කොරියානු සාමයට ක්‍රීඩාවෙන් ඇරැඹුමක් | සිළුමිණ

කොරියානු සාමයට ක්‍රීඩාවෙන් ඇරැඹුමක්

ක්‍රීඩාව යනු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිකරලීමේ මාර්ගයක් බව අන්තර්ජාතික අධ්‍යයන ක්ෂේත්‍රයේදී තහවුරු වන කරුණකි. ඉතිහාසය දෙස බැලීමේදී පසමිතුරු පාර්ශවයන් අතර සබඳතා නැංවීමට මෙන්ම අන්තර්ජාතික අර්බුද වලදී අවියක් ලෙසද ක්‍රිඩාව භාවිත කළ අවස්ථා දක්නට ලැබේ. නිරවි යුද සමයේ පසමිතුරන්ව සිටි අමෙරිකාව හා චීනය ලංකළේ පිංපොං හෙවත් ටේබල් ටෙනිස් ක්‍රීඩාවයි. 1970 දශකයේ මුල භාගයේ පිංපොං ක්‍රිඩාවේ ඇති කරගත් සබඳතා රාජ්‍යතාන්ත්‍රික මට්ටම දක්වා ඉහළට නංවා එවකට සිටි අමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන්ට චීනයේ ප්‍රථම නිල චාරිකාවක යෙදීමේ ඓතිහාසික අවස්ථාව හිමිකරගැනීමට හැකිවිය.

අද වනවිට චීනයත් අමෙරිකාවත් ලොව ප්‍රධානතම වෙළෙඳ හවුල්කරුවන් බවට පත්ව තිබේ. එමෙන්ම 1970-80 දශකවල වර්ණබේද වාදය කරපින්නාගෙන කළු ජාතිකයන් පාගා දමමින් සිටි දකුණු අප්‍රිකාවට දඩුවම් කිරීමේ අවියක් ලෙස ජගත් ප්‍රජාව භාවිත කළේ ක්‍රිඩාවයි.

ක්‍රීඩා තහනම නිසා හුදකලා වු දකුණු අප්‍රිකාව එදා අන්තර්ජාතික ක්‍රිඩකයන් විශාල මුදලක් ගෙවා තම රටට ගෙන්වා ගැනීමට උත්සුක විය. ඒ ක්‍රීඩාවේ ප්‍රබල කමයි. මේ පුර්විකාවේ අප පිවිසෙන්නේ වර්තමානයේ ගෝලීය වශයෙන් පවතින බරපතල දේශපාලනික ආරක්ෂක හා ආර්ථික ගැටලුවක් වන කොරියානු අර්බුදය අවසන් කිරීමේ මුලික පියවරක් ලෙස ක්‍රිඩාව යොදාගැනීමයි.

නව වසරේ උදාවත් සමඟ කොරියානු අර්ධද්වීපයේ සාමය සඳහා උතුරු කොරියාවත් දකුණු කොරියාවත් මුලපිරූ ආකාරය අප පසුගිය සතියේ විදෙස් සටහන තුලින් සාකච්ඡා කළෙමු. මෙය එහි දිගුවක් ලෙස සැලකීමද වරදක් නොවේ.

ඉහත පුර්විකාවේ සඳහන් පරිදි උතුරු කොරියාවත් දකුණු කොරියාවත් තම සබදතා යලි ආරම්භ කිරීමේ ප්‍ර වේශයක් ලෙස යොදාගෙන ඇත්තේ ශීත සෘතු ඔලිම්පික් තරගාවලියයි. දකුණු කොරියාවේ මෙවර පැවැත්වන ශීත සෘතු ඔලිම්පික් තරගාවලියට කණ්ඩායමක් සහභාගි කරවීමට උතුරු කොරියාවට අවස්ථාව සලසා දීම මූලික සාකච්ඡා වටයේ අරමුණ විය. එය ඉතා ඉක්මන් සාර්ථකත්වයක් අත්කරගත්තේය. ඒ අනුව උතුරු කොරියාව ක්‍රීඩකයන් හා නිලධාරින් කණ්ඩායමක් දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් තරගාවලියට සහබාගී කරවයි. ඒ සදහා උතුරු කොරියානු නියෝජිත කණ්ඩායම සෘජුවම එකගතාව පළ කළහ. එය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික අංශ ලැබු ජයග්‍රහණයකි. එමෙන්ම එය දෙපාර්ශවයටම ජය ගෙනදුන් සංසිද්ධියකි.

