මත්ද්‍රව්‍ය ව්‍යස­න­යෙන් දුම්වැ­ටි­යෙන් අපේ දරු­වන් බේරා­ග­න්නට වෙහෙ­සෙ­නවා. | Page 2 | සිළුමිණ

මත්ද්‍රව්‍ය ව්‍යස­න­යෙන් දුම්වැ­ටි­යෙන් අපේ දරු­වන් බේරා­ග­න්නට වෙහෙ­සෙ­නවා.

2018 අලුත් අවුරුද්ද උදාවෙලා තවම ගෙවීගිහින් තියෙන්නේ සති දෙකයි. සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දක් ලබන කොට අපි පරණ අවුරුද්දේ කළ කී සමහර දේවල් අලුත් අවුරුද්දේ නොකරන්නට අදිටන් කරගන්නවා. මේ අතරින් පවුලේ දියුණුවට බාධාකරන බොහෝ දේ තිබෙන්නට පුළුවන්. මේ අතරින් දුම්වැටි, මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට හිමිවන්නේ ප්‍රමුඛ තැනක්.

අද අපි මේ කතා කරන්නට යන්නේ මෙම මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි වලින් පවුලක දියුණුවට බලපාන්නේ කොහොමද? එයින් මිදෙන්නේ කොහොමද? යන්න මේ පිළිබඳව මහජනතාව දැනුම්වත් කරන අපූරු චරිතයක් සිටී. ඔහු නමින් මාතර ආරච්චිගේ දොන් කරුණාදාස.

කරුණාදාස මහතා අද වන විට ජපානය, සයිප්‍රසය, දකුණු කොරියාව, ඇමරිකාව සහ සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවකම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් මෙම පුරුද්දෙන් මිදීමට මිනිසුන් දැනුම්වත් කරතිබේ.

කරුණාදාස මහතා මේ වනවිට අපේ රටේ වත්මන් ජනාධිපති තුමා ගෙනයන ‘මතින් නිදහස් රටක්‘ සංකල්පය යථාර්ථයක් බවට පත්කරන්නට ඔහුගේ දැනුම රටපුරා බෙදාහරිමින් සිටී. කාලීන අවශ්‍යතාවක් නිසා අද රසඳුන පිටුවක් මෙසේ ඔහු වෙනුවෙන් වෙන් කරන්නට අප තීරණය කළා.

‘‘ මගේ ගම ඇහැලියගොඩ. මගේ පියා මාතර අරච්චිගේ දොන් වික්ටර්. අම්මා ලිසී නෝනා. අපි පවුලේ සහෝදර සහෝදරියන් හතර දෙනයි. මට ඉන්නේ එක අයියයි, අක්කයි, මල්ලියි. මම තුන්වැනියා. මම ඉපදුණේ 1949 ජූනි 05 වැනිදා. ජූනි 05 කියන්නේ ලෝක පරිසර දිනය යෙදෙනදා. ඒ නිසා උපතින්ම මම පරිසරවේදියෙක් වෙලා ඉවරයි. මේ නිසා මට දැනුම් තේරුම් තියෙන දවසේ ඉඳන් මම උපන් දිනයට ගසක් හිටවන්න පුරුදු වුණා. පුංචි කාලයේ ඉඳලම මම පරිසරයට ආදරෙයි. ගස් කොළන් වලට සතා සිව්පාවාට ආදරෙයි. මේ නිසා මස් මාංශ කෑවෙ නැහැ. තරුණ වයසට ආවම මත්වතුර පානයවත් සිගරට් ඉරීමවත් කළේ නැහැ. මම පාසල්ගියේ ශාන්ත මැතිව්ස් විදුහලට සහ අනුරුද්ධ විදුහලට . ඉංග්‍රීසි ඉගෙන ගත්තේ ලෝරන්ස් විදුහලෙන්. පාසලෙන් ඉවත් වෙලා තරුණ වයසට ආවත් මගේ ගස් හිටුවීමේ පුරුද්ද අත් හැරියේ නැහැ.

