තිස් වසරකට පසු පෙනීම ලැබූ කිරංචි වැසියෝ | සිළුමිණ

තිස් වසරකට පසු පෙනීම ලැබූ කිරංචි වැසියෝ

 වටින දේවල් රැක ගන්න ඕන වෙනකොට අපි කියන්නෙ ඇස් දෙක වාගේ රැක ගන්න කියලා. ඇස් දෙක නැත්නම් අපිට ලෝකයක් නැහැ. ඇස් දෙකේ වටිනාකම තේරෙන්නෙ ඇස් නොපෙනී ගියදාටයි. ඒක නිසයි ඇස් දෙක වාගේ රැකගන්න කියල කියනනෙ.

අනෙකුත් සත්ත්වයන්ට වගේ නෙමෙයි අපිට ජීවිතේ අවසාන භාගය වෙනකල් හොඳින් පෙනීමේ අවශ්‍යතාවය වැදගත් වෙනවා. ඒ පොත් පත් කියවන්න වගේම ලෝකය දෙස හොඳින් බලා ගන්නයි. සත්තුන්ට නම් දඩයමක් කර ගන්න නැත්නම් ආහාරයක් සොයා ගන්න, අනතුරු රහිතව පාරේ යන්න තිබුණානම් ඒක තමයි ඒ සතුන්ගේ අවසානය දක්වාම අවශ්‍ය වන පෙනීම වෙන්නේ.

මේ නිසාම තමයි අක්ෂිදාන සංගමය වගේ සමාජ සේවා ආයතන බිහිවෙලා ජනතාවගේ අක්ෂි අවශ්‍යතා ලබා දෙන්න වගේම විවිධ අක්ෂි සායනත් පවත්වන්නේ.

ස්වභාවධර්මයේ හැටියට වයසට යාමත් එක්කම ඒ කියන්නෙ කාලයක් යනකොට අපි කොයි කාගෙත් ඇස්වල පෙනීම අඩු වෙනවා. ඒකට කරන්නෙ උපැස් යුවළක්, තේරෙන භාෂාවෙන්ම කියනවානම් කණ්ණාඩි පළදින එකයි.

ඒකටත් අද කාලෙ සෑහෙන වියදමක් යනවා. ඒ අපි ගැන අපි කියන කතාවනේ. පෙනීම නැතිවුණත් ඇස් කණ්ණාඩියක් පැළදීම හීනයක් වගෙ වෙන අයත් අපෙරම රටේ ඉන්නවා කිව්වොත්.... ගමකට එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා කිව්වොත් නම් ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒ වුණත් මුළු ගමකටම ඒ විදිහෙ අසරණ තත්ත්වයක් තියෙනවා කිව්වොත් ඒක විශ්වාස කරන්නත් අමාරු තරම්. ඒත් අපි මේ කතා කරන්න යන්නෙ එහෙම ගමක් ගැන වගේම සංහිඳියාවේ පිහිටෙන් ඒ ගමේ ඇත්තන්ට පෙනීම ලබා දුන්න සිදුවීමක් ගැනයි.

ඒ වගේ අසරණ දුප්පත් ගම්මානයක් ගැන මීට කලකට පෙර ආරංචි වුණා. ඒ අවුරුදු 30ක්ම යුද්ධයෙන් බැට කාපු පුනරීන් ප්‍රදේශයේ කිරංචි ගම්මානයයි. කිරංචි තියන්නේ යුද්ධයෙ ආදීනව හොදට දැනුණු ගම්මානයක්. අවුරුදු 30ක් තිබුණු යුද්ධය නිසා ඒ ගමේ ගොඩක් පවුල්වල කාන්තාවන්ට ස්වාමි පුරුෂයන් අහිමි වෙලා. තමන්ගේ දුක කියන්න කෙනෙක් නෑ.ඒ විතරක් නෙමෙයි. කිරංචි ගම්මානය තියෙන්නෙ තොළඹ යාපනය ප්‍රධාන පාරෙන් කිලෝමීටර් 40ක් විතර ඈතට වෙන්නයි. ඒක නිසා කාගෙවත් අවධානයක් ඒ ගම්මානෙට යොමු වෙලා තිබුණෙත් නෑ.

