චර්ම ප්‍රදාහයට අපේ රටෙන් නව ඔසුවක් | සිළුමිණ

චර්ම ප්‍රදාහයට අපේ රටෙන් නව ඔසුවක්

දෙමවුපියන් ඉතාම හොඳ දේ ලබා දෙන්නේ තමන්ගේ දරුවන්ට. ඊළඟට හොඳම දේ දායාද කරන්නේ තම රටට. එලෙසින් අපේම රටේ නිෂ්පාදනයක් ලෙස වටිනා ඖෂධයක් දැයට දායාද කිරීමේ පුවතක් පසු ගිය දා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා විය.

ලෙඩ රෝග අප ජීවිතවලට පිවිසෙන්නේ අපගේ වයස හෝ තරාතිරම සලකා බලා නොවේ. නිරන්තරයෙන් අපට වැලඳෙන රෝග අතරින් චර්ම රෝග මිනිස් ජීවිත බොහෝ පීඩාකාරී තත්ත්වයන්ට භාජනය කරයි. දැනට ශ්‍රී ලංකාවේ චර්ම රෝග 2200ක් පමණ සොයා ගෙන ඇති බව වෛද්‍ය මතයයි. මේ අතරින් අප සාමාන්‍ය ව්‍යවහාරයේ දක්වන රත්තයා රෝගය නොහොත් චර්ම ප්‍රදාහ රෝගය කුඩා බිලිඳෙකු හෝ බිලිඳියක සිටින මවුපියන් බොහෝ වේදනාවට පත් කරන රෝගී තත්ත්වයක් වේ. වෛද්‍යවරුන් පවසන පරිදි, පසුගිය දශක කිහිපය තුල මේ රෝගය දළ වශයෙන් 10% කින් පමණ වර්ධනය වී ඇත. මේ රෝගය සමෙහි පවතින ජල ප්‍රමාණය අවම කර විජලන තත්ත්වයන් ඇති කරනවා පමණක් නොව තවත් සංකූලතා රැසකට මං විවර කරයි. ඒ අතරින් ඇදුම රෝගය, මන්දපෝෂණ තත්ත්ව, පීනස, ආහාර ආසාත්මිකතා ආදිය විශේෂ වේ. මෙවන් වාතාවරණයක මේ රෝගයෙන් අත් මිදීම කාලීන අවශ්‍යතාවක් ලෙස දුටු රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධවේදියෙකු නවතම ඖෂධයක් නිපදවීමට සමත් වී ඇත.

ඔහු නමින් ජානක කොටුවේගෙදර මහතායි. අවිස්සාවේල්ල ශාන්ත මරියා විදුහල, සීතාවක මධ්‍ය මහා විද්‍යාලය, ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් වලින් අධ්‍යාපනය ලැබූ ඔහු අනතුරුව පැවති තරඟ විභාගයකින් ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ඖෂධවේදය පිළිබඳ හැදෑරීමට ඉඩ හසර ලබ ගෙන ඇත.

ඖෂධවේදියෙකු ලෙස 17 වසරක සේවා කාලය තුල ඔහුගේ ප්‍රථම නිපැයුම 2009 වර්ෂයේදී නිකුත් විය. වකුගඩු රෝගවලින්, ස්නායු රෝගවලින් හා හෘද රෝගවලින් පෙළෙන දරුවන්ට හා වැඩිහිටියන්ට ලබා දෙන පෙති වර්ගවලින් 1/16, 1/20 හෝ සමහර විට 1/100 ප්‍රමාණයක් glucose හා මුසු කොට ලබා දීම එකල සිදු විය. එහිදී ඖෂධයේ ගුණාත්මක භාවයට හානි සිදු වන බව හඳුනා ගැනීමෙන් පසු, කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධවේද අංශ කථිකාචාර්ය ඩබ්ලිව්. පතිරණ මහතා හා එක් වී එයට විසඳුමක් ලෙස

glucose වෙනුවට lactose ඖෂධය මුසු කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ඔහුට හැකියාව ලැබුණි. ප්‍රථම නිපැයුම එසේ සනිටුහන් වෙද්දී, දෙවන නිපැයුමට අඩිතාලම දැමීමට ඔහුට හැකි වූයේ චර්ම ප්‍රදාහ රෝගයට ගොදුරු වූ ළමා රෝගීන් පිළිබඳ දීර්ඝ කලීනව ඔහු ලත් අත්දැකීම් හේතු කොටගෙනය. තවද, මෙය හුදු නිෂ්පාදනයකට වඩා ඖෂධ හා වෛද්‍ය ක්ෂේත්‍රය ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණයක් බව කිව මනාය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය ජයග්‍රහණයක් වන්නේ, මීට පෙර භාවිත කල ඖෂධවල ඇති

දුර්වලකම්, ආසාත්මිකතා හා අඩු පාඩු මඟ හරිමින් ගුණාත්මක බවින් පොහොසත් ඉතා සාර්ථක නිෂ්පාදනයක් ලෙස දැයට දායාද කිරීමට මොහු ලත් සමත්කමය. එමෙන්ම, 2017 ඔක්තෝබර් මස පැවති 'සහසක් නිමැවුම්' තරගයෙන් මෙයට වෛද්‍ය හා ඖෂධ අංශයෙන් තුන්වන ස්ථානයද ලැබී ඇත.

