පන්මූර් වත්තේ කොටියා කොටුවෙයිද? | සිළුමිණ

පන්මූර් වත්තේ කොටියා කොටුවෙයිද?

 වන සතුන් යනු වනයේ සම්පත්ය. වන සතුන්ගේ හැසිරීම් දැකගනු වස් බොහෝ දෙනා වනයේ සැරි සරන්නේ ලංකාවට ආවේණික සතුන් සියැසින් දැකගනු රිසියෙනි. කොටියා, වලසා, දිවියා වැනි වඳවී යන සත්ව පරම්පරාවේ ඇත්තන් කෙනෙකුට වනගතව දැක ගන්නට හැකිවන්නේ කලාතුරකිනි. සිය ජීවිත කාලයේදී ස්වාභාවික පරිසරයක මෙවැනි දුර්ලභ ගනයේ සතුන් දැක ගැනීමහට ‍බොහෝ දෙනා කැමැත්තක් දක්වති. නමුත් ඒ දැකීම දුර්ලභය. පසුගිය දිනෙක හැටන් පන්මූර් වතු වතු යායේ ජනතාවට උන්හිටි ගමන් දැක ගත හැකිවූයේ අප රටේ වැඩි දෙනකුට ලෙහෙසියෙන් දැක ගැනීමට නොලැබෙන සතෙකි. ඒ අපේ රටට ආවේණික වූ ලෙපඩ් නම් වර්ගයේ ශ්‍රි ලංකාවේ කොටියෙකි. එහෙත් එදින නම් මේ සතාගේ දැකීම පන්මූර් වතුයායේ වැසියන්ටනම් සුබ දසුනක් වූයේ නැත. වතුයායේ ජනතාවගේ දෛනික රාජකාරි පවා වෙනස් කිරීමට තරම් මේ සතා හේතු විය.පන්මූර් වතුයාය පිහිටියේ හැටන් නගරයේ සිට කිලෝ මීටර් 3 ක් පමණ නුදුරිනි. පසුගිය දෙවැනි දාද සුපුරුදු පරිදි වතුයායේ දවස ආරම්භ වූයේ තේ දළු නෙළීමේ සංඥාවත් සමඟය. තේ දළු නෙළීමට ගිය කාන්තාවක සමඟින් ගිය බල්ලා ඩැහැ ගැනීමට පැමිණෙන්නේ කොටියෙකි. අතිශයින් විරල වූ මේ සිදුවීමත් සමඟ වතුයාය පමණක් නොව අවට ප්‍රදේශයම කැලඹෙන්නේ කොටියකු ගමට පැමිණීමේ පුවත රටපුරා පතළ කරමිනි.

බල්ලා අයිති කාන්තාව සිය සුරතලා බේරා ගැනීමට උත්සාහ කරද්දී කොටියාගේ නිය පහරට ඇයද තුවාල ලබන අතර ඇගේ කෑගැසීම අසා එතැනට දුව ආ වතුයායේ තවත් කිහිපදෙනෙකුටද තුවාල සිදු කළ කොටියා වතුයායේම වූ ලඳු කැලෑවකට පලා යන්නේය. මේ සිදුවීමෙන් දැඩි ලෙස කලබලයට හා භීතියට පත්වන වතුයායේ සේවකයන් කොටියා රිංගුවායැයි සිතූ වර්ග මීටර් 25 ක පමණ වපසරියෙන් යුතු ලදු කැලෑව පොලු මුගුරු අතැතිව වටකර ගත්තේ කොටියාට පලා යන්නට නොදී කෙසේ හෝකොටු කර ගැනීමේ අටියෙනි. මේ සඳහා හැටන් පොලීසිය පවා යොදවන්නට සිදුවූ අතර ක්ෂණිකව ක්‍රියාත්මක වූ වනජීවි නිලධාරීන්ද එතැනට පැමිණියේ මේ අතරය.

පන්මූර් වතුයායේ කොටි මෙහෙයුමට නායකත්වය දුන්නේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතාය.

“මේ සිදුවීම 2 වැනිදා සවස 1.15 ට පමණ අපේ නල්ලතන්නියේ වනජීවි කාර්යාලයට වාර්තා වුණා. නමුත් මේ වන විට අපේ කණ්ඩායම සිටියේ යටියන්තොට ප්‍රදේශයේ. අපි දුර බැලුවේ නැහැ. අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වහාම වතු යායාට පිටත්වුණා. අපි එතැනට යනකොට සවස 4 ට පමණ ඇති. අපි දැක්කා 1000 ක විතර පිරිසක් විවිධ ආයුධ අරගෙන කොටියා සිටියි කියලා සැකකරන ප්‍රදේශයක් වටකරගෙන සිටන බව. අපිත් ගිහිල්ලා අපේ විවිධ උපක්‍රම යොදලා ඇත්තටම මේ හරියේ කොටියා ඉන්නවද කියා සොයා බැලුවා. එතැනදී කොටියා ලඳු කැලෑවේ සිටින බව අපට තේරුම් ගියා. මේ කොටියා අවුරුදු ගානක සිට මේ පරිසරයේ සිටි එකෙක්. ඒ නිසා අපි එතැන සිටි පිරිසට කිව්වා අපි කොටියා කැලෑවට එළවමු කියලා.