උතුරු කොරියාවට මේ අවස්ථාවේ අවශව ඇත්තේ අන්තර්ජාතික වශයෙන් හුදකලාවී ජගත් ප්‍රජාවගේ ඇණුම් බැණුම් වලින් මිදී එමෙන්ම අන්තර්ජාතික සම්බාධක තුලින් එල්ල වන අභියෝගය අවම කරගැනීමේ මගක් සොයාගැනීමයි.

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සිය අලුත් අවුරුදු පණිවුඩය ඇතුළත් දේශනය මඟින් ගෙනහැර දැක්වු ප්‍රධානතම කාරණය දකුණු කොරියාව සමග යළි සබදතා පවත්වාගෙන යන්නට ඇති සුදානම ලෝකයට පෙන්වා දීමයි. ඒ තුළින් ඔහු අපේක්ෂා කළේ කුමක්ද යන්න ගැන වඩාත් හොදින් විග්‍රහ කළ යුතු වේ.

මේ අවස්ථාවේ දකුණු කොරියාවටද විශේෂ වාසිදායක තත්ත්වයක් පවතී. ඒ උතුරු කොරියාවෙන් හදිසි ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම තරමකට හෝ පහව යාම පමණක් නොවේ. මේ අවස්ථාවේ කෙටි කාලීන වශයෙන් දකුණු කොරියාවට තිබු හිසරදයක් සුවකර ගැනීමක්ද වෙයි. ඒ ශීත සෘතු ඔලිම්පික් තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති ගැටලුවයි.

පෙබරවාරි මාසයේදි සෙල්සියස් අංශක සෘණ 5ටත් අඩු උෂ්ණත්වයක් පවතින දකුණු කොරියාවේ පියොං චෙං හි පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් තරගාවලියට ලොව පුරා රටවල් 90ක් සහබාගි වෙයි.

එහෙත් දකුණු කොරියාවට හැමදා හිසරදයක්ව පැවැති සිය අසල්වැසි උතුරු කොරියාව දෙපාර්ශය අතර තිබු ගැටුම්කාරි තත්ත්වය නිසා ඊට සහබාගී වීමේ වාතාවරණයක පසු නොවීය. ඒ හරහා දකුණු කොරියාවට තිබු ප්‍රධාන ගැටළුව නම් රහසිගත බුද්ධි අංශ ප්‍රහාරයක් හෝ පරිගණක හැකර් ප්‍රහාරයක් මගින් ශීත සෘතු ඔලිම්පික් තරගාවලියේ යම් කිසි කඩාකප්පල්කාරි ක්‍රියාවක යෙදීමට උතුරු කොරියාවට තිබු හැකියාව හා ඇතැම්විට එවැන්නක් පිලිබද අභිලාෂයක් සම්බන්ධයෙන් පැවති සැකයයි. ඉතිහාසය දෙස මෙන්ම උතුරු කොරියාවේ අභිලාෂයන් හා ක්‍රියාකලාපය අධ්‍යනය කළ විට පැහැදිළි වන්නේ එවැන්නකට පෙළඹිමට උතුරු කොරියානු නායක කිම් ජොං අන් පසුබට වේ යැයි නොසිතා සිටිය නොහැකි බවයි.

එහෙත් උතුරු කොරියාව සාකච්ඡා තුලින් ඔලිම්පික් තරගාවලියට සහබාගී වීමේ එකගතාවකට එළඹීම නිසා එරටින් එල්ල විය හැකිව තිබු ආරක්ෂක තර්ජනය බොහෝ දුරට අඩුවේ.

උතුරු කොරියාවෙන් පැමිණෙන ක්‍රිඩා කණ්ඩායමට ලබාදෙන සත්කාර තුළින් දෙරට අතර මානව සබදතා ශක්තිමත් කරලීමේ වරම දකුණු කොරියාවට හිමිවේ. එසේම මේ අවස්ථාව අනාගත සාකච්ඡා හා තිරසාර සාම වැඩපිළිවෙලක් සදහා දැමෙන අත්තිවාරමක් සේ යොදාගැනිමට ලැබෙන ඉඩප්‍රස්ථාවයි.

