පුරුක් හැලුණු කොබෝ-නයි සහ මහින්ද රාජපක්‍ෂගේ ඉරණම | සිළුමිණ

පුරුක් හැලුණු කොබෝ-නයි සහ මහින්ද රාජපක්‍ෂගේ ඉරණම

 ඉතිහාසය යනු එකම දේ නැවත නැවත සිදුවීමක් ලෙස සමහරු විශ්වාස කරති. මහින්ද රාජපක්‍ෂගේ වර්තමාන හැසිරීම ඉතිහාසය පිළිබඳ එකී විශ්වාසය යළි තහවුරු කරයි. මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසකයෙකි; එමෙන්ම හිටපු සභාපතිවරයෙකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් දෙවරක් මේ රටේ ජනාධිපති ධුරය දැරීය. ශ්‍රිලනිපයට එතරම් සමීප මහින්ද රාජපක්‍ෂ ජීඑල් පීරිස් නායකත්වය දරන පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරයට කර ගසා ඇත. එය සමහරු දකින්නේ මහා කැප කිරීමක් හැටියටය. මහින්ද රටට කියන්නේ අපරාධ චෝදනා නැඟුණු සොල්දාදුවන් වෙනුවෙන් එකී කැප කිරීම කරන බව ය. ජනවාරියේ මෛත්‍රී මුල්ව පරාජය කළ ශ්‍රිලනිපය ගොඩගැනීමට, එසේ ක්‍රියා කරන බව නැවත කියා සිටී. සම්මුති ආණ්ඩුවට ශ්‍රිලනිපය එකතු කරගැනීමෙන් මෛත්‍රී ශ්‍රිලනිපය රැකගත් බව රටම දනිති. එසේ නොවන්නට ජනවාරිය පෙරළිය නිසා ශ්‍රිලනිපයට තවත් 1977ක් උදා වීමට ඉඩ තිබිණ. ශ්‍රලනිපය පෙන්වා මහින්ද රාජපක්‍ෂ රෙජිමය රටට ජනතාවට කළ සියලු අකටයුතුකම්වලින් මේ වන විට මෛත්‍රී ශ්‍රිලනිපය ඉතිහාසය තුළ නිදහස් කරගෙන හමාරය. ඉතිරිව ඇත්තේ රාජපක්‍ෂලාගේ බත්බැළයන්ගෙන් පක්‍ෂය මුදාගැනීම පමණකි.

සැබෑ ශ්‍රීලංකාකාරයන් මේ වන විට මෛත්‍රීගේ නායකත්වය පිළිගෙන හමාරය. "මම ශ්‍රී ලංකා" කියමින් පන්සල් ගානේ ඇවිද පින් ලබාගත් මහින්ද රාජපක්‍ෂට පොහොට්ටුවට නායකත්වය දීමට සිදු වී ඇත්තේ ඒ නිසාය. මහින්ද 2017 අවසානයේ ආණ්ඩුව අල්ලන බවට කළ ප්‍රකාශය කෙළතොලු කතාවක් බව රට තේරුම් ගෙන හමාරය. පන්සලකට ගොස් බුදුන් වැඳ එළියට පැමිණ, තමා මෛත්‍රීට ශී‍්‍රලනිපය භාර නොදුන් බවට කළ ප්‍රකාශය ඇසූ රටේ ජනතාව සිනා සුණේ නැත; කතා කළේ වියපත් මහින්ද රාජපක්‍ෂගේ සිහිකල්පනාව ගැනය. පිදෙල් ක්‍රැස්තෝ යම් වයසකදී නායකත්වයෙන් ඉවත් විය. මහින්ද පිදෙල් අනුගමනය කළ යුතු වයස ඉක්මවා ඇති බව පොඩි දරුවන් පවා තේරුම් ගෙන ඇත. එහෙත් මහින්ද වටා සිටින කිසිවකු ඒ බව කල්පනා කරන්නේ නැත.

මහින්ද කළ යුතුව තිබුණේ නම්බුකාර ලෙස ශ්‍රිලනිපයෙන් ඉවත් වූ පසු විශ්‍රාම ගැනීමය; හෝ ඍජුව පොහොට්ටුවට නායකත්වය දීමය. එහෙත් මහින්ද රාජපක්‍ෂ මේ කළේ ජීඑල් පීරිස් නම් 'මුට්ටිය' දමා බැලීමකි. පොහොට්ටුවේ නැග්ම දැක බියෙන් මෛත්‍රී පක්‍ෂය මහින්දට භාර දෙතියි සමහරු කලක් විශ්වාස කළහ. 2017 ආණ්ඩු පෙරළන කතා කීවේ ඒවා හිතේ තියාගෙනය. නොවැම්බරයට පෙර 10ක් ආණ්ඩුවෙන් අදින කතාවද තවත් එවැනි කයිවාරුවකි. ඒ කයිවාරු සියල්ල පට්ටපල් බොරු විය. දැන් මහින්දට කළ හැක්කේ ගෙදර යෑමය. නාමල් රාජපක්‍ෂට ශ්‍රිලනිපය අල්ලා දෙන තෙක් මහින්ද රාජපක්‍ෂට ගෙරද යා නොහැකිය. මේ ආරම්භව ඇත්තේ ගල උඩ සටනය. මේ සටන මහින්ද කරන්නේ මෛත්‍රී සමඟ නොවේ; මහින්දගේ හෙවණැල්ල සමඟය.

