දිරන පොලිතීන් දැන් බහුලයි | සිළුමිණ

දිරන පොලිතීන් දැන් බහුලයි

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි

 අද පොලිතින් ලොකුම ගැටලුවකි. එක පැත්තකින් නොදිරන සිලි සිලි බෑග්, ලන්ච් ශීට් පාවිච්චිය නිපැයුම අපේ රටේ තහනම් ය. අනෙක් පැත්තෙන් පොලිතින් ප්ලාස්ටික් තමාගේ ගෙවත්තේ පිච්චුවත් වසර දෙකක සිර දඬුවමක් හෝ/ හා රුපියල් 10000 ක දඩයක් නියම කළ හැකි ය. මේ අනුව අප කළ යුත්තේ ගෙදරට ගෙනෙන පොලිතින් ප්ලාස්ටික් ප්‍රමාණය අවම කිරීම හා තිබෙන පොලිතින් නැවත පාවිච්චිය සමඟ කළමනාකරණය කිරීමයි.

අද සුපිරි වෙළෙඳසල්වලින් පමණක් නොව සාමාන්‍ය සිල්ලර කඩවලින් ද තවමත් සිලි සිලි බෑග් අපට ලැබේ. කළයුත්තේ එලෙස ඔවුන් දෙන සිලි සිලි මලු එපා කියා ඒ බඩු රැගෙන නිවසට ගෙන ඒමට පරිසර හිතකාමී ලොකු බෑගයක් ගෙදරින්ම රැගෙන යෑමයි. එවිට ගෙදර සිලි සිලි මලු එකතුවීම අවම වෙයි. අද මාළු මස් ගෙදර ගෙන යාමට පොලිතින් අත්‍යවශ්‍ය බව සමහරු පවසති. නමුත් ඉස්සර මස් මාළු එතුවේ පොලිතින්වල නොවේ. හබරල කොළවල, වල් හබුරු කොළවල හා දියපර කොළවල ය‍. හබරල කොළ වල මස් මාළු එතූ විට ඒවා පොලිතින්වල එතුවාට වඩා ස්වාභාවික ලෙස කල් තබා ගත හැකි ය.

රැකියාවට යන කවුරුත් මීට පෙර බත් මුල බැන්දේ ලන්ච් සීට් එකේ ය. නමුත් දැන් නොදිරන ලන්ච් සීට් වල මිල ගණන් පස් ගුණයක් පමණ ඉහළ ගොස් ඇත. ඒ අනුව ලන්ච් සීට් එක වෙනුවට සෞඛ්‍ය ආරක්ෂිත කෑම පෙට්ටියක් පාවිච්චි කිරීම පරිසරයටත් සෞඛ්‍යයටත් සාක්කුවටත් හොඳ ය.

රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය කළයුත්තේ එලෙස නිතර නිතර පාවිච්චියට සුදුසු සෞඛ්‍ය ආරක්ෂිත කෑම පෙට්ටි ජනප්‍රිය කිරීමයි. එමෙන් ම කෙසෙල් කොළ කැන්ද කොළ පදම් කර ජනප්‍රිය කරවීමට ද කටයුතු කිරීම අදාළ අංශවල වගකීමකි.

ගෙදර තිබෙන බිස්කට් පැකට්, පොලිතින් බෑග් සියල්ල එකතු කර පොලිතින් එකතු කරන ආයතනවලට ද දීමට පුළුවන. ඊට අමතරව පළාත් පාලන ආයතනවලට එකතු වූ පොලිතින් යැවීම අපේ නිවසට මෙන් ම අවට පුද්ගලයන්ට ද සෙතකි.

පොලිතින් පිටතින් නිවසට ගෙන ඒම පාලනය කිරීමට මුළු පවුලටම පොලිතින් මාරයෙක් බව පෙන්වාදීම කළයුතු ය. එයට හොඳම හැකියාව ‍තිබෙන්නේ ගෙදර ගෘහණියටයි. ඒ බව කාන්තා පරපුර හොඳින් මතක තබා ගත යුතු ය. ඒ අනුව පොලිතින් මාරයාගෙන් රට බේරාගෙන අනාගත පරපුර සුවපත් කිරීමට කාන්තා පරපුර ක්‍රියාශීලිව කටයුතු කළ යුතු ය.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පරීක්ෂණ අනුව හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ දෙපාර්තමේන්තුව කළ පර්යේෂණ අනුව පොලිතින් හා ප්ලාස්ටික් පිලිස්සීම මරණයට අත වැනීමකි.

