ටෝකියෝ ඔලිම්පික් ඉලක්ක කරන ජපනුන්නටත් වඩා හපන් ශ්‍රී ලංකාවේ සුජීව | සිළුමිණ

ටෝකියෝ ඔලිම්පික් ඉලක්ක කරන ජපනුන්නටත් වඩා හපන් ශ්‍රී ලංකාවේ සුජීව

 සංස්කෘතියකට අනුගතවීම බොහෝ වෙහෙසකරය. වෙසෙසින් මහා සංස්කෘතියක සිට තවත් මහා සංස්කෘතියකට අනුගත වීම යනු තවත් දුෂ්කර ක්‍රියාවකි. ඒ මන්දයත් තමන් විශ්වාස කරන, ක්‍රියාවේ නංවන සංස්කෘතියට සපුරා වෙනස් සංස්කෘතික භාවිතයන් සමඟ ගනුදෙනු කිරීම වූ කලි අසීරු හෙයිනි. එක අතකින් දේශාටකයෝ බවට පත්වන්නේද එකී දේශාටක භාවය සාර්ථක කරගන්නේද මෙවැනි සංස්කෘතික විසරණයන් ඉවසීමට තරම් හදවත පුළුල් මිනිසුන් පමණි. ‘නිදහස් මිනිසා‘ හෙවත් පරංගි ලෙස හැඳින්වූ මිනිසුන් ලෝකය තුළ බිහිවන්නට ඇත්තේ එවැනි මිනිසුන්ගේ එකමුතුවෙන් විය යුතුය. බලය හා සම්පත් පිණිස ලෝකය පුරා සංචාරය කළ මිනිස් වර්ගයාගේ සමාරම්භකයින් අතර පෘතුගාලයට, නැතහොත් පෘතුගීසීන්ට වැඩි අවකාශයක් හිමිවන්නේත් ඔවුන් දේශාටකයන් වන්නේත් එහෙයිනි. එකී පරංගි සංස්කෘතියට වෙරළබඩ කලාපය වශයෙන් අනුගතවූ පසුව ඔවුන්ගේ සංස්කෘතියේ විසරණයන් අත්පත් කරගත් ජාතියකට අප අයත් වන්නෝ වෙති. යටත් විජිතකරණය යනු සම්පත් සූරා කෑම වෙනුවෙන් ආරම්භ වූයේ වුවද ඒ හා සමරූපීව සංස්කෘතික විසරණයන්ද අධ්‍යාපනික මූලධර්ම ප්‍රකාරව සිදුකෙරුණේය. තවමත් ගෝලීය අධ්‍යාපනය මගින් සිදුවෙමින් ඇත්තේ එයය. ගතික හෙවත් නිරන්තයෙන් විචලනයවන මෙම සංස්කෘතිය අද වනවිට මූලිකාර්ථ කීපයක් පමණක් දේශජවී සෙසු සියල්ල විශ්විය සංස්කෘතික හැසිරීම් බවට පත්ව ඇත්දැයි සිතෙන තරමට රාජ්‍යයන් සතුව පැවැති සංස්කෘතීන් උප සංස්කෘතිීන් බවට පත්ව ඇතැයි කිවහැකිය. එවැන්නක් සිදුවී ඇත්තේ ගෝලීයකරණය හේතුවෙනි. ඒ අනුව විවිධ ආර්ථිකමය, අධ්‍යාපනමය අවශ්‍යතාවන් මත ලෝකය පුරා ඇවිද යන මිනිසා විශ්වීය සංස්කෘතිය හොඳින් අත්පත් කරගනිමින් එකී රටවල උප සංස්කෘතීන් බවට පත්ව ඇති දැනටත් මහා සංස්කෘතීන් සේ හැඳින්වෙන ඔවුන්ගේ සංස්කෘතීන් වලට අනුගතවීමට සමත්ව තිබේ. කෙසේ නමුත් එවැනි උපසංස්කෘතියක් බවට පත්ව තිබුණද රටක සංස්කෘතියකට අනුගතවීම යනු අසීරු ක්‍රියාවලියකි. එහෙත් එවැනි අභියෝගයක් අතැඹුලක් බවට පත්කරගත් ශ්‍රී ලාංකිකයකු ගැන මෙවර අප මූලික කතාංගය නිර්මාණය කරන්නට තීරණය කළෙමු. ඔහු නමින් සුජිව විජේනායකය.

සුජීව අප හඳුනන්නේ 2002 වර්ෂය තරම් ඈත වකවානුවකදීය. ඔහු එවකට අපට බේස් බෝල් ක්‍රීඩාව ගැන තොරතුරු රැගෙන ආවේය. අඩි හයක් පමණ උස ප්‍රියමනාප පෙනුමැති මේ යෞවනයා තුළ එවකට අප දුටුවේ පුදුමාකාර උනන්දුවකි. සතියකට වතාවක් දෙකක් අප මුණගැසෙන ඔහු අවසානයේ පවුලේ හිතවතකු තරමට හිතෛෂී වූයේය. එකල ඔහු පුලුස්කැප් කොළ පුරවාගෙන ආවේ බේස් බෝල් ක්‍රීඩාව ගැනය. ලෝකය දන්නා මුත් අපි නොදන්නා බේස් බෝල් ක්‍රීඩාව ගැන ඔහු අපේ පාඨකයින්ට තොරතුරු රැගෙන ආවේ එලෙසිනි. අපේ ක්‍රීඩා පිටුවේ හැකි සෑම අවස්ථාවකම ඔහුගේ ප්‍රවෘත්තිවලටද ඉඩක් වෙන් කෙරිණි. එසේ වීමට ඉවහල් වෙන තවත් කරුණක් වූයේ ඔහු අපේ හිත මිතුරකු බවට පත්වීමය. ඔහුගේ පෙරැත්තය නිසා හා සමාජ වගකීම ප්‍රමුඛ නොවුණද බේස් බෝල් ක්‍රීඩාව ගැන හඳුන්වාදීමේ ලිපි මාලාවක් අපි ආරම්භ කළෙමු. මෙසේ බේස්බෝල් ව්‍යාප්ත කරන්නට උරදුන් ශ්‍රී ලංකාවේ පළමු ජාතික පුවත්පත වූ අප ක්‍රීඩා පිටුවේ සාමාජිකයන් අද දිවයිනේ සතර අත පුවත්පත් පිටු අරා සේවය කරන බව සිහිවනවිට හැඟෙන්නේ අභිමානයකි. 2006 වසරෙන් පසු සුජීව අප සොයා නිරන්තරයෙන් ආගමන නතර කර දැම්මේය. ඒ ඔහු හා අප අතර විරසකයක් නිර්මාණය වූ නිසා නොවේ. සුජීව වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට යාම ඊට හේතුවවිය. ඔහු එලෙස ජපානයට යන බව අපට කියන්නට අමතක නොකළේය. කෙසේ වෙතත් සුජීව විජේනායක අපගේ මතක පථයෙන් ඉවත් වෙන්නට අවකාශයක් නොලද්දේ විය. ඊට ඉවහල් වූයේ නොබෝ කලකින්ම අන්තර්ජාලය යොදාගනිමින් ඔහු යළි අප හා සබඳතා ආරම්භ කළ හෙයිනි. හදිසියේ සුජීව යළි අපට සිහිපත් වුණේ නිකමට නොවේ. ඔහු ජපානයේ ක්‍රීඩා ඇමැති සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක් හේතුවෙනි. ජපානයේ ක්‍රීඩා ප්‍රගතිය සම්බන්ධයෙන් සලකන කල සුජීව විජේනායකගේ මෙම හමුවීම අප තුළ යළි අතීතය වාන් දමන්නට අවකාශය උදාකළේය. එහෙයින් අප සුජීවගෙන් ආගිය තොරතුරු විමසා බැලීමට මෙය අවස්ථාව කරගතිමු.

‘2006 ජපානයට ආවට පස්සේ මම 2007 මේ රටේ බේස් බෝල් පාසලකට ඇතුළුවෙලා විනිසුරු පාඨමාලාවක් හැදෑරුවා. ඊට පස්සේ මම 2008 වසරේ ඉඳලා ජපානයේ බේස්බෝල් විනිසුරුවෙක් බවට පත්වුණා. ඒක තමයි මගේ ජීවිතයේ වැදගත් අවස්ථාව. එරට විශ්වවිද්‍යාලයක ඉගෙන ගනිමින්ම මම ජපානයේ බේස්බෝල් තරග විනිශ්චය කරන්න පටන් ගත්තා. ක්‍රීඩාවට මගේ තිබුණු ආදරය තමයි ඒකට ඉවහල් වුණේ.‘ ඔහු කියන්නේ සාර්ථකත්වය උපයා ගත් ආකාරය පිළිබඳ අදහස් පළකරමිනි.

මෙලෙස බේස්බෝල් විනිසුරුවකු වන සුජීව ශ්‍රී ලංකාවේ එම ක්‍රීඩාව වැඩිදියුණු කිරීම සඳහා හැකිතාක් බේස් බෝල් ආම්පන්න ජපානයේ සිට ශ්‍රී ලංකාවට එවීමට අමතක නොකළේය. දේශීය වශයෙන් ක්‍රීඩකයන් අත්විඳින ප්‍රධාන ගැටලු ඔහු දන්නා හෙයින් සුජීව කළේ හැකිතාක් ක්‍රීඩා භාණ්ඩ මෙරටට එවීමට ක්‍රියා කිරීමය. ඒ සුජීවගේ ස්වරූපයය. අඩුපාඩුවක් ඇත්තේ කොතැනද එය නිමාකිරීමට ඔහු සැමවිටම උත්සුකවීම ස්වභාවයවී තිබීම ඊට හේතුවී තිබිණි. ජපානයේදීත් ඔහු එකී උද්යෝයගය අමතක නොකළේ ඒ අයුරිනි. තමන්ගේ අරමුණු සාර්ථක වුණු බව පවසා සියලු පොදු අරමුණු අමතක කර වෙනතක් බලාගැනීම ඔහුගේ සිරිතක් නොවේ. ඒබව වඩාත් සනාථ වන්නේ දේශීය බේස් බෝල් කණ්ඩායම් ජපානයට කැඳවා පුහුණු අවස්ථා ලබාදීමට ඔහු කටයුතු කළ හෙයිනි. දේශීය බේස් බෝල් පුහුණුකරුවන් දෙදෙනෙකුට මාස දහය බැගින් වන පාඨමාලා සඳහා අවස්ථාව උදාකරදීම් සිදුකරන්නේ මාසිකව රුපියල් ලක්ෂයක ප්‍රතිලාභයක්ද සහිතවය. 2010 වසරේ සංචාරක හෝටල් ක්ෂේත්‍රය ආශ්‍රිතව සිදුකළ තම අධ්‍යාපනය අවසන් කරන සුජීව වර්තමානය වනවිට සේවයකරන්නේ ජපානයේ ප්‍රධාන පෙළේ හෝටල් සමාගමකය. ඔහු එහි කොතරම් සාර්ථකද යත් අදාළ සමාගමට අයත් හෝටල් නවයක ජපන් ජාතිකයන් 200ක් පමණ ඔහු යටතේ සේවය කරන්නේ එහෙයිනි. ජපන් ජාතිකයන් වෙනුවෙන් පාඨමාලා සංවිධානය කිරීමද කරන්නේ අපේ සුජීවමය. ඔහු පැමිණි මෙම ගමන ආශ්චර්යයක් වන්නේ අපට පමණක් නොවන බවට එයද සාක්ෂියකි. එය ජපනුන් තුළද ඇතිකරන්නේ පුදුමයකි. එරට රූපවාහිනී නාලිකා වල වැඩසටහන් දෙසීයකට අධික ප්‍රමාණයක්, විවිධ ජාතික පුවත්පත් පිටුතීරු ජපානයට තුළ හැඩකරන්නට සුජීව විජේනායකට අවස්ථාවක් හිමිවන්නේ ඒ අනුවය. එමෙන්ම ජපාන පාසල්, විශ්ව විද්‍යාල ඇතුළු විවිධ ආයතනවල දේශකයකු වශයෙන් කටයුතු කරන්නටත් ඔහුට ආරාධනා හිමිවන්නේද එහි ප්‍රතිඵලයක් ලෙසය.

ඔහු 2012 වසරෙදී ශ්‍රී ලංකාවේ ‘දියගම‘ ආශ්‍රිතව මෙරට පළමු බේස්බෝල් ක්‍රීඩාංගණය ඉදිකරන්නට මුදල් සොයා ගන්නේ ජපාන රජයෙන් හා එරට අනුග්‍රාහකයන්ගේ ආධාර එකතු පහදු කරමිනි. ඒ සඳහා රුපියල් කෝටි තුනක් පමණ වැයකෙරුණු අතර එහි සම්පූර්ණ ශක්තිය අපගේ පුංචි කතානායකයාගේය. මේ අතර වර්තමානය වනවිට ජපානයේ සිටින බේස්බෝල් පුහුණුකරුවන් පනස් දහසක් පමණ පිරිස අතරින් ජාත්‍යන්තර විනිසුරුවන් 29 දෙනා අතරටද ඔහු ඇතුළත්ව සිටින බව පවසන්නේ සුවිශේෂී කරුණක් වශයෙනි. ජපානයේ සිටින ක්‍රීඩාවක් නියෝජනය කරන එකම විදේශීය විනිසුරුවා වන්නේ ද ඔහුය. එය බේස් බෝල් වලට පමණක් නොව සෙසු ක්‍රීඩාවලටද අදාළය. ජපානය තුළ ක්‍රීඩාව තවදුරටත් දියුණු කිරීම සම්බන්ධයෙන්ද එරට ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ අදහස් හුවමාරු කරගැනීමේ ගෞරවනීය අවස්ථාවද අපේ සුජීව මේ වනවිට හිමිකරගෙන අවසන්ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ටෝකියෝ ඔලිම්පික් උලෙළ සඳහා සූදානම්වීම සම්බන්දයෙන් තවදුරටත් දේශන කීපයක් සිදුකරන ලෙසට සුජීවට මේ වනවිටත් ජපාන ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ආරාධනා ලැබ තිබේ. 2020 වසරේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වය සඳහා දායකවීමේ විරල අවස්ථාව සුජීව විජේනායකට හිමිව ඇත්තේ ඒ අයුරිනි. දැනට සැලකෙන ආකාරයට ජපානය යනු ලෝක බේස්බෝල් පිටියේ රජුන් තනන්නාය. එරට තුළ ක්‍රීඩක කණ්ඩායම්හි ජය-පැරදුම් තීරණය කරන්නේ අපේ කතානායකයාය. එයද සුවිශේෂී ගෞරවයකි.

මේ වනවිට සුජීව ලෝකයේ විවිධ රටවල ජාත්‍යන්තර බේස් බෝල් විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් සංචාරය කර තිබේ. කැනඩාව, ඇමරිකාව, කියුබාව, වෙනිසියුලාව, මැලේසියාව, තායිවානය, රුසියාව ඒ අතරින් රටවල් කීපයක් පමණි. ඇතැම් විටෙක අපේ සුජීව ලෝකයේ සියලු රටවල සංචාරය කරන දවසකුත් මතු දිනෙක පැමිණෙන්ට වුව ඉඩ ඇතැයිද අපට කිවහැකිය. අප එසේ කියන්නේ සුජීවගේ ජීවිතයේ ප්‍රධාන ආදර්ශය සැලකිල්ලට ගැනීමේදීය. ‘කළ නොහැක්කක් නොමැත.‘ යන්න ඔහුගේ එකම පිළිගැනීමය. ඔහුගේ ජීවිතයෙන් ඉස්මතුවන්නේද එය සමගය. ලෝක ශූරතා බේස්බෝල් තරගාවලියේදී, ආසියානු ශූරතා තරගාවලියේදී මෙන්ම ලෝක සරසවි බේස් බෝල් ශූරතාවේදී එහි අවසන් මහා තරගය මේ වනවිට විනිශ්චය කර ඇත්තේ සුජීව විජේනායකය. ඒ අනුව ඔහුට තවත් එක් සුවිශාල සිහිනයක් තිබේ. ඒ 2020 ඔලිම්පික් උලෙළේදී බේස්බෝල් තරගාවලියේ අවසන් තරගය විනිශ්චය කිරීමය. ඒ සඳහාද සුජීවට හැකියාවක් ඇතැයි අපි විශ්වාස කරමු. එසේ කරන්නේ වෙනයම් කිසිවක් නිසා නොව මෙතෙක් ඔහු දක්වා ඇති හුරුබුහුටිකම් ඒ තරම් අපූර්ව වන බැවිනි.

 සටහන - කසුන් ඉරුගල්බණ්ඩාර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.