ඔබාමාගේ තෑගි ජනතාවට දැනුම් දෙයි | Page 2 | සිළුමිණ

ඔබාමාගේ තෑගි ජනතාවට දැනුම් දෙයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා ජනාධිපති ලෙස සේවය කළ යුගයේදී ලැබූ ත්‍යාග ලැයිස්තු ගත කර ජනතාවගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කිරීමට පසුගියදා ධවල මන්දිර පාලනාධිකාරිය කටයුතු කර තිබිණි.

මෙසේ ත්‍යාග සම්බන්ධව ජනතාවට දැනුම්දීම වාර්ශිකව සිදුකෙරෙන අතර මෙවර ඉදිරිපත් කර තිබුණේ ඔබාමාගේ ධූරකාලයේ අවසන් අවුරුදු දෙක වන 20015- 2016 වසරවලදී ඔහු ලැබූ ත්‍යාගවල ලැයිස්තුවය.

අමෙරිකානු නීතියට අනුව ජනාධිපතිවරයකු නිල කාලයේදී ලබන ත්‍යාග අල්ලස් ලෙස නොසැලකෙන නමුදු ඒ සියල්ලේ හිමිකාරීත්වය රජයට අයත් ලෙස සැලකේ. නිල සංචාරවලදී ලබන ත්‍යාග අතරින් යම් කිසිවක් ජනාධිපතිවරයාගේ පෞද්ගලික පරිභෝජනය සඳහා අවශ්‍ය කරන්නේ නම් අදාළ ත්‍යාගයේ වටිනාකම රජයට ගෙවිය යුතුය. අදාළ ජනාධිපතිවරයා ලබන ත්‍යාග ධූරකාලයෙන් පසුව ඔහුගේ නමින් වෙන් කෙරෙන පුස්තකාලයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැබීම අමෙරිකානු සම්ප්‍රදාය වේ.

මෙවර ඉදිරිපත් කර ඇති ලැයිස්තුව අනුව ඔබාමා ජනාධිපති ලෙස ලබා ඇති වටිනාම ත්‍යාගය වන්නේ සවුදි රජු සල්මාන් ඔහුවෙත ලබා දී ඇති බෙඩුයින් ගෝතික්‍රයන්ගේ ප්‍රතිමා සමූහයකි. එහි සම්පූර්ණ වටිනාකම අමෙරිකා ඩොලර් 56720ක් ලෙස ගණන් බලා තිබේ. එසේ වීමට හේතුව මේ ප්‍රතිමාවල රන් සහ රිදී ආලේප කිරීම සහ විවිධ මැණික්වර්ග ඔබ්බවා තිබීම වේ.

මීට අමතරව ඔබමා ලැබූ ත්‍යාග අතර ඉතාලි වයින් බෝතල්, ස්පාඤ්ඤ හැම්, ජෝර්දාන චෙස් පුවරු සහ බ්‍රිතාන්‍යයෙන් ලැබූ විලියම් ශේක්ස්පියර්ගේ නිර්මාණ එකතුවක්ද තිබෙන බව වාර්තා වේ. මීට අමතරව ඔබාමා මොල්ගෝලියානු ජනාධිපතිගෙන් ලැබූ මොන්ගෝලියානු අසරුවකුගේ ප්‍රතිමාවක්ද පවතින අතර එය අමෙරිකා ඩොලර් 2200ක් මිල වන බවද වාර්තා වේ. කියුබානු නායක රාවුල් කැස්ත්‍රෝ ඔබාමාට රම් බෝතලයක් ත්‍යාග වශයෙන් ලබා දී තිබේ.

එහෙත් ලැයිස්තු ඉදිරිපත් කර තිබූ කාලයේ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගෙන් හෝ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ගෙන් ඔබාමාට කිසිදු ත්‍යාගයක් ලැබී තිබුණේ නැත.

