මහාචාර්ය අබය ආර්යසිංහ 9 වන ගුණ සමරුව | සිළුමිණ

මහාචාර්ය අබය ආර්යසිංහ 9 වන ගුණ සමරුව

 

මහාචාර්ය අබය ආර්යසිංහ යන නාමය අපට හුරු වී තිබුණේ අප පාසල් වියේ උසස් පෙළ පන්තියේ ඉගෙනීමේ යෙදෙන කාලයේ සිට ය. ඊට හේතුව එතුමා කාලීන වශයෙන් ජාතික උරුමයට අදාළ වන ප්‍රශ්න හමුවේ අභිනව පෙරමුණ ගෙන සිය අදහස් පුවත්පත් මඟින් (විශේෂයෙන් සති අන්ත පුවත්පත්) ප්‍රකාශ කිරීම ය. අවුකන බුදු පිළිමයට ආවරණයක් නිර්මාණය කිරීම සඳහා එවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කිරීමට යෝජිත වූ ඒ කරුණ ගැන දිගට හරහට පුවත්පත් මඟින් සිය විරෝධය පෑ‍ෙව් එය අනවශ්‍ය බව පවසමිනි. එයින් නොනැවතුණු මහාචාර්ය අබය ආරියසිංහ අප ඇදිරිඳු තුමා ‘අවුකන බුදු පිළිමය සහ මිසදිටු ආඥාව’ නමින් කුක් ග්‍රන්ථයක් ද පළ කරමින් සිය මතය ජනගත කිරීමෙහි යෙදුණේ ය.

වසර විස්සක පමණ කාලයක සිට මේ මහාපඬිවරයාගේ ඇසුර ලබා ගැනීමට අවස්ථාව සැලසීම සැබැවින් ම මා ලද භාග්‍යයක් බව මෙහිදී පළමුව සටහන් කළ යුතුව ඇත. විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු පර්යේෂණ කිරීම හැදෑරීම හා වැදෑරීම කළ යුතු බව මහාචාර්ය අබය ආර්යසිංහ අප ඇදුරිඳු නිතරම අප හා පැවසූ කරුණකි.

මෙහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී අපගේ ද ආචාර්යවරයෙකු ව‍ූ මහාචාර්ය එම්.බී. ආරියපාල පඬිවරයා විසින් ලියන ලද සටහනක් ඉදිරිපත් කරනු කැමැත්තෙමි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ පාද මූලයෙහි අබය ආර්යසිංහ මහතා පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලැබ දසක හතරක් තිස්සේ විශ්වවිද්‍යාල කීපයක අධ්‍යාපන සහ පරිපාලන කටයුතුවල යෙදී සිටියේ ය.

“මේ විද්වතා සිංහල පාලි පිළිබඳ ගෞරව උපාධි ලැබ පුරාවිද්‍යා විෂයයෙන් එම්.ඒ. උපාධිය දිනා තිබේ. ප්‍රාග් ඉතිහාසය, නාවික විද්‍යාව (කාසි පිළිබඳ විද්‍යාව) අභිලේඛන හා වාස්තු විද්‍යාව වැඩි විෂයයන් මහාචාර්ය සෙනරත් පරණවිතාන පාදමූලයෙහි සිට උගත් අබය ආර්යසිංහ විද්වතා සිංහල අක්ෂර රූප පරිණාමය ගැන ලියූ පර්යේෂණ ග්‍රන්ථයට ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පී.එච්.ඩී. උපාධිය ලැබීය. ශ්‍රී ජයවර්ධනපුර (එවක විද්‍යෝදය විශ්වවිද්‍යාලය හා කැලණිය විශ්වවිද්‍යාලය (එවක විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය) දෙකේ, පුරාවිද්‍යා අධ්‍යයන අංශ පිහිටුවා එහි ආරම්භක පුරාවිද්‍යා අධ්‍යයන අංශාධිපති වූයේ මහාචාර්ය අබය ආර්යසිංහ විද්වතාණන් ය. ඒ විද්වතා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති (එවක මණ්ඩපාධිපති) ධූරය ද හෙබවීය.”