දකුණු කොරියාව දැනටමත් ඒ සදහා ඔලිම්පික් සාකච්ඡාව යොදාගත් ආකාරය පැහැදිලිව දක්නට හැක. එම සාකච්ඡාවෙන් ලද සාර්ථකත්වය තුල අලුත් යෝජනා දෙකක් ඉදිරිපත් කිරිමට දකුණු කොරියාව උත්සුක විය. පළමු යෝජනාව නම් අත්හිටුවා ඇති උතුරු දකුණු ඥාති සමුහයා යළි මුණගැස්සවිමේ වැඩසටහන නැවතත් ආරම්භ කිරීමයි. 1998 දී ආරම්භ වු ද්විපාර්ශවික වැඩපිළිවෙලේ සාර්ථකම අදියර වු සන්ෂයින් පොලිසි හෙවත් සුර්්‍ය උදා පිළිවෙත යටතේ ආරම්භ වු ඥාති සබඳතා වැඩසටහනේ මුලික අරමුණ වුයේ 1950දී කොරියානු අර්ධද්වීපය උතුරු කොරියාව හා දකුණු කොරියාව වශයෙන් රටවල් දෙකකට බෙදි යාමේදී දෙපසට බෙදි ගිය එකම පවුල් වල සාමාජිකයන් යළි එක්තැන් කිරිමේ වැඩසටහනයි.

මුල් යුගයේදි ඉතා සංවේදී වැඩසටහනක් වු මෙය යළි ඇරඹීම දෙරටේ මානව සබඳතා ශක්තිමත් කිරිමක් ලෙස දකුණු කොරියාව සලකයි. දෙවැනි යෝජනාව නම් අත්හිටුවා ඇති හමුදා ආරක්ෂක සාකච්ඡා නැවතත් ආරම්භ කිරීමයි.

දෙරටේ හමුදා අතර මනා සම්බන්ධතාවක් පවත්වාගැනීම කලාපීය ස්ථාවරභාවය හා ආරක්ෂාව සදහා බෙහෙවින් වැදගත් අවස්ථාවකි. ඒ හරහා පසුගිය කාලය තුළ උද්ගත වු යුද උණුසුම සමනය කරගැනීමට විශේෂ ඉඩප්‍රස්ථාවක් හිමිවේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු දකුණු ක්‍රීඩා සාකච්ඡා යළි ඇරඹිම සම්බන්ධයෙන් පළකර ඇති අපේක්ෂා සහගත ස්ථාවරයද මෙහිදි වැදගත් වෙයි.

ට්‍රම්ප් මුලින් උත්සාහ ගත්තේ උතුරු කොරියාවට ගින්නෙන් උත්තර දීමට අමෙරිකාව සුදානම් බවකි. ඔහු උතුරු කොරියානු නායකයා සමඟ ප්‍රසිද්ධියේ වහසි බස් හුවමාරු කරගත්තේය. එහෙත් සාකච්ඡා ඇරැඹීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පවසා ඇත්තේ “සුදුසු තත්ත්වයන් පවතින්නේ නම් පමණක් උතුරු කොරියාව සමග යළි සාකච්ඡා ඇරැඹීමටත් අමෙරිකාව සුදානම් බවයි, “ මෙය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුදකාමි ස්ථාවරයේ පැහැලිළිව දැකිය හැකි වෙනසක් බව රාජ්‍ය තාන්ත්‍රික අංශ වල මතයයි.

එහෙත් දකුණු කොරියාව හා ජපානය ආශ්‍රිතව පවත්නා යුද බලය කිසිසේත් අඩුකිරීමට මේ සාකච්ඡාමය සාධනීය ප්‍රවණතාව හේතු නොවන බව අමෙරිකාව පැහැදිළිව ප්‍රකාශ කර තිබේ.

මුලිකව අවශ්‍ය වන්නේ උතුරු කොරියාව තේරුම් ගැනීමයි. මිසයිල විදිමින් හා පරමාණුක බෝම්බ අත්හදා බලමින් උතුරු කොරියාව උත්සුක වන්නේ තමන් ලෝක බලවතෙකුගේ තත්ත්වය කරා යොමුවී අැතැයි යන්න අමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ට පෙන්වා දීමයි. අන්තර්ජාතික බල තුලනය සදහා න්‍යෂ්ටික අවි තමන් හට අවශ්‍ය බව උතුරු කොරියාව පවසයි.

