පිළිකාව ජය ගන්නට ගිලනුනට සහය වෙමු | සිළුමිණ

පිළිකාව ජය ගන්නට ගිලනුනට සහය වෙමු

 පිළිකාව, බෝ නොවන රෝග අතරින් ශීඝ්‍රයෙන් පැතිරයමින් පවතින ප්‍රධානත ම රෝගයකි. පිළිකාව යනු පාලනයකින් තොරව අසාමාන්‍ය හා අවිධිමත් ලෙස සෛල බෙදීම නිසා ඇති වන තත්වයකි. මෙම රෝගය වැලඳීමට හේතුවන සාධක අතරින් අයහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රධාන තැනක් ගනී. පිළිකාවන්ගෙන් 1/3 ක් නිරෝගී ජීවන රටාවකින් අනුගමනය කිරීමෙන් වළක්වා ගත හැකිය. නිදසුන් වශයෙන් යහපත් ජීවන රටාවක් අනුගමනය කිරීමට පුරුදුවීම, හොඳ ආහාර පුරුදු ඇති කර ගැනීම, ව්‍යායාම්වල ‍නිරත වීම, මත්පැන්, දුම්කොළ හා දුම්වැටි භාවිතයෙන් වැළකීම වැදගත් තැනක් ගනී.

පිළිකාව ජාති, ආගම්, කුල භේදයකින් තොරව ඕනෑම වයස් මට්ටමක පසුවන පුද්ගලයෙකුට වැලඳිය හැකිය. රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් පසුවී මුල් අවස්ථාවේදීම ප්‍රතිකාරවලට යොමුවීමෙන් පිළිකා රෝගය සුවර ගැනීමේ හැකියාව වැඩිවේ.

මෙය, බෝ නොවන රෝගයකි. එම නිසා අසරණ පිළිකා ‍රෝගීන් හට සත්කාර, උපකාර කිරීමට සැක උපදවා ගත යුතු නැත. රෝගයට ප්‍රතිකාර කිරී‍මේදී මෙම රෝගීන් විඳින වේදනාවන් හා අනෙකුත් ශාරීරික, මානසික අපහසුතාවන් මඟ හරවා ගැනීමට වෛද්‍ය උපදෙස් මත රෝගියාට සහය වීම පවුලේ මෙන් ම ප්‍රජාවගේ ද වගකීමකි. පිළිකාවට ගොදුරු වීමෙන් මානසික කම්පනයටත්, ශාරීරික අපහසුතාවයටත්, තමන්ගේ හා පවුලේ හෙට දවස ගැන සැකයටත්, ළතැවුලටත් පත් අසරණ රෝගීන් හට උපරිම සෞඛ්‍ය හා උපදේශන සේවා දැන් සක්‍රිය ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී, ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ගේ සිතැඟි වලට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කිරීමට සහය ලබාදීමෙන් ඔවුන්ගේ මානසික මට්ටම යහපත් හා ධනාත්මක ලෙස ඉහළ මට්ටමකට ළඟ‍ා කර ගත හැකිය.

රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන අතරතුරදී

රෝගියා කොන් ‍නොකිරීම

රෝගියාට මුල් තැනක් දී කටයුතු කිරීම,

පව‍ුලේ සාමාන්‍ය කටයුතුවලට ඔහුව / ඇයව සහභාගි කර ගැනීම තුළින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට උපකාර කිරීම,

ජීවත්වන වටපිටාව සුන්දර, සැහැල්ලු බවක් ඇතිකරලීමට කටයුතු කිරීම,

ජනමාධ්‍ය භාවිතා කිරීමට (ගුවන් විදුලියට සවන්දීම, රූපවාහිනිය නැරඹීම, පුවත්පත්, සඟරා, පොත්පත් කියවීම) උපකාර කිරීම,

ආගමික වතාවත්වල යෙදීමට සුදුසු පරිසරයක් සකස් කර දීම,

පෝෂණ ගැටලු අවම වන පරිදි රුචිකත්වයට ගැළපෙන අයුරින් ආහාර සපයා දීම ඉතාම වැදගත් වේ.