(මහාචාර්ය අබය ආර්යසිංහ විද්වතා විසින් ලියන ලද අසෝක ධර්ම ලිපි, ග්‍රන්ථයට මහාචාර්ය එම්.බී. ආරියපාල විද්වතා විසින් ලියන ලද සටහන)

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂය ඉගැන්වීම ආරම්භ කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් ලෙසින් වසර 16 ක් එම ආයතනයේ පුරාවිද්‍යා කොමසාරිස් තනතුර බැබළවීමෙන් පසුව බව මෙහිදී අවධාරණය කළ යුතුව ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාට ඉඩ සැලසුණේ පේ‍රාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණකි. එහෙත් එතුමාගේ ප්‍රමුඛ පෙළේ ශිෂ්‍යයෙකු වූ මහාචාර්ය අබය ආර්යසිංහ අප ඇදුරිඳු ව ඉහතින් සඳහන් කළ පරිදි විශ්වවිද්‍යාල දෙකකම එම විෂය අධ්‍යයනය සඳහා ඇප කැපවී ක්‍රියා කිරීමට අවස්ථාව සැලසුණි‍.‍

මේ අනුව එකල පැවති එම විශ්වවිද්‍යාල තුනෙහිම පුරාවිද්‍යා විෂය අධ්‍යයනය කිරීමට අපේක්ෂකයින්ට අවස්ථාව සැලසුණි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ඇසු‍රේ ශිල්ප හැදෑරූ අන්දම මහාචාර්ය අබය ආර්යසිංහ අප ඇදුරිඳු බොහෝ විස්තර අප හමුවේ ප්‍රකාශ කර ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා කළ කටයුතු නැවත නැවතූ තැන්වලින් ද මහාචාර්ය අබය ආර්යසිංහ විද්වතා එහි ඉදිරි පියවර තැබුවේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙහිදී ඊළඟට විස්තර කළ යුතුව ඇත.

ඒ වනවිට මහාචාර්ය පරණවිතාන පඬිවරයා විසින් ලියන ලද (ඉංග්‍රීසි භාෂාවෙන්) සිංහල භාෂාවට පරිවර්තනය කළේ ය. මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් මීට වසර 50 අධික කාලයකදී ලියන ලද (කරන ලද දේශනයක් අනුව) THE ARYA KINGDOM IN NORTH CEYLON (ආර්ය කිංඩම් ඉන් නෝත් සිලෝන්) 1961 දී රාජකීය ආසියාතික සමිතියේ කළ ශාස්ත්‍රීය කතාව සිංහල භාෂාවට පරිවර්තනය කර 1986 දී උතුරු කරයේ ආර්ය රාජ්‍යය යන නමින් පළ කරන ලදී. ඊට අමතරව මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් ලියන ලද (ඉංග්‍රීසි භාෂාවෙන්) මහා පරාක්‍රමබාහු රජුගේ නයිනතිවු පුවරු ලිපිය (එකම දෙමළ සෙල්ලිපිය) මෙම ශිලාලේඛනය මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ (ක්‍රි.ව. 1153 – 1186) තීරු බදු අය කිරීම පිළිබඳව ය.

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් විවරණය කරන ලද නයිනතිවු දෙමළ ශිලා ලේඛනය පිළිබඳ එම ශාස්ත්‍රීය ලිපියේ මහාචාර්ය අබය ආර්යසිංහ අප ඇදුරිඳු මෙසේ පරිවර්තනය කළේ ය.

