කල දුටු කල වළ ඉහගන්නා දේශපාලනයේ පරිපාලනය | සිළුමිණ

කල දුටු කල වළ ඉහගන්නා දේශපාලනයේ පරිපාලනය

භාෂාව, ආගම, කුලභේදය වැනි මිනිසුන් පහසුවෙන් මත්කළ හැකි කරුණු අල්ලාගෙන රාජ්‍ය බලය ඇල්ලීමට ගිය ලෝකයේ හැම රාජ්‍යයක්ම පිහිරී විනාශ උණා...

(ලෙනාඩ් වුල්ෆ්)

මේ මතක හිටින ප්‍රකාශය ලෙනාඞ් වුල්ෆ් නම් වූ අපූරු ලේඛකයා - පරිපාලන නිලධාරියා විසින් එළිදක්වනු ලැබ ඇත්තේ 1960 වසරේ දී ය. යටත්විජිතයක් ව තිබූ ලංකාවත්, ලංකාවට නිදහස ලබාගැනීම සඳහා සිදුකෙරුණු උද්ඝෝෂණාත්මක ක්‍රියාවලියත් මැනවින් දුටු ලෙනාඞ් වුල්ෆ්, ලංකාවේ අනාගත දේශපාලන ක්‍රියාකාරකම් හා පරිපාලනමය තත්ත්වයන් විනිවිද දකිමින් 1960 දී (දෙවෙනි වරට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ) එළිදැක්වූ මේ අදහස් සංගෘහිත ව ඇත්තේ ‘ලෙනාඞ් වුල්ෆ් සමඟ ගමනක්’ නම් වූ අපූරු කෘතියෙහි ය. ලෙනාඩ් වුල්ෆ්ගේ ලෝක දැක්ම, සමාජ දැක්ම කොතරම් තියුණු දැයි සිතෙන්නේ වසර 50කට ප්‍රථම එළිදක්වා ඇති මේ ප්‍රකාශය වඩාත් වලංගු වන්නේ අදට වන නිසා ය.

රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම හේතුවෙන් උද්ගත වී ඇති විවිධ අර්බුද පිළිබඳ සජීවි සාක්ෂි අපට විවිධ මාධ්‍ය ඔස්සේ දෛනිකව සැපයෙමින් තිබේ. දිගින් දිගටම වර්ධනය වූ මේ තත්ත්වය පිළිබඳ කදිම නිදසුන් ගෙනහැර දක්වන වාර ප්‍රකාශනයක් එළිදුටුවේ ඉතා මෑත දිනක දී (2017 දෙසැම්බර්) ය. එය ප්‍රකාශයට පත් කර තිබුණේ හිටපු කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංගමයයි. සිය වසරකට පෙර (හා ඉන්පසු වසර 50කට පෙරත්) ලංකාව දුටු ලෙනාඞ් වුල්ෆ්ගේ තුන්වෙනි ඇස කොතරම් තියුණු ද යන්නට සැපයෙන පිළිතුරු ගණනාවක් මේ වාර ප්‍රකාශනයෙහි ද සංගෘහිත ව තිබේ. ‘පූර්ණ’ නම් වූ මේ වාර ප්‍රකාශනයෙහි අනුමාතෘකාව වන්නේ රාජ්‍ය සේවය කෙරෙහි පවත්නා දේශපාලන බලපෑම යන්නයි. ‘රාජ්‍ය සේවය කෙරෙහි පවත්නා දේශපාලන බලපෑම’ නමින් ම මෙයට ලිපියක් සපයන විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු සිය අදහස් දක්වන්නේ මෙසේ ය.

රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට දේශපාලන නිදහස නොමැති අතර, විධායක නිලධාරීන් නොවන අයට දේශපාලන නිදහස ඇත. දේශපාලන නිදහස ඇත්තෝ තම තමන්ගේ කැමැත්ත පරිදි තම තමන් පාක්‍ෂිකත්වය දරන පක්ෂයක් බලයට පත්කරවා ගැනීමට හා ඒ මගින් තම පෞද්ගලික අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට විවෘතව ක්‍රියා කරති. දේශපාලන නිදහස නොමැති විධායක නිලධාරීන් තම දේශපාලන ප්‍රතිපත්තිය අනුව තමන් කැමති පක්ෂ හා කණ්ඩායම් බලයට ගෙන ඒමට විවෘතව ක්‍රියා නොකළත් රහසින් ඒ කටයුත්ත කරන්නේ තම පෞද්ගලික අභිමතාර්ථයන් ඉටුකර ගැනීම සඳහාය. එබැවින් මැතිවරණයක් එළඹෙන සෑම අවස්ථාවකම රජයේ නිලධාරීන් (දේශපාලන නිදහස ඇති නැති දෙකොට්ඨාශයම) පවත්නා ආණ්ඩුව විසින් දෙන ලද තාන්න මාන්න හා වරප්‍රසාද සියල්ල භුක්ති විඳිමින් තමන් අපේක්ෂා කරන ආණ්ඩුව බලයට පත්කර ගැනීමට රහසින් සංවිධානය වෙමින් පවත්නා ආණ්ඩුවේ අඩුපාඩු සාවද්‍ය ක්‍රියා හා නොපහත් ක්‍රියා පිළිබඳව ලියකියවිලි සමඟ ඔවුන්ට ලබා දෙන්නේ එළැඹෙන මැතිවරණයෙන් ඔවුන්ව ජයග්‍රහණය කරනු පිණිසය.

ඒ අනුව සෑම මැතිවරණයකින් පසුවම අදක්‍ෂ, අකාර්යක්ෂම (සමහරවිට දූෂිත නිලධාරින්) කොටසක් අලුතින් පිහිටුවන ආණ්ඩුවේ වැදගත් ප්‍රබල තනතුරුවලට පත්වන අතර කාර්යක්ෂම, දක්ෂ, අවංක නිලධාරීන් ඒ ඒ තනතුරුවලින් විසිවන්නේ රාජ්‍ය සේවකයන් විශ්මයට පත් කරමිනි.

(පූර්ණ - 23-24 පිටු)

දෙවෙනි වරට ලංකාවට පැමිණි ලෙනාඩ් වුල්ෆ් කිසියම් අවස්ථාවක දී කර ඇති යට දැක්වෙන ප්‍රකාශය කලින් කී තත්ත්වයන්හි පසුබිම පැහැදිලි කර ගැනීම සඳහා අලුත් ආලෝකධාරාවක් නිකුත් කරන බවකි, අපට හැඟෙන්නේ.

නිලධාරි ධනෝපායනය ලංකාවට මහා සාපයක් වෙලා. ඒකට ප්‍රධානම හේතුව මේකයි. ඉංග්‍රීසි පාලකයො රාජකාරි දුන්නේ හොඳට සොයලා නියම සුදුස්සන්ට, පවුලේ මුල ඉඳලම සොයා බලනවා. මව්පියෝ ගැන, ආත්ත මුත්ත ගැනත් සොයා බැලූවා. වැදගත් සමාජ පිළිගැනීමක් තිබුණු පවුල්වල අයටයි ඉංග්‍රීසි පාලනයෙන් ප්‍රධාන තනතුරු දුන්නෙ. එවැනි අය පවුලේ නම රැකගන්න හොඳින් වැඩ කළා. අනිත් එක තමයි, එවැනි පවුල්වල උගත්තු සර්ව සම්පූර්ණයි. ලැබෙන තනතුරෙන් යමක් හම්බකරගන්න ඕන නෑ. දැන් ඒ සම්ප්‍රදායය වෙනස් වෙලා. ඉතාම දිළිඳු පවුල්වල ළමයි විධායක තනතුරුවලට ඇවිත්. ඉහළ පන්තියට සුදුසු ලෙස බැබළෙන්න ඒ අයට දේපොළ තිබුණෙ නෑ. නමුත් ඉහළ පන්තියෙ සිතුම් පැතුම් ඒ උදවියටත් තියෙනවා. පවුලෙ අඩුපාඩුවත් වැඩියි. මෙවැනි උදවියට ලැබෙන නිලය පවුලේ ඇදකුද ඇරගන්න පාවිච්චි කරනවා.

