ග්‍රේෂන් සම්මානලාභීන් සොයා යෑමදෙවන අදියර... | Page 2 | සිළුමිණ

ග්‍රේෂන් සම්මානලාභීන් සොයා යෑමදෙවන අදියර...

ග්‍රේෂන් ත්‍යාගයේ නිර්මාතෘවරයා මයිකල් ඔන්ඩච්චි ය. ‘ද ඉංග්ලිස් පේෂන්ට්’ කෘතියට බුකර් ත්‍යාගය සඳහා තමා වෙත පිරිනැමුණු මුදලෙන් (සම සම්මානය) ඔහු එය දියත් කළේ 1992 වර්ෂයේදී ය.‍ 1993 පටන් ඉංගිරිසි බසින් නිර්මාණකරණයේ යෙදෙන ශ්‍රී ලාංකේය ලේඛක ලේඛිකාවන් වෙනුවෙන් මේ සම්මානය වාර්ෂික ව පිරිනැමේ. ඔවුන් සඳහා එලෙස අඛණ්ඩ ව පිරිනැමෙන එක ම සම්මානය ද මෙය ය. ත්‍යාගය නම් කර ඇත්තේ මයිකල් ඔන්ඩච්චිගේ මව වන මොරිස් ග්‍රේෂන් ස්මරණය කරමිනි. සම්මානය සමඟ රුපියල් දෙලක්ෂයක මුදල් ත්‍යාගයක් ද පිරිනැමේ.

සිංහල සාහිත්‍ය කෘතියක හොඳ ම ඉංගිරිසි පරිවර්තනය වෙනුවෙන් එච්.අයි. ගුණතිලක ත්‍යාගය ද මීට සමගාමීව පිරිනැමේ. ඒ ත්‍යාග මුදල ද රුපියල් දෙලක්ෂයකි. 2015 වර්ෂයේ පටන් සරසවි පොත්හල ද මේ ත්‍යාග ප්‍රදානය සඳහා අනුග්‍රහය දක්වමින් ග්‍රේෂන් භාරයත් සමඟ සම්බන්ධ වේ.

මගේ විලාසිතාව නාට්‍ය

3 Star k (Drama)

ත්‍රී ස්ට‍ාර් කේ - සේනක අබේරත්න

ඡායාරූප ශිල්පියකු, වවන්නකු මෙන් ම ආර්ථික විද්‍යාඥයකු ද වන සේනක අබේරත්න ග්‍රේෂන් ත්‍යාගය හිමිවීම පිළිබඳ ව පවසා ඇත්තේ සිය නාට්‍ය පිටපත නිර්භීත ව හා අසම්මතවාදී ව ලිංගිකත්වය හා භාෂාමය ඒකාකාරී බව ගැන මතු කිරීම ඊට බලපාන්නට ඇති බව ය.

සේනක ගේ ෆ්‍රැග්මන්ට්ස් ඔෆ් අ ෆුගුයි 1992 දී ද මෑඩ් පීපල් 2005 දී ද ග්‍රේෂන් ත්‍යාගය සඳහා නිර්දේශ විය. ඔහුගේ පළමු නාට්‍ය පිටපත පො(ර්)ල් ලිබරේටඩ් රචනා වූයේ මාධ්‍යවේදී රිචඩ් සොයිසා මරා දැමීම පිළිබඳ ඇතිවූ කම්පනය ඔස්සේ ය. නිර්මාණකරුවකු ලෙස තමාගේ විලාසිතාව ‘නාට්‍ය’ බව සේනකගේ අදහසය. “මං ආඛ්‍යානවලට වඩා කැමැති දෙබස්’ වලට. මං කැමැති චරිත ගැන ලියන්න. නාට්‍ය වලදී මට අවශ්‍ය තරම් දෙබස් යොදා ගන්න පුළුවන්. නිර්මාණකරුවා ගොඩනඟන චරිත වේදිකාවේ ජීවමාන වීම තවත් ප්‍රතිලාබයක්...”


මට හැඟුණේ මෙය මගේ ම කතාව කියායි

The Banana Tree Crisis

ද බනානා ට්‍රී ක්‍රයිසිස් - ඉසංක්‍යා කොඩිතුවක්කු

ද බනානා ට්‍රී ක්‍රයිසිස් (B T C) කෙටිකතා සංග්‍රහය යම් විශේෂිත සිද්ධීන් හෝ විෂයයන් තේමා කොට නොගන්නා නමුත් චරිත ඔස්සේ ගොඩනැඟෙන්නකි. එහි ඇතුළත් කතා, ස්ථාන ආදී සිය මනසේ ගොඩනැඟෙමින් තිබී පුපුරා යාමෙන් ප්‍රසිද්ධියට පත් වේ.

උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතව සිට ලංකාවට පැමිණ කෙටි කලක් සර්වෝදය ව්‍යාපාරයන් සමඟ එක්ව කටයුතු කළ සමයේ ඒවා ලියැවී තිබේ. උපාධිය හදාරන සමය පිටු 300 ක නවකතාවක් ලියූ නමුත් එය තමන් දෙසට ම යොමුවූ තමාගේ ම කතාව සේ හැඟුණු කෘතියක් වූ බව ඇය කියා තිබේ. එය පීඩාකාරී ලෙස දැනුණු බැවින් තමන් වෙතට නොව අන්‍යයන් දෙසට යොමුවූ යමක් ලිවීමට වුවමනා කළ බවත් මේ කෙටිකතා සංග්‍රහය එහි ප්‍රතිඵලය වූ බවත් ඇයගේ අදහසයි. මේ කෘතියට 2007 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි විය. සෑම දක්ෂ කතා කියන්නකු මෙන් ම ඉසංක්‍යා ද පොතේ මුල පටන් අග දක්වා පාඨකයා එක සේ රඳවා ගැනීමට සමත්ව ඇති බව මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස පවසා තිබේ. මේ කතා අතරින් ද ‘බනානා ට්‍රී ක්‍රයිසිස්’ අතිශයින් ම නාට්‍යානුරූපී කතාවක් බවද ඔහු පෙන්වා දී ඇත.


මෙය සදාචාරය පිළිබඳ පිටපතක් නොවේ

Thicker Than Blood (Script)

තිකර් දෑන් බ්ලඩ් - ඩෙලන් වීරසිංහ

තිර රචකයකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ද වන ඩෙලන් රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයකු ද වේ.

‘තිකර් දෑන් බ්ලඩ්’ ඔහුගේ පළමු සම්පූර්ණ නාට්‍ය පිටපත ය. ඊට පෙර ද ඔහු කෙටි නාට්‍ය පිටපත් රචනා කර ඇත. වයෝවෘද්ධ තැනැත්තකු හා සොල්දාදුවකු අතර ගොඩනැ‍ඟෙන සිද්ධීන් 2 ක් ඔස්සේ පාසල් අවධියේදී රචනා වූ කෙටි නාට්‍ය පිටපතක් වඩාත් ප්‍රසාරණය කරමින් මෙය ලියා තිබේ. එය ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් වෙළාගත් යුද සමය පසුබිම් කොට ගත්තකි. 2000 - 2001 වර්ෂවල සිදුවීම් එහි නිරූපණය වී ඇත. 2001 මැතිවරණයට මාස 3 කට පෙර එය අවසන් වේ. මේ කාල සීමාව කතා සන්දර්භයට ගැළපෙන පරිදි මනා සැලකිල්ලෙන් තෝරාගත් බව ඩෙලන් කියා තිබේ.

සිද්ධීන් නිරූපිත කාල සීමාවට අදාළ ව සදාචාරාත්මක තර්ජන පිළිබඳ මතු කළ ද මෙය සදාචාරය පිළිබඳ පිටපතක් නොවන බව ඩෙලන් ගේ අදහස ය.

2005 වර්ෂය වන විට ග්‍රේෂන් ත්‍යාගය දිනාගත් දෙවැනි නාට්‍ය පිටපත් රචකයා ඩෙලන් වීරසිංහ ය.


නැවුම් ශෛලියක් සහිත නවකතාවක්

2004 Kider Chetty Street

කයිඩර් චෙට්ටි ස්ට්‍රීම් - ජගත් කුමාරසිංහ

මාධ්‍යවේදියකු, පරිවර්තකයකු හා දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ පිටපත් රචකයකු ද වන ජගත් කුමාරසිංහ සිංහලෙන් නිර්මාණකරණයේ යෙදෙන ඌව පළාතෙන් බිහිවූ ලේඛකයෙකි. ඔහු එක් රැයකින් විශාල අවධානයකට ලක්වූයේ සිය පළමු ඉංගිරිසි ප්‍රබන්ධයට ම ග්‍රේෂන් ත්‍යාගය හිමිවීමත් සමඟ ය.

ජගත් ඒ ඉංගිරිසි කෘතිය රචනා කළේ සිය පළමු සිංහල කෘතිය එළිදක්වා 35 වසරකට පසුවයි. මේ කෘතිය ප්‍රකට ඉංගිරිසි විචාරකයන්ගේ ද අගැයීමට ලක්විය. ප්‍රබන්ධකරණයේදී මෙතෙක් අත්හදා බලා නොමැති නැවුම් ශෛලියක් අනුගමනය කිරීමට ජගත් ක්‍රියාකර ඇති බව ග්‍රේෂන් ජුරියේ අදහස විය. අත් පිටපත සංස්කරණයට ලක්කර මුද්‍රණයේදි එළිදැක්වූ විට එය වෙනස් ආකාරයක නවකතාවක් වනු ඇති බවද ඔවුන් පෙන්වා දී තිබිණි.

