සංවර්ධනය සඳහා රටේ ජනතාව උපරිම ලෙස කැපවිය යුතුයි | සිළුමිණ

සංවර්ධනය සඳහා රටේ ජනතාව උපරිම ලෙස කැපවිය යුතුයි

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කාර්යයෙහිලා ජනතාවගේ වගකීම හා අපේක්ෂිත සංවර්ධන කාර්යයෙහිලා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කුමන දිශාවක් කරා ගමන් කරවිය යුතු ද යන්න පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ මහාචාර්ය චන්ද්‍රකුමාර පතිරගේ මහතා සමඟ සිළුමිණ කළ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකැසිණ.

ආර්ථික සංවර්ධනයෙහිලා අප රටට බලපෑම් කරන ප්‍රබල සාධක ලෙස ඔබ දක්වන්නෙ මොනවා ද?

රට සංවර්ධනය කරා ගෙන යෑමට නම් විනිමය සංචිතය ඉහළ අගයක පැවැතිය යුතුයි. එම කාර්යයෙහි ලා රටක ආර්ථිකයට ප්‍රබල ලෙස බලපෑම් කරනුයේ ආනයන හා අපනයනයි. පරිභෝජනයට අවශ්‍ය රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලු දේ නිෂ්පාදනය කරමින් ආනයනය අවම කිරීම හා අතිරික්ත නිෂ්පාදන හා අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදන අපනයනය කිරීම මගින් විදේශ විනිමය සංචිතය ඉහළ නංවා ගැනීම රටේ ආර්ථිකය සංවර්ධනය කරා ගෙන යා හැකි මග වේ. ප්‍රධාන වශයෙන්ම විදේශ විනිමය සංචිතය ඉහළ නංවා ගැනීම රටේ සංවර්ධන කාර්යයෙහි ලා ප්‍රබල ලෙස බලපෑම් කරයි. එබැවින් රට නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙන යෑම අත්‍යාවශ්‍ය වේ. ඒ නිෂ්පාදන කෘෂිකාර්මික හෝ කාර්මික විය හැකිය. කෘෂි කාර්මික නිෂ්පාදන අතරින් ඇතැම් ද්‍රව්‍ය පරිභෝජනය සඳහා අත්‍යාවශ්‍ය වේ. ඒ අත්‍යාවශ්‍ය පරිභෝජන භාහණ්ඩ දේශීය නිෂ්පාදනය වැඩි කොට ආනයනය අවම කිරීම මගින් විදේශීය සංචිත ඉතිරි කර ගැනීමට හැකියාව තිබේ. එබැවින් කාර්මික කෘෂිකාර්මික අංශ දෙක යටතේම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වර්ධනය කොට රට නිෂ්පාදනය මුල් කරගත් ආර්ථිකයක් කරා ගෙන යෑමෙන් අපට සංවර්ධන ඉලක්ක සපුරා ගත හැකිවනු ඇත.

රටේ ආර්ථික සංවර්ධනය සෑබෑ ලෙසම අපේක්ෂා කරන්නේ නම් ආර්ථික තීන්දු තීරණ ගන්නන්ගේ වගකීම කුමක් ද?

පළමුවෙන්ම කියන්න ඕන ඔබ ඔය කියන තීන්දු තීරණ ගන්නා ස්ථානයේ සිටින්න්ට පමණක් රට සංවර්ධනය කරන්න බැහැ. ඒ සඳහා රටේ ජනතාව උපරිම ලෙස කැපවිය යුතුයි. සියලු පහසු කම් ඉල්ලමින් කුසීතව සිටින ජනතාවක් ඉන්න රටක් සංවර්ධනය කරන්න බැහැ. ජනතාව ක්‍රියාශීලී විය යුතුයි. නිෂ්පාදන හා සේවා අංශ දෙකෙහිම සේවා නියුක්තිකයන් කාර්යක්ෂම වීම ඉතාම වැදගත්වෙනවා.ජනතාවගේ කැපවීම මත තමයි රට සංවර්ධනය කරා ගෙන යා හැකිවන්නේ. අපේ රට ගැන හිතුවොත් රාජ්‍ය අංශයේ සේවකයන් තම සේවය උපරිමයෙන් ලබා දෙන්නේ නැහැ. එත් ඔවුන් සංවර්ධිත රටක පහසු කම් බුක්ති විඳින්න අපේක්ෂා කරනවා. ඒ පහසුකම් ලබාදීම සඳහා රජය ණය විය යුතුයි. ණය සඳහා පොලිය ගෙවිය යුතුයි. ණය හා පොලිය ගෙවීමට සිදුවන්නේ විදේශිය සංචිත මගින්, ඉන් තව දුරටත් විදේශීය සංචිත පහළ යනවා. රටට අවශ්‍ය විදේශ සංචිත රට තුළ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම, අපනයනය වර්ධනය කොට ආනයනය පාලනය කිරීම මගින් වර්ධනයකර ගතයුතුයි. ඒ හැරුණු විට සේවා සැපැයීම මගින් ද රට අවශ්‍ය විදේශ විනිමය උපයාගත හැකිවෙනවා. ඒ අතරින් සංචාරක කර්මාන්තය හා විදේශිය රැකියා ප්‍රමුඛයි.