(ලෙනාඩ් වුල්ෆ් සමඟ ගමනක් - විජේසිංහ බෙලිගල්ල -217-218 පිටු)

බ්‍රිතාන්‍යයෙන් දේශපාලන නිදහස ලබාගැනීමෙන් අනතුරුව ලංකාවේ සිදුවේගෙන ගිය දේශපාලන පෙරළිය කෙරෙහි තමා නිරන්තරයෙන් ම අවදි මනසකින් යුතුව පසු වූ බව ලෙනාඩ් වුල්ෆ් සඳහන් කරයි. වැඩිදුරටත් ඔහු අවධාරණය කර සිටින්නේ ලෝකයේ කිසිම රටක මහේශාක්‍ය පැළැන්තියේ නායකයන්ට සාමාන්‍ය ජනතාවගේ නායකත්වය නියෝජනය කළ හැකි නොවන බවය.

නිදහස ලබාගත් හැම රටක්ම, ඒ ඒ රටවල මහේශාක්‍ය දේශීය නායකයින්ගෙ ග්‍රහණයට යටවෙලා. බහුතරයක් වන සාමාන්‍ය මිනිසුන්ට අපේ බ්‍රිතාන්‍ය පාලනයෙන් තිබුණ සහනයත් දැන් නෑ. මං මගේ අවබෝධයට අනුව කියන්නෙ මේකයි. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණ රාජ්‍යවල නායකත්වය සාමාන්‍ය පංතියේ පොදු ජනහිතකාමී මහජන සේවකයන්ට ලැබෙන්න ඕන. නැත්තං ඒ රටවල් විනාශ වෙයි. සාමාන්‍ය මිනිසුන්ගේ ඡන්දයෙන් මහේශාක්‍ය බලපුළුවන්කාරයො රටවල්වල පාලනයට පත්වීම ඉක්මනින්ම අවසාන වෙන්න ඕන.... ‘ක්‍රි.ව. 2000 දී ආසියාවෙන් මහේශාක්‍ය සමාජ නායකත්වය සහමුලින් ම අතුගෑවී යනවා කිසිම සැකයක් නෑ’

මේ පරිවර්තනය සඳහා ප්‍රධානම හේතුවක් වන්නේ ආසියාවේ රාජ්‍යයන්හි සිදුවන ජනගහණයේ සීඝ්‍ර වර්ධනය ලෙසිනි, ලෙනාඞ් වුල්ෆ් දකින්නේ. ආසියාව පිළිබඳ මේ විග්‍රහය ලංකාවට බලපාන්නේ කෙසේ දැයි ප්‍රශ්නයක් මතු වූ මොහොතේ ඔහු ලබා දී ඇති දාර්ශනික පිළිතුර මෙවැනි ය.

ලෝකය පුරාම හමන්නේ එකම පෘථිවි ගෝලයකින් විසිරී යන සුළඟක්. හරියට එකම සුර්යයාගෙන් ආලෝකයයි ශක්තියයි අපට ලැබෙනව වගේ. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණ යටත්විජිත දැන් කරෙගෙන යන්නෙ අත්හදාබැලීමක්. ක්‍රි.ව. 2000 වෙනකොට මේ රටවල් මූලික නිගමනයන්ට එයි.

(ලෙනාඞ් වුල්ෆ් සමඟ ගමනක් - 124 පිටුවෙ)

වසර 50කට ඉහත දී හම්බන්තොට තානායමෙහි සිංහල උළු සෙවිලිකළ ගොඩනැගිල්ල තැනවූ ලෙනාඞ් වුල්ෆ් එය විවෘත කර ඇත්තේ 1910 ජූනි 10 දා ය. සිය දෙවැනි සංචරණයේ දී ද ඔහු රාත්‍රිය ගතකිරීම සඳහා තෝරා ගෙන ඇත්තේ ඒ හම්බන්තොට තානායම ම ය. සිහිළැල් මුහුදු සුළඟ හැමූ ඒ සුන්දර රාත්‍රියෙහි සඳඑළිය ගලායමින් තිබූ තානායම් අංගනයේ කෝපි බොමින් සිටි ලෙනාඞ් වුල්ෆ් එදා පළකර ඇති මේ අදහස මෙදා අප වැඩිදෙනෙකුගේ සිත්සතන් තුළ කී වරක් නම් මතුව නැ‍ඟී ඇත්තේ ද?

