ජීවත් වෙන්න අධ්‍යාපනයක් | සිළුමිණ

ජීවත් වෙන්න අධ්‍යාපනයක්

 මීට දශක හතරකට - පහකට පෙර අධ්‍යාපනය ලෙස ලාංකික ගැමියා තේරුම් ගත්තේ 'බස් බෝඩ් එකක් කියවීමට ඇති හැකියාවක්' ලෙසය. ඒ අනුව මහ ලොකු අධ්‍යාපනයක් ලැබීම ඔවුන්ගේ ප්‍රාර්ථනාව නොවීය. එහෙත් සමාජය සංකීර්ණ වන්නට සමාන්තරව සමාජයේ අධ්‍යාපන අවශ්‍යතාද පුළුල් විය. මේ වන විට බස් බෝඩ් එකක් කියවාගැනීමට හැකි නම් අධ්‍යාපනය ප්‍රමාණවත්යැයි කියන දෙමවුපියන් සමාජයේ සොයන්නට නැත.

කන්නන්ගර අමාත්‍යතුමාගේ සිහිනයක් වූ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නට පටන් ගත්තද එය සාර්ථක වූයේ රාජ්‍ය භාෂාව සිංහල කිරීමෙන් පසුවය. එහෙත් දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව නොවීම තුළ බරපතළ සමාජ අර්බුද ඇති විය. 1978 පමණ වන තෙක්ම අධ්‍යාපන විෂයයේදී පවා වාර්ගික වෙනස්කම් සමාජය තුළ සිදු විය.

1978න් පසු සමාජ භේදකාරී පටු මතවාදවලට අධ්‍යාපන තුළ හානි කරන්නට අවස්ථාවක් උදා වූයේ නැතත් සම්පත් බෙදී යෑමේ අසාධාරණ ක්‍රමය නිසා ආන්තික ජන කොටස්වලට බරපතළ අසාධරණකම් සිදු වන්නට පටන් ගත්තේය. ඒ නිසා නිදහස් අධ්‍යාපනය හුදු මැතිරිල්ලකට සුදුසු වචන දෙකක් පමණක් විය. ආන්තික ජන කොටස්වලට අධ්‍යාපනය යනු තවත් පීඩාකාරී සංකල්පයක් මිසක් සමාජ ප්‍රගතිශිලී විෂයයක් නොවේ. එනිසා අධ්‍යාපනය තුළ පවතින බරපතළ විෂමතාව පරාජය කර මැද පන්තිය විසින් උදුරාගෙන ඇති ආන්තික ජන කොටස්වල අයිතිය තහවුරු කළ යුතුව තිබේ.

කෙසේවෙතත් ලාංකික සමාජය අධ්‍යාපනය ලෙස තේරුම් ගෙන ඇත්තේ තමන්ගේ පන්ති සීමාව ඉක්මවා ඉහළ පන්තියකට පොළාපැනීමට සමාජයේ වියදමෙන් සකසා දුන් උත්තෝලකයක් ලෙසය. තමන් ඒ උත්තෝලකයෙන් ඉහළ පන්තියට පොළාපැන්න පසු තමන්ගේ සැබෑ සමාජ පන්තිය අමතක කරමින් අලුත් පන්තියට හැඩගැසීමේදී ආන්තික සමාජ කොටසට සිදු වන සමාජ අසාධාරණය ඔවුන් කිසිවිට තකන්නේ නැත. එනිසා පවතින නිදහස් අධ්‍යාපනය පවා සමාජ පීඩක උපකරණයක් ලෙස පැහැදිලි කරගත හැකිය.

අධ්‍යාපනයේ පවතින බරපතළ විෂමතාව මැද වුවත් සමස්තයක් ලෙස කිව හැක්කේ අධ්‍යාපනය ලෙස සමාජය තේරුම් ගෙන ඇත්තේ දරුවකුගේ ජීවිතය යහපත් කරගැනීමට ඇති අවකාශයක් ලෙස නොවේ. ඒ අවකාශය තුළ හොඳ රැකියාවක් යන්න අත්‍යවශ්‍ය එක් සාධකයක් පමණක් වුවත් සමාජය විසින් අධ්‍යාපනය විග්‍රහ කරගෙන ඇත්තේ අධ්‍යාපනය ලබන්නේ හොඳ රැකියාවක් ලබාගැනීමට පමණක්ම ලෙසය.

පවතින වෙළෙඳපළ මූලික වූ සමාජ ක්‍රමය තුළ තවත් යුග ගණනාවක් පවතිනවා ඇත්තේ හොඳ රැකියාවකට අධ්‍යාපනය යන්න විය හැකිය. එහෙත් අධ්‍යාපනය ලබන්නේ රැකියාවක් ලබාගැනීම වැනි පටු අරමුණකින් නොව උපත ලද දරුවකුට ජීවත් වීම ඉගැන්වීමටය. දරුවකුට හොඳ රැකියාවක් ලබාගැනීම සඳහා ලබා දිය යුත්තේ තාක්ෂණික අධ්‍යාපනයකි. එහෙත් පුළුල් අර්ථයෙන් වූ අධ්‍යාපනය තාක්ෂණික අධ්‍යාපනයකට ලඝු කිරීම නොකළ යුත්තකි.

