අපි කළ හොඳ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ | සිළුමිණ

අපි කළ හොඳ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ

පළාත් පාලන මැතිවරණයට දින නියම වෙලා තියෙනවා. කොහොමද මැතිවරණ සටන?

අපි ආණ්ඩු පක්ෂය හැටියට මුහුණ දෙන පළමුවෙනි මැතිවරණය මේකයි. ඇත්ත වශයෙන්ම අපිට මුල ඉදන්ම වුවමනාව තිබ්බා හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණය තියන්න. නමුත් මැතිවරණ ක්‍රමයේ පැවැති අඩුපාඩුකම් නිසා, විශේෂයෙන්ම කොට්ඨාස නිර්ණය කිරීමේ අඩුපාඩුකම් නිසාත් අපිට මැතිවරණය නිසි වෙලාවට තියාගන්න බැරිවුණා. නමුත් දැන් සියල්ල නිවැරදි කරලා නව මැතිවරණ ක්‍රමයකට ගිහින්ලා තියෙනවා. ඒ සමඟම අපිට පළාත්පාලන ඡන්දය පවත්වන්න පුළුවන්කම ලැබුණා.

අපි කලින්ම ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න සූදානම් වෙලා හිටියා. ඒ අනුව අපේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු, ගම්මට්ටමින් සමිති සමාගම් පිහිටුවලා අවශ්‍ය කටයුතු සිදු කළා. ඒ අනුව අපි දක්ෂ අපේක්ෂකයන් පිරිසක් තෝරාගත්තා. අපිට එක කොට්ඨාසයකවත් ලයිස්තුවක් ප්‍රතික්ෂේප නොකර ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. ඒක තමයි මේ මැතිවරණයේ අපි ලබපු මුල්ම ජයග්‍රහණය.

ඒ වගේම මෙතෙන්දි කියන්න ඕනේ. මේ මැතිවරණයේ ජයග්‍රහණය ගැන අපිට කිසිම දෙගිඩියාවක් නැහැ. බහුතර බලයක් අපිට ලැබෙන බව ස්ථිරයි.

ඔබ නියෝජනය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කය යි‍. ගම්පහ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසිදායක දිස්ත්‍රික්කයක් ලෙසටයි සැලකෙන්නේ?

ගම්පහ දිස්ත්‍රික්කය ගත්තම මුහුදුබඩ ප්‍රදේශ කොහොමත් එක්සත් ජාතික පක්ෂයට තියෙන නැඹුරුව වැඩියි. මම නියෝජනය කරන දොම්පේ, අත්තනගල්ල, මහර, ගම්පහ වගේ කොට්ඨාස තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසි සහගත. ‍දොම්පේ ආසනය ගත්තොත් 1977 ඉදන් එක්සත් ජාතික පක්ෂය හතර වතාවක් ජයග්‍රහණය කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල කණුවක් විදිහට සලකන අත්තනගල්ලත් අපි වතාවක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ අපිට බලය තිබුණු 2002 වර්ෂයේයි. දැන් ජනතාව දන්නවා බලය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට කියලා. ජනාධිපතිතුමා ආවෙත් එජාපය මුල්කරගත්තු සන්ධානයකිනුයි. ඒවාගේම අන්තිමට තිබුණු මහමැතිවරණයෙන් ජයගත්තෙත් එක්සත් ජාතික පක්ෂයයි. ඒ එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට ‍කෑලිවලට කැඩිලා. මේ පසුබිමත් එක්ක අපට ගම්පහ ජය ගන්න එක අභියෝගයක් නො වේ.

මේ ආණ්ඩුව කෙටි කාලයක් තුළ ග්‍රාමීය ජනතාවට විශාල පහරක් එල්ල කළ ආණ්ඩුවක් බවට චෝදනා එල්ල වෙනවා. ගොවියාට පොහොර නැතිවෙලා. හාල්, පොල් මිල ඉහළ ගිහින්. මේ වගේ තත්ත්වයක ජනතාව කලකිරීමෙන් නේද ඉන්නෙ?

පොහොර ගැටලුව නම් ලොකු අඩුපාඩුවක් හැටියටයි මමත් දකින්නේ. පොහොර ප්‍රමාදවීමට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ ඒ ආයතනයේ නිලධාරීනුයි. ප්‍රමාද වෙලා හරි ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ විෂය භාර ඇමැතිවරයා ඇතුළු කණ්ඩායම එකතුවෙලා දැන් ඒ තත්ත්වය යථා තත්ත්වයට පත්කරලා තියෙනවා. මෙවැනි අඩුපාඩු ඉස්සරහට නොවෙන්න ආණ්ඩුව හැටියට අපි කටයුතු කරන්න ඕනේ.