කවුරු මොනවා කළත්, අනාගතයට ගැළපෙන දෙයක්ම කරන්න ඕන. බොරු රැවටිලි වැඩවලින් එලයක් වෙන්නෙ නෑ. රැවටීමෙන් අන්තිමට රැවටෙන්නේ තමන්මයි. අනුන් රවටන්නා විසින් තමන්ම රවටා ගනු ලැබේ කියනවනෙ. මීළඟ ශතවර්ෂ ගැන කල්පනාවෙන් කරන හැම දෙයක්ම කරන්න ඕන. මම යම් දෙයක් ලියනවා නං ඒක ලියන්නෙ අද ජීවත්වෙන මිනිස්සු ගැන හිතලම නොවෙයි. අනාගතේ උපදින උදවියටත් ප්‍රයෝජනවත් දෙයක්ම ලියා තැබීම මගේ ප්‍රතිපත්තියක්. එහෙම ලියන ලේඛකයෝ ලෝකයේ අමරණීය වෙනවා. නිර්මාණාත්මක ලේඛකයා අනාගතය තුළ සදාකාලිකයි.

ඇතැම් දේශපාලනඥයෝ මුළු ලෝකයේම තාවකාලිකයි. අනාගතය ගැන සිතා වැඩ කරන දේශපාලනඥයා අමරණීය වෙනවා. ඉන්දියාවේ ශ්‍රී ජවහල්ලාල් නේරු ගැන අනාගතයේ සලකන්නේ ඉන්දියාවෙ හිටපු අගමැති නිසා නෙවෙයි. එතුමා ලියා ඇති පොත් කීපය නිසා. විද්‍යාව කියන්නෙ, සත්‍යයට කියන අලුත් නමක්. විද්‍යාව ඉගැන්වීමෙන්, ලෝකය සත්‍යය සොයා ගන්නවා. නියම සත්‍යය සොයා ගත් පරපුරක් අනාගත ලෝකය විසින් බිහිකරවා. අද ජීවත්වෙන සියලූම බොරු කාරයන්ට අනාගතයක් නෑ.

(ලෙනාඩ් වුල්ෆ් සමඟ ගමනක් - 207 පිටුව)

ලෙනාඩ් වුල්ෆ් හඳුන්වා දෙන මේ බොරුකාරයන් දැන් අපට ආගන්තුක නැත. ඔවුන් අපට ඉතා හුරුපුරුදු ය. මේ දිනවල සිනාවැසි වස්සමින් නළු ඉරියව් ප්‍රකට කරමින් තාප්පවල ඇලවී සිටින බහුතරය සම්බන්ධයෙන් මධ්‍යස්ථ ජනතාව තුළ හටගැනෙන පොදු ආකල්පය ද ඒ ම ය.