කොළඹ ජයන්ත වීරසේකර මාවතේ ගස් හිටෙව්වා. බ්‍රිතාන්‍ය , නෙදර්ලන්ත , ජපාන තානාපති කාර්යාල භූමි වල පවා මම ගස් හිටවන්න පටන් ගත්තා. මම මේක කළේ කිසිම ලාභ ප්‍ර යෝජනයක් බලාගෙන නෙමෙයි. පොල්, දෙල්, කොස්, අඹ, කළුවර වැනි ගස් තමයි වැඩිපුරම හිටෙව්වේ. මගේ මේ ක්‍රියාව තානාපති තුමන්ලා ඇතුළු නිලධාරින් ගොඩක් අගය කළා. අපි කරන හොඳ දෙයින් හොඳ ප්‍රතිපල ලැබෙනවා වගේ නරක දෙයින් ලැබෙන්නේ නරක ප්‍රතිපල. මට මම කරපු මේ හොඳ ක්‍රියාව නිසා මට වාසනාව උදාවුණා. ‘‘

මෙය සිදුවුණේ එක්දහස් නමසිය අසූ ගණන්වල.ඒක සිදුවුණේ මෙහෙමයි. දවසක් ජපාන ජාතික යමාඩා සාන් කියන මහත්මයා මාව සොයාගෙන ආවා. ඔහුට මම ගැන දැනගන්න ලැබිලා තියෙන්නේ තානාපති කාර්යාලයෙන්. මාත් එක්ක කතා කළ ඒ මහතා මගේ පාස්පෝට් කොපි අරගෙන ගියා. ටික දවසකින් මට ටිකට් එකක් එව්වා ජපානයට යන්න. මම හරිම කැමැත්තෙන් ජපානයට ගියා. ලංකාවෙන් ගියේ මම විතරක් වුණාට ලෝකයේ විවිධ රටවලින් පැමිණි 100 ක පමණ පිරිසක් හිටියා. යමාඩා මහතා අපව අරගෙන විශාල මන්දිරයකට ගියා. එතැන කෑම, බීම, මත්පැන්, සිගරට්, නිල් චිත්‍රපට මේ වගේ සියලුම දේ තිබුණා. අපට ඔහු කිව්වේ රිසිසේ විනෝදයෙන් ගත කරන්න කියලයි. මම පුංචි කාලයේ සිටම මේ දේවල් වලින් වැලකිලා හිටිය නිසා මම කෑම කකා ඔහේ හිටියා. මේ විදිහට මාසයක් පමණ කාලයක් ගතවුණා. දවසක් යමාඩා මහතා අපට කතාකරලා කිව්වා ‘‘ඔබලා කරපු කියපු සියලුම දේ මම හොඳින් නිරීක්ෂණය කරමින් හිටියේ. කාටද මේ දේවල් නතර කරන්න පුළුවන්‘‘ . මමත් තවත් 11 දෙනෙක් පමණක් අත් ඉස්සුවා. ඔහු මට කිව්වා‘‘ මම ඔබ ගැන දන්නවා. ඔබ මේ කිසිම දෙයක් කළේ නැහැ. මෙයින් මිදෙන්නට අවශ්‍ය නැති අයට යන්න පුළුවන්.‘‘

අවසානයේ අපි එකොළොස් දෙනා තියාගෙන අනිත් පිරිස ඒ අයගේ රටවල් වලට යැව්වා.

අපි යමාඩා මහතා සමඟ සිගරට් මත්ද්‍රව්‍ය වලින් මහජනතාව මුදවා ගැනීමට, පරිසරය සුරැකීමට දැනුවත් කිරීම් කරමින් ඇමරිකාව, දකුණු කොරියාව, සයිප්‍රසය, සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවකම සංචාරය කළා. මම මේ විදියට අවුරුදු ගණනාවක් සේවය කරලා අපේ රටට ආවා.

