ගොවි­යාට අභි­යෝ­ග­යක් වූ දේශගුණය | සිළුමිණ

ගොවි­යාට අභි­යෝ­ග­යක් වූ දේශගුණය

ශීඝ්‍රයෙන් ඉහළ යන මිනිස් ජනගහනය හා ඔවුන්ගේ අවශ්‍යතා සමඟ ඉතා තරඟකාරී හා තීව්‍ර ලෙස ස්වභාවික සම්පත් පරිහරණය කිරීම (intensive use of natural resources) හේතුවෙන් පාරිසරික ගැටලු ඇතිවන බව ප්‍රත්‍යක්‍ෂ කරුණකි. කෙසේ හෝ එවන් මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින වැඩිවන පාරිසරික හා සමාජ-ආර්ථික ගැටලු අතර "දේශගුණික විපර්යාස" යනු මිහිමත සියලු ජීවීන්ගේ හා පරිසර පද්ධතිවල පැවැත්මට දැඩි බලපෑම් ඇති කරන ප්‍රධාන අර්බුදයකි. එයට හේතුව නම් දේශගුණයේ වෙනස්කම් වල අහිතකර බලපෑම් සමාජ-ආර්ථිකමය වශයෙන් සෑම ක්ෂේත්‍රයකම විහිදී තිබීමයි.

ස්වභාවික බිම් හා ජල ප්‍රභවයන්ගේ තත්ත්වය සහ ඒවායේ පරිහරණ රටාවන්, වන වැස්ම, වෙරළාශ්‍රිත සම්පත් ඇතුළු සෑම ස්වභාවික පරිසර පද්ධතියක්ම පාහේ දේශගුණ විපර්යාසයන්හි අහිතකර බලපෑම් වලට ලක්ව ඇත. ශ්‍රී ලංකාව වැනි කෘෂිකාර්මික ආර්ථිකයක් සහිත රටකට එමඟින් ඇති වන බලපෑම අති මහත්ය. කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපාන වර්ෂාපතනය සහ උෂ්ණත්වය යන ප්‍රධාන සාධක දේශගුණික විපර්යාස හේතුකොටගෙන දැඩි ලෙස විචල්‍ය වීම හේතුවෙන් නිවර්තන මෝසම් වැසි සමඟ බැඳුණු කන්න ආශ්‍රිත වගා රටාවකට හුරු වී සිටි ලාංකික ගොවි ප්‍රජාවට එය මහත් අභියෝගයක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනයට ප්‍රධාන දායකත්වයක් ලබාදෙන වැව් පද්ධති දහස් ගණනකින් සමන්විත වියළි හා අතරමැදි කලාපය එම අහිතකර දේශගුණික බලපෑම් වලට ගොදුරු වීමේ ප්‍රවණතාවය ඉතා ඉහළය. මේ හේතුවෙන් දේශගුණික විපර්යාසවලට අනුහුරු වෙමින් ජීවත් වීම (Climate Change Adaptation) මේ වනවිට හුදෙක් එක් විකල්පයක් පමණක් නොව අනිවාර්ය අවශ්‍යතාවයක් බවට පත් වී හමාරය.

දේශගුණික විපර්යාසවලට අනුහුරු වීමේදී අභියෝග රැසක්...

කෘෂිකාර්මික ප්‍රජාව ගෘහස්ථ හෝ සාමූහික වශයෙන් දේශගුණික විපර්යාසවලට අනුහුරු වීමේ විවිධ ක්‍රම සහ විධි රාශියක් පවතී. දේශගුණික විපර්යාසවලට අනුහුරුවීමේ පිළිවෙත් හා ජාතික මට්ටමේ සැලැසුම් පවා මේ වනවිට දියත් කර ඇති එහෙත් ප්‍රායෝගික ලෙස එම ක්‍රියාමාර්ගවලට යොමුවීමේදී ගොවීන්ට අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවේ.

දේශගුණයේ අවිනිශ්චිත භාවය (වර්ෂාපතනයේ විචල්‍යයන් හා දැඩි නියඟ තත්ත්වයන්) හා ස්වාභාවික සම්පත් හිඟතාවය (උදා: ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැති වීම, භූමිය ප්‍රමාණවත් නොවීම, පසේ පෝෂණ ගුණය හානි වී තිබීම ආදිය) පමණක් නොව දිගු කාලීනව හුරු වී සිටි වගා රටාවෙන් මිදීමද ගොවියාට දැඩි අභියෝගයකි.