රාජ්‍ය සේවය අකර්මණ්‍ය වීම, අඩපණ වීම සිදු වූයේ දේශපාලනීකරණය හේතුවෙන් ම දැයි කල්පනා කරගෙන යනවිට, රාජ්‍ය සේවය හා රාජ්‍ය නිලධාරීන් සප්‍රාණික ව සිටි එක්තරා අවධියක් පිළිබඳ මතකයක් ද සිත පහුරු ගාන්නට වෙයි. ඒ, මා පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ වසර 13 ක් පමණ එකදිගට සේවයේ යෙදී සිටි කාලය හෙවත් පේ‍්‍රමදාස යුගයයි. (1984-1996) මේ කාලය තුළ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් මෙන් ම සුළු සේවකයන් ද රාජකාරියෙහි යෙදුණේ කඩියන් මෙන් කඩිසරව බව මට ඉතා හොඳින් මතක තිබේ. ඒ කිසිවකු වෙතින් කිසිදු අවස්ථාවක ඈලිමෑලිදුබලතාවක් ප්‍රකට වූ බවක් මට මතක නැත. සියල්ලන් ම පාහේ සේවයට වාර්තා කළේ වේලාව නොවරදවා ය. අප කාර්යාලයට පැමිණෙන්නට ද පෙර පුටුවේ වාඩිවී සිටියේ ආයතන ප්‍රධානියා නොහොත් අමාත්‍යාංශ ලේකම්වරයා ය. අවස්ථානුකූලව පෙට්ටි කරගසාගෙන යාමට වුව නිලධාරියාගේ නිල තනතුර එදා බාධකයක් වූයේ නැත. මේ තත්ත්වයට මුල් වූයේ අගමැති පේ‍්‍රමදාස (පසුව ජනාධිපති) වෙතින් මුදාහැරුණ ආඥාදායකත්වය ඔස්සේ උපන් බිය වීමට ද පුළුවන. සෑම අවස්ථාවක දී ම, සෑම අංශයකට ම, සෑම විෂයක්‍ෂෙත්‍රයකට ම අගමැති පේ‍්‍රමදාසගේ උකුසු ඇස යොමුවී තිබුණේ ය. කෙසේ කුමන තත්ත්වයක් මත වුව රාජ්‍ය ආයතන සක්‍රීය ව තිබූ කාලය නම් එය ම ය.

පුදුම සහගත යැයි සිතෙන්නේ මේ සක්‍රීයභාවය නොවේ. ජනාධිපති ෙප්‍ර්මදාස හදිසි අභාවයෙන් පසුව මේ ආයතන, මේ නිලධාරීන්, නිශ්ක්‍රීය වූ වේගයයි. මෙසේ සිදු වූයේ කෙසේ ද, මෙය විය හැක්කක් දැයි පෞද්ගලිකව ම මට සිතුණු වාර බොහෝ ය. මීට හේතුකාරණා නිරීක්ෂණය කර, වාර්තා කළ හැකි වන්නේ සමාජ විද්‍යාඥයකුට ද මනෝවිද්‍යාඥයකුට ද අර්ථශාස්ත්‍රඥයකුට දැයි මම නොදනිමි. පෞද්ගලික ව නම් මට සිතෙන්නේ නායකත්වයේ සියුම් බව, අනලස් බව හා තීක්ෂණ පසුවිපරම ඊට හේතු වූ බවයි.

එකළ ෙප්‍ර්මදාස ජනාධිපතිවරයා සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට, බොහෝ විවේචන තිබුණේ ය. ඇතැම් පුවත්පත්වලට දීර්ඝකාලීන පැවැත්මක් නිර්මාණය වූයේ ද ඒ හරහා ය. බරපතළ විවේචන කරළියට නැගුණේ ප්‍රේමදාස රජය ‘සෝබනය’ වෙනුවෙන් කරන අනවශ්‍ය වියදම් පිළිබඳව ය. මේවා අපට ද හැඟුණ දැනුණ මුත් ඒවා ක්‍ෂුද්‍ර වී ගියාක් මෙන් හැඟුණේ පසුකාලය සමඟ සසඳන විට ය. කෙසේ වුව ද එකළ සිදුකෙරුණ බොහෝ වැඩකටයුතුවල වියදම මෙන් ම ප්‍රමිතිය ද බොහෝවිට පැවතුණේ ඉහළ මට්ටමක ය. අප නිරන්තරව අතපත ගෑ මුද්‍රණ ප්‍රකාශනවල වූයේ ද මේ ස්වභාවයයි.

පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අංශයේ සේවය කළ මට සිංහල භාෂාව පිළිබඳ මගේ දැනීම කළුමැද ගැනීමට අපූරු අවකාශයක් විවර කර දුන්නේ ද මේ කාලය ම බව නිහතමානී ව පැවසිය යුතු ය. ඒ උදාගම් සංකල්පය ඔස්සේ ඉදිවූ උදාගම් ජනතා අයිතියට පැවරීම පිළිබඳ පූර්ව ප්‍රචාරක කටයුතු (ආරාධනාපත් සැකසීම, විස්තර පත්‍රිකා පිළියෙළ කිරීම ආදී) බොහෝ විට මට ද පැවරී තිබූ නිසා ය. ඇරියුම් පතක, විස්තර පත්‍රිකාවක තිබූ ඉතා සුළු ඇදක්, කුදක් වුව සැමවිට ම පාහේ අගමැති පේ‍්‍රමදාසගේ ඇසට යොමු වීම ඊට හේතු වූවේ ය.

