හරි වහර | සිළුමිණ

හරි වහර

1. ජුගුප්සා - සිංහලයෙහි යෙදෙන සංස්කෘත තත්සමයෙකි. මෙහි (අල්පප්‍රාණ) ජු, ගු මෙන් ම (දන්තජ) සා යෙදෙන අයුරු ද කෙරෙහි සැලැකිල්ල යොමු කළ මනා ය. ඇතැමුන් මෙහි ලා (තාලුජ) ශ (මූර්ධජ) ෂ යෙදුව ද ඒ නිවැරැදි නො වේ. ජුගුප්සා යනු පිළිකුල්, නින්දා සහගත යන අරුත් දෙන වදනෙකි.

 

2. ඥ - මේ අකුරෙකි, එ‍ මෙන් ම වදනෙකි. මෙය නිවැරැදි වැ ලිවිය යුතු ‘ග’ යන්නෙහි අඩක් හා බැඳි ‘ද’ යන්නට සඤ්ඤක ස‍ංකේතය යෙදීමෙනි. කේවල (තනි) අක්ෂරයක් නො ව සංයෝග අක්ෂරයක් වන බැවින් වෙයි. හෝඩියෙහි ලා නො නැගේ. නිවැරැදි වැ උච්චාරණය කළ යුතු ‘ජ්ඤ’ යනුවෙනි. ඇතැමුන් ‘ග්ඤ’ යනුවෙන් මෙය උච්චාරණය කරතුදු ඒ ඉඳුරා වැරැදි වේ.

වදනක් ලෙසින් ගත් කල මෙහි අරුත ‘දන්නා’ යනු යි. එහෙයින් ‘විඥ’ යනු මැනැවින් දන්නා යි. ‘අඥ’ යනු නොදන්නා යි. ‘නීතිඥ’ යනු නීති දන්නා යි. ‘ඥ’ යන සංයෝගාක්ෂරය සිංහල ව්‍යවහාරයෙහි ලා දක්නට ලැබෙන්නේ සංස්කෘත තත්සමවල පමණෙකි.

 

3. ඥාත - ‘දැනැගත්’ යන අරුත දෙයි. මෙහි (අල්පප්‍රාණ) ‘ත’ යෙදෙන සැටි කෙරෙහි සැලැකිල්ල යොමු කළ මනා ය. ඒ සංස්කෘතයෙහි අතීත කාල ‘ත’ ප්‍රත්‍යයය යි. මෙයට ම ‘ඉ’ ප්‍රත්‍යයය එක් වීමෙන්, නෑදෑ අරුත්හි ඥාති යනු නිපැදේ.

ඥාත, ඥාති යනු සංස්කෘථ තත්සම යි. පාලියෙහි එනුයේ (‘ඤ’ සහිත වූ) ඤාත, ඤාති යනු යි. සංස්කෘත වචනයක් හා සමාස වන (එක් වන) කල්හි සංස්කෘත රූපය ම යෙදීමට සැලැකිලි මත් වීම මැනැවි. ඥාතිමිත්‍ර, ඥාතිසංග්‍රහ ආදිය මෙනි.

 

4. ඥාත්‍යර්ථචර්යා - වහරෙහි කලාතුරෙකින් දක්නා ලැබෙන යෙදුමෙකි. සංස්කෘත සමාසයෙකි. ඥාති + අර්ථ + චර්යා යන තුන එක් වීමෙන් නිපැදේ. ඥාති + අර්ථ දෙක්හි සන්ධියෙන් ‘ඥාත්‍යර්ථ’ යනු ඇති වේ. සංස්කෘත සමාසයක් බැවින් (පෙර දැක්වුණු පරිදි) ‘ඥ’ යනු ම යෙදිය යුතු බවත් යංශයට පසු ව ඇලපිල්ලක් නොයෙදෙන බවත් (මහාප්‍රාණ ථ) යෙදිය යුතු බවත් වෙසෙසසින් සැලැකිය යුතු කරුණු වෙයි. රේඵය යොදන කල්හි ‘ඥාත්‍යර්‍ථචර්‍යා’ යනුවෙනුදු ලියනු ලැබේ. එ වුව ද වත්මන් වහරට වඩාත් ගැළැපෙනුයේ යට දක්වන ලද පරිදි ලිවීම යි. නෑයනට සැලැකීම යනු මෙහි අරුත යි.

 

5. ඥාන - අද වහරෙහි නිතර වරදවා යොදන වදනෙකි. මේ සංස්කෘත තත්සමයෙහි ‘ඥ’ සමඟ යෙදෙනුයේ (දන්තජ) ‘න’ විනා (මූර්ධජ) ණ නො වේ. එ හෙයින් ‘ඥාණ’ යනුවෙන් බොහෝ දෙනකු ලියන වදන ඉඳුරා වැරැදි යි.

මෙහි පාලි රූපය ‘ඤාණ’ යනු යි. එහි ‘ඤ’ සමඟ (මූර්ධජ) ණ විනා (දන්තජ) න නො යෙදේ. එ හෙයින් ඤාන’ යනු වැරැදි යි. මේ ඉතා සැලැකිලිමත් විය යුතු තැනෙකි.

 

6. ඥාන මාර්ග - ‘මාර්ග’ යනු සංස්කෘත රූපයක් බැවින් ඒ සමග යෙදිය යුත්තේ ‘ඥාන’ යනු ම ය. එ මෙන් ම ඥාන ගවේෂී, ඥානාක්ෂි, ඥානාර්ථ, ඥානප්‍රභා වැනි යෙදුම් ද සංස්කෘතයට අයත් බැවින් ‘ඥාන’ යනු ම එ බඳු තැන්හි යෙදීම මැනැවි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.