බාත් ඉමොලියන්ට් යන නමින් නිපදවා ඇති මේ නිෂ්පාදනය, වසර එකහමාරක් තුල සිදු කල පර්යේෂණ කිහිපයක ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකාවේ හොඳම පර්යේෂණාගාරය තුළ මේ නිෂ්පාදනය පරීක්ෂණ කිහිපයකට ලක් කිරීමෙන් අනතුරුව මේ ඖෂධයෙහි ඇති ගුණාත්මක භාවය හා තත්ත්වය පිළිබඳ සහතිකයද ලබා ගෙන ඇත. ඔහු මේ නිපැයුම වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයද හිමි කර ගෙන ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන්ද ලත් අනුමැතියෙන් මේ ඖෂධය ළමා රෝහලේ ළමා රෝගීන්ට නොමිලයේම නිකුත් කෙරුණි.

මේ ප්‍රතිකාරය දැනට ළමා රෝගීන් 4000කට වැඩි ප්‍රමාණයකට ලබා දී ඇති අතර ඒ සඳහා ඔවුන්ගෙන් ලත් ප්‍රතිචාර ඉතා ඉහළය.

මේ නිෂ්පාදනයේ විශේෂත්වය පිළිබඳ ඔහුගෙන් විමසූ විට, ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.

"මේ බාත් ඔයිල්එක දරුවා නාවන අවස්ථාවේ පමණයි යොදා ගන්නේ. දරුවා නාවන ජල බේසමට මෙයින් 5ml මිශ්‍ර කර දරුවාගේ ගෙල තෙක් විනාඩි 20ක් පමණ ගිල්වා තියලා තෙත මාත්තු කරනවා මිස පිස දැමීමක් කරන්නේ නැහැ. එය දවස පුරාම ළදරු සම සුරක්ෂිතව තබනවා. එයයි මේ නිෂ්පාදනයේ විශේෂත්වය".

තවදුරටත් මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, දැනටමත් රෝහල් මට්ටමින් නිකුත් කෙරෙන මේ නිෂ්පාදනය වෙළෙඳපොළ වෙත මුදා හැරීමට සැලසුම් සකස් වෙමින් පවතින බවයි. එපමණක් නොව, ගෝලීය උණුසුම වැඩිවෙමින් පවතින මෙවන් කාලයක ළදරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා ආගන්තුක රෝගවලින් තම සම ආරක්ෂා කර ගැනීමට මේ බාත් ඉමොලියන්ට් ඖෂධය ඉතාමත් සුදුසු බවද නිර්දේශ වී ඇත.

ඉතාමත් පීඩාකාරී රත්තයා රෝගයෙන් දරුවාන් මුදවා ගැනීමට හැකියාව සහිත මේ නව ඖෂධය සොයා ගැනීමට ඔහුට දිරි දුන් පිරිස අතර මහාචාර්ය ජයමිණි සෙනෙවිරත්න මැතිතුමා, විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මැතිනිය, ජානක අකරවිට මහතා සහ රෝහල් අධ්‍යක්ෂ වික්‍රමසිංහ මහතා, හේලීස් ආයතන කළමණාකාර විජිත ද සිල්වා, රජරට විශ්වවිද්‍යාලයේ හිටපු ලේඛකාධිකාරී ඒකනායක මහතා සහ ඔහුගේ අනෙකුත් ඖෂධවේදී මහත්ම මහත්මීන් පිළිබඳවද ඔහු සිහිපත් කළේ මහත් කෘතඥතාවයකිනි.

"මෙවන් නිපැයුම් කිරීමෙන් රටට විශාල මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්. ඒ වගේම චර්ම ප්‍රදාහ රෝගියෙක් මේ බාත් ඉමොලියන්ට් බෝතල් එකක් හෝ දෙකක් පාවිච්චි කිරීමෙන් නිට්ටාවටම සුවයක් ලබන්න පුළුවන්. විශේෂයෙන්ම මීට පෙර මේ සඳහා තිබුණු ඖෂධ වර්ග ආලේපයෙන් පසු නිවස තුළ පැය කිහිපයක් රැඳී සිටීමට ඇති අවශ්‍යතාවය හා ඒ නිසා ගමන් බිමන් යෑමට ඇති අපහසුතාව යනාදී ගැටලුවලට මේ ඖෂධය කදිම විසඳුමක් වෙනවා. එ නිසා මෙවන් බාත් ඔයිල් නිෂ්පාදනයක් වෛද්‍ය ක්ෂේත්‍රයට තිළිණ කිරීමෙන් මා ලබන්නේ විශාල සතුටක්. බොහෝ විට මේ නිර්මාණය තවත් නව නිපැයුමකට ප්‍රවේශයක් වේවි" යැයි ඔහු අවසාන වශයෙන් සිනාසෙමින් පැවසීය.

උදානි ඉන්ද්‍රචාපා

Comments