උදාගම විවෘත කිරීමට පෙර පැවැති පැරැණි ගම කරා ගොස්, පැරැන්නන් (භික්ෂූන් වහන්සේ, ගුරුමහතා හෝ වෙදමහතා වැනි) හමුවී ගමේ ඓතිහාසික තොරතුරු, පුරාකතා සොයා, සාරාංශගත කොට සැකසූ විස්තර පත්‍රිකා හා ආරාධනාපත් (මගේ මතකට අනුව 5000 බැගින්) තැපෑල වෙත යොමු කළේ අපගේ ප්‍රවෘත්ති අංශයයි. සති අන්තයේ පැවැති උදාගමක් විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියාව සිටි එවන්ස් කුරේ මහතා බෙහෝවිට සඳුදා උදෑසනින් ම මා කැඳවූයේ රතු කර ගත් මුහුණින් යුතුව ය. කුරේ මහතාගේ අතෙහි වූයේ න, ණ, ල, ළ වැරැද්දක් පෙන්වා දෙමින් අගමැතිවරයා විසින් රතු පෑනකින් සලකුණු කරනු ලැබූ විස්තර පත්‍රිකාවක් හෝ ආරාධනා පත්‍රයකි. වරක් පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යන්න යෙදීමේ දී පළාත් පාලන යන්නට කොමාවක් යොදා නොතිබීම මතුකර දැක්වෙන සේ අගමැතිවරයාගේ පෑනෙන් බෝලයක් ඇඳීගොස් තිබූ අයුරු මට තවමත් සිහි කළ හැකි ය.

අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය ගැන පරිස්සම් සහගත වන්නට මෙන් ම ඒවා ගැන උනන්දු වන්නටත්, ඒවා ගැන අසා දැනගන්නටත් අපට පසුබිමක් සැකසී තිබුණේ අරිසෙන් අහුබුදු වැන්නවුන් පවා (උපදේශකයින් වශයෙන්) ෙප්‍ර්මදාස ජනාධිපතිවරයා වටා සිටි නිසා ය. ප්‍රවෘත්ති අංශයේ ප්‍රකාශන කටයුතුවල දී එදා ඉතා වැදගත් මෙහෙයක් ඉටු කළේ ජයසේන ජයකොඩි වැනි සාහිත්‍යවේදීන් ය. අගමැති ෙප්‍ර්මදාස වෙනුවෙන් එදා නැගුණ චෝදනා, විවේචන මධ්‍යයේ වුව එකළ අපට නිල මට්ටමින් තෘප්තිමත් ව වැඩකටයුතු කළ හැකි වූයේ පාක්ෂිකයාට වඩා සුදුස්සා හඳුනාගන්නට, සුදුස්සාට ඉඩ දෙන්නට ෙප්‍ර්මදාස අගමැතිවරයා තුළ වූ සූක්ෂ්මාත්මතාව නිසාම ය.

මේ ටීකාව ගෙනහැර දැක්වූයේ තිත, කොමාව පිළිබඳ පවා සැලකිලිමත් වූ නායකත්වයක් පැවැති යුගයක් පිළිබඳව අපගේ මතක සටහන් කිහිපයක් දිගහැර දැක්වීම සඳහා ය. තවමත් අප තුළ විමතියක්, ව්‍යාකූලත්වයක් නිර්මාණය කර ඇත්තේ එදා පැය විසිහතර වැඩකරන කර්මාන්තශාලා බවට පත්ව තිබූ ඇතැම් රාජ්‍ය ආයතනවල (රාජ්‍ය නිලධාරීන් ද ඇතුළුව) ඉන් අනතුරුව හුළං බැස ගිය වේගයයි.

