සමානාත්මතාවයේ අගය පැතිරේවා! | සිළුමිණ

සමානාත්මතාවයේ අගය පැතිරේවා!

 ලොව වටා දමිළ ජනතාව මහත් හරසරින් සමරන තෛපොංගල් උත්සවය දීර්ඝ ඉතිහාසයක් ඇති, මහා සංස්ක‍ෘතික උරුමයක් සහිත වැදගත් ආගමික උත්සවයකි. සූර්ය දෙවි වන්දනාවට ප්‍රමුඛත්වය දෙන මෙම උත්සවය මානව ජීවිතය සමෘද්ධිමත් කිරීම සඳහා ජීවය ලබාදෙන සොබාදහමට කෘතවේදීත්වය පුදකරන අවස්ථාවක් ලෙස ද සැලකිය හැකි යැයි තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෘෂිකාර්මික සමාජයේ හිරු නමදින්නේ දේවත්වයෙනි. සාර අස්වැන්නක් ලබාගැනීමට ශක්තිය වූ හිරු දෙවියන්ට අස්වැන්නෙහි අග්‍රඵලය පුද දෙමින් කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උලෙළෙහි වැදගත් චාරිත්‍රයකි. මෙහිදි කෘෂිකාර්මික කටයුතු සඳහා දායක වන ගවයින් වැනි සතුන්ට ද සුවිශේෂීව සලකනු ලැබේ. මේ සියලු චාරිත්‍ර මිනිසා සහ පරිසරය අතර සබඳතාව වඩ වඩාත් ශක්තිමත් කරයි. අරුත් ගන්වයි.

තෛපොංගල් උත්සවයෙන් අපට පෙන්වා දෙන්නේ සියලු දහම්වල හරය කැටි කොටගත් සොබාදහමේ අගයයි. සමානාත්මතාවය කෙරෙහි ගරුත්වය දැක්වීමේ වටිනාකමයි. කෘතවේදීත්වයේ උතුම් බවයි. හින්දු ජනතාව ආගමික භේදයකින් තොරව සමස්ත ජනතාව සමඟ බෙදා හදාගනිමින් තෛපොංගල් උත්සවය සැමරීම සාමය, සංහිඳියාව ගොඩනැඟීමට ද සුවිශේෂ අවකාශයක් උදා කරයි.

සොබාදහම සමඟ සහසම්බන්ධතාවයෙන් එහි සුරක්ෂිත බව උදෙසා කැපවන්නටත්, වාර්ගික, ආගමික භේද ඉක්මවා සාමය සහෝදරත්වය රජයන මානව සමාජයක් ගොඩනගන්නටත් මෙවර තෛපොංගල් උත්සවය පරමාදර්ශයක් වේවා!

තෛපොංගල් උලෙළ සමරන සහෝදර දමිළ ජනතාවට මාගේ හද පිරි සුභාශිංසන...

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.