මෙහිදී ඔබාමා පමණක් නොව හිටපු ජනාධිපති බිරිය මිෂෙල් ඔබාමාට සහ සීඅයිඒ ප්‍රධානියා ඇතුලු ඔබාමාගේ කාර්ය මණ්ඩලයට හිමිවූ ත්‍යාගවල ලැයිස්තුවක්ද ඉදිරිපත් කර තිබීම සුවිශේෂ විය.

 


තාක්ෂණය හොඳයි පොඩ්ඩ වැරදුනොත් ඉවරයි

තාක්ෂණය නැතිව මිනිසාට ජීවත් වෙන්න බැරි තරම්. ඒත් තාක්ෂණය පොඩ්‍ඩක් එහා මෙහා වු‍නොත් සිදුවන පටලැවිලි ලෙහන්න හරිම අමාරුයි. පසුගියදා අමෙරිකාවේ ගුවන් තොටුපොල රාශියකම මිනිසුන් දීර්ඝ පෝලිම්වලට එක්වී බොහෝ අපහසුවෙන් සිටිනු දක්නට ලැබුණා. ඒ තාක්ෂණයේ දෝෂයක් නිසයි.

පසුගිය සතියේ නව වසරේ උදාවත් එක්කම දින කිහිපයක නිවාඩුවක් අත්විඳින්න ලොව පුරා ජනතාවට අවස්ථාව ලැබුණා.

එහිදී බොහෝ දෙනෙක් කළේ ඒ අවස්ථාව සංචාරයට යොදා ගැනීමයි. මේ විදිහට ලොව පුරා සංචාරය කළ ජනතාව නව වසර උදාවීමත් සමග යළි සියරට බලා පැමිණියා. මේ විදිහට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් එකවර ගුවන් තොටුපොලවල එ්කරාශී ‍වීමෙන් කාර්ය මණ්ඩලවලට වෙනදාට වඩා වැඩ ප්‍රමාණයක් කරන්න සිදු වුණා.

ඒ වගේම මේ ගුවන් තොටුපොලවල භාවිත කෙරෙන පරිගණක යන්ත්‍රවලටත් වැඩි දත්ත ප්‍රමාණයක් එක්ක කටයුතු සිදු කරන්න වුණා. අන්න එතනදී තමයි ගැටලුව ඇතිවෙලා තියෙන්නේ. අධික දත්ත ප්‍රමාණයක් සුළු කාලයක් ඇතුළත ග්‍රහනය කිරීමට සිදුවීමෙන් පරිගණක පද්ධති ජලාවන් අවුල් වූ බව තමයි ප්‍රකාශ වෙලා තියෙන්නේ. කොහොම වුණත් අමෙරිකාවේ ගුවන් තොටුපොල කිහිපයකම මගී ජනතාවට පැය ගණන් පෝලිම්වලට වෙලා කාලය ගත කරන්න සිදු වෙලා තියෙනවා. මේ නිසා බොහෝ දෙනෙක්ට නව වසර උදාව සමරන්න වෙලා තියෙන්නෙත් ගුවන් තොටුපොලේදී. පරිගණක ගත කළ පද්ධති අයෙමත් මිනිස් ක්‍රියාකාරීත්වය යටතට ගැනීම එතරම් පහසු දෙයක් නෙවෙයි. ඒ නිසාම නව වසරේදී ගුවන් තොටුපොල කාර්ය මණ්ඩල සේවකයන්ට සුබ පැතුම් වෙනුවට අපවාද් නම් ගොඩක් ලැබිලා තියෙනවා.

තාක්ෂණය මැනැවින් ක්‍රියාත්මක වෙනතෙක් එහි ප්‍රතිඵල බොහොම හොඳයි. ඒත් පොඩ්ඩ වැරදී ගිය ගමන් ඒ වැරදි නිවැරදි කරන්න ඉතාම අපහසුයි.

සමහරවිට ලබන වසරේදී මේ සිදුවීම් මතක තියාගෙන කටයුතු කරන්න අමෙරිකාවේ ගුවන් තොටුපොල බලධාරීන්ට හැකිවේවි.

Comments