අද ලාංකික සමාජය තුළ පාසල් අධ්‍යාපනය මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයද අවුල් ජාලාවකි. පාසල් අධ්‍යාපනය ලබාදෙන්නේ කුමකටද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙන්නේ කුමකටද යන්න කිසිවෙක් නොදනිති. ඒ නිසා අධ්‍ය‍ාපනය මෙන්ම තාක්ෂණික අධ්‍යාපනයද සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවේ.

දැනට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් හෝ නොසමත් දරුවන්ට ලබාදෙන තාක්ෂණික පුහුණු පාඨමාලාවේ සිට වෛද්‍ය අධ්‍ය‍ාපනය දක්වා වූ රැකියා අභිමුඛ කරගත් අධ්‍යාපනය පැවතිය යුත්තේ තාක්ෂණික අධ්‍යාපන ධාරාව තුළය. ඒ අනුව දැනට පවතින සාම්ප්‍රදායික පාඨමාලා ලෙස විශ්වවිද්‍යාල, තාක්ෂණික අධ්‍යාපන ආයතන ආදි සියලු උපාධි, ඩිප්ලෝමා ප්‍රදානය කරන අධ්‍යාපන ක්‍රමවේදය ඊට අයත්ය. ඒවා තවදුරටත් විධිමත් කළ යුතු අතර උපත ලද දරුවකුට වෙළෙඳපළ තුළ අතරමං නොවී ජීවිතය ගෙන යෑම සදහා සාර්ථක රැකියාවක් ලබාගැනීමට තාක්ෂණික අධ්‍යාපනය තහවුරු කළ යුතුය.

එහෙත් ප්‍රශ්නය පවතින්නේ සමාජයට දැනුම නිෂ්පාදනය කරන පුද්ගලයන් බිහි කරන පුළුල් අර්ථයෙන් වූ අධයාපන අවකාශය සකස් කරගැනීම සම්බන්ධයෙනි. එම අවකාශය මුළුමනින්ම නිර්මාණය කරගත යුත්තේ වෙළෙඳපළ අවශ්‍යතාවලින් බැහැරවය. ඊට වෙළෙඳපළ වටිනාකමක් නිර්මාණය කරගැනීම යහපත් වුවත් වෙළෙඳපළ අවශ්‍යතා මත තීන්දු-තීරණ නොගත යුතුය.

සෑම විෂයයකම දර්ශනය මිනිස් ශිෂ්ටාචාරය ඉදිරියට පවත්වාගෙන යන්නට මූලික වන විෂයයකි. මානව ශාස්ත්‍රය විෂය ධාරාවේ පමණක් නොව විද්‍යා විෂය ධාරාවටද දර්ශනය සම්බන්ධයෙන් වූ වැඩිදුර අධ්‍යාපනය අතිශය වැදගත්ය. එක් එක් විෂයය ධාරාවන් තුළ හෝ ඒවායේ එකතුවක් තුළ හෝ දාර්ශනික බුද්ධිමතුන් බිහි වන්නේ එමගිනි. විශ්වවිද්‍යාල පවත්වා ගෙන යා යුත්තේද දැනුම නිෂ්පාදනය කරන එවැනි කාර්යයන්ට මිස රැකියා අභිමුඛ පාඨමාලා සඳහා නොවේ.

මේ අධ්‍යාපන අවකාශය තුළ පාසල් අධ්‍යාපනය සකස් කරගත යුත්තේ දරුවන්ගේ පෞරුෂ වර්ධනයට හා ජීවත් වන පරිසරය සම්බන්ධ අධ්‍යාපනයක් ලබාදීමටය. මානවවාදය හා පරිසරය එහි පදනම විය යුතුය. ඒවිට බැරිබර උහුලන් පාසල් ගොස් පාඨ ග්‍රන්ථ කටපාඩම් කිරීම නතර විය යුතුය. දරුවා අධ්‍යාපනය ලැබිය යුත්තේ පරිසරය හා ස්ව-අධ්‍යාපනය තුළ ය. ගුරුවරුන් සිටිය යුත්තේ ඔවුන්ට අත්වැල් ඇල්ලීමටය.

නව ලිබරල්වාදී ආර්ථික දේශපාලන ක්‍රමයක් තුළ දැනුම නිෂ්පාදනය කරන්නේ කේන්ද්‍රයේ රටවලය. පරිධියේ මිනිසුන් ජීවත් වෙන්නේ කේන්ද්‍රයට අවශ්‍ය වෙළෙඳපළ සඳහාය. එවැනි තත්ත්වයක යටතේ අධ්‍යාපනය සමබන්ධයෙන් ව්‍යූහාත්මක හා ආකෘතික වෙනස සමාජ යථාර්ථයක් කරගැනීම විප්ලවයකට සමාන විය හැකිය. එහෙත් ඒ විප්ලවයට සූදානම් වීම විමුක්ති දේශපාලන ව්‍යාපාරයක පදනම විය යුතුය.

අබරන් 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.