පසුකාලීනව යෙදෙන වෘත්තීන්හි තිබෙන ඒකාකාරී නීරස බව සහ අධික වගකීම් සහගත බව හේතුවෙන් ඇතිවන පීඩාව ‍වගේ ගොඩක් ලෙඩවලට බෙහෙතුත් නිකම්ම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි වෘත්තිය තුළ සෞන්දර්යය නෑ කියමු. මේ වගේ දේවලින් සෞන්දර්යය ජීවිතයට වගේම වෘත්තියටත් එක කර ගන්න උත්සාහ දරන්න පුළුවන්. මේ සිසුන් ගේ ගීත ට්‍රෙන්ඩ්එකක් විතරක් විදිහට කෙනෙක් හඳුනා ගත්තත් ඒ ඇතුලේ කිසියම් හරයක් තිබෙන බව අවබෝධයෙන් බැලුවොත් පෙනේවි.

යූ ටියුබ් බැලුවොත් මේ වගේ ගීත ගොඩක් බලන්න පුළුවන්. 2017 වසරේ රුහුණු කැම්පස්එකේ ඉංජිනේරු පිඨ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 'කැවුම්' කියලා සින්දුවක් කරලා තියෙනවා.

‍'පොළොවෙන් මතු වෙලා' (කැම්පස් ගිය හැටි) කියලා නම් කරලා තියෙන ගීතය පොදුවේ රුහුණු ඉංජිනේරු පීඨයෙන් කළ ගීතයක් විදිහටත් ඉදිරිපත් කරලා තියෙන්නේ. තව මොරටුව සරසවියේ official batch songඑක 2016, රුහුණු විද්‍යා පීඨයේ 37වන බැච්එකේ ගීතය, 'කාගෙද පාටි' කියලා හඳුන්වන රුහුණු සරසවියේ 2015 බැච්එකේ ගීතය, කොළඹ සරසවියේ 2015 බැච්එකේ 'සුකුරුත්තන්' ගීතය වගේම 'ජුන්ඩන්ට වෙන දේවල්' කොළඹ සරසවියේ 2013 බැච්එකේ ගීතයත් වගේම ජයවර්ධනපුර සරසවි සිසුන්ගේ ගීතයකුත් ඒ අතරින් ආසාවෙන් බලන්න පුළුවන් ඒවා. තව තිබුණා. මෙහි සඳහන් නොකලත් මේ හැම සින්දුවක්ම වගේ බලාගෙන ඉන්න පුළුවන් මට්ටමේ ඒවා.

කැම්පස් කාලේ කියන්නේ කොහොම වුණත් ජීවිතේ සුන්දරම කාලයක්. ඒ බව තේරෙන්නේ මැදි වියත් පසු කළාම. ඉතින් තරුණ කාලේ ජීවිතයට මේ ‍වගේ සිහිවටන එක් කර ගැනීම කොයිතරම් හොඳද?

ටිරෝනි වෑවලගේ
සචින්ත නාඔටුන්න

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.