සුගත් දම්මි සහ කැලුම් දේදුනු | සිළුමිණ

සුගත් දම්මි සහ කැලුම් දේදුනු

අප පුංචි කාලයේ සිංහල චිත්‍රපටවල පෙම්වතුන් වූයේ තරුණ වයස ඉක්මවූවන්ය. ඒ සමඟම‍ ජෙල් ‍ෙකාණ්ඩය සහිත සිහින් උඩු රැවුළකින් යුතු සිගරැට් ටින් එක අතේ තබාගත් පෙම්වතුන් අපට හමුවිය. ඔවුන් බොහෝ විට කතා කළේ ලිඛිත බසිනි. ඒ කිසිවෙකුත් අපේ සිත් පැහැරගත් ජනප්‍රිය තාරකා බවට පත් නොවීය.

අපේ නවකතා සාහිත්‍යයේ ප්‍රථම ප්‍රකට පෙම්වතුන් දෙදෙනා ඉදිරිපත් කළේ පියදාස සිරිසේනයන් ය. ඔවුන් දෙදෙනා අතර හෘදයංගම ප්‍රේම සංවාද නොවීය. ජයතිස්ස හැම විටම කතා කළේ දේශ හ‍ිතෛශී ස්වරූපයෙන් ය. ඔහු රොස්ලින්ගේ ගෙදර ගොස් රට ජාතිය ආගම ගැන කවි ගායනා කළේය. දැන් කිසිවෙකු හෝ එසේ කරන්නේ නම් ඔහු පිටත් කර හරින්නේ අංගොඩ හෝ මුල්ලේරියාවටය. එහෙත් නැවුම් අත්දැකීමක් වූ මේ නවකතාව එදවස ජනප්‍රිය විය

ඩබ්ල්යු.ඒ. සිල්වා සූරින්ගේ නවකතාවල පෙම්වතුන් දෛවය ඉරණම අතර තීන්දු තීරණ ගත්තාවුත් ය. ඒ චරිත හදබැඳගත් නමුත් ඔවුන් කිසිවකුත් අපට පිවිතුරු පුර්වාදර්ශයක් නොවීය. වෙස්වළාගත් ධනවතකු වන හඳපාන නවකතාවේ පෙම්වතා තම පෙම්වතියගේ ගෙදර හරක් බලයි. හඳපාන චිත්‍රපටයේදී හර්බට් එම් සෙනවිරත්නත් විජිත මල්ලිකාත් ඒ චරිත වලට සාධාරණය ඉටු කළහ. කෙසේ වුව ද එයින් අන්තිමට ශේෂ වූයේ එහි සිසිරයන් ගේ මධුර ම‍නෝහර ගීත පමණි.

ශාස්ත්‍රීය විෂය කරුණු ලිවීමට වඩාත් ප්‍රිය වූ වික්‍රමසිංහයන් ගේ පෙම්වතුන් වඩාත් විදග්ධ බසක් දෙඩුවන්ය. රෝහිණී- අතුල, අරවින්ද - සරෝජනි - මතී, මාලින් - නීලා, නන්දා - පියල් සහ දොස්තර අරවින්ද - චමරි වඩාත් සිත් ගන්නේ යෞවනය ඉක්මවූවන්ටය. නොරිකෝ සහ දෙවොන්දරා සං එයට වඩා සමීප වුවත් හිරළුවෙකු වූ දෙවොන්දරා සිං යෞවනයෙක් නොවීය.

යෞවන ප්‍රේමයේ අසිරිය අපට කියාදුන් ප්‍රථම නවකතාකරුවා වන්නේ කරුණාසේන ජයලත් ය. ඒ‍ ගොළු හදවතෙන් ය. ඒ සඳහා පසුබිම් වුයේ පාසල් වියේ යෞවන ප්‍රේමය යි. එහි සුගත් නැති බැරි දරුවෙකු නොවිය. ඔහු විද්‍යා හෝ වාණිජ හෝ සිසුවෙකු නොවූ අතර කලා විෂයයන් අධ්‍යයනය කළේය. ඔහු පන්ති කාමරයේ සිටි සියල්ලන් විස්මයට පත් කළේ ඔමාර් ඛයියාම්ගේ රුබයියාට් කටපාඩමෙන් කීමෙන් ය. එහෙත් ඔහු භෞතිකවාදියෙක් නොවීය.

