සන්දර්ශන නැති වුණාට අපි ජනතාවට වැඩක් කළ ආණ්ඩුවක් | සිළුමිණ

සන්දර්ශන නැති වුණාට අපි ජනතාවට වැඩක් කළ ආණ්ඩුවක්

ලබන වසරේ පෙබරවාරි 10 දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් වී තිබෙනවා. ජයග්‍රහණය ගැන එක්සත් ජාතික පක්ෂයට මොන ව‍ගේ තක්සේරුවක්ද තිබෙන්නේ?

මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ පවත්වන පළමුවැනි පළාත් පාලන මැතිවරණය මේකයි. අපි මේ වන විට මැතිවරණයට සියල්ල සූදානම් කරලා තියෙනවා. මුලින්ම අපි හොඳ කණ්ඩායමක් තෝරාගෙන ඉදිරිපත් කරලා තියෙනවා. තරුණ පිරිස්, කාන්තාවෝ, අලුත් මුහුණු ගොඩක් මේ පිරිසට අයත් වෙනවා. මැතිවරණය ප්‍රකාශ වුණාට පස්සේ අපිට නාමයෝජනා විශාල ප්‍රමාණයක් ලැබිලා තිබුණා. මොකද: බලයේ ඉන්න පක්ෂය විදිහට මිනිසුන්ගේ විශ්වාසයක් තියෙනවා, අපේ ජයග්‍රහණය ගැන. දන්න ඉතිහාසයේත් වැඩිම නා‍මයෝජනා ඉල්ලීම් තිබුණේ එක්සත් ජාතික පක්ෂයටයි. ඒත් මෙහෙම ඉල්ලුමක් ආවේ නැහැ. ඒ අපේ ජයග්‍රහණය ගැන තිබෙන මුල්ම පෙරනිමිත්තයි.

ජනතාව වුණත් දන්නවා රටේ බලය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. කවුරු මොනවා කිව්වත් ඒක තව අවුරුදු දෙකක් යනකල් වෙනස් වෙන්නේ නැහැ. රටේ බලය එක් පක්ෂයකට තියෙනකොට ඒ පක්ෂයටම තමයි පළාත්පාලන ආයතනවල බලය යන්නේ. ඒක ඉතිහාසය පුරාවටම සිද්ධ වුණු දෙය. ජනතාවත් දන්නවා සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යන්න නම් බලයේ ඉන්න පැත්තට ඡන්දෙ දෙන්න ඕනේ කියලා. ඒක රටටත්, ජනතාවටත් හොඳයි. ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් රටේ පරිපාලනයට ඒක ඉතා හොඳයි. ඒ අනුව ඉතා පහසු මෙන්ම විශිෂ්ට ජයක් අපි මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ලබනවා.

සාමාන්‍යයෙන් බලයේ සිටින පක්ෂයකට ජනප්‍රියතාව අඩුයි. එහෙම තත්ත්වයක ආණ්ඩුවට පුළුවන්ද ඔබ හිතන තරම් පහසුවෙන් මැතිවරණය ජය ගන්න?

ඉතිහාසයේ පැවැති අනික් ආණ්ඩුත් එක්ක බලද්දී ඔබ කිව්ව තත්ත්වයේ ඇත්තක් තියෙන්න පුළුවන්. ආණ්ඩුවක් කාලයක් බලයේ ඉඳිද්දි, කොතරම් යහපත් දේවල් කළත් ජනප්‍රියතාව අඩු වෙනවා තමයි. මිනිස්සුන් ගෙනුත් ඈත් වුණු බවක් පෙනෙනවා. දැන් අපෙත් එහෙම අඩු වුණා කියලා හිතමු. එහෙම හිතුව කියලා පොහොට්ටු පක්ෂයේ ජනප්‍රියත්වය වැඩි වෙලාද? වෙන අපිත් එක්ක තරග කරන පක්ෂවල ජනප්‍රියත්වය වැඩි වෙලාද? නැහැ. ඒවා හිටියටත් වඩා පල්ලෙහාට වැටිලා. අද පොහොට්ටුවේ ඉන්න අය ‍එක්කෙනා දෙන්නා එයින් අයින් වෙනවා. දැන් පහුගිය මැතිවරණ දෙකෙන්ම පොදුජන පෙරමුණේ ඉන්න අය දරුණු ලෙස පැරදුණා. ජනතාව ඔවුන්ගෙන් ඈත් වෙලා ඉන්නේ. ඔවුන් කරපුවා රටම දන්නවා. ඒවා වෙනස් වෙලා නැහැනේ.

ඔබ ඔහොම කිව්වට යහපාලන ආණ්ඩුවේ සන්ධානය දිගටම ගෙන යන්න පුළුවන්ද කියන සැකය මතු වෙනවා. කාලයෙන් කාලයට එහි අවසානය ගැන මැති-ඇමැතිවරුන් අතරින්ම අනාවැකි පළ වෙනවා? තවත් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙන බවත් කියනවා?

