බලවතුන්ගේ විරෝධතා මැඩ බවලතුන් කරළියට | සිළුමිණ

බලවතුන්ගේ විරෝධතා මැඩ බවලතුන් කරළියට

ඩේසි ඩයස් බණ්ඩාරනායක ආර්යාව

එදා මෙදාතුර දේශපාලනයේ කාන්තා භුමිකාව - II

උතුරු පළාතේ (ව්‍යවස්ථාදායක සභාවේ) මන්ත්‍රි වූ දොරේසාමි මහතා ‘පාසල් හැරයාමේ සහතිකය ඇති ස්ත්‍රීන්ට හැර සෙසු අයට ඡන්දය බලය නොදිය යුතුය” යනුවෙන් ගෙන ආ යෝජනාව (1928) දි රාමනාදන් මහතා ස්ථිර කළේය.

පොදුවේ ගත් කල සියලු පුවත්පත් වැඩි බරක් තබා ක්‍රියා කළේ ස්ත්‍රියට ඡන්ද බලය දීම මෝඩ ක්‍රියාවක් ලෙස ප්‍රචලිත කිරීමටය. සිංහල සහ දෙමළ පිරිස් එම ජාතිකත්වයන්ගේ චාරිත්‍ර, සංස්කෘතික වටිනාකම්, සම්ප්‍රදායික චින්තනය හා පාරම්පරික මතවාද කර පින්නා ගෙන තම ස්ත්‍රියගේ පාරිශුද්ධිය විනාශ කරන මහා කුමන්ත්‍රණයක් ලෙස ‘ස්ත්‍රීන්ට ඡන්ද අයිතිය දීම” පුන පුනා පෙන්වා දුන්හ.

දේශපාලනයේ යෙදෙන ස්ත්‍රීන්ගේ වැදගත්කම නැතිවන බවත්, ධනේශ්වර සිංහල ස්ත්‍රීන්ට දේශපාලනයේ යෙදීමට කිසිදු අයිතියක් නැති බවත්, දේශපාලනයට ඒමට උත්සහ කරන කිසිම ස්ත්‍රියක් වැදගත් ස්ත්‍රියක් නොවන බවත් මේ සිංහල ජාතිකවාදියෝ තර්ක කළහ. දමිළ ප්‍රභූන් කියා සිටියේ “දමිළ කතුන් දේශපාලනයට ඒමෙන් ඔවුන් ගණිකාවන් වීමට පාර නොකැපිය යුතු” බවය. මෙවැනි දැඩි අඛණ්ඩ පුරුෂ මූලික, ජාති මූලික විරෝධ ප්‍රහාර හමුවේ කාන්තාවන් ද තම ‘ඡන්ද අයිතිය’ සටන අත් හැරියේ නැත. එසේම එල්ල කරන ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාරදීමට ද ඔවුන් ඉදිරියට පැමිණියේය.

“සදාචාර ධර්ම සහ ඡන්ද අයිතිය අහසට පොළොව මෙන් වෙනස් මාතෘකා දෙකකි” ඇස්ලින් ගුණරත්න (ලක්මිණ 1927 දෙසැ.)

“නිදහස යනු රටේ එක්තරා කොටසකට පමණක් අයිති වූවක් නොවේ. සැබෑ නිදහස සඳහා පිරිමින් ස්ත්‍රීන්ගේ ද සහය ලබා ගත යුතුයි. දේශපාලනය පිරිමින්ට පමණක් සීමා නොවිය යුතුයි.” දෝන ශ්‍රියාලතා රණසිංහ (සමගි බලය 1932 පෙබ. 5)

“ලැජ්ජාවෙන්, බියෙන් ගෙයි මුල්ලේ සැඟවී නොසිට වසර සියයකට වඩා ඔවුන් අපට නොදුන් අයිතිය ලබා ගැනීමට සහෝදරියන් ඉදිරියට එන්න.” කමලා පියසීලි (සිතුමිණ 1931 මැයි)

“ස්ත්‍රීන් උපහාසයට පත් නොකෙරෙන ලිපියක්, පුවත්පතක් අද දකින්න නැත. ස්ත්‍රීන්ට උපහාස කර පහරදී ඔවුන්ගේ අධිෂ්ඨානය බිඳීම ජාතික යුතුකමක් ලෙස ඔවුන් සලකයි” රූපා පියසීලි (වීරයා 1930 ජූලි 14)

රාමනාදන්ට පිළිතුරු දෙමින් කාන්තා ඡන්ද සමිතිය 1928 ජනවාරි 17 දා Daily News පත්‍රයට ලියූ ලිපියක, “ස්ත්‍රියගේ මූලික කාර්ය භාරය ඇත්තේ නිවස තුළ යන්න සත්‍යයකි. අපි ඡන්ද බලය ඉල්ලා සිටින්නේ ද පවුල් ජීවිතයේ අවශ්‍යතාවන් නිසාම” බව අවධාරණය කළාය.

දෙමළ ජන සමාජයේ විවේචනවලට පහර දෙමින් ජේ.ආර්.ජේ. පොන්නයියා මහත්මිය ප්‍රශ්න කළේ ‘ලෝකය වේගයෙන් වෙනස් වන බැවින් ලංකාවේ ස්ත්‍රියට එක තැන ලැග සිටිය හැකිද’ කියාය

මෙහිදී නිර්භීත ලීලාවෙන් සටන් කළ ‍දමිළ කතුන් අතර, ලේඛිකා මංගලම්මාල් මාඝීලමනි, නල්ලම්මා සත්‍යාවාගිශ්වර අයියර්, මීනච්චි අම්මාල් නටේස අයියර් යන අය සාම්ප්‍රදායික හින්දු මතවාදවලට පහර දෙමින් ස්ත්‍රීන්ට ඡන්ද අයිතිය ලබාදීමට පෙරමුණ ගත්හ.

මංගලම්මාල් ස්ත්‍රීන්ට ඡන්ද අයිතිය පමණක් ‍නොව, ව්‍යවස්ථාදායක මණ්ඩලවලට, පළාත් ආණ්ඩු සභාවලට නියෝජිතයන් ලෙස පත්වීමට ද දිරි දුන්නාය.

“මැතිවරණවලදි ඡන්දය දීමට පමණක් නොව, පාලන මණ්ඩලවල මන්ත්‍රීවරුන්වීමට ද අපට පිරිමින්ට මෙන් සමාන අයිතිවාසිකම් ලැබිය යුතුය.” (Hindu organ 1927 ඔක්.) මීනච්චි නටේස අයියර් මහත්මිය රාමනාදන්ගේ අදහස් තියුණු ලෙස විවේචනය කළාය.

“ලංකාව ඉන්දියාවට වඩා දියුණු රටක් යැයි සැලකේ. එහෙත් ස්ත්‍රීන්ට ඡන්ද බලය නොදිය යුතු යැයි මේ මිනිසුන් කියන්නේ නම්, මෙරට දියුණු රටක් ලෙස සලකන්නේ කෙසේද? ස්ත්‍රීන්ගේ දායකත්වය නැතිව නිදහස දිනාගත් ලෝකයේ කිසිම රටක් නැත.”

දේශ භක්තින් (1928 අප්‍රි.)

එසේ ම නටේස අයියර් කාන්තා ඡන්ද සංගමයේ ධනපති ලීලාව විවේචනය කළාය.

“මේ සංගමයේ වාර්ෂික දායක මුදල රු. 50, සාමාන්‍ය අයෙකