සමනොළගිරට රජ ගමන්... | සිළුමිණ

සමනොළගිරට රජ ගමන්...

මෙතෙක් කතාව...

බෙත්මේ වලව්වේ දෙටුපුත් 'අප්පුහාමි' 1693දී පැවිදිබිමට ඇතුළත් වූයේ 'වේහැල්ලේ ධම්මදින්න' සාමණේර නමිනි. වැලිවිට සරණංකර හිමියන් ඇසුරට පත් උන් වහන්සේගේ දක්ෂතාවන්ට පැසසුමක් ලෙස කීර්ති ශ්‍රී රාජසිංහ රජු තඹ සන්නසකින් සමනොළගිර විහාරය බාරදුන්නේය. ධම්මදින්න හිමියන්ගේ සොහොයුරුට ලැබුණු 'මුලමොර' ගම්වරය නිසා 'මොලමුරේ' පෙළපත පැවතෙයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු දූත පිරිසක් අයෝධ්‍යාවට පිටත් කර, 1753 ඇසළ පුර පසළොස්වක සියම් දේශයේ සිට වැඩි උපාලි මහ ස්ථවිරයන්ගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත පිරිසුදු උපසම්පදා කර්මය සිදු කරන ලදි. එරජු විසින්ම වැලිවිට සරණංකර හිමියන් වෙත සංඝරාජ පදවියද වේහැල්ලේ ධම්මදින්න හිමියන් සසුනට කළ සේවය අගයා සිරි සමනොළ ගල විහාර පදවියද පූජා කරන ලදි. 1792 දක්වාම ශ්‍රී පාදස්ථානය භුක්ති විඳි ආඬි පකීර්වරුන් විසින් රජුට තෑගි කරන ලද අඩි හතකුත් අඟල් තුනක් දිගැති දැවැන්ත ඇත්දළ යුගලද වේහැල්ලේ ධම්මදින්න නාහිමියන්ට බාර කරන ලදි. වරක් සතුරු දේපළක් ලෙස නම් කළ එය බිත්තියක මැටිගසා සඟවා තිබියදී පවා සොරාගෙන ඇත. ආඬි පකීර්ලා සිරිපාද පාලනය ඩැහැගැනීමට යෙදූ කූට උපක්‍රම නිසාදෝ එය-පුදාගැනීමට පැමිණි විශේෂ විදේශ අමුත්තන් පිළිබඳ දේශීය ලේඛනගත වීම් අවම වුවත් වෙනත් භාෂාවලින් ඒ පිළිබඳ විවිධ සටහන් ඇත.

සමනොළගිර වෙත ගමන් කිරීමට ඇති මාර්ග දෙක සුමන සමන් දෙවියන්ගේ යුගයටත් පෙර සිට පැවතෙන බව බොහෝ දෙනාගේ මතයයි. බාල රාමායණය රචනා කළ භාරත රාජශේඛරයන් සඳහන් කරන්නේ සමනොළ කන්දේ 'අගස්ති' සහ 'යාම' යන දෙදෙන විසූ බවයි. අප අදටත් සිරි පා කරුණා කරන කුරුවිට එරත්න පළාබත්ගල ඔස්සේ වැටුණු දකුණු සපරගමු මාර්ගය සහ උලපනේ, අඹගමුව, කෙහෙල්ගමුව හරහා වැටුණු උතුරු රජරට මාර්ගයත් මේ අගස්ති සහ යාම දෙ‍දෙනා නිර්මාණය කළ මාර්ගයැයි විශ්වාසයක් තිබේ. මැද රට රාජධානිය පාලනය කළ 'මහා සුමන' නරපතියා සමන්තකූට සිරසට මඳක් පහළින් ඇති ස්ථානයක් සිය වාසභවන ලෙස යොදාගෙන තිබිණි. කැලණියට වැඩි බුදු හිමියන්ට සමනොළගිරට වඩින ලෙස ආරාධනා කළ පසු තමන්ගේ වාස භවන බුදුරදුන්ගේ දිවා විහරණය සඳහා පූජා කොට, එය 'භගවාලෙන' ලෙස නම් කළේය. 'දිවා ගුහාව' ලෙස අප හඳුන්වන ස්ථානය බුදුන් ඇතුළු රහතන් වහන්සේ වෙනුවෙන් වෙන් කළ සුමන සමන් දෙවියන් සමන්තකූටය අසල ඇති බෑන සමනොළ පර්වතය තම වාසය සඳහා යොදාගත් බව ජනප්‍රවාදයයි.

වළගම්බා රජුගෙන් දිගු කලකට පසු සිරිපා කරුණා කර ඇති බවට සඳහන් වන්නේ සිව්වැනි මිහිඳු රජු බව රාජාවලිය විමසන විට පැහැදිලි වේ. ක්‍රිස්තුවර්ෂ 1059න් සිය රාජ්‍ය සමය ආරම්භ කර අඩසිය වසක් පමණ රට පාලනය කළ පළමුවැනි විජයබාහු රජු හෙවත් ශ්‍රී සංඝබෝධි විජයබාහු රජු දකුණු සපරගමු මාර්ගයෙන් සිරිපා කරුණාවට ගොස් ගිමන් හැර ඇත්තේ ගිලීමලය ප්‍රදේශයේය. රජකුට මෙතරම් මහන්සිය දැනෙන්නේ නම් සාමාන්‍ය වැසියන්ට කොතරම් මහන්සි ඇත්දැයි සිතූ රජු තමා ගිමන් නිවූ ගිලීමලය ගම සහ බඹරබටුව ගම ශ්‍රී පාදය වෙනුවෙන් පූජා කර, ඒ පිළිබඳ ගිලීමලේ ශිලා ලිපියක්ද කරවීය. සිරිපා පද්මය වෙනුවෙන් බොහෝ පුද-පූජා පැවැත්වූ රජු එයින් නොසෑහී තවත් මළුවක් සිරිපා මළුවට පහළින් කරවන්නට කටයුතු යෙදවූයේය. ආ මඟින් යනවාට වඩා වෙනස් මඟකින් බැසීමේ අරමුණ සහිතව උතුරු රජරට මාර්ගය භාවිත කළ රජු අඹගමුවේදී තවත් ශිලා ලිපියක් කරවීය. පළමුවන විජයබාහු නම් වන තමන් රාජාභිෂේකයෙන් තිස්අට වන වර්ෂයේ සිරිපා කරුණා කර පූජෝපහාර පැවැත්වූ අතර, සමනොළ සිරසට කරන ගෞරවයක් වශයෙන් උතුරු රජරට මාවතෙන් වන්දනාවේ වඩින මහා සංඝරත්නයේ සහ බැතිමතුන්ගේ පහසුව පිණිස විල්බාව, කෙලගමුව, තිනියගල, සොරගොඩ, ලියවල, බදුලු වනය, කොටවැල්ල, කලගවෙල, බදමකුළුව, අඹගමුව, වැලිගම්පොළ, උලපනය නම් වූ ගම්වලින් රජයට ලැබෙන ගොඩ-මඩ ආදායම යොදවා, සිරිපා මළුවේ සිට ගව්වෙන් ගව්ව පිහිටන පරිදි දාන ශාලා අරවා, ඒවායේ නඩත්තුවට අදාළ ගම්වලින් ලැබෙන ආදායම යොදාගත යුතු බවට අණාඥාවක් නිකුත් කරන ලදී. එය එවක බහුල ජනමාධ්‍යයක් බවට පත්ව තිබූ ශිලා ලිපිය මඟින් ප්‍රසිද්ධියට පත් කරන ලදි.

පළමුවැනි පරාක්‍රමබාහු රජු සිරිපා වන්දනාවේ යෙදුණේ පළමු විජයබා රජුගේ අවෑමෙන් දශක හතරක් පමණ වන විටය. තමන්ගේ ගමනේ සිහිවටනයක් වශයෙන් ශ්‍රීපාදස්ථානයේ පිහිටි මහා සමන් දේවාලය කරවීමට පැරකුම්බා රජු කටයුතු කළේය. රජුගේ ඇවෑමෙන් අබිසෙස් ලැබූ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජුද විජයබා රජු මෙන්ම සපරගමු මාවතෙන් මළුවට පිවිස පුද-පූජා පවත්වා ආපසු ගමන් කළේ රජරට මාවතෙනි. ඒ බව මහා වංශයේ සඳහන් වේ. ඒ ගමනේ සලකුණු තැබීමට කටයුතු කළ රජ දිවාගුහාව අසල ශිලා ලිපි දෙකක් කරවීමට කටයුතු කළේය. ඉන් එකක සුවිශේෂත්වය වන්නේ එහි රජ තෙෙම් සිරිපතුල වන්දනා කළ ආකාරය රූපයට නඟා තිබීමයි. අනෙක් ශිලා ලිපිය රජ භාවිත කළේ තමන්ට සියවසකට පමණ පෙර විජයබාහු රජු විසින් වෙන් කරන ලද විහාරගම්වල අයිතිය පිළිබඳ කිසිවකුටත් ගැටලු ඇති නොවන පරිදි යළි තහවුරු කර දීමටයි. මේ කටයුතු සකසා අඩ-ගව්වක් ගිය තැන යළි ගිමන් හරින්නට රජු ලෙනක නතර විය. එය අදටත් නිශ්ශංකමල්ල ලෙන ලෙස වැහැරේ. අඹගමුවෙන් ගම්පළටත්, එතැනින් පඬුවස්නුවරටත් ගිය රජු එතැනද ශ්‍රීපාදයට ගිය ගමන සඳහන් ශිලා ලිපියක් කරවීමට අමතක නොකළේය. ඉන්පසුය රජු සිය පොලොන්නරුව රාජධානිය වෙත සම්ප්‍රාප්ත වූයේ.

දෙවැනි පරාක්‍රමබාහු රජුසමය වන තුරු යළිත් රජවරුන් සිරිපා වන්දනා කිරීම පිළිබඳ සටහනක් සොයාගැනීම අපහසුය. කාලිංග මාඝ ආක්‍රමණ ඊට හේතු වන්නට ඇත. කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවැනි පරාක්‍රමබාහු රජු සිරිපා වන්දනාවේ යෙදුණේ සතුරන් පරාජයෙන් කලකට පසුය. ඒ මොහොතේ සමන්තකූටයේ සිට ගව් දහයක වපසරියේ ඇති සියලු ආදායම් ශ්‍රීපාදස්ථානයට යොමු කරන ලෙස අණාඥාවක් නිකුත් කරන ලදි. ඒ පිළිබඳ ශිලා ලිපියක්ද කරවූ බව සඳහන්ව ඇතත් මෙතෙක් එය සොයාගෙන නැත.

ඉන් පසු සිරිපා කරුණාවේ යෙදී ඇති බවට සාක්ෂි ඇත්තේ බෝසත් විජයබාහු රජුගේ සහ වික්‍රමබාහු රජුගේ සමයවලදීය. සෙංකඩගල පුරවරයේ ශ්‍රීවර්ධන නගරයෙන් පැමිණි 'වික්‍රමබාහු' නමින් ප්‍රසිද්ධ වූ 'වීරවික්‍රම' රජු සමනොළ සිරසට ගෞරවාචාර දක්වා ඇත්තේ පසළොස් රියන් වට, පස් රියන් උස ප්‍රදීපාගාරයෙක තෙල් කළ සියයක පහන් පූජාවකිනි. ශ්‍රද්ධාසම්පන්න වන්දනාකරුවන් අදටත් පහසුවෙන් සමනොළගිර කරුණා කරන්නේ ඒ රජු ගල් හත්සිය අසූවකින් යුක්තව කරවූ පඩිපෙළ නිසාය. මේ සියලු දෑ 1581 වන විට බෞද්ධයන්ගෙන් ගිලිහිණි.

මතු සබැඳේ...

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.