කයිඩර් චෙට්ටි ස්ට්‍රීම් නවකතාවෙන් ඔහු කළ වෙනස ඔහු ඊට පසු රචනා කළ “අ කාෆ් ඉන් මිල්ක් ඇන්ඩ් මිල්ක් චොකලට්” වැනි නිර්මාණවලින් තවත් පෙරට ගෙන ගියේය.


මා ලිවීමට අවතීර්ණ වූයේ ජීවිතයේ සැඳෑ සමයේදී

The Road From Elephant Pass

ද රෝඩ් ෆ්‍රොම් එලිපන්ට්පාස්

- නිහාල් ද සිල්වා

සංකීර්ණ සබඳතාවන් විදහා දැක්වීම සම්බන්ධයෙන් එය වැදගත් ය. ‘අලිමංකඩ’ යනුවෙන් සිංහලට පරිවර්තනය වූ එය සිනමාවට ද නැඟිණි. නවකතාවෙන් නිරූපිත ගැටුම වාර්ගික ගැටුම් ඔස්සේ ද කුරුලු ලෝකයට අදාළවද නිරූපිතය. මේ දෙකට ම එහි සමාන වැදගත්කමක් ලබා දී ඇත. කතුවරයා තියුණු නිරීක්ෂකයකු වීම මෙහිදී විශේෂයෙන් අදාළ ය. කතාව දිගහැරෙන්නේ කපිතාන් වසන්ත රත්නායක සහ එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක වූ කමලා වේලායිදන් කේන්ද්‍ර කර ගනිමිනි.

පළමුව නිකුත් කර වසර 10 ක් ගතවනවිට එහි මුද්‍රණ 15 ක් නිකුත් වී තිබිණි. තමා ලිවීමට අවතීර්ණ වූයේ ජීවිතයේ සැඳෑ සමයේදී බව නිහාල් ද සිල්වා සඳහන් කර ඇත. කතාවට අදාළ සමාජ සන්දර්භය නිරූපණයේදී කෘතියේ දෙබස් නාට්‍යනුසාරී ව මනාව ගොඩනඟා තිබීම ද ග්‍රේෂන් ජුරියේ අගැයීමට ලක්විය.

 


මේ කෘතිය නොතකා හැරුණු එක් සිංහල සාහිත්‍යයක්

Out Of the Darkness

අවුට් ඔෆ් ද ඩොක්නස් - විජිතා ප්‍රනාන්දු

තිස් වසරට වැඩි කලක් සිලෝන් ඩේලිනිව්ස් පුවත්පතේ විශේෂාංග ලේඛිකාවක මෙන් ම කාන්තා පිටු සංස්කාරිකාව ලෙස ද අත්දැකීම් ඇති විජිතා ප්‍රනාන්දු ග්‍රේෂන් ත්‍යාගය දිනාගත්තේ ආචාර්ය ගුණදාස අමරසේකරගේ ‘අසත්‍ය කතාවක්’ සහ ‘ප්‍රේමයේ සත්‍ය කතාව’ (අඳුරෙන් එළියට) නවකතා ඉංගිරිසියට පරිවර්තනය කිරීම වෙනුවෙනි. 2004 දී ඇයට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවූයේ ද ඒ සඳහා ය. 2002 වසරේදී ද ඇයගේ ‘වුමන්ස් රයිටින්ග්’ කෙටිකතා සංග්‍රහය රාජ්‍ය සාහිත්‍ය සම්මානයට ලක්විය.

අමරසේකර මේ නවකතා දෙක රචනා කළේ 1970 ගණන්වල අගභාගයේදීය. 1971 කැරැල්ල ඊට පසුබිම් සමාජ දේශපාලන ආර්ථික පසුබිම ඊට බලපා ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් ලබන ග්‍රාමීය තරුණයාගේ මනෝභාවය මේ නවකතා දෙක මඟින් ගැඹුරින් විග්‍රහ කර තිබේ. සිය පරිවර්තනය මඟින් විජිතා ඒ මුල් කෘතීන්ට සාධාරණය ඉටු කර ඇති බව විචාරක මතයයි. සිංහල නවකතාවක ඉංගිරිසි පරිවර්තනයට මේ සම්මානය හිමිවීම ගැන සතුටු වන බව විජිතා පවසා තිබේ.