ජනවාරි 8 වැනිදා තෙක් මහින්ද රාජපක්‍ෂ රටට කියා සිටියේ යුද්ධය නිම කළේ තමන් බවය. එදා යුද්ධය නිම කිරීමේ ගෞරවයෙන් ඇබිත්තක් සරත් ෆොන්සේකාට තබා සිය සොහොයුරු ගෝඨාභය රාජපක්‍ෂට හෝ දීමට මහින්ද රාජපක්‍ෂ මැළි විය. ලෝකයම හිනැස්සූ විදුලි පුටු කතාවෙන් ඔහු අපේක්‍ෂා කළේ වීරත්වය හෝ ගෞරවය නොවේ. තමන්ගෙන් බිඳී ඈත් වන රටේ ජනතාවගේ අනුකම්පාව දිනාගැනීමය. ඔහුගේ අසමාන රඟපෑමට ජනතාව 2010දී රැවටිණි. එහෙත් මහින්ද රාජපක්‍ෂ තබා ඔහුගේ හිසේ නළියමින් සිටි උකුණකු වත් 2014දී මෛත්‍රී පොදු අපේක්‍ෂකයා වේයයි හිතුවේ නැත. එපමණක් නොවේ. 2015 ජනවාරි 8 දා රටේ ජනතාව තමා පරාජය කරන බව කල්පනා කිරීමට ශක්තියක් මහින්ද රාජපක්‍ෂට තිබුණේ නැත. ජනවාරි 9 දා සියල්ල උඩු-යටිකුරු විය. ශ්‍රිලනිපයේ සභාපති හෙවත් නායක රටේ විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පරාජය කරමින් එම පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන රටේ විධායක ජනාධිපතිවරයා ලෙස පත් විය. මහින්ද එය කිසි විටෙකත් අපේක්‍ෂ නොකළ තත්වයකි. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය විසින් අරමුණු කළ ආකාරයට ලසන්ත වික‍්‍රමතුංග, තාජුදීන්, එක්නැළිගොඩ වැනි මනුෂ්‍ය ඝාතන පිළිබඳ ඇත්ත හෙළි වීම ආරම්භ විය. මහින්ද පළමුව කීවේ, උතුරේ ප්‍රභාකරන් මරා තමන් දකුණේ මහමඟ මියෑදුණු මිනිසුන් පිළිබඳ කතාව අවසන් කළ බවය. එහෙත් ප්‍රදීප් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කළේ 2010 ජනවාරියේ දවසකය. ඒ වන විට යුද්ධය අවසන්ව තිබිණි. රටට ඔහු ළඟා කරදුන් සාමය මහ බොරුවක් බව නැවත නැවත හෙළි වෙමින් පවතී. මේජර් ජනරාල් ජානක පෙරේරා අනාරක්‍ෂිතව, බෝම්බයකින් විනාශ වුණේ අද රණවිරුවන්ගේ ආරක්‍ෂාව ගැන කියන මහින්ද ජනාධිපතිව සිටි අවධියේය; ගෝඨාභය ආරක්‍ෂක ලේකම්ව සිටි අවධියේය. මහින්ද රාජපක්‍ෂ වහා ගායනය වෙනස් කළේය. සමහර භික්‍ෂූන්ට 'රණවිරු කුලප්පුව' හැදුණේ ජනවාරි පරාජයෙන් පසුවය.