“අපි පිටරටුන්ගේ වාඩිලෑමට ද ඔවුන් රකිනු ලැ‍බීමට ද පිටරට වරායවලින් මෙහි එන්නන්ට අප වරායේ නැවතීමට ද අවසර දෙමු. අශ්වයින් සහ ඇතුන් මෙහි ගෙන එන නැව් විනාශ වුවහොත් අප ඒ අශ්වයින්ට සහ ඇතුන්ට කැමැති බැවින් (මුල් සතුන් ගණනින්) හතරෙන් එකක් ද රාජ්‍ය භාණ්ඩාගාරයට මුදා හැරිය යුතු ය.‍ ඉතිරි තුන් භාගය අයිතිකාරයින්ට පැවරිය යුතු ය. වෙනත් බඩු ගෙනෙන නැව් විනාශ වුවහොත් ඉන් හරි අඩක් බඩු රාජ්‍ය භාණ්ඩාගාරයට මුදා හැරිය යුතු ය. ඉතිරි අඩ අයිතිකරුවන්ට හැරය යුතු ය. ඉර - හඳ පවතිනා තුරු මේ අණ බලපායි. මේ අණ ශිලා ලේඛනයෙහි ද තඹපතෙහි ද ලියන ලදී. (සකල සිංහල චක්‍රවර්ති - මහාචාර්ය අභය ආර්යසිංහ පි.4 (1981)

කුඩ‍ා කල පටන් ම ඉගෙනීමෙහි හපන්කම් දැක්වූ අබය ආර්යසිංහ කුමරුවා ස්වකීය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ පිටියේගෙදර පාසලෙනි. 1942 තෙක් එහි අධ්‍යාපනය ලද ඔහු ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙනි. එවකට පැවැති ඉංග්‍රීසි මාධ්‍ය විෂය නිර්දේශ යටතේ පැවැත්වූ අවසන් පරීක්ෂණයෙන් විශිෂ්ට ලෙස සමත්වීමට එතුමාට හැකි විය. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ (LONDON INTER ARTS) විභාගයෙන් ඉන්දීය ඉතිහාසය, පාලි, සිංහල විෂයත්‍රයෙන් සමත්වූ එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල ඩිප්ලෝමාව (ඉංග්‍රීසි මාධ්‍යයෙන්) සමත් විය. මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ මග පෙන්වීම යටතේ 1960 දී පුරාවිද්‍යා විෂයයෙන් ශාස්ත්‍රපති විභාගයට ලියාපදිංචි ව‍ූ ප්‍රථම විද්වතා වූයේ අබය ආර්යසිංහ විද්වතාය. ශාස්ත්‍රපති විභාගයෙන් (ඉංග්‍රීසි මාධ්‍ය) උසස් ලෙස සමත්ව‍‍‍ූ එතුමා 1961 වර්ෂයේදී එවක විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය (පුරාවිද්‍යා) තනතුරට පත්වූයේ ය. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය 1965 දී ලද අබය ආර්යසිංහ අප ඇදුරුතුමා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ද පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානියා විය. මහාචාර්ය අබය ආර්යසිංහ පඬිවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශක සභාවට සම්බන්ධ වී ඉමහත් සේවාවක් ඉටු කළේ ය. ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක්ම ලියූ එතුමා ඉංග්‍රීසි බසින් ලියැවුණු අසෝක රජුගේ ශිලා ලේඛන සියල්ලම සිංහල භාෂාවට පරිවර්තනය කර ‘අසෝක ධම්ම ලිපි’ නමින් ග්‍රන්ථ හතරක් පළ කළේ ය. උතුරුකරයේ ආර්ය රාජ්‍යය, එසඳ මාදුරුඔය, ජපන් සදූපදේශ, සංස්කෘතික විචාර, පානදුරාවාදය වැනි ග්‍රන්ථ රැසක්ම එතුමා පළ කළේ ය. සතිපතා මෙන් ම දිනපතා ඉංග්‍රීසි සහ සිංහල පුවත්පත්වලට ජාතික උරුමය පිළිබඳ ලියන ලද ලිපි සංඛ්‍යාව දහස් ගණනකි.

1996 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ සියවැනි ජන්ම දිනය නිමිත්තෙන් තම සභාපතිත්වයෙන් ‘මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම’ නම්වූ සංවිධානයක් පිහිටුවා එමඟින් පාසල් දූ දරුවන්ට ජාතික උරුමය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ද එතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.