ප්‍රතිකාර කිරීම ඇරඹීමත් සමඟ ම රෝගියාට මුහුණ දීමට සිදුවන ශාරීරික, මානසික, සමාජයීය හා අධ්‍යාත්මික ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කිරීම අප සැමගේම වගකීමකි.

රෝගියාගේ ශාරීරික ගැටලු සමනය කර ගැනීම සඳහා

වේදනාව සමනය කර ගැනීමට වෛද්‍ය උපදෙස් පරිදි වේදනා නාශක ලබාදීම.

නිසි පෝෂණය හා ආහාර මාර්ගයේ ඇතිවන සංකූලතා (ඔක්කාරය, වමනය වැනි) මග හැරවීමට උදව් කිරීම.

ප්‍රතිශක්තිකරණය අවම වීමෙන් ඇතිවන සංකූලතා මග හැරීමට කටයුතු කිරීම.

තුවාල වලට නිසි පරිදි සැරහුම් යෙදීම.

රෝගියාගේ මානසික සුවය හා ගැටලු සමනය කර ගැනීම සඳහා

 සවන්දීම.

සුහදව කතාබහේ යෙදීම.

ආගමික කටයුතු සංවිධානය හා සහභාගිත්වයට උපකාර කිරීම.

අවශ්‍ය විට වෛද්‍ය හා උපදේශන සේවාවන් ලබා ගැනීමට ආධාර ලබාදීම.

පවුලේ කටයුතු වලදී

දරුවන්ගේ රැකවරණය, අධ්‍යාපනය පිළිබඳව විමසිලිමත්ව සොයා බැලීම හා

අඹුසැමි සබඳතා රැක ගැනීම සඳහා අවශ්‍ය උපදේශන ලබා දීම.

රැකියාව හා ආර්ථික තත්ත්වය

රෝගියාගේ රැකියාව සම්බන්ධව පැන නැගිය හැකි ගැටලු, ආදායම් තත්වය සහ වියදම් සම්බන්ධව ඇතිවන ගැටලු වලට උදව් ලබාදීමට අවශ්‍ය නම් අදාළ ආයතනවල සහය ලබාදීමට කටයුතු සලස්වා දීම.

උපදේශන සේවා ලබාගත හැකි රාජ්‍ය ආයතන

අපේක්ෂා රෝහල - ජාතික පිළිකා ආයතනය - මහරගම

පළාත්, දිස්ත්‍රික් මහ රෝහල් ආශ්‍රිතව පිළිකා මර්දන ප්‍රතිකාර ඒකක

පිළිකා කළින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය - නා‍රාහේන්පිට. මීට අමතරව සහන සේවා සපයන ස්වෙච්ඡා ආයතනවලට යොමු කිරීමෙන් උපදේශන හා ආධාර ලබාගත හැකිය.

පිළිකාවෙන් පීඩාවට පත් අසරණ රෝගීන් හට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්නා අයදුම්පතක්, නිවැරදිව සම්පූර්ණ කරන ලද වෛද්‍ය සහතික හා ග්‍රාම සේවා සහතික සමඟ ලබා දීමෙන් ආධාර ලබා ගත හැක.

මීට අමතරව තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින්, ග්‍රාම නිලධාරි හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි මඟින් උපදෙස් හා උපකාර සේවාවන් රෝගියාට ලබා ගත හැක.

බෝ නොවන රෝග අතරින් ශීඝ්‍රයෙන් පැතිරයමින් පවතින පිළිකාව ජය ගැනීමට සුවහසක් රෝගී දනන් හට උපකාර, සත්කාර කිරීමට කිසිවි‍ටෙක දෙවරක් නොසිතන්න.

සටහන - සුජීව තේවහෙට්ටිගේ

Comments