ගොළු හදවත මුලින් කියවන විට හොරණ තක්ෂිලාව ආසන්නයේ ම ඉගෙන ගත් මට දම්මි මැවී ‍ගියේ සිහින් කයෙන් යුතු රූමත් දඟකාර දැරියක සේ ය. දම්මි පිළිබඳ මගේ මනැස් රූපය වෙනස් කිරීමට අනුලා කරුණාතිලක සමත් වූවාය. ඒ කාරිය කළ හැකි වෙනත් ශිල්පිනියක නැතැයි මම නොකියමි. එහෙත් අද දවසේත් අනුලා දම්මි සේ අප ඉදිරියේ හිඳියි.

සුගත් අඬදබරවලට නොගිය ක්‍රීඩාවේ විශේෂ දස්කම් නොදැක්වූ ශිෂ්‍යයෙකු විය. එහෙත් ඔහු සාහිත්‍ය මැනවින් දැන සිටියේය. එය අපට සිහිනයක් වූ තරම් ය. සුගත් දම්මිට ආදරය කළේ අහසේ තරු තරම් වූ චමත්කාරයකින්ය.

ජයලත් මෙහිදී තවත් අපූරු කාරියක් කළේය. එනම් පෙම්වතුන් ගේ දෙබස් ලාලිත්‍යයෙන් යුක්ත කිරීමයි.

“ඇයි දම්මි ඔයා එහෙම කළේ”

“ඔයා මට අමතක කරන්න බෑ දම්මි”

“ඔය තරම් නපුරු වෙන්න එපා සුගත්”

මේ සියල්ලම යෞවන‍යේ ප්‍රේමය ආදරණීය ම කළේය. හොරණ ඇල්ලකන්ද රබර් හේඩාව මැදින් අනුලා සහ වික්‍රම බෝගොඩ පාසලේ විවිධ ප්‍රසංගය සඳහා සාරියක් ගෙන ඒමට ගියාහ. ඒ ආදරය අතින් ඇල්ලීමට පමණක් සීමා විය. එහෙත් අද එවැන්නක් සිදු වූයේ නම් මේ දෙදෙනා නතර වන්නේ ඇල්ලකන්දේ වන හාමිගෙ ගල් ගුහාවේය.

ප්‍රේමය බිඳී අවසානයේ සුගත් පරාජිත සුරා සොඩෙකු කිරීම නොමැනවැයි දැන් මට සිතේ. එය එකල කෙතරම් ජනප්‍රිය වීද යත් පරාජිත වීමට බූට් කෑමට තරුණයෝ ප්‍රිය කළහ. ඔවුහු සුරාවට පෙම් බැන්දහ. මෙයින් ඇතැමෙකු බඹා කෙටු හැටි කියවා පුනරුත්ථාපනය විය.

සුගත් සහ දම්මි හිමිකරගත් ස්ථානය වෙනස් කළේ සරත් මධුගේ ඉතිං ඊ‍ට පස්සේ චිත්‍ර කතාවය. එහි කැලුම් සහ දේදුනු ස්වරූපයෙන් සුගත් සහ දම්මිට වෙනස් විය. කැලුම් සහ දේදුනු බොකුටු කොණ්ඩයෙන් යුතු විය. හොරණ නගරයේ දේදුනු ක්‍රීම් හවුස් වෙත පෙම්වතුන් එකල බුරුතු පිටින් ගියේ එය ඔවුන් සඳහාම නිර්මාණය කළ පාරාදීසයක් සේ සිතාය.