එත් අපේ රටේ විදේශ සේවයේ නිරතව සිටින්නේ හා එයින් රටට අවශ්‍ය විදේශ විනිමය රැගෙන එන්නේ අඩුම අධ්‍යාපනයක් ලැබූ දිළිදු කාන්තා ශ්‍රමිකයන් හා කම්කරුවන්, එය අපට සතුටු විය හැකි තත්වයක් නොවේ. දැනුමට බුද්ධියට ලැබෙන වැටුප හා සසඳන විට ශ්‍රමයට ලැබෙන වැටුප සොච්චමක්. අපේ රටේ උගතුන් විදේශ ගත වූවාට රටට විදේශ විනිමය රැගෙන එන්නේ නැහැ. මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් මහජන මුදලින් ඉගෙන උසස් තත්ත්වයට පත්වූ පසු ඔවුන් වෙනත් රටවල පදිංචිව ඒ රට වලට දැනුම බුද්ධිය ශ්‍රමය සපයනවා. උගතුන් හා බුද්ධමතුන් විදේශ ගතවන්නේ නම් ඔවුන් වෙනුවෙන් රජය වැය කළ මුදල දඩයක් ලෙස අය කර ගැනීමේ ක්‍රමවේදයක් සැකැසිය යුතුයි. සංචාරක ව්‍යාපාරය පිළිබඳ අවධානය යොමු කරන විට පොහොසත් රටවල සංචාරකයන් ගෙන්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. ලංකාවේ හොටල් වල ආහාර - පාන කාමර ගාස්තු ඉතා ඉහළයි. එසේ නැත්නම් සංචාරකයන් පැමිණිය ද අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට හැකියාවක් නැහැ. සංවර්ධනය අපේක්ෂාව නම් අල්ලස දූෂණයට වැට බැඳිය යුතුයි. රටේ පවත්නා නීතිය නිසි ලෙස ක්‍රියාත්මන විය යුතුයි.

රාජ්‍ය තන්ත්‍රය වෙනස් වෙන රටේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වීම සංවර්ධන කාර්යයෙහි ලා කරන බලපෑම කෙබඳුද?

රාජ්‍ය තන්ත්‍රය වෙනස් වෙන රටේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වීම කොහෙත්ම සිදුවිය යුතු නැහැ. එය සංවර්ධනයට බාධාවක්. රටේ ආර්ථික ප්‍රතිපත්ති දීර්ඝකාලීන විය යුතුයි. එවිටයි සංවර්ධනය කරා ගමන් කළ හැකිවන්නේ.

පසුගිය කාලය පුරා අපේක්ෂිත ආයෝජන ශ්‍රී ලංකා වට පැමිණියේ නැහැ. ආයෝජකයන් ගෙන්වා ගැනීමට අප කුමක් කළ යුතුද?

ආයෝජන රටකට ඉතා වැදගත් රටෙ සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා ආයොජන අවශ්‍යයි. දේශීය මෙන්ම විදේශීය ආයෝජන අවශ්‍යයි. පසු ගිය කාලයේ අප අපේක්ෂා කළ විදේශ ආයෝජකයන් මෙරටට නොපැමිණිම අපේක්ෂිත ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමට බාධාවක් වූණා. රට තුළට ආයෝජකයන් ගෙන්වා ගැනීමට රජය කැපවීමක් පෙන්නුම් කළ යුතුයි. ඒ සඳහා රටතුළ පවත්නා නීතිය බලාත්මක කළ යුතුයි. දෙවනුව රටේ යටිතල පහසු කම් වර්ධනය කළ යුතුයි. තෙවනුව රට තුළ මූල්‍ය විනයක් පැවැතිය යුතුයි. ඒහැරුණු විට ශ්‍රමය සඳහා වැටුප් හා සේවා මිල අඩු වීම, කම්කරු නීති හා ප්‍රතිපත්ති බලාත්මක වීම, ආනයන අපනයන නීති හා අමුද්‍රව්‍ය සඳහා හා ප්‍රති අපනයන් සඳහා වන බදු සහන, මුදලේ අගය අවප්‍රමාණය වීම පාලනය කෙරෙහි අවධානය යොමු කිරීම මගින් ආයොජකයක් ගෙන්වා ගැනීමට හැකි වෙනවා.

රටෙහි පවත්නා බදු ප්‍රතිපත්තිය රටේ සංවර්ධනයට බලපෑම කරයිද?

ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නෙ වැටුප් ලබනන් සඳහා ප්‍රමුඛත්වය දෙමින්, එහෙත් නිෂ්පාදනය වෙළෙඳාම ආදී සියලු ආදායම් ලබන්න් ගෙන් බදු අය කර ගත යුතුයි. ඕනෑම අයෙකු උපයන විට රජයට බදු ලැබෙන ක්‍රමවේදයක් සකැසිය යුතුයි. ශ්‍රී ලංකාවේ බදු ගෙවීම සාපේක්ෂව අවම මට්ටමකයි පවතින්නේ. රටේ යටිතල පසුකම් සංවර්ධනය පඩිනඩි හා රජයේ ක්‍රියාකාරකම් ඉටු කරගන්නේ බදු ආදායමින් ජනතාව බදු නොගෙවීම හේතුවෙන් රටේ ක්‍රියා කාරීත්වය අඩපණ වෙනවා.

සංවර්ධන කාර්යයේදි ජනතාවට විතරද වගකීම තියෙන්නේ රජයට වගකීමක් ඇත්තෙම නැද්ද?

ඇයි නැත්තේ ප්‍රතිපත්ති සම්පාදනය, නීතිය ක්‍රියාත්මක කිරීම, සුදුසු ස්ථානයෙහි සුදුස්සන් කාර්යයෙහි යෙදවීම, රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය, ආයෝජකයන් සඳහා දිරි ගැන්විම් රජයේ වගකීම් මේ වගකිම් නිසි ලෙස ක්‍රියාත්මක නොවී ජනතාවගේ කැපවීම පමණක් සංවර්ධනයට ප්‍රමාණවත් නැහැ.

ටෙක්ලා පද්මිණී කාරියවසම්
සේයාරූ - තුෂාරප්‍රනාන්දු 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.