විශේෂයෙන් ම පොලිතින් ප්ලාස්ටික් ගේ අසලට දමා පිලිස්සීම වසර 3 – 4 ක් එක දිගට කරගෙන ගියහොත් ඉන් හෘදයාබාධ පිළිකා වැලඳීම පමණක් නොව මරණය ද ගෙන දීමට ඉඩකඩ තිබෙන බව විශේෂඥ වෛද්‍යවරු නිදසුන් සහිතව පෙන්වා දෙති. එමෙන් ම අනෙක් නිහඬ මාරයා වන්නේ අපේ මුළුතැන්ගෙයි ඇති දර ළිප හා මදුරු දඟර දුම බව ද පෙන්වා දිය යුතුව ඇත.

දර ළිපේ දුම් දිගු කාලයක් ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් පිළිකා හා ශ්වසන ආබාධ බහුලව වැලඳීමට ඉඩ තිබේ.

අපේ රටේ වායු දූෂණය රටේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබේ. කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ් අවලම්බිත අංශු අපේ වාතයේ බහුලය. ප්‍රමිතියට නැති වාහනවලින් ද මේ දූෂිත වායු නිකුත්වේ.

පොලිතින් ප්ලාස්ටික් පිලිස්සීම නිසා පිළිකා ජනක නිකුත්වේ. ඩයොක්සීන් ෆියුරාන් ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මේ විෂ වායුව ආඝ්‍රාණය නිසා පිළිකා, ආඝාතය, නිල් දරු උපත් අඩු බර දරු උපත් මෙන් ම හෘදයාබාධ පෙනහලු පිළිකා ආදිය ද බහුලව ඇතිවේ.

මේ වායූන් ආඝ්‍රාණය දරුවන් ලැබීමේ හැකියාව ද අඩු කරයි.

මේ පිළිබඳව හිතවත් කාන්තාවන් දැනුම්වත් කිරීම කාන්තා සංගම්වල ක්‍රියාකාරිකයන්ගේද යුතුකමකි.

අපේ පොලිතින් අපි අපේ වත්තේම පුච්චනවා නම් කාටවත් අමාරු ඇයි දැයි ප්‍රශ්න කිරීමට පුළුවන. මේ අයුරින් පොලිතින් හා ප්ලාස්ටික් පිළිබඳව මේ පවුලේ සියලුදෙනාට මෙන් ම අවට ගෙවල්වල පදිංචිකරුවන්ගේ ද ශාරීරික සෞඛ්‍යයට ඉතා අහිතකර ය. පොලිතින් පිලිස්සීම අප තහනම් කළේ මේ නිසාම ය.

ප්ලාස්ටික්, පොලිතින් වැඩිපුර තම නිවාසවල එකතුවෙනවා නම් එය පළාත් පාලන ආයතනවලට බාරදීමට පුළුවන. ඒ සියල්ලම කළ නොහැකි නම් අඩු ගණනේ වළක් කපා ඒ පොලිතින් වැළලිය යුතු ය. ශ්‍රී ලංකාවේ කර ඇති පර්යේෂණ හා ගවේෂණ අනුව නිවාස අසල කොළ රොඩු පිලිස්සීමෙන් සිදුවන වායු දූෂණය ද මාරාන්තිකය. නිවාස ඇතුළත ළිපේ දුම, මදුරු දඟර දුම, සිගරට් දුම හා හඳුන්කූරු දුම නිසා ද බහුල වායු දූෂණයක් ඇතිවේ.

අලුත් සමීක්ෂණ අනුව එක් මදුරු දගරයකින් නිකුත් වන විෂ වායු ප්‍රමාණය සිගරට් 135 කින් නිකුත් වන විෂ වායු ප්‍රමාණයට සමාන ය.

ඒ සමඟම ළිප් ඇවිළීමට භූමිතෙල් හා පොලිතින් පාවිච්චි කරයි. නිවාස ඇතුළත මේ අයුරින් සිදුවන වායු දූෂණය නිසා එහි පදිංචිකරුවන්ට ශ්වසන ආබාධ පිළිකා ආඝාතය වැනි භයානක රෝග ගණනාවක් ඇතිවන බව කිව යුතු ය.

මේ පිළිබඳව අසල්වැසියන්ට මෙන් ම තම දූ දරුවන්ට ද දැනුමක් දීමට නැණවත් ගුණවත් කාන්තා පරපුර කටයුතු කළ යුතු ය.

විශේෂයෙන් නිවාස ඇතුළත දුම්පානය එය බොන අයට පමණක් නොව නිවසේ සිටින සැමටම ඉක්මනින් ලෙඩ රෝග සමඟ මරණය ඇති කරයි. වෛද්‍ය පර්යේෂණ ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය උපදේශන අංශය කර ඇති පර්යේෂණ අනුව සිගරට් දුමේ වායු දූෂක වර්ග 40 ක් පමණ අඩංගු ය. ඒවා නිවස ඇතුළත තිබෙන විට අක්‍රීය දුම්පානය නිසා නිවසේ සිටින කුඩා, මහලු, ගර්භණී අයට ඉතා අහිතකර ප්‍රතිඵල උදාවනු ඇත.