කෙසේ වුව ද රාජ්‍ය සේවකයාගේ, රාජ්‍ය සේවයේ පැවැත්ම දේශපාලන බලපෑම්වලින් තොරව ස්ථාපිතවීම සඳහා ඔහුගේ හෝ ඇයගේ අවබෝධය, පරිණතභාවය මෙන් ම අවංකභාවයත් ඒ තුළින් ඔප්නැංවෙන පෞරුෂත්වයත් හේතුවන බව ය, අපගේ විශ්වාසය වන්නේ. එහෙත් බලයට පත්වීමට පෙර රාජ්‍ය සේවය ස්වාධීන කිරීමට හා රාජ්‍ය නිලධාරීන්ට නිදහසේ රාජකාරී කරගෙන යාමට ඉඩ සලසා දෙන බවට දසඅතේ පොරොන්දු දෙන දේශපාලන පක්ෂ වුව බලයට පැමිණි පසු මන්දගාමී වීමේ අභිරහස තරමක් දුරට නොපැහැදිලි ය. එය තේරුම් බේරුම් කර ගැනීමට ඉඩසලසන්නේ ලෙනාඞ් වුල්ෆ්ගේ තුන්කල් දැක්මයි.

තමා තුළ වන මූලික බලාපාරොත්තු සිහි කැඳවන ලෙනාඞ් වුල්ෆ්, ඉන් පළමුවැන්න ලෙස දක්වා සිටින්නේ ලේඛකයකු වශයෙන් යම් කෘතියක් එළිදැක්වීමට තිබූ අභිප්‍රායයයි. දෙවැන්න මනුෂ්‍යාට, මනුෂ්‍ය ධර්මය තේරුම් කරදීමේ වුවමනාවයි. තුන්වැන්න අධිරාජ්‍යවාදී පාලනය යටතේ පැවැති යටත්විජිතයන්හි සමාජ ඝට්ටන ලෝකයාට හෙළි කිරීමයි. සිවුවැන්න වන්නේ යටත්විජිතවලින් ඉස්මතු වූ දේශීය අනුකාරකයන්ගේ දුෂ්ටකමේ කතන්දරයක් ඔස්සේ කියාපෑමයි.

රාජ්‍ය පාලනයේත්, රාජ්‍ය සේවයේත් යථාර්ථය පිළිබිඹු කරන ලෙනාඞ් වුල්ෆ්ගේ අවධාරණ අතරේ පත්තරේකට ලියන ලිපියක්, පත්තරේක පළ කර ගැනීම ගැටලූවකි යි සිතන බොහෝ දෙනෙකුට සැපයෙන ඉතා පැහැදිලි පිළිතුරක් ද තිබේ. අවසාන වශයෙන් මේ පත්තර ලිපිය යොදා ගන්නේ පත්තරයකට ලියූ ලිපියක් පළකරවා ගැනීමට නොඉවසුම්සහගතව සිටින්නන් වෙනුවෙන් ලෙනාඞ් වුල්ෆ් ලබා දී ඇති ඔවදන පෙන්වා දීමටයි.

පත්තරේට ලියල දීපු දෙයක් පළ කළේ නැත්තං, එහෙම කළේ ඇයි කියලා කර්තෘගෙන් අහන්න එපා. ඒක අමතක කරල දාන්න. පළකිරීම නොකිරීම කර්තෘගේ තීරණයක්. ”මං මුලින් කිව්වේ” පත්තර කියන්නේ ව්‍යාපාරයක්. පත්තර අතරෙත් ව්‍යාපාර ඟයක් තියෙනවා. කවුරුත් උත්සාහ ගන්නේ තරඟෙන් ඉස්සරහට යන්න. ඒක හරි. තරඟෙන් තමයි දියුණු වෙන්නේ. ඉස්සරහට යන්න නම් කළයුත්ත කර්තෘ දන්නවා. තමන්ටත් ඉස්සරහට යන්න ඕන නං, ඉස්සරහට යන්න පුළුවන් විදියෙ අලුත් හොඳ දේවල් ලියන්න ඕන. එතකොට පළවෙයි. එහෙම ලියන්න නං අත්දැකීම් අවශ්‍යයි.

(ලෙනාඞ් වුල්ෆ් සම`ග ගමනක්)

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.