අපි මීට කලින් දවසක වාර්තා කරපු ‘වතුර නැතිව වැහෙන්න යන පාසල‘ පිහිටල තියෙන්නෙත් පුනරීන්වල. කිරංචි ගම්මානය ඊටත් වඩා බොහොමයක් කර්කශ ගම්මානයක් වගේම ඒ පාසලටත් වඩා බොහොමයක් දුරින් තියෙන්නෙ. යුද්ධයෙන් විතරක් නෙමයි ඒ අයට අවුරුද්දේ මාස කීපයක්ම නියඟය නිසාත් පිඩා විදින්න වෙලා තියෙන්නෙ.

බොන්න වතුර උගුරක් පවා හොයා ගන්න බැරිව දුක් වෙන මේ ගම්මානෙ අය දිහා බලන්න රජයේ නිලධාරීන් වගේම දේශපාලකයන් එන්නේ නැහැ.

තමන්ගේ හැම දුකක්ම හොයලා බලන්නේ යුද හමුදාව බවයි ඒ අය දන්නේ. අනිත් එක කිරංචි ගම්මනායේ සමහර වැඩිහිටියො තමන්ගේ ගම්මානයෙන් පිට ගමකට යන්න පවා ඒතරම් උනන්දුවක් දක්වන්නෙ නැහැ. ඇත්තටම ඒ අයට යන්න ඕනකමකුත් නැහැ. බාහිර අවශ්‍යතා අවම ආකාරයට කොටුවුණු ගම්මානයක් ලෙසින් අපට කිරංචි ගම්මානය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ අය වැඩිම වුණොත් යන්නේ පුනරීන් කඩමණ්ඩියට විතරයි. අවශ්‍යතා සීමිත නිසා ඒ අයට එතැනින් එයාට යන්න ඕනකමක් නැහැ.

අඩුම ගාණේ බැංකු ගිණුමක්වත් තියෙන අය මේ ගම්මානයේ නැති තරම්. ඒ තරම්ම දුප්පත් මේ ගම්මානයේ වැඩිහිටියන්ට වයසට ගියහම ඇස් පෙනීම ලබා දෙන්න කවුරුත්වත් ඉදිරිපත් වෙලා තිබුණෙ නැහැ. පත්තරයක් පවා කියවගන්න ඕන වුණහම ඇස් පෙනෙන කාට හරි කියල කියවගන්න එක තමයි විසඳුම වෙලා තිබුණෙ. ඒ ජනතාව ඒ ජීවිතයට හුරු වෙලා තිබුණා.

ඒක ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. අපේම රටේ ජන කොටසක් ඒ විදිහට ජීවත් වෙන එක. මේ ගම්මානය පිළිබඳ තොරතුරු මුලින්ම වාර්තාවුණේ 663 සේනාංකයේ සේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂණ වැලිකල මහතාටයි. ඔහු ඒ බව 66 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන මහතාට දැන්වූවා. මේ ජනතාවට කළ හැකි යමක් වේ නම් කළ යුතු බවට.

පසුව මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන මහතා වහාම ඒ බව කිළිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති තුමන් වන මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මහතාට දැනුම් දුන්නා.

ඒ අනුව කිරංචි ගම්මානයේ කළ පරීක්ෂාවලින් පසුව අඩු ආදායම්ලාභී මේ ගම්මානයේ 500කට ආසන්න පිරිසකට ඇස් කණ්ණාඩි ලබා දිය යුතු බවට තොරතුරු හෙළි වුණා. ආරක්ෂක සේනා ආඥාපතිතුමන් ඒ බව වහාම කොළඹ අක්ෂිදාන සංවිධානයට දැනුම් දුන්නා. අක්ෂිදාන සංවිධානයේ සභාපති ඊ.එම්.එච්.බී. මොරගස්වැව මහතා වහාම ඒ ජනතාවට අවශ්‍ය කටයුතු කර දෙන්න පොරොන්දු වුණා.