මේ අනුව වායු දූෂණයෙන් තොර නිවසක් හා ගමක් හදන්නට කාන්තා පරපුර පෙරමුණ ගතයුතු කාලය දැන් එළඹී ති‍බේ. ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා අනුව වාර්ෂිකව දකුණු ආසියා කලාපයේ පුද්ගලයන් ලක්ෂ 16 ක් පමණ මේ නිවස අසල හා නිවස ඇතුළත සිදුවන වායු දූෂණය නිසා මරණයට පත්වේ. මින් වැඩි දෙනෙකු ගෘහණියෝ වෙති. එම සංඛ්‍යා ලේඛන අනුව ලෝකයේ තවත් පුද්ගලයන් බිලියන තුනක් පමණ ජනතාව තම කුස්සියේ වායු දූෂණය නිසා ලෙඩ රෝගවලට ගොදුරු වී තිබේ.

වැඩිපුර ගෙදර තිබෙන පොලිතින් හා ප්ලාස්ටික් කැබැලි ළිප ඇවිළීමට භාවිත කිරීම ද වායු දූෂණයට ප්‍රධාන හේතුවකි.

මීට අමතරව ගෙවත්තේ එකතුවෙන කොළ රොඩු රෙදි කැබලි අමු කොළ ආදිය පිලිස්සීම ද වායු දූෂණයට ප්‍රධාන හේතුවකි. මේ සියලු කරුණු සමස්ත ලෙස ගත් විට අපට කිව හැක්කේ පොලිතින් ප්ලාස්ටික් නිසා අද රටේ ජනතාවට ප්‍රධාන පාරිසරික, සෞඛ්‍ය සාමාජික ගැටලු රැසක් මතුව තිබෙනු ඇති බවයි.

ඒ අනුව පොලිතින් පාවිච්චිය අවම කිරීමත්, තිබෙන පොලිතින් නැවත නැවත පාවිච්චි කිරීමත් පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කිරීමත් පිළිබඳව කාන්තා පරපුර දැනුම්වත් කිරීම කළ යුතු ය.

මේ පණිවුඩය කාන්තා පරපුරට පමණක් නොව රටේ සියලු දෙනාටම දැනගැනීමට සැලැස්සීමට අපි සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු වෙමු. රාජ්‍ය නොවන පරිසර සංවිධාන හා පාසල් ගුරුවරු ද මේ සඳහා සුදුසු කටයුතු කළ යුතුව ඇත.

කෙසේ වුවත් අකමැත්තෙන් වුවත් මොන බලවතා වුවත් පොලිතින් ප්ලාස්ටික් පිලිස්සුවොත් ජාතික පාරිසරික පනත අනුව වසර දෙකක් සිරගත කිරීමට කටයුතු කෙරේ. ඒ සමඟම සමහර විට රුපියල් 10000 ක දඩයක් ද නියම කළ හැකි ය.

අද දිරන පොලිතින් සිලි සිලි බෑග් ලන්ච් සීට් අවශ්‍ය තරම් අපේ රටේ සුපිරි වෙළෙඳසල්වල පොලිතින් විකුණන සාප්පුවල බහුලව ඇත. ඒවා හඳුනාගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය හා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය එක්ව නව විද්‍යාත්මක ක්‍රම වේදයක් ක්‍රියාවට නංවා ඇත. මෙවැනි දිරන පොලිතීන් නිපදවන ආයතන 32ක් සඳහා දැන් අනුමැතිය දී ඇත.

ඒ අනුව ප්‍රමිති කාර්යාංශයේ විද්‍යාත්මක පර්යේෂණ අනුව ඉක්මනින් දිරන පොලිතින් හඳුනාගෙන ඒවාට වෙනම අංකයක් ලබාදෙනු ලැබේ. ඒ අනුව දිරන පොලිතින් හඳුනාගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ අංකය පරීක්ෂා කළ යුතුව ඇත. මේ අනුව මේ පොලිතින් මාරයාගෙන් සුරැකීමට නම් අපේ නිවසත්, පවුලත්, ගමත්, රටත් පොලිතින් තොර කලාප කිරීමට පරිසර හිතකාමී කටයුතුවල නිරතවීම අපේ කාන්තා පරපුර විසින් අද අදම සිදු කළ යුතුව ඇත.

නිහාල් පී. අබේසිංහ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.