නිර්මාණශීලීත්වයට මුල පුරන ඕස්ට්‍රේලියානු ප්‍රාථමික අධ්‍යාපනය | Page 2 | සිළුමිණ

නිර්මාණශීලීත්වයට මුල පුරන ඕස්ට්‍රේලියානු ප්‍රාථමික අධ්‍යාපනය

මගේ මුනුපුරෝ දෙදෙනෙක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි පුරවරයට ආසන්න ප්‍රාථමික පාසලක ද මිනිබිරියෝ දෙදෙනෙක් මෙල්බන් පුරවරයට ආසන්න Victoria Glen Weverly ප්‍රාථමික විදුහලෙහි ද අධ්‍යාපනය ලබති. තවද වර්ෂයකට කීපවරක් පාසල්හි සංවිධානය කරන Open Day වැඩසටහන් කීපයකට ද සහභාගි වී ප්‍රාථමික පාසල්හි අධ්‍යාපනය ගැන නිරීක්ෂණයකට මට අවස්ථාව ලැබුණි.

වර්ෂයේ අප්‍රේල් මස 30 දිනට වයස 5 සම්පූර්ණ වූ පසු පදිංචියට ආසන්නම ප්‍රාථමික විදුහලේ Pre P. පන්තියට ඇතුළත් විය හැකිය.

මෙම පන්තිය අප රටේ දසක කීපයකට පෙර පැවැති බාලාංශයට සමානය. එරට ‘ශ්‍රේණි’ ව්‍යාවහාරයක් නැත. එහි ඇත්තේ ‘වසර’ භාවිතය යි. අපේ රටේත් 1998 වන තුරු පැවැතියේ 1972 සිට ඇරඹුන වසර භාවිතය යි.

පාසල උදේ 9.00 - හවස 3.00 දක්වා පැවැත්වේ. වාර 4 කි. දිගම නිවාඩුව ලැබෙන්නේ දෙසැම්බර‍ෙය්දීය. රජයේ පාසල් හි ගාස්තු අය නොකෙරේ. නිල ඇඳුම්, පාසල් පොත් නොමිලයේ සැපයෙන්නේ නැත. බාහිර කටයුතු සඳහා අය කෙරේ.

මගේ මිනිපිරියන්ගේ පාසලෙහි සිංහල, දෙමළ, චීන සහ තවත් ජන වාර්ගික ළමයි එකට ඉගෙන ගනිති. ඔවුන් තම ජාතිය හෝ රට වශයෙන් බෙදීමක් නැත. එහි විෂයමාලාව මෙසේ ය.

ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යයනය, කලා, සමාජය හා පරිසරය, ඉංග්‍රීසි නොවන වෙනත් භාෂාවකි.

ඉංග්‍රීසි නොවන වෙනත් භාෂා අතර වඩාත් ජනප්‍රිය චීන භාෂාව ය. (Mandarin) මේ භාෂාව ඉගැන්වීම ඇරඹෙන්නේ Pre P පන්තියේ පටන්ය. අපගේ රටේ ඉංග්‍රීසි උගන්වීම ඇරඹෙන්නේ තුන්වන ශ්‍රේණියේ සිටය. එරට “ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි” නමින් විෂයයක් නැත. එහි සියලු විෂයයන් උගන්වන්නේ ක්‍රියාකාරකම් පාදක මඟින් නිසා සහ උගන්වන ඉංග්‍රීසි ‘විධිමත්’ නිසා ය

එහි ගුරු වෘත්තිය ඉතා දුෂ්කර ය. වගකීම් වැඩි ය. සූදානම් වීමට බොහෝ කාලයක් ගත යුතු ය. පැවරුම්, ඇගයීම්, වාර්තා තබා ගැනීම අනිවාර්ය වේ. හවස 5.00 දක්වා ගුරුවරු පාසලේ රැඳී සිට ඊළඟ දිනට සූදානම් වෙති.

සෑම ගුරුවරයකුට ම B. Ed හෝ P G C E සුදුසුකම් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් ඔවුන්ගේ වැටුප වර්ෂයකට ඩොලර්ස් 58,000 ක් (රුපියල් 531,000/= ක්) පමණ වේ.

පිටරට සිට ඕස්ට්‍රේලියාවේ ගුරු වෘත්තිය සඳහා යන්නන් විසින් ඉටු කළ යුතු කාර්යභාරය සුවිශේෂව Australian Visa Bureaa මඟින් ලේඛන ගත කොට ඇත. ඉගෙනීමේ ක්‍රියාවලිය නිදහස් ය. ශිෂ්‍යයෝ ගුරුවරු සමඟ නිදහසේ කටයුතු කරති. ගුරුවරුන්ගෙන් ප්‍රශ්න අසති. සාකච්ඡා කරති. දැන ගැනීමට දක්වන්නේ විශාල කුතුහලයකි. ක්‍රියාකාරකම් බහුල ය. නිරීක්ෂණ ගවේෂණ චාරිකා නිතර ඇත.