අද වන විට අධිකරණයෙන් වැරදිකරුවන්ව, දඬුවම් ලැබ සිටින, යාපනේ මිරිසුවිල් සමූල ඝාතනයට වැරදිකරුවූ සෙබළ රත්නායක, පලා යෑමට තැත් කළ එල්ටීටීඊ සැකකරුවකුට වෙඩි තබා මැරූ මේජර් විමල් වික්‍රමගේ ආදි සෙබළුන් මහින්ද රාජපක්‍ෂලාට 'රණවිරුවන්' වුණේ ජනවාරියේ පස්ස බිම ඇනගත් පසුවය. ඒ දෙදෙනාටම නඩු වැටෙන්නේ 1998දීය. චන්දන කත්‍රිආරච්චිට එරෙහි මිනීමැරුම් නඩුව නීතිපති ලවා අස් කරවාගැනීමට ක්‍රියා කළ රාජපක්‍ෂලා සෙබළ රත්නායක හෝ මේජර් විමල් වික්‍රමගේ ඒ වන විට හිරේ විලංගුවේ වැටී සිටි බව දැන සිටියේ වත් නැත. චන්දන කත්‍රිආරච්චි ලැබුණු කරුණාව අනුකම්පාව දේශපාලන ආරක්‍ෂාව සෙබළ රත්නායකට හෝ මේජර් විමල් වික්‍රමගේට ලැබුණේ නැත. මහින්ද අධිකරණයෙන් වැරදිකරුවන් වූ සෙබළුන් රණවිරුවන් කරගත්තේ තම ගැලවීමටය.

මහින්ද රාජපක්‍ෂ සිය වාසිය පිණිස පදය වෙනස් කළ එකම අවස්ථාව මෙය නොවේ. 2013දී සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළේ මහින්ද රාජපක්‍ෂ විසිනි. එදා රාජ්‍ය ත්‍රස්තවාදයට බියෙන් මුළුගැන්වී සිටි රජයේ වෛද්‍ය නිලධාරි සංගමය, අන්තරය වැනි සංවිධාන ඒ ගැන වචනයක් කතා නොකිරීමට පරිස්සම් වූහ. ජනවාරියේ මහින්ද බලයෙන් විසි වුණ සැණින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වූ රට තුළ සයිටම් විරෝධය දියත් විය. ඒ සමඟ, සයිටම් වෛද්‍ය විද්‍යාලය නිර්මාණය කළ මහින්ද රාජපක්‍ෂ සයිටම් විරෝධීන් සමග පාරට බැස්සේය.

ඉහත විස්තර කළ ආකාරයට මහින්දට අපරාධ නඩුවලට කොටු වූ සෙබළුන් 'රණවිරුවන්' වුණේ තම වැරදි වසාගැනීමටය. සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහි වුණේ ආණ්ඩු විරෝධි රැල්ලට එක් වීම පිණිසය. මහින්ද යනු කිසි විටෙක තේමාවක්, හරයක් පමණක් නොව විළිලජ්ජාවක්ද ඇතිව දේශපාලනය කළ කෙනෙක් නොවේ. ඔහු සිය ඉලක්කය වෙත යෑමේදී අම්මා අප්පාගේ ගෞරවය හෝ සහෝදරයන්ගේ දරුවන්ගේ ආරක්‍ෂාව ගැන කල්පනා නොකරයි. ඊට දිය හැකි ප්‍රකට උදාහරණය වීරකැටිය ඩීඒ රාජපක්‍ෂ සොහොන ඉදි කිරීමේ කතාන්තරයයි.

මහින්ද රාජපක්‍ෂ ගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාර ගත්තේය. ඔහු ශී‍්‍රලනිපය මෛත්‍රීට භාර දුන්නේ තමා මුල්ව සිදු කළ වංචා දූෂණ යට ගැහීමේ අරමුණ ඇතිවය. එකී අපේක්‍ෂාව සිද්ධ නොවන බව තේරුම් ගත් සැණින් ඔහු නැවත ශ්‍රිලනිපය අත්පත් කරගැනීමේ කුමන්ත‍්‍රණය ආරම්භ කළේය. ඔහු හෙංචයියන් කිහිප දෙනකු උසාවි යවා නායකත්වය ලබාගැනීමට උත්සාහ කළේය. ඒ කිසිවක් සාර්ථක නොවූ තැන මහින්ද රාජපක්‍ෂ බැසිල් ලවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලියාපදිංචි කර, ඒ ගෙජ්ජිය ජීඑල් පීරිස්ගේ බෙල්ලේ එල්ලීය. මේ දර්ශනවලින් වශී වූ ජෝන් සෙනෙවිරත්න වැනි මහින්ද කල්ලිය මෛත්‍රී, මහින්ද එක් කරන නාට්‍යය බැලීමට සූදානම් වූහ. අන්තිමේ එයද අසාර්ථක විය.

