වංගු ගහන්න හැදූ සමාගම අනාතයි | සිළුමිණ

වංගු ගහන්න හැදූ සමාගම අනාතයි

 සංචාරක ක්ෂේත්‍ර‍යට සම්බන්ධ බහුජාතික සමාගමක් විසින් ලංකා සංචාරක මණ්ඩලය නොමඟ යවා ආරම්භ කිරීමට උත්සාහ කළ ව්‍යාපෘතියක් පිළිබඳ තොරතුරු අනාවරණය වේ. ඩුසිටා ටානි නමැති මෙම බහුජාතික සමාගම විසින් දකුණු මුහුදු තීරයේ ඉදිකරන ලද උසින් මීටර් 25 ට වඩා වැඩි ගොඩනැඟිලි සංකීර්ණයක් සඳහා සංචාරක හෝටල් බලපත්‍රය ලබාගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී සංචාරක මණ්ඩලය විසින් පවසා ඇත්තේ වෙරළ තීරයේ උසින් මීටර් 22 ට වඩා වැඩි සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා අවසර නොදෙන බවයි.

ඒ හේතුව නිසා මේ ගොඩනැඟිලි සංකීර්ණය සංචාරක හෝටල් ගණයට නොවැටෙන, සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් යැයි හඟවමින් රජයේ වෙනත් අධිකාරියකින් ලබාගත් බලපත්‍රය මත එම ඉදිකිරීම සිදුවී තිබේ. ඉන්පසුව එම සමාගම තමන් විසින් ඉදිකරන ලද්දේ අධි සුඛෝපභෝගී නිවාස සහ සංචාරක හෝටලයක් බැව් පවසමින් ලංකා සංචාරක මණ්ඩලයෙන් ඒ සඳහා වූ බලපත්‍රය අයදුම්කර තිබේ. එහෙත් එය වංචාවක් බව සොයාගත් සංචාරක මණ්ඩලය අදාළ සමාගමට එකී බලපත්‍රය ලබා නොදීමට තීරණය කර තිබේ. මුහුදු වෙරළට ඉතා සමීප වූ ස්ථානවල සංචාරක හෝටල් ඉදිකිරීමේදී ඒවා උසින් මීටර් 22 ට වඩා අඩු විය යුතු බව ලංකා සංචාරක මණ්ඩලය විසින් අන්තර්ජාතික නිර්දේශය පරිදි සීමා පනවා තිබේ.

Comments