ඔයා ගියාට පස්සෙ රහට තේ කෝප්ප­යක් බිව්වෙ ම නෑ | සිළුමිණ

ඔයා ගියාට පස්සෙ රහට තේ කෝප්ප­යක් බිව්වෙ ම නෑ

පාන්දර යාමයේ නිවසට පැමිණෙන තුරුම අසාර් සහ ෆියෝනා අතර යළිත් කතා බහක් ඇති නොවීය. තම මවත්, තම පවුලේ ගෞරවයත්, සොයුරු සොයුරියනුත් නින්දාවට ලක් කරමින් කතා කරන, සිනාසෙන අසාර් සමග කතා කිරීමට වඩා දෙනෙත් පියාගෙන නින්ද ගියාක් මෙන් පසුවීම වඩාත් සැනසිල්ලක් මෙන් ෆියෝනාට දැනිණ.

නින්ද ගිය ආකාරයෙන් පසු වුව ද, ඇගේ දෙනෙතට නින්ද ළං නොවීය.

“ෆියෝනා. ”

අසාර් කිහිප වතාවක්ම තමා අමතන හඬ ඇසුණද, ඇය නින්ද ගිය ආකාරයෙන්ම පසු වුයේ සිත තුළ පුපුරු ගසන කෝපය ඔහු කෙරෙන් වසන් කර ගත යුතු නිසාය. අසාර් මෝටර් රියෙහි සී. ඩී. ප්ලේයරය ක්‍රියාත්මක කළේය. ඔහු බෙහෙවින් ප්‍රිය කරන අරාබි ගීත එකතුවක් ඉන් විකාශය වුව ද, වෙනදා මෙන් ඒවායේ මිහිරියාව විඳින්නට ෆියෝනාට නොහැකි විය.

නිවසට පැමිණෙන අතරමග දී වරක් ඔහු කොළඹ නුවර පාරේ වූ රාත්‍රී කඩයක් අසලදී රියෙන් බිමට බැස ගන්නා අයුරු දුටුවද, ඇය තවදුරටත් නින්ද ගිය ආකාරයෙන්ම පසු වූවාය. දැඩි නිදි මත නිසා ඇතැම්විට ඔහු තේ කෝප්පයක් පානය කරන්නට යන්නට ඇතැයි ෆියෝනා කල්පනා කළාය.

“ෆියෝනා.”

නිවස ඉදිරිපිට මෝටර් රථය නතර කළ අසාර් ෆියෝනා අමතන විට ඇය සැබෑවටම නින්ද ගොස් තිබිණ. ඇය දෙනෙත් පිස දමමින් අවට බැලුවාය.

“ගෙදර ඇවිත් ඉන්නෙ. බහින්නෙ නැද්ද?” ̃

වටපිට බැලූ ෆියෝනා රියෙන් බැස ගත්තාය. ඒවනවිට අසාර් නිවසෙහි ඉදිරිපස දොර ද විවෘත කර තිබිණ.

“හොඳ නින්දක් ගියා නේද?”

අසාර් ඇසුවේ යන්තමින් මුවග නැගි සිනාවක් ද සමගිනි. මහනුවර සිට කොළඹ පැමිණෙන ගමනේ ගමනාන්තය වනවිට ඔහුගේ කෝපය නිවී ගොස් ඇතැයි සිතුණු ෆියෝනා ද මුවගට සිනාවක් නගා ගන්නට උත්සාහ කළාය. ඇය නිවෙස තුළට ගියාය. ඒවනවිට වේලාව පාන්දර හතරට ආසන්න වෙමින් පැවතිය ද, ඇයට දැඩි කුසගින්නක් දැනෙමින් තිබිණ. හැඳ සිටි ඇඳුම් මාරු කිරීමකින් තොරවම මුළුතැන්ගෙට ගිය ඇය කේතලය ළිප තැබුවාය. අරවින්ද් මේ වන විට නින්දෙහි පසුවනු ඇතැයි ෆියෝනාට සිතිණ. ඇය මුළුතැන්ගෙය තුළ ජනේලයක් හැර බැලුවාය. ඇතුළු කාමරයක් තුළ මෙතෙක් දැල්වෙමින් තිබූ විදුලි බුබුලක් නිවී යන අයුරු ඇය දුටුවාය. ඇතැම් විට තම නිවෙස තුළින් ඇසෙමින් පැවැති හඬවල් නිසා ඔහු පිබිද, යළි නිදන්නට ඇතැයි ඇය සිතුවාය.