උතුරු කොරියාව සතුව එම න්‍යෂ්්ටික අවි තොග පැවතීමේ වගකීම තනිකරම දැරිය යුත්තේ තමන්ට නිරන්තරයෙන් තර්ජන එල්ල කරන බටහිර ධනවාදි බලවේගය බව උතුරු කොරියාවේ ස්ථාවරයයි.

උතුරු කොරියාව යනු තම පැවැත්ම ගැන බරපතල ගැටළුවකින් හා සැකයකින් පීඩා විදින රටකි. එරට රජයේ මානසිකත්වය තවමත් පවතින්නේ කෝල්ඩ් වෝ හෙවත් නිරවි යුද සමයේ දේශපාලනික සංකල්ප හා බැදීමෙනි.

අමෙරිකාව උතුරු කොරියාවේ අසල්වැසි රටවල් වන දකුණු කොරියාවේ හා ජපානයේ පනස්පන් දහසකට අධික හමුදාවක් හා අති නවීන යුද උපකරණ ස්ථානගතකර ඇත්තේ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ ස්ථාවරය මතයි. හමුදාමය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් හෝ බුද්ධි අංශමය වශයෙන් හෝ දියත් කෙරෙන ආක්‍රමණයක් ඔස්සේ තම පාලනය පෙරලා දමනු ඇතැයි යන්න උතුරු කොරියාව බියෙන් පසුවෙයි. ඊට විකල්පයක් ලෙස ඇති හොදම මග න්‍යෂ්ටික බලවතෙකුගේ තත්ත්වය අත්කරගැනීමය යන්න කිම් ජොං අන් ගේ පාලනයේ මුලීක ක්‍ර මෝපායයික දර්ශනයයි.

ඊට අමතරව උතුරු කොරියානු හැසිරීමේ යටි පෙළ කියවද්දී අන්තර්ජාතික සබදතා ගැන අවබෝධයක් ඇති අයෙකුට පෙනී යන කරුණ නම් සෑම බලය පෙන්වීමේ අවස්ථාවක් තුලින් ම උතුරු කොරියාව ව්‍යංගයෙන් පෙන්වා දෙන්නේ එක්තරා මට්ටමක සිට ලෝකය සමග සම්බන්ධ වීමට ඇති අවශ්‍යතාවයි.

මෙවර කිම් ජොං අන් උත්සුක වන තවත් කරුණක් වන්නේ අන්තර්ජාතික සම්බාධක වන බලපෑම අවම කරගැනීමයි.

සම්බාධක දැඩිකිරිමේ තත්ත්වය මත මේ වනවට උතුරු කොරියාවට සිය අපනයන ආදායමෙන් 30%ක් අහිමි වී තිබේ.

චීනය සමඟ ගණුදෙනු සම්බාධක නිසා අඩාල වීම තුල 35% ක අපනයන ආදායමක් අහිමි වෙයි. වඩාත්ම බරපතල හානිය වන්නේ ලොව පුරා සිටින උතුරු කොරියානුවන් සිය රටට මුදල් එවීමට සම්බාධක හරහා එල්ල වී ඇති තහනම ඔස්සේ උතුරු කොරියාවට විදෙස් විනිමය ගලා ඒම 80%කින් අඩුවීමයි.

මේ බලපෑම අවම කරගැනීමට මේ අවස්ථාවේ පාවිච්චි කළ යුතු හොදම තුරුම්පුව දකුණු කොරියාවට සමිප වෙමින් අමෙරිකා දකුණු කොරියා සබදතා මැදට පැමිණ දෙපාර්ශවය තරමකට හෝ දුරස් කිරීම බව උතුරු කොරියානු ක්‍රමෝපාය බව පැහැදිලි වෙයි.

ඒ හරහා අමෙරිකා එක්සත් ජනපදය ට්‍රම්ප්ගේ හිතුවක්කාරි පාලන රටාව යටතේ අනුගමනය කළ හැකි හමුදා ක්‍රියාමාර්ගයක් වළක්වාගැනීමට දකුණු කොරියාව යොදාගනිමින් ඉඩකඩ සලසා ගැනීම උතුරු කොරියාවේ අපේක්ෂාවක් බව පෙනී යයි. මේ නිසා උතුරු දකුණු සබදතාව පිලිබද අවංක සාධනීය අපේක්ෂාවක් පවත්වා ගැනීමට තවමත් නිසි කළ එළඹ නැති බව අපට පෙනි යයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.