එක-එක ඇමැතිවරු විවිධ ප්‍රකාශ කියලා ඇති. ඒත් ඒවා ඇතැම් අයගේ පෞද්ගලික මත විතරයි. සමහරුන්ට කලකිරීම් ඇතිවුණාම පිට කරගන්නත් එහෙම කියනවා. කොහොම වුණත් පක්ෂ දෙකේ නායකයන්ට වෙන් වීමේ වුවමනාවක් නැහැ. ඔවුන්ගේ සමගිය, බැඳීම අදටත් එදා වගේම තියෙනවා. ඒ නිසා මේ සුසංයෝගය ‍රටේ සංවර්ධනයට හිතකර බව ජනතාවත් දන්නවා. ඒ නිසා මම දන්න තරමින් නම් ඔබ ඔය කිනය වෙන් වීම සිදු වෙන්න බැහැ. එහෙම අවශ්‍යතාවකුත් අපි දෙපාර්ශ්වයෙන් කාටවත් නැහැ.

බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව නිකුත් වීමෙන් පසුව ජනාධිපතිතුමා අමාත්‍යාංශ කිහිපයක් පවරාගනීවි කියලා සමහර පිරිස් කියනවා?

එහෙම තත්ත්වයක් ඇති වෙයි කියලා මම කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. අපිමයි ජනාධිපතිතුමාව පත් කළේ; බහුතර ඡන්දයක් අරගෙන මේ ආණ්ඩුව හැදුවේ. ඒ නිසා එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවමු කියලා කියන එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු පිරිසකුත් ඉන්නවා නේද?

එක-එක්කෙනා‍‍ගේ විවිධ අදහස් තියෙන්න පුළුවන්. එ්ත් බහුතර මතයයි අවසානයට ක්‍රියාත්මක විය යුත්තේ. අපිට වෙන් වෙලා ඉන්න අවශ්‍යකම තිබුණා නම්, මීට කලින් ඒක කරන්න තිබුණා නේ... පසුගිය මහමැතිවරණයෙන් අපිට තමයි බහුතර බලය ලැබිලා තිබුණේ. අවශ්‍ය නම් තව කිහිපදෙනෙක් පහසුවෙන් අපේ පැත්තට එකතු කරගන්න පුළුවන්කම අපිට තිබුණා. එහෙම කරලා පාර්ලිමේන්තුවේ වැඩි බලයක් අරගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගෙනියන්න තිබුණා. ඒත් අපි එහෙම කළේ නැහැ. මොකද රටට, ජනතාවට වුවමනා ‍වෙලා තිබුණේ බෙදිලා වෙන් වෙලා කරන පාලනයක් නොවේ. ඒ වෙලාවේ රටේ තිබුණේ වෙනත් අවශ්‍යතාවක්. රටේ ප්‍රතිරූපය අන්තර්ජාතිකව විනාශ වෙලා තිබුණේ. ආර්ථික වශයෙන් අපි හිටියේ ප්‍රපාතයකයි. ඉතින් අගාධයෙන් ගොඩ එන්න සුදුසුම ක්‍රියා මාර්ගය වුණේ මේ එකමුතු කමයි. මේ එකමුතුවෙන් අපි ප්‍රයෝජන රැසක් අරගෙන තියෙනවා. අපි බලමු ඉස්සරහ‍ට මොකද වෙන්නේ කියලා.

මේ වන විට පක්ෂ මාරුව ආරම්භ වෙලා. සන්ධානයේ එකට සිටින එක්සත් ජාතික පක්ෂයේ සිටින අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින අය එක්සත් ජාතික පක්ෂයට එක් වෙනවා. මේක දෙපාර්ශ්වයේ සමඟියට බාධාවක් නොවේද?

ඒක ප්‍රජාතන්ත්‍රවාදය නේ... යන්න කැමැති අයට යන්න පුළුවන්. එන්න කැමැති අයට එන්න පුළුවන්. ඒවා අපිට නවත්වන්න බැහැ. අපිට ඒකට තහංචි පනවන්නත් බැහැ.

ගෙවුණු අවුරුදු තුනට ආණ්ඩුව ජනතාවට මොනවද කළේ කියලා අහනවා අපට ඇහිලා තියෙනවා?