“මොකෝ මේ පාන්දර ජනෙල් ඇරගෙන?”

මුළුතැන්ගෙට පිවිසි අසාර් ජනේලය තුළින් එබී බැලුවේය.

“සද්දයක් ඇහුනට ඇරලා බැලුවා.”

“ඔය ඉස්සරහ ගෙදර මිස්ට නිසල විලගෙ බේබි ගර්ල් වෙන්න ඇති. ”

සිනාසුන අසාර් පුටුවක් මත හිඳ ගත්තේය.

“දන්නවද ෆියෝනා? ඔයා නැති දවස් වල දවසක් මම ඔය බේබි ගර්ල්ට චීස් කෑල්ලක් විසි කළා. ඊටපස්සෙ හැමදාම ඇවිත් ජනේලෙ ගාවට එන්න පුරුදු වුණා. බැරිම තැන මම ඌව පන්නලා දැම්මා. ”

“පව්.”

ෆියෝනා පැවසුවේ කිසිවක් පැවසිය යුතු නිසා මිස උනන්දුවකින් නොවේ.

“මොන පවක්ද? මට ඔය සත්තු පේන්න බෑ. ඔන්න වතුර උතුරනවා.”

වතුර කේතලයේ කෙමියෙන් නැගෙන හඬ ඇසුනද, මඳ වේලාවක් එම හඬට සවන් දෙමින් සිටි ෆියෝනා ගෑස් ළිප නිවා දැමුවාය. ඇය තේ පෝච්චියට උණු වතුර වත් කළේ මන්දගාමී ලෙසිනි.

“ඇත්තමයි ෆියෝනා. ඔයා ගියාට පස්සෙම රහට තේ කෝප්පයක් බිව්වෙ නෑ. ”

“ඇයි? ගෙදර ගියාම අම්මා හදලා දුන්නෙ නැද්ද?”

“අපේ ගෙදර තේ හදන්නෙ අම්මා නෙමෙයි.”

“එහෙනම්? ”

“ගෙදර වැඩට ඉන්න මනුස්සයා. ඒ ගෑනි හදන තේ මෙලෝ රහක් නෑ.”

ෆියෝනා පිළියෙල කර දුන් කිරි තේ කෝප්පය රස විඳින අසාර් පැවසුවේ මීට හෝරා කීපයකට පෙර කිසිවක් සිදු නොවූ කලෙක මෙනි. විවාහ වී මෙතරම් කලක් ගත වුව ද, ක්ෂණිකවම කෝප ගන්නටත් ඒ හා සමගම කිසිවක් සිදු නොවූවාක් මෙන් හොඳින් කතා බහ කිරීමට ඔහුට ඇති හැකියාවත් තේරුම් ගන්නට තමාට නොහැකි වූයේ මන්දැයි ඔහු පසෙකින් හිඳගෙන තේ කෝප්පය පානය කරන ෆියෝනා කල්පනා කළාය.

“මහන්සියි ෆියෝනා. වොෂ් එකක් දාගෙන නිදාගනිමු. ආයෙ වැඩ පටන් ගන්න කලින් දවස් දෙක තුනක් රෙස්ට් කරන්න ́ඕන.”

තේ පානයෙන් අනතුරුව නාන කාමරයට ගිය අසාර් දිය නෑමෙන් පසු නිදන කාමරයට ගියේය. ඇඟ සෝදාගෙන ඇඳුම් මාරු කරගෙන නිදන කාමරයට එන විට ඔහු යහන මත හරහට වැටී කුඩා දරුවකු මෙන් නිදා සිටියේය. ඔහු සෙමෙන් පසෙකට තල්ලුකළ ෆියෝනා ද යහන මත වැතිරුණාය.

පැය දෙක තුනක කාලයක් නින්දට ගත කළ ෆියෝනා පිබිදෙන විටත් අසාර් තද නින්දට වැටී සිටියේය. ඔහුට බාධා නොකළ ඇය නිදන කාමරයෙන් පිටතට පැමිණියාය. ඒවනවිට නිසල විල සංගීත ආශ්‍රමය දෙසින් සුපුරුදු ගයත්‍රි මන්ත්‍ර හඬ ඇසෙමින් තිබිණ. සෑම දිනකම මෙන් උදෑසනට සංගීත ආශ්‍රමයට අල්ලන කට්ට කුමංජල් දුම් සුවඳ අවට පරිසරය සුවඳවත් කළේය.