මේවගේ සිදුවීමත් වුණෙ අහම්බෙන්. මේ නිසා මේ වෙලාවට ක්‍රියාත්මක කරන අපේ ක්‍රමවේදයන් තියෙනවා. සතා පලවා හරින්න. ඒත් ගමේ අය කැමැති වුණේ නැහැ. ඒ අය කිව්වේ එක්කෝ සතා මරන්න නැතිනම් අල්ලගෙන යන්න කියලා. ඒ වගේ වෙලාවක සතා අල්ලා ගැනීමේ හැකියාව අපිට නැහැ. ඒ සඳහා අපි නිර්වින්දන වෛද්‍යවරුන් ගෙන්විය යුතුයි. ඒ සඳහා අවසර ගත යුතුයි. නමුත් අපි මේ තත්ත්වය ගැන අපේ ප්‍රධාන කාර්යාලය දැනුම්වත් කළා. එතැනින් අවසර ලැබුණා නිර්වින්දන වෛද්‍යවරුන් එවන්න. නිර්වින්දන වෛද්‍යවරුන් පැමිණියත් නිර්වින්දනය සඳහා සතාට මීටර් විසි පහක්වත් සමීප විය යුතුයි. එය තරමක් දුෂ්කර කටයුත්තක් වුවත් ඒ වෛද්‍යවරුන් පිරිසත් එතැනට පැමිණියා.

කෙසේවෙතත් මිනිසුන්ගේ කලබලය අඩුවුණේ නැහැ. සවස 6 ට විතර වෙනකොට මිනිස්සු ගින්දර පත්තු කරගෙන රතිඤ්ඤා පත්තු කරමින් දැඩි ලෙස නොසන්සුන් වී කලබල කරන්න පටන් ගත්තා. මේ අතර සිරවී සිටි කොටියා මිනිසුන්ටත් හිරිහැර කරමින් ගස්වලට පනිමින් ඒ සීමාවෙන් පැන දිව්වා. මේ නිසා අපිට සිදුවුණා නැවතත් කොටියා අල්ලා ගැනීමේ ක්‍රමවේදයක් වන උගුල් කූඩු ඇටවීමේ ක්‍රමවේදයට යන්න. නැවතත් අපි ප්‍රධාන කාර්යාලය දැනුම්වත් කර පසුදා සවස 3 පමණ වන විට ඒ සඳහා යෝග්‍ය වු උගුල් කූඩුවක් ගෙන්නා ගත්තා. මේ වන විට අපි මේ කූඩුව කොටියා මුලින්ම බල්ලාට පහර දුන් ස්ථානයේ අටවා තියෙනවා. දුර සිට අපි එය අධීක්ෂණය කරනවා. මේ කූඩුව කොටස් දෙකකින් යුතුයි. එක් කොටසක බල්ලෙක් ඉන්නවා. ඒ දඩයම සඳහා. නමුත් කොටියට බල්ලා මරන්න බැහැ. හැම සතෙකුටම ප්‍රියජනක සුවිශේෂි දඩයමක් තියෙනවා. කොටියගේ ප්‍රිය ජනක දඩයම තමයි බල්ලා. ඒ නිසයි අපි බල්ලෙක් දැම්මේ. අනිත් කොටසේ කොටියා ඇතුළු වූ පසු ස්වයංක්‍රීයව වැසෙන දොරක් තියෙනවා. නමුත් කොටියා මේ ස්ථානටය නැවතත් එන්නට නම් පළාතේ පරිසරයත් සාමකාමි විය යුතුයි. ජනතාව පෙර පරිදි සිය දෛනික කටයුතු කරගෙන යායුතුයි. මේ නිසා අපිට සියයට 50 ක පමණ විශ්වාසයක් තියෙනවා කොටියා මෙයට අසුවෙන්න පුළුවන් කියලා. එසේම කිසිදාක අසු නොවීමටත් පුළුවන්. මන්ද මෙය අහඹු සිදුවීමක් නිසා. මේ නිසා අපි මාසයක් පමණ මේ විදියට රැකගෙන ඉන්නවා ” යැයි කරුණාතිලක මහතා පැවසීය.

