ගීත ක්ෂේත්‍රයට ප්‍රදීපස්තම්භයක් | සිළුමිණ

ගීත ක්ෂේත්‍රයට ප්‍රදීපස්තම්භයක්

විවිධ අංශයන්හි නිපුණතා සහිත පිරිපුන් මිනිසුන් ලොව පහළ වන්නේ ඉතාම කලාතුරකිනි. එලෙස කලාතුරකින් ලොවට පහළවන අපූර්වත්වයෙන් යුත් උදාර මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ඔවුන් ජීවත්වූ සමාජ වටපිටාව පමණක් නොව, මුළු මහත් ලෝකය ම සුන්දරත්වයට පත් කරයි.

එලෙස තම සමාජ වටපිටාවත්, මුළු මහත් ලෝකයත් විවිධ කලා මාධ්‍ය ඇසුරෙන් සුන්දරත්වය යටපත් කරමින් සුපුෂ්පිත කළ සූර නිර්මාණකරුවකු ලෙස මහගම සේකර සූරීන්ට හිමිවන්නේ, සුවිශේෂ වූ ස්ථානයකි. මහගම සේකර සූරීන් නිර්මාණකරණයට ප්‍රවේශ වී ඇත්තේ, වර්ෂ 1952 දී, ස්වර්ණ තිලකා නැමති වේදිකා නාට්‍ය ය රචනා කරමිනි. එම වේදිකා නාට්‍යයේ ගීත රචනා කර තිබෙන්නේත්, මහගම සේකර සූරීන් විසිනි. මහගම සේකර සූරීන් ඒ වකවානුව තුළ රාජකාරි කටයුතුවල නිරත වී ඇත්තේ රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයේ ගුරුවරයකු වශයෙනි.

පසුව සද්දන්ත සහ තවත් නාටක: 1961, මූදුපුත්තු - ගුණසේන ගලප්පත්ති සමඟ : 1964, හංස ගීතය සහ වෙනත් නිර්මාණ : 1985 ආදී වේදිකා නාට්‍ය සඳහා ස්වකීය නිර්මාණාත්මක දායකත්වය සපයා දී තිබේ. මහගම සේකරයන් විසින් රචිත නවකතා අතුර ‘තුංමංහංදිය: 1967 සහ මනෝමන්දිර: 1971‘ සඳහා ප්‍රධානස්ථානයක් හිමි වී තිබේ. එමෙන්ම තුංමංහංදිය නවකතාව, සිංහල සිනමා වංශකතාවේ විශේෂ ප්‍රේක්ෂක හා පාඨක ප්‍රතිචාර හිමිකර ගැනීමට සමත් වූ සිනමා කෘතියක් ලෙස බිහිවීමටත් ඉවහල් විය. එමෙන්ම ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ “ද වයිට් කම්පනි” නැමති කෘතියේ සිංහල අනුවාදය වූ “ධවල සේනාංකය: 1956” පළ කිරීමට යුහුසුලු වී ඇත්තේ ද මහගමසේකර සූරීන් විසිනි.

මහගම සේකර සූරීන් ළමා සාහිත්‍ය කෙරෙහි ද විශේෂ අවධානය යොමුකර තිබුණි. ඒ “පුංචි අයට කයිකතන්දර: 1958”, සරු පොළවක් අපට ඇතේ: 1973” සහ “කොටි වලිගය: 1990” නැමති ළමා කෘති නිර්මාණය කරමිනි.

ප්‍රවීණ ගත්කතුවරයකු වූ කේ. ජයතිලක සූරීන් සමඟ සම්පාදනය කළ “ව්‍යංගා: 1960” පද්‍ය සංග්‍රහය මෙන්ම එතුමා විසින් රචිත පද්‍ය සංග්‍රහ අතර සක්වාලිහිණි: 1962, හෙට ඉරක් පායයි: 1963, මක් නිසාද යත්: 1964, රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත: 1967, බෝඩිම: 1970, නොමියෙමි සහ ප්‍රබුද්ධ: 1973” නැමැති කෘති ද හැඳින්විය හැකිය.

මහගම සේකර සූරීන් එක් කලා මාධ්‍යයකට පමණක් ලඝු වී නිර්මාණකරණයේ නොයෙදුණි. එතුමා කාව්‍ය නිර්මාණකරුවකු, නාට්‍ය රචකයෙකු, සිතුවම් ශිල්පියකු, නවකතාකරුවකු, පරිවර්තකයකු, සිනමාකරුවකු ද වූවේ ය. ඒ අයුරින් එතුමා නිරත වූ විවිධ කලා මාධ්‍ය අතුරින් වඩාත් ප්‍රකට වූයේ, ගීත නිබන්ධන සම්පාදනය කිරීමට ය. මහගම සේකර සූරීන් දැයෙන් සමුගෙන දශක හතරක් ඉක්මවා ගිය ද එතුමාගේ සුරතින් දායාද කළ බොහෝ ගීත නිර්මාණ වර්තමානයේදීත් රැව් පිළිරැව් දෙමින් පවතී.

මහගම සේකර සූරීහු වර්ෂ 1966 දී “සාරවිට” චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ “මේ සිංහල අපගේ රටයි” යන ගීතයටත්, වර්ෂ 1968 දී “සත්සමුදුර” චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ “සිනිදු සුදු මුදු තලාවේ” ගීතයටත්, වර්ෂ 1970 “බිනරමලී” චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ “රටකින් රටකට පාර අසාගෙන” යන ගීතයටත් හොඳ ම ගී පද රචනයට හිමි සරසවි සම්මාන හිමි කර ගැනීමට සමත් වූවෝ ය. එමෙන්ම එතුමා විසින් රචනා කළ වැසි වසිනා අහස, දෑතේ කරගැට සිඹ සනසන්නට, සන්නාලියනේ සන්නාලියනේ, රත්න දීප ජන්ම භූමී, සහ වක්කඩ ළඟ දිය වැටෙන තාලයට” ආදී ගීත අසන්නන්ගේ ඉමහත් සම්මානයට පාත්‍ර වී තිබේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.