දවසක් මම දැක්කා ලංකාවේ විශ්ව විද්‍යාල ළමයින් පස් දෙනෙක් කසිප්පු බිබී බීඩි උරමින් රූප වාහිනියෙන් ක්‍රිකට් තරගයක් නරඹනවා. මගේ සිතට දැනුණු දුක, කනගාටුව, කලකීරීම කොතෙක්ද කියා මට විස්තර කරන්න බැහැ. ඒ නිසා එදා සිට අද වන තුරු මට හැකි උපරිම අන්දමින් මේ ව්‍යසනයෙන් අපේ දරුවන් බේරා ගන්නට උත්සාහ කරනවා.‘‘

කරුණාදාස මහතා මෙම පුරුද්දෙන් මිදීමට තාක්ෂණයක් හඳුන්වා දෙයි.

‘‘බොහෝවිට මේ මත්ද්‍රව්‍ය දුම්වැටි වලට ඇබ්බැහිවෙලා ඉන්නේ පිරිමින්. පිරිමියා කියන්නේ පවුලේ ගෘහ මූලිකයා. පවුලේ ආර්ථිකය සරිකරන කෙනා. ඒ වාගේම පවුලේ ආරක්ෂකයා. ඉතින් ඔහු මේ විදියට මේවා හාවිතා කිරීමෙන් මුදල් නාස්ති වනවා. ඒ නිසා පවුලේ දියුණුව නැති වෙනවා. අකාලයේ මිය යනවා. එහෙම මියගියාම බිරිය දරුවන් අනාථ වනවා. ඒ වගේම මේ විදියට මත්ද්‍රව්‍ය, දුම්වැටි වලට ඇබ්බැහි වුණු අයට අකල් මරණය බොහෝවිට අත්වනවා. මේ නිසා මෙයින් මිදෙන්නට පුළුවන් මරණය (died ) කියන දේ ගැන සිතලා.

මම එය පැහැදිලි කරන්නම්. මත්ද්‍රව්‍ය දුම්වැටි ගන්න සිදුවන අවස්ථාවකදී

d- delay ( පමා කරන්න)

i- ignor (නොසලකා හරින්න)

e - escape (පලායන්න)

d - distract (අවධානය වෙන අතකට යොමු කරන්න)

ඒ වගේම මෙයින් මිදුනාම කෙනකුට ජැන්ඩි පහට (smart ) ඉන්න පුළුවන්. එහෙම වුණාම ජීවිතයට බොහෝ දේ ලැබෙනවා.

s- save ( ජීවිතය ඉතිරිවනවා)

m -money (මුදල් ඉතිරි වනවා)

a-attitude(ආකල්ප ගොඩනැගෙනවා)

r - responsibilities (වගකීම් ඉටුකිරීමට අවස්ථාව ඉතිරි වනවා)

t - time ( ජීවිතය ප්‍රයෝජනවත් දේ කිරීමට කාලය ඉතිරිවනවා)

මම මෙච්චර කල් පිටරටවලට ගොස් ඒ රටවල මිනිසුන් මෙයින් මුදවා ගැනීමට කටයුතු කළා. මම ඒ ලබාගත් දැනුමින් මගේ මවුබිමට යමක් කරන්නයි මේ උත්සාහ කරන්නේ. ලංකාවේ ජනගහනය මිලියන 21 යි. ඒත් වසරකට 35,000 ක් වතර මේ ව්‍යසනයෙන් මියයනවා.

මෙම ව්‍යසනයෙන් අපේ සිරුරට වෙන හානිය පිළිබඳව දැක්වෙන ජර්මන් භාෂාවෙන් මුද්‍රණය කර ඇති ජායාරූප පොස්ටරය මම සිංහලයට පරිවර්තනය කරලා නොමිලේ බෙදා හරිනවා. මේ සඳහා මට ටයර් හවුස් හි සුනිල් කොස්තා, ජනක මෝටර්ස් හි ප්‍රේමදාස මනම්පේරි යන මහත්වරුන් අනුග්‍රහය දක්වනවා.‘‘

ඔබත් අලුත් අවුරුද්දේ අලුත් ගමනක් යන්නට, අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට අදහස් කරනවා නම් 0718401837 අංකයෙන් කරුණාදාස මහතාට කතාකරන්නට හැකියි. 

 

Comments