ශිෂ්‍යයන් නිතර ඇගැයීම කරනු ලැබේ. සෑම උදෑසන රැස්වීමකදීම විවිධ කාර්යයන් සඳහා සම්මාන (Rewards) සහතික ප්‍රදානය කෙරේ. සෑම ළමයෙකු ම වාරයකට එක් ඇගැයීමකට හෝ භාජන වේ.

ගීත, නාට්‍ය, ජවනිකා ආදි විවිධ ප්‍රසංග සඳහා උදෑෂන රැස්වීම නොමසුරුව යොදාගනු ලැබේ.

එහිදී ඇගැයීමට භාජන වන ශිෂ්‍යයන්ගේ අත්ලට අත්ලෙන් ගසා විදුහල්පති සතුට ප්‍රකාශ කරයි.

පන්ති ඉගැන්වීමට අමතරව ශිෂ්‍යයන් විසින් ම සොයා ගෙන ඉගෙනීම සඳහා පැවරුම් දෙනු ලැබේ. මට වැටහී ගිය ආකාරයට මේ පැවරුම් ගැඹුරු වැඩිය. අන්තර්ජාලය පරිගණකය, ටැබ්ලට් යොදා ගැනීමට අනුබල ලැබේ.

පැවරුම් කෙළින් ම එවන්නේ දෙමවුපියන්ට ය. ඔවුන්ගේ සහාය නොමැතිව එම පැවරුම් කළ නොහැකියැයි මට සිතේ. පාසල හා දෙමවුපියන් සමඟ නිතර ම සම්බන්ධතා පැවැත්වේ. ළමයා පාසල් නොගියහොත් ගෙදරට දුරකතන හෝ ඊමේල් පණිවිඩයක් එවනු ලැබේ. ගෙදර වැඩ හඳුන්වන්නේ Home Work යන නමින් නොව Home Learning යනුවෙන් ය.

එහි වාර විභාග නොපැවැත්වේ. එහෙත් මුළු රටට ම පොදු විභාගයක් පැවැත්වේ. 3, 5, 7, 9 යන වසරවලදී National Assessment Programme - Litaracy and Numaracy (NAPLAN) මඟින් ඇගැයීම සිදු කෙරේ. මේ සඳහා සියලු ළමයි විසින් ඉදිරිපත් කරනු ලැබුව ද කිසිම සූදානම් කිරීමක් පාසලෙන් සිදු නොවේ.

තවද International Competition Assessment for Schools (ICAS) නමින් තවත් පරීක්ෂණයක් ඇත. මෙය 1 වන වසර හැර අන් සියලු වසර සඳහා පැවැත්වේ.

මේ විභාගයට සමහර ශිෂ්‍යයන් පමණක් පෙනී සිටින අතර ඒ සඳහා ද පාසල පහසුකම් සලසයි. එහෙත් ඒ සඳහා කිසිදු ඉගැන්වීමක් සිදු නොකෙරේ.

ගුරුතුමිය අනුකරණය කිරීම මගේ මිනිපිරියන්ගේ ප්‍රධානතම විනෝදාංශය වෙයි. ගුරුතුමිය මෙන් ඇඳ පැළඳ ගෙදරදී ඉගැන්වීම සිදු කරත්.

අරමුණු දැක්වීම, විෂය ඥානය, උපකරණ භාවිතය, අනුපිළිවෙළ, ඉදිරිපත් කිරීම, ඇගැයීම, පන්ති පාලනය අතිශයින් විද්‍යානුකූල ය. මේ සමරූපණය මඟින් ශිෂ්‍යයාගේ ඉගෙනීම ද ගුරුතුමියගේ ඉගැන්වීම ද දෙකම එකවර නිරීක්ෂණය කළ හැකිය.

‘ඕස්ට්‍රේලියානු ප්‍රාථමික අධ්‍යාපනය නිර්මාණශීලීත්වයට මුල පුරන්නේය’ යන නිගමනයට මා පිවිසෙන්නේ මගේ මිනිපිරියන්ගේ සමරූපණ පන්තියේ ශිෂ්‍යයකු ලෙස නිරූපණය කිරීමෙන් ලත් අත්දැකීමෙන්ය.

 

 ඒ.එස්. එම්. ජයවීර

මහරගම ජාතික අධ්‍යාපන ආයතනය

විෂයමාලා අංශයේ හිටපු අධ්‍යක්ෂක 

Comments