“ඇතැම් සුපතළ සිංහල ලේඛකයන්ටවත් නිසි පිළිගැනීමක් නෑ. මේ කෘතියත් නොතකා හැරුණු එක් සිංහල සාහිත්‍යයක්” යනුවෙන් ඇය දක්වා ඇත්තේ එය ඉංගිරිසියට නැඟීමට හැකිවීමේ වැදගත්කම ය.


යුද්ධය නිරර්ථක බව කියන්නට වෑයම් කරන කෘතියක්

Sam’s Story

සෑම්ස් ස්ටෝරි - එල්මෝ ජයවර්ධන

රට තුළ පැවැති වාර්ගික ගැටුම යනුවෙන් හඳුනාගත් අර්බුදය සහ දේශපාලන වාතාවරණය පසුබිම් කර ගනිමින් කළුතර දිස්ත්‍රික්කයේ ගමක ඉපිද කොළඹ ඉහළ මධ්‍යම පාන්තික පවුලක සේවකයකු වන සැමී නම් නූගත්, සමාජශීලී නොවූ තරුණයකුගේ කතාව ය. සැමීගේ සෙබළ සොහොයුරා යාපනයේදී එල්.ටී.ටී.ඊ. ය විසින් මරා දමන අතර සැමී ගේ හාම්පුතා කොළඹදී මිය යන්නේ ද එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකිනි. සැමීගේ කතාවෙන් කියන්නට වෑයම් කරන්නේ යුද්ධය නිරර්ථක බව ය.

මෙරට ඉංගිරිසි සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා “සෑම්ස් ස්ටෝරි” ප්‍රබල දායකත්වයක් සපයා ඇති බව විචාරකයන්ගේ අදහසයි. ‘සෑමීගේ කතාව’ යනුවෙන් එය සිනමාවට ද නැඟිණි.

වයස අවුරුදු 17 දී පාසල හැරයන එල්මෝ වෘත්තියෙන් ගුවන් නියමුවකු විය. ඔහු ලේඛන කටයුතු සඳහා කාලය සොයාගත්තේ වෘත්තීය ජීවිතයේ විවේකයක් ලද අවස්ථාවල දී ය. කපිතාන් එල්මෝ ජයවර්ධන “කිංග්ඩම් ඔෆ් සිංහලේ”, “රේන්බෝස් ඉස් බ්‍රේල්” යන සම්මානිත කෘති දෙක ද රචනා කර ඇත.


ඉතිහාසය හා මිථ්‍යාව අතර කතාවක්

In the Shadow of the Gun / The Wicked Witch

ඉන් ද ෂැඩෝ ඔෆ් ද ගන් / ද විකඩ් විච්

- සුමති ශිවමෝහන්

ස්ත්‍රීවාදී ලේඛිකාවක මෙන් ම ක්‍රියාකාරිනියක ද වන සුමති ශිවමෝහන් ගේ “ඉන් ද ෂැඩෝ ඔෆ් ද ගන්” සම්මානයට පාත්‍ර වනවිට ප්‍රකාශයට පත් නොවූ කෙටි නාට්‍ය පිටපතකි. “ද විකඩ් විච්” සරල ආඛ්‍යානයකි. එය ප්‍රකාශයට පත්ව තිබිණි. මේ කෘති දෙකට ම පසුබිම් වී ඇත්තේ වාර්ගික ගැටුම වශයෙන් හඳුනාගත් අර්බුදයයි.

“ඉන් ද ෂැඩෝ ඔෆ් ද ගන්’ හි ප්‍රධාන භූමිකාව සාවිත්‍රි නම් වෛද්‍යවරියකි. ඇය සමාජ ක්‍රියාකාරිනියක් ද වේ. කතාව ගොඩනැ‍ඟෙන්නේ ඇය රැස්කරන, යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින කාන්තාවන්ගේ අත්දැකීම් ඔස්සේය.

සුමති මෙය රචනා කර ඇත්තේ 1996 දීය. “විකඩ් විච්” බිහිවූයේ දවසේ දීර්ඝ වේලාවක් විදුලිය කපා හැරීමට ලක්වූ වකවානුවේ බව සුමති පවසා තිබේ. නිර්මාණයක් ලෙස එය ස්ථානගත කෙරෙන්නේ ඉතිහාසය හා මිත්‍යාව අතරිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංගිරිසි අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියක ද වන සුමති ශිවමෝහන් කාව්‍ය නිර්මාණය අරඹා ඇත්තේ 1980 දශකය මැද භාගයේදීය. ඇයගේ නිර්මාණ අතරින් බොහොමයක් නාට්‍ය පිටපත් ය.

 

තව කොටසක් ලබන සතියේ

Comments