ෆියෝනා සඳලුතලය දෙසට ගියාය. බොහෝ වේලාවක් අරවින්ද්ගේ නිවස දෙස බලා සිටියද, ඔහු ඉන් පිටතට නොපැමිණියේය. අසාර්ගේ ස්වභාවය දන්නා නිසා මින් පසු ඔහු තමා හා කතාවට නොපැමිණෙනු ඇතැයි ඇය කල්පනා කළාය. අරවින්ද් හොඳ මිතුරකු බව සැබෑවක් වුව ද, ඔහු හා ආශ්‍රයට යාම අසාර් වැරැදි කෝණයකින් බැලුවොත් මතුවිය හැකි තත්වය ගැන සිතන විට එක් අතකින් ඔහු මග හැර සිටීම වඩාත් හොඳ නොවේදැයි ඇය කල්පනා කළාය.

මේ වනවිට නිවසේ තත්වය කෙබඳු වනු ඇත්ද? අක්කලා දෙදෙනා ඊයේ රාත්‍රියේම නිවසට යන්නට ඇත්ද? නොඑසේනම් ඔවුන් සියලු දෙනාම මුළු රාත්‍රිය පුරාම තමා පිළිබඳව සාකච්ඡා කරමින් රාත්‍රිය පහන් කරන්නට ඇත්ද?

“දන්නවද චූටි කුමාරි? ආරංචියේ හැටියට ලොකු මැණිකෙ චූටි කුමාරිගෙ නමට ඉඩකඩම් ගොඩක් ලියල ̈. ”

අම්මාගේ සොහොන බැලීමට ගොස් එන අතරමග දී පියවතී පැවසූ බව ෆියෝනාට සිහිපත් විය.

“හැබැයි ඉතින් ලෝචනා කුමාරියි, මද්දු කුමාරියි නම් ඉන්නෙ හිත නොහොඳින්. ”

“මට ඔය ඉඩකඩම් ඔන නෑ පියවතී. ”

“එහෙම කියලා කොහොමද? අපේ ලොකු මැණිකෙ කිය කියා උන්නෙ චූටි කුමාරිට දෙන්න හිතාගෙන හිටි හැමදේම දෙනවා කියලා. ”

“මං කිව්වනෙ පියවතී. මට කිසිම දෙයක් ඕන නෑ. ”

“චූටි කුමාරි හිතුවක්කාරකමක් කළ බව ඇත්ත. ඒත් දෙමාපියො කැමැත්තෙන් දෙන දේවල් නොගෙන ඉන්න

එපා. ”

එවේලෙහි පියවතී අවවාද කළාය. එහෙත් ලොකු අක්කා පෙරදින රාත්‍රියේ පැවසුවේ අම්මා තමා නමට ඉඩකඩම් කිසිවක් ලියා නොමැති බවය. එපමණක් නොව අසාර්ගෙන් වෙන්වී නිවසට පැමිණෙන්නේ නම් වෙනත් අයකුට තමා විවාහ කර දෙන්නටත්, ඉඩකඩම් ලියා දෙන්නටත් ඇය බලාපොරොත්තු වන බව පැවසුවේ මේ නිසාද?

තමාට නිවසට පැමිණෙන ලෙස පවසා අභීත මග හැර යන්නට ඇත්තේද, අක්කලා හා අයියා තමා සමග සාකච්ඡා කරන්නට ඇත්තේද යටි අරමුණකින් යුතුව යයි යන සිතිවිල්ලෙන් මිදීමට ෆියෝනාට නොහැකි විය.

“කමක් නෑ. ඒ ඉඩකඩම් එහෙම තිබුනාවෙ. රණ්ඩු වෙවී තරහ වෙවී හරි ජීවිතේ ඉතුරු කාලෙම මම අසාර් ළඟ ඉන්නවා.”

අවසානයේ ඇය තීරණය කළාය.

“අසාර් නරක කෙනෙක් නෙමෙයි. එයාව තේරුම් ගත්තම කිසිම ගැටලුවක් නෑ.”

ව්‍යාපාරික කටයුතු වලට ඇති කැපවීමත්, තම පවුලේ අය කෙරෙහි ඇති දැඩි බැඳීමත් අසාර් අතින් සිදු වන වැරැදි ලෙසින් දුටුවද, ඒවා සැබවින්ම වැරැදි වන්නේ කෙසේදැයි ඇය කල්පනා කළාය. වැරැදි ඇසකින් බැලූවිට සියල්ල දකින්නේ ඒ ආකාරයෙන්ම නොවේද?

ලබන සති­යට

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.