සියලු සංවිධාන කටයුතු කිළිනොච්චි ආරත්ෂක සේනා මූලස්ථානයේ උපදෙස් මත 66 වන සේනාංකාධිපතිවරයාත් 663 බල සේනාධිපතිවරයාත් සිදු කළා. ඒ අනුව කිරංචි ගම්මානයේ ප්‍රථම වරට අක්ෂි සායනයක් පැවැත්වූවා. ඒ සඳහා විශේෂඥ වෛද්‍ය අජන්ත අබේගුණවර්ධන මහතා ඇතුළු අක්ෂි වෛද්‍ය කණ්ඩායමක් ඇතුළු සෞඛ්‍ය අංශයේ සේවකයන් රැසක් සහභාගි වුණා.

මේ අක්ෂි සායනයට උදේ ඉදල පෝලිමේ කට්ටිය ආවේ තමන්ගේ ඇස් දෙකේ පෙනීම ලබා ගන්නයි. වෙන එකක් තියා පාසල් සිසුන් පවා මේ සඳහා සහභාගි වුණා. ගම්මානයේ 398 දෙනකු වෙනුවෙන් එදාම ඇස් පරීක්ෂාවෙන් පසුව ඇස් කණ්ණාඩි ලබා දුන්නා. තවත් සැලකිය යුතු පිරිසකට පසුව ලබා දීමට පියවර ගත්තා. ඒ කියන්නේ ඒ මොහොතේ පටන්ම 400ක් පමණ වූ ඒ පිරිසට ආපහු පොතක් පත්තරයක් තනිවම කියවගන්න හැකියාව ලැබුණා.

ඒ අයට දැනුණේ පුදුමාකාර සන්තෝෂයක්. තමන්ට වසර ගණනාවක් පොතක් පත්තරයක් බලා ගන්න බැරිය හිටපු අය මොනතරම් ප්‍රීතියකින් ඉපිල යන්න ඇත්ද?

හමුදාව උතුරෙන් යවන්න අර අදින එක්තරා අන්තවාදී පිරිසක් කටයුතු කරද්දී මේ මේ ජනතාව දරන්නේ ඊට හාත්පසින්ම වෙනස් මතයක්. ඔවුන් පවසන්නේ උතුරේත් දකුණේත් සාම නියෝජිතයන් වන්නේ යුද හමුදා බවයි. හමුදාවට ගරහන දේශපාලඥයන් ගැන මේ ජවතාව තුළ ඇත්තේ පුදුමාකාර පිළිකුළක්.

පාසලේ උත්සවයකට එහෙමත් නැත්නම් වෙනත් ඕනෑම පොදු ප්‍රශ්නයකට හැම තිස්සේම උදවු උපකාර කරන්නේ යුද හමුදාවෙන් බව දන්නා නිසා ජනතාවට අවශ්‍ය වන්නේ තමන්ට උදවු උපකාර කරන අය මිසක් වේදිකාවලට නැගිලා කෑගහන එහෙමත් නැත්නම් බෝඩ් අල්ලාගෙන පිකටිං කරන දේශපාලඥයන් නෙමෙයි.

මීට පෙර ලංකාවේ ලොකුම වෛද්‍ය කඳවුර පැවැත්වුවෙත් කිළිනොච්චියේදී බවත් අප මෙහිදී සිහිපත් කළ යුතු වෙනවා. එහිදී 1500ක ජනතාවතට සෙත සැලසුණා.

මේ ඒ වගේ තවත් ජන සහන සේවයක් බව නොපවසාම බැහැ.

තාරක වික්‍රමසේකර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.