පසුගිය කාලයේ අපි දැවැන්ත නියඟයකට මුහුණ දුන්නා. ඒවාගේම ගංවතුර තත්ත්වයක් ඇතිවෙලා වි‍ශාල ලෙස වගාබිම් විනාශ වුණා. මේ හේතු නිසා වී සහ පොල් වගාවට විශාල බලපෑමක් වුණා. නමුත් ඒ අභියෝග එක්ක අපි හාල් මිල අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ එක්කම ජනතාවට සහන මල්ලක් දෙන්නත් කටයුතු කළා.

හාල්, පොල් මිල ගණන් ගැන කතා කරන අය ඇයි අපේ ආණ්ඩුව ජනතාවට දුන්නු අනිත් සහන ගැන කතා කරන්නේ නැත්තේ. ඉන්ධන මිල අඩු කිරීම, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, නිදහසේ ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් ඇති කිරීම. සුදුවෑන් සංස්කෘතිය නැති කළා. රටේ ප්‍රජාතන්ත්‍රවාදී පසුබිම තහවුරු කිරීම කළා. දැන් ඒවා ජනතාව භුක්ති විඳිනවා. රටේ ජනතාවට මේවා දැනිලා නැද්ද? ඇයි අපි ඒ ගැන හිතන්නේ නැ‍ත්තේ.

ඔබ ඔහොම කිව්වට බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිතුමා කියලා තියෙනවා, එතුමලා 2015දී භාරදුන්නේ ස්වයංපෝෂිත රටක් කියලා. මේ ආණ්ඩුව ඇවිල්ලා ජනතාව මත බර පටවලා කියලා ඔහු කියනවා?

මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා තාම ගතවුණේ ‍අවුරුදු දෙක හමාරයි. බැසිල් රාජපක්ෂ මහත්තයලා ආර්ථිකය හසුරපු එකේ වන්දි තමයි දැන් අපිට ගෙවන්න වෙලා තියෙන්නේ. ඉවක් බවක් නැතිව ණය අරගෙන සංවර්ධනය නමින් රටේ විනාශකාරී ලෙස ආර්ථිකය හැසි‍රුවා. ඒ කාලේ රටේ ති‍බුණේ තනිකරම රාජපක්ෂ පාලනයක්නේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂ, කථානායක චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නිලනොලත් ඇමැති නාමල් රාජපක්ෂ, මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මේ වගේ රටේම ති‍බුණේ රාජපක්ෂ පාලනයක්. ඒ විතරක් නොවේ ඔවුන් තමයි ර‍ටේ ආර්ථිකයෙන් 80%ක්ම පාලනය කළේ. අන්තිමට ඒකේ වන්දි ගෙවන්න වුණේ අපේ ආණ්ඩුවටයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු කණ්ඩායම ආර්ථිකය නිවැරදි ලෙස හසුරවලා අද ඒ තිබුණු තත්ත්වයෙන් රට ගොඩ අරගෙන තියෙනවා. ආර්ථිකය අද නිවැරදි දිශාවකට ඇවිල්ලා තියෙනවා.අනික් හැම පැත්තම එහෙමයි.

බැසිල් රාජපක්ෂ මහත්තයා ආයෙත් කරලියට ඇවිල්ලා තියෙනවා. ඒක හොඳයි. එතුමාගේ ක්‍රියා කලාපය නිසා තමයි පසුගිය ආණ්ඩුව විනාශ වුණේ. දැන් පොහොට්ටුවේ ඉතිරි වෙලා තියෙන ටිකත් ඔහු ‍විනාශ කරලා දාවි.

ආණ්ඩුවේ අභ්‍යන්තරය කචල් කියලා බොහෝ දෙනා කියනවා. ඇමැතිවරු පවා එකට ඉදිමින් ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරනවා. ඇමතිවරු, ඇමැතිවරු අතරත් උග්‍ර මතවාද දකින්න තියනවා.මෙවැනි ආණ්ඩුව අනාගතය අපැහැදිලියි‍ නේද?

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ කවදාවත් එක‍ට වැඩ කරපු පක්ෂ දෙකක් නොවේ. මතවාද දෙකක්. ගමන් දෙකක් ගිය පක්ෂ දෙකක්. මේ පක්ෂ දෙක පළමු වතාවටයි එකතුවෙලා තියෙන්නේ. එහෙම වෙනස් මඟක ගිය පක්ෂ දෙකක් මෙහෙම හරි අවුරුදු දෙක හමාරක් ගිය එක ලොකු දෙයක්නේ. දැන් බලන්න සමහර සභාග ආණ්ඩුවලට සුළු පක්ෂ සහය දෙනවා. ඒවා ඇතුළේ මොන තරම් ගැටුම් ඇති‍වෙනවාද? ඉතින් ප්‍රධාන පක්ෂ දෙක එක් වුණාමත් මතවාද, ගැටුම් ඇති වෙනවා.