අවසානයේ මහින්ද තම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අවදානමට තබා පොහොට්ටුවේ ගෙජ්ජිය සිය බෙල්ලේ බැඳගත්තේය. මේ මඟින් රටේ ජනතාව වෙනුවෙන් පදවි පූජා කළ වීරයා ලෙස කිරුළු පැලඳීම මහින්දගේ අවසාන අපේක්‍ෂාව වේ. ඔහු මේ නාටකය රඟ දක්වන්නේ නාමල් රාජපක්‍ෂ, චමල් රාජපක්‍ෂ ආදි ස්වකීයන් ශ්‍රිලනිපයේ සාමාජිකත්වය දරන අතරය. 1971, 1988-89 කාලයන්හිදී රාජ්‍ය විරෝධි කැරලි සඳහා ගම්වල තරුණයන් ගියේ පවුල් පිටින්ය. ඒ විප්ලවවාදීන් විශ්වාස කළ පරිදි 'මවුබිම නැති නම් මරණය' යන්න විශ්වාස කරමිනි. ඒ අර්ථයෙන් ගත් කළ මහින්ද රාජපක්‍ෂගේ වීරත්වය යටපත් කර රට රැවටීමේ උප්පරවැට්ටි මැනැවින් ප්‍රදර්ශනය වේ. මහින්දට ගල්කටස් ගෙන රට ඇල්ලීමට ගිය මේ දරුවකුට පැවති කැප කිරීමේ ශක්තිය නැති බව රට තේරුම් ගෙන සිටිත්.

ඔහු තවම ශ්‍රිලනිපයෙන් ඉවත්ව නැත. පක්‍ෂ සාමාජිකත්වය සාක්කුවේ දමාගෙන පොහොට්ටුව අත ගාමින් ඔහු මේ කරන්නේ කොළය වසා ගැසීමකි. ලගින ගෙදරට හූනියම් කිරීමකි. මහින්දගේ මේ කසඩ කෙරුවාව අලුත් එකක් නොවේ. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගගෙන් ඇමැතිකමක් ගත් මහින්ද ආණ්ඩු විරෝධි මාධ්‍යන්ට කැබිනට් රහස් සැපයූ බව ලංකාවම දන්නා කතාවකි. තවත් කතා කරයි නම් ඔහු රට පාලනය කළ අවධියේ ආණ්ඩුව පවත්වාගෙන ගියේ ශ්‍රිලනිප සාමාජිකයන් සමඟ නොවේ; අතිනන් මෙතනින් අහුලාගත් වීරවංශ, දිනේශ්, ලොකුගේ, බන්ධුල ගුණවර්ධන වැනි අය සමඟය.

ඔහු 1977 පරාජය සමග ශ්‍රිලනිපයට එරෙහිව අනුර බණ්ඩාරනායක සමග පාරට බැස්සේය. එදා ගරු මැතිනියට එරෙහිව මහින්ද කළ-කී දේ මාධ්‍ය වාර්තා අතර අදත් දැකගත හැකිය. එවැනි අතීතයක් ඇති මහින්ද රාජපක්‍ෂ ඉතිහාසය අමතක වීමේ රෝගයට ගොදුරුව සිටියි. තමා කිසිවිටෙක චන්ද්‍රිකා, මෛත්‍රී මෙන් පක්‍ෂය හැර නොගිය බවට මහින්ද කියන්නේ ඒ නිසාය. මහින්ද මෛත්‍රීට පක්‍ෂය බාර නොදුන් බවට කරන ප්‍රකාශය තවත් එවැන්නකි. ඔහු පසුගිය සතියේ සිට නැවත වරක් ශ්‍රිලනිපයට හතුරු වෙමින් පොහොට්ටුව දිනවීමට ක්‍රියා කරමින් සිටියි.

මේ දිනවල දෑත් ඔසවාගෙන මහින්ද ඉගිළෙන්න උත්සාහ කරන පින්තූර විදුලි පහන් කණුවල එල්ලා ඇත. වයස්ගත වූ පසු සමහර උරගයන්ගේ පුරුක් හැලී-යයි. එවිට බිම දිගේ යෑම හෝ හිස ඔසවා පරිසරය නිරීක්‍ෂණය කිරීමේ හැකියාව අහිමි වී යයි. එවැනි අවාසනාවන්ත සතුන් 'කොබෝ-නයින්' ලෙස ගම්මු හඳුන්වති. එකී වියපත් උරගයන් තටු මැවී කොබෝ-නයින්ව, පියාඹා යන බවට ජනවහරේ කතා ගෙතී ඇත. ඒ අර්ථයෙන් වියපත් වීමෙන් පුරුක් හැලී-ගිය මහින්ද රාජපක්‍ෂට 2015 ජනවාරි 08 පරාජයේදී අහසින් මැදමුලනට පියාඹා යෑමට හැකි වුණේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආධාරයෙනි. එහෙත් 2018 පෙබරවාරි 10 වැනිදා සවස නම් ඔහුට මැදමුලනට පියාඹා යන්ට බැරිය. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.