මේ කතාබහ තුළ අපේ යෞවනයේ හොරණ නගරයේ කැලුම් දේදුනු යුවළක් සිටි බව මට මතක් වේ. අපට වඩා ඉහළ පන්තිවල ඉගෙනුම ලැබූ ඔවුන් දෙදෙනාගේ ම හිසකෙස් රැළි සහිත විය. ඔවුන් දෙදෙනා දැකීමත් අපට මිහිරක් විය. ඔහු දෙදෙනා කැලුම් දේදුනු බවට කුලවැද්දුවේ ඉරිසියාවෙන් තොර හිතවතුන්මය.

නූතන ප්‍රේමකතාකරුවන් සුගත් දම්මි සහ කැලුම් දේදුනු වැරදියට වටහා ගත්තවුන්ය. ඔවුන්ගේ පෙම්වතුන් සාහිත්‍යාත්මක නැත. ඒ කතා එකම ආකෘතියෙන් යුතුය. ඇතැම් විට සමාගම් හිමිකාර තරුණයෙකු එහි සේවිකාවකට පෙම් බඳියි. ඇය කිරිකොස් මාළුව සමඟ කරෝල බැදුම් බත් මුල තම පෙම්වතාට පිරිනමයි. මේ අතර තරුණයාගේ අත ගැනීමට සිටින ධනවත් තරුණිය පාතාලයේ වැඩ කරයි. අවසානයේ සියල්ල ප්‍රීතිමත් ලෙස අවසාන වේ.

කාලය දම්මිලා දේදුනුලා පසු කර හෙමිහිට ගෙවි ගියේය. විටෙක විශ්ව සාහිත්‍යයෙන් අපට හමු වූ පෙම්වතුන් අපේ ජීවිත වඩාත් අර්ථවත් කළේය. බොහෝ අත්දැකීම් සහිතව ආදරය සිල්ලර කාරියක් නොවන බව අපට හැඟී ගියේය.

මේ අතර විශ්‍රාමික වූ මම මගේ පාසල් වියේ සගයකු සමඟ ඔහුගේ මෝටර් රථයෙන් කිසියම් කාරියකට යමින් සිටියෙමි. අප කතා කළේ දෙදෙනාටම ප්‍රියමනාප වූ සාහිත්‍ය කලා පිළිබඳවය. හදිස්සියේම ඔහු හොරණට නුදුරු කුඩා නගරයකට ළංව පිහිටි නිවසක් ඉදිරියේ කාරය නැවැත්විය. එය උදෑසනකි.

කණාටු මල් ගස් දෙක තුනක් සහිත මිදුලේ අප දෙස බලා සි‍ටියේ මැදිවිය ඉක්මවූ මහත කාන්තාවකි. ඇය කළු සායක් සහ සුදු බ්ලවුසයක් ඇඳ සිටියාය. ඇයගේ කෙටි කෙස් සුදු පැහැතිය. මුහුණ මහලු බවෙන් යුතුය.

ඒ මොහොතේ එතැනට ආවේ තුවායක් ඇඳගත් තට්ට මහල්ලෙකි. ඔහු දිය නා සිටියේ යැයි මම සිතුවෙමි. ඔහු තම බිරිය විය යුතු ගැහැනියට කිසිවක් කීවේය.

මෝටර් රථයේ කිසියම් දෝෂයක් නිසා රිය නැවැත්වූ බව හඟවමින් යළි රිය පදවාගෙන යන ගමන් මගේ මිතුරා කතා කළේය.

“ඔයා දන්නවද ඒ දෙන්න කවුද කියලා?”

“නෑ” මම කීවෙමි.

“හොඳට හිතන්න”

“හිතන්නම බෑ” සිතමින්ම මම කිවෙමි.

මිතුරා ගේ දෙතොලේ වුයේ ප්‍රියමනාප සිනාවකි.

“ඒ තමයි අපි ඉස්කෝලෙ යන කාලෙ හිටපු කැලුම් දේදුනු දෙන්න”

චුල්ල පන්ථක පොඩි හාමුදුරුවන්ට සංසාරික සත්‍යය පසක් කිරීමට උදේ සිට හවස දක්වා සුදු රෙදි කඩක් පිරිමදින්නට සිදුවිය. ඒ මොහොතට පමණක් සීමා වුව ද සැණින් මම සංසාරික සත්‍යය පසක් ක‍ළෙමි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.