නමුත් මම විශ්වාස කරනවා, ජනාධිපතිතුමාටවත්, අගමැතිතුමාටවත් වෙන්වීමේ අවශ්‍යතාවක් නැහැ. ඔවුන් දෙදෙනාම දේශපාලනික වශයෙන් විශාල අත්දැකීම් ලබපු අයයි‍. ඔවුන්ට පවතින තත්ත්ව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එක එක පිරිස් තම තමන්ගේ පෞද්ගලික මත එළියට දැම්මට මේ සන්ධානය 2020 වෙනකම් යනවා, ඒ ගමන රටට අවශ්‍ය බව පක්ෂ‍ දෙකේ නායකයෝ දෙන්නා තේරුම් අරන් තියෙනවා.

නමුත් සාමුහික වගකීම් දරුණු ලෙස කඩවෙනවා නේද?

ඇත්තටම කියන්න කනගාටුයි. සමහර පිරිස් සාමුහික වගකීම කියන්නේ මොකක්ද කියලා දන්නේවත් නැති බවයි පේන්නෙ. දෙපැත්තෙම මෙහෙම පිරිසක් ඉන්නවා. මම අර කලින් කිව්වා වගේ සභාග ආණ්ඩුවකදී මේවා බලාපොරොත්තු වෙන්න සිදු වෙනවා. ‍අනික මේ මැතිවරණ කාලවලදී මේ තත්ත්වය වැඩියෙන් දකින්න පුළුවන්.

සමහර එක්සත් ජාතික පක්‍ෂයේ පිරිස් වෙනම ආණ්ඩුවක් ගැනත් කතා කරනවා? ඔබ ඉන්නේ කවර ස්ථාවරයකද?

වෙනම ආණ්ඩුවකට යන්න ඕනේ කියන පිරිසක් ඉන්න බව පේනවා. නමුත් මම පෞද්ගලිකව පක්ෂය ගන්න තීරණයත් එක්ක ඉන්නවා. දැනට පක්ෂය තීරණය කරලා තියෙන්නේ පක්ෂ දෙකම එකට යන්න ඕනේ කියලයි. හැම‍ දෙයකම දෙපැත්තක් තියෙනවානේ. අපි එකතුවෙලා හිටපුවාම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ආණ්ඩුවට තියෙනවා. එතකොට රටක් වශයෙන් ඉස්සරහට යන්න ලේසියි. වෙන්වුනොත් බහුතරය නැතිවෙනවා.

ඒ එක්කම මෙතෙන්දි අවුරුදු ගාණක් පීඩාවට පත්වුණු එක්සත් ජාතික පාක්ෂිකයෝ ගැනත් බලන්න ඕනේ. සමහරු අවුරුදු ගණනක් දේශපාලන පලි ගැනීම් වලට ලක්වුණා. ඒ අය‍ට සහණයක් ලබා දෙන්න ඕනේ. එහෙම නැති වුණාම සමහරු කලකිරෙනවා.

ඔබ කලකිරිලද ඉන්නේ?

නැහැ. මට කිසි කලකිරීමක් නැහැ. නමුත් අපි බලාපොරොත්තු වුණු ආණ්ඩුව නොවේ තියෙන්නේ. කොහොම වුණත් මීට අවුරුදු 4-5කට කලින් අපි කවුරුවත් හිතුවේ නැහැ මෙහෙමවත් ආණ්ඩුවක් අපිට ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම බලපුවාම එක අතකින් අපි සතුටු වෙන්න ඕනේ. අපි හරි ආණ්ඩුව ගන්නේ පෙබරවාර් 10 වැනිදාටයි. එදාට අපි ලබන ජයග්‍රහණයත් එක්ක අපි අපේ ආණ්ඩුවකට යන ගමන ආරම්භ වේවි. ඊළඟට පළාත් සභා එනවා. 2020දී ආයෙත් මැතිවරණයක් එනවා. ඒ නිසයි මම කිව්වේ අපේ ආණ්ඩුවක් පිහිටුවන ගමනේ ආරම්භය පෙබරවාරි 10 අරඹනවා කියලා.

බැඳුම්කර වාර්තාව නිකුත්වීමත් සමඟ කළ ප්‍රකාශයෙන් ජනාධිපතිතුමා කඩුව අතට ගත්බවයි පේන්නේ?

බැඳුම්කර වාර්තාව පිළිබඳ පක්ෂයක් විදිහට අපේ නායකතුමා කිසිසේත්ම වැරදිකරුවන්ට දඬුවම් දෙන්න එපා කියලා නැහැ. ජනාධිපතිතුමාටත් කලින් අගමැතිතුමා තමයි කෝප් කමිටු වාර්තාව නීතිපතිතුමා වෙත යොමු කරන්න කටයුතු කළේ. ඒක ප්‍රමාද වුණේ ජනාධිපති කොමිසමත් එක්කයි. කොහොම වුණත් දැන් ජනාධිපති කොමිසමේ වාර්තාවයි, කෝප් කමිටුවේ වාර්තාවයි දෙකම තියෙනවා. දැන් තියෙන්නේ ඉදිරි කටයුතුයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා විතරක් නොවේ අපි හැමෝම ඉන්නේ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕනේ කියන මතයේයි.

සංවාදය - මලික් චමින්ද ධර්මවර්ධන

Comments