මාතර - කතරගම දුම්රිය මඟ මේ වසරේ වැඩ නිමවේ | සිළුමිණ

මාතර - කතරගම දුම්රිය මඟ මේ වසරේ වැඩ නිමවේ

මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයේ මාතර සිට බෙලි අත්ත දක්වා වූ දුම්රිය මාර්ගය මේ වසරේදී විවෘත කරනු ලබන බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ හ ප'ර්ෂි මහතා සිළුමිණට කීය. ඇමරිකන් ඩොලර් බිලියන 248ක වියදමකින් ඉදි කළ මේ මාර්ගයේ දුම්රිය පැයට කිලෝමීටර් 120ක වේගයෙන් ධාවනය කළ හැකි ය. වසර 30කට අධික කාලයක් තිස්සේ කතා බහට හා සිහිනයක් පමණක් පත්වෙමින් තිබූ මාතර කතරගම දුම්රිය මාර්ගය පිළිබඳ සිහිනය සැබෑ කරලන්නට තව මාස කිහිපයකින් හැකිවනු ඇති බව ද හ ප'ර්ෂි මහතා කීය.

මේ සඳහා චීන රජය ණය ආධාර ලබා දුන් අතර මේ මාර්ගයේ ඉඳිවෙමින් පවතින සියලුම දුම්රිය ස්ථාන අන්තර්ජාතික මට්ටමේ දුම්රිය ස්ථාන බව ද ඒ මහතා කීය. සුපිරි දුම්රිය ස්ථානවලට අමතරව සුපිරි සහසුකම් සහිතව මේ දුම්රිය සේවාව ස්ථාපිත කෙරෙන අතර බෙලි අත්ත දක්වා වූ දුම්රිය මඟේ මෙරට දිගම දුම්රිය පාලම, ගුවන් පාලමක් ලෙසින්කිලෝමීටර් 1.5ක් දක්වා වු දුරකට ඉඳි කර ඇත.

එසේම මෙරට දිගම උමං දුම්රිය මාර්ගයද මේ මාර්ගයේද ස්ථාපිත කර ඇති අතර එහි දිග මීටර් 625ක් වන බවත් එය නාකැටිය ප්‍රදේශයේ කන්දක් හරහා ඉඳිකළ බවද ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා කීය. එමෙන්ම උසින් මීටර් 21ක් වන වෙහෙරගොඩ දුම්රිය පාලමද මෙරට උසින් වැඩිම දුම්රිය පාලම බවත් ඔහු පෙන්වා දුන්නේය.

බෙලිඅත්ත දක්වා වූ කි‍ලෝමීටර් 26ක දුර ප්‍රමාණය සඳහා ප්‍රධාන දුම්රිය ස්ථාන 4ක් සහ උප දුම්රිය ස්ථාන 2ක් ස්ථාපිත කර ඇති අතර කැකණසුර, බඔරැන්ද, වැවුරුකන්නල හා බෙලි අත්ත දුම්රිය ස්ථාන ලෙසින් හා පිලදූව සම වෙහෙරහේන උප දුම්රිය ස්ථාන ලෙසින් ඉඳි කර ඇත.

එසේම මෙරට ප්‍රථම වරට දුම්රිය ස්ථානයට භූගත ලෙසින් ගමන් කිරීමට හැකි මාර්ගයක්ද මේ මාර්ගයේ ස්ථාපිත කෙරෙමින් පවතින අතර තව මාස කිහිපයකින් මේ දුම්රිය මඟ විවෘත කිරීමට සියලු කටයුතු යොදා ඇති බවද අධ්‍යක්ෂවරයා කීය.

මේ මාර්ගයේ මාතර ආසන්නයේ ඇති දුම්රිය හරස් මාර්ග හැරෙන්නට අනෙකුත් සියලුම දුම්රිය හරස් මාර්ග දුම්රිය මඟට යටින් හෝ උඩින් ඉඳි කර ඇති බවද ඒ මහතා කීය. 

 

Comments

පිටු