බොහෝවිට අනුහුරු වීමේ ක්‍රියාමාර්ග වශයෙන් වගා පද්ධති (විශේෂයෙන්ම කුඹුරු ගොවිතැන) ආශ්‍රිත වෙනස්කම් කිරීමට නිර්දේශ වේ. උදාහරණයක් වශයෙන් දේශගුණ විපර්යාසවල බලපෑම් නිසා වී වගාව අසාර්ථක වන විට ගොවීන්ට එම කුඹුරු බිම්, වෙනත් බෝග වගාවන්ට පරිවර්තනය කිරීමට බොහෝවිට නිර්දේශ කරනු ලැබේ. එහෙත් තද වැසි තත්ත්වයන්හිදී ගංවතුරට ඉක්මනින් ගොදුරු වන සුළු පහත් බිම් හා ලියදි, වී වගාව හැරුණු කොට වෙනත් බෝග වගාව සඳහා පරිවර්තනය කිරීමේදී තාක්‍ෂණික හා ප්‍රායෝගික අසීරුතාවලට ගොවීන්ට මුහුණදීමට සිදුවේ. එබැවින් ඊට විසඳුමක් ලෙස අනුහුරු වීමේ ව්‍යාපෘති වශයෙන් වැව් ප්‍රතිසංස්කරණයේදී හා යටි ගම් සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේදී එම ප්‍රායෝගික දුෂ්කරතා හඳුනාගෙන වී හා වෙනත් බෝග වගාවන්ට

පරිවර්තනය කිරීමට ගැළපෙන පරිදි එම බිම් සංවර්ධනය කිරීමේ සැලැසුම් නිර්මාණය කිරීම මෙන්ම ගංවතුර තත්ත්වයන් වලදී ජලය රඳවාගැනීම සඳහා ක්‍රමවේදයන් එම ව්‍යාපෘති හරහා සැලැසුම් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.වගා පද්ධති ආශ්‍රිත අභියෝග පමණක් නොව ඇතැම් වගා අමුද්‍රව්‍ය සඳහා අධික වියදමක් දැරීමට සිදුවීම, ගොවීන් වෙනුවෙන් නිසියාකාර මූල්‍යමය ප්‍රභවයන් හා වෙළෙඳපොළ පහසුකම් නොමැතිවීම ද ඔවුන් මුහුණදෙන ප්‍රධාන ගැටලු අතරට අයත්ය. එමෙන්ම දේශගුණයේ වෙනස්වීම් තුළින් වගා කටයුතුවලට වියහැකි බලපෑම් පිළිබඳ යාවත්කාලීන අනාවැකි ගොවීන්ට සැපයීම සඳහා ක්‍රමවත් පද්ධති අවම වීම හේතුවෙන් ඒවාට සරිලන ලෙස වගා දින දර්ශන සැකසීමට ගොවීහු අපොහොසත් වෙති. දේශගුණික විපර්යාසවලට අනුහුරු වීම් පිළිබඳ කෘෂි ව්‍යාප්ති සේවා හා විවිධ මාධ්‍ය ඔස්සේ තොරතුරු ලබාදීම ප්‍රමාණවත් නොවීමද කෘෂිකාර්මික ප්‍රජාව නිසිලෙස දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම කෙරෙහි එල්ලවන අනෙකුත් ප්‍රධාන බාධක වශයෙන් හඳුනාගත හැකිය.

ගොවීන් මුහුණ දෙන මෙවන් ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා තීරණ ගැනීමේදී වගකිවයුතු පාර්ශ්වයන්ගේ සම්බන්ධීකරණය අත්‍යාවශ්‍ය වේ. එහෙත් එම ආයතනික සම්බන්ධීකරණය ප්‍රමාණවත් නොවීම හා දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම අරමුණු කොටගෙන ක්‍රමානුකූලව සැලැසුම් කරන ලද කෘෂි ව්‍යාප්ති සේවාවක් නිසියාකාරව ඉටු නොවීම ප්‍රධාන ගැටලුවකි.

මේ නිසා ගොවීන් අනුහුරු වීමේ ක්‍රියාවලියට යොමුවීමේ ප්‍රවණතාවේ ද බොහෝ විෂමතා පවතී. මේ නිසා එම විෂමතාවන්ට බලපාන සාධක මොනවාද යන වග මෙන්ම අනුහුරු වීම සඳහා ගොවීන්ට එල්ලවන මූලික අභියෝග නිසියාකාරව හඳුනාගැනීම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අනුහුරු වීමේ ක්‍රියාවලීන් වඩාත් ඵලදායී කිරීම සඳහා ඉවහල් වනු ඇත. 

කුමුදු ආරි­ය­වංශ  
 

Comments