එසේ නමුදු මේ ලිපිය ලියන මොහොත වනවිටත් කොටියා කොටු කර ගැනීමේ මෙහෙයුමේ අවසානයක් නොමැති නිසා වතුයාය නොසන්සුන්ය. බොහෝ දෙනා මේ සතා දිවියෙකු වශයෙන් හඳුන්වු දුන්නත් වනජීවි නිලධාරීන් පවසන්නේ මූ Penthara Padus නම් වූ මස්කන කුලයේ විශාලම සතෙකු වන බවය. එසේම ඒ සතා ලොව සිටින කොටි විශේෂ 9 න් ලංකාවේ දක්නට ලැබෙන උප විශේෂයක් ලෙසද හැඳින්වේ. කොටියා යනු හඳුන්, කොළ හා බළල් යන ලංකාවේ දක්නට ලැබෙන දිවි විශේෂ 3ට වඩා ආහාර දාමයේ ඉහළින්ම සිටින ශක්තිමත් සත්ව විශේෂයක් බවයි. ඇඟේ පුල්ලි වැටුණු කහ හා දුඹුරු වර්ණයෙන් යුතු මේ සතා හොඳට වැඩුණු සතෙකු වන අතර වනජීවී නිලධාරීන් අනුමාන කරන්නේ ඌ පිරිමි සතෙකු විය හැකි බවයි. කෙසේ වෙතත් මේ කොටියා පැමිණ ඇත්තේ සිය පැටවුන් ආරක්ෂා කර ගැනීමට බවට ගම්මු අනුමාන කරති. නමුත් තවත් අයෙක් පවසන්නේ මින්සුන්ගේම විවිධ ක්‍රියාකරකම් හේතුවෙන් වනගතව සිටිය යුතු වු සතුන් මෙලෙස ගම් වදින බවත් ය.

“මුලදීත් මේ වතුයායට මේ කොටියාගේ කරදරය තිබිලා තියෙනවා. වත්තේ කුකුල්ලු, බළල්ලු නැතිවෙලා තිබුණත් මේ විදියට දරුණුවට විඳින්නට සිදුවූ මුල්ම වතාව මෙයයි. හැටන්, මස්කෙළිය, බගවන්තලාව වගේ ප්‍රදේශවල ජනතාව මේ සතුන් මීට පෙර දැක තිබුණා. මේ ජනතාව වනජීවි එකට චෝදනා කරනවා, වනජීවි එකේ අය මේ සතුන් ඇති කරනවා කියලා. නමුත් මිනිස්සු කැලෑ සුද්ද කරනකොට මේ සත්තු ගම් වඳිනවා. ගම් වඳින කොට ඇහෙන්නේ පූසන්ගේ, බල්ලන්ගේ, කුකුළන්ගේ ශබ්ද. වතුයායවල්වල සමහර අය මේ සතුන් දඩයම් කරනවා මස් පිණිස. ඒ කෙහොම වෙතත් දැන් මේ ජනතාව සිටින්නේ බියෙන්. සතා අසුවුණානම් වත්තේ අයට බයක් නැහැ.” ඒ ප්‍රදේශය ගැන දන්නා අය පවසති.

යාල, විල්පත්තු, වස්ගමුව වැනි උද්භීද උද්‍යානවල මෙන්ම‍ වනගතව මේ සතුන් දැක ගත හැකි වුවද වනජීවී නිලධාරීන් පවසන්නේ මෙම කොටි විශේෂය අපේ රටේ ඇත්තේ 1000කට අඩු ප්‍රමාණයක් බවය. එ‍සේම වනජීවී උද්‍යානවල පමණක් නොව විශේෂයෙන් කඳුකරයේ තේවතු සහිත හුදකලා වූ ලදු කැලෑවලද හෝර්ටන්තැන්නේ ද මෙම සත්ත්ව විශේෂය ජීවත් වෙති. නමුත් යම් යම් සුවිශේෂි අවස්ථාවල හැරෙන්නට මේ සතුන්ගෙන් හිරිහැරයක් වු බවක් අසන්නට නැත. කෙසේ වෙතත් පන්මූර් වැසියන් තවමත් බලා සිටින්නේ වනජිවි නිලධාරීන් විසින් ඇටවනු ලැබූ කූඩුවට කොටියා කොටු වන තෙක්ය. ඔවුන්ගේ සිතේ බිය තුරන් වන්නේ එවිටය. එහෙත් කොටියා අසුවෙයිද නොවෙයිද යන්න නිශ්චිතව පවසන්නට කිසිවකුටවත් නොහැකිය.

සුභාෂිණි ජයරත්න
සේයාරූ - සී ජයවීර (හැටන් සමූහ) 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.