අපි විවෘත මනසකින් බලනවා නම් මොනවද කළේ කියලා අමුතුවෙන් අහන්න ඕනෑ නැහැ. රාජපක්ෂ යුගයේ කරපු දේවල් නිසා රට අවුරුදු ගණනාවක් පස්සට ගිහින් තිබුණා. කඳු ගණන් ණය තිබුණා. නීතිය, අධිකරණය විනාශ වෙලා තිබුණා. මිනිස් ජීවිත ගණනාවක් නැති කරලා තිබුණා. රටේ ජනවාර්ගික සහජීවනය වනසලා තිබුණා. මේ සියල්ලට උත්තර හොයන්න අපිට සිදු වු‍ණේ පහුගිය අවුරුදු තුනක කාලය තුළයි. ඒවාට විසඳුම් දීලා තමයි රටට අන්තර්ජාතිකව යහපත් ප්‍රතිරූපයක් ලබලා දුන්නේ. දැන් අපිට අන්තර්ජාතිකව පිළිගැනීමක් ලැබිලා තියෙනවා.

ඒ එක්කම අපි ජනතාව ගැන හිතලා විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ර‍ජයේ සේවකයන්ට රුපියල් 10,000කින් පඩි වැඩි කළා. පැට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල අඩු කළා. සුරක්ෂා රක්ෂණ ක්‍රමය හඳුන්වලා දුන්නා. සංව‍ර්ධනය, අධිවේගී මාර්ග ඇති කළා. කර්මාන්ත ශාලා ඇති කළා. ඒ එක්කම ආයෝජකයෝ අද රටට එනවා. විශාල පරිමාණයෙන් ආ‍යෝජන කරනවා. ඒ එක්කම රටේ ජනතාව ඉස්සර අත්වින්දට ව‍ඩා ලොකු නිදහසක් අත්විඳිනවා. මේ ඔක්කොම අපේ ආණ්ඩුව නිසා ලැබුණේ. අපි සන්දර්ශන නැති වුණාට ජනතාවට දැනෙන වැඩක් කළ ආණ්ඩුවක්.

ඔබ අධිකරණය ගැන කිව්වා. හිටපු අධිකරණ ඇමැතිවරයාට එරෙහිව චෝදනා ගොනු කර ඔහු තනතුරින් ඉවත් කිරීමට කටයුතු කෙරුණා. නව අධිකරණ අමාත්‍යවරිය මගින් අධිකරණය අපේක්ෂා කළ කාර්යය ඉටු වෙලා තියෙනවාද?

මෙහෙමයි: දැනට අපි ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා. එතැන ප්‍රශ්න ගණනාවක් තිබුණා. අධිකරණ පද්ධතියේ ප්‍රශ්න තිබුණා. වැටුප් ගැන ප්‍රශ්න තිබුණා. ඉන්න අයගේ ප්‍රමාණය මදිය කියලා ප්‍රශ්නයක් තිබුණා. දැන් ඒවා එකින් එක විසඳ‍‍ගෙන යනවා. ඒවයේ ප්‍රතිඵල ළඟදීම ලැබේවි.

පසුගියදා අතවශ්‍ය බඩු රැසක මිල අඩුකළා. ඒත් ඒ මිලට බඩු නැහැයි කියලයි ජනතාව කියන්නේ? මේවා ඡන්ද ගුණ්ඩු කියලා තමයි විපක්ෂයේ පිරිස් කියන්නේ?

අපි ඔහොම සහන දෙන්නේ විශාල ආර්ථික අභියෝග තියාගෙනයි. කිසිම දෙයක් අවබෝධයක් නැති බංකොලොත් දේශපාලනඥයෝ විවිධ දේවල් කියයි. ඒත් යථාර්ථය ජනතාව දන්නවා. පසුගිය කාලයේ නියඟයෙන් බැටකෑවා. ජලය නැතිව, කුඹුරු කන්න හතරක් විතර වැඩ කළේ නැහැ. ඒ එක්කම ගංවතුර ආවා. මේවායිනුත් ව‍ගාවලට විශාල ලෙස හානි සිදු වුණා. එහෙම තත්ත්වයක තමයි අපි මේ සහන දුන්නේ.

ආණ්ඩුව සහජීවනය ගැන කතා කළාට, එය අර්ථවත් වෙලාද කියලත් සමහරු අහනවා. පසුගියදා අපවත් වී වදාළ යාපනේ නාග විහාරාධිපති හිමිගේ ආදාහන උත්සවය පවත්වනවාට පවා ඇතැම් පිරිස් එරෙහි වෙලා තිබුණා...

විවිධ මත දරන අන්තවාදීන් ඉන්න පුළුවන්. ඒක සමස්ත දෙමළ ජනතාවගේම මතය නොවේ නේ... යම් දෙයක් වූ පමණින් ඒක ජාතිවාදයේ හෝ නැඟී සිටීමක් කියන්න බැහැ. ඒ වාගේම එක් සිදුවීමකින් ආණ්ඩුවේ වැඩපිළිවෙළට බාධාවක් වෙලා කියලා කියන්නත් බැහැ. අපි අපේ අරමුණ කරා ගමන් කරනවා.

සංවාදය - මලික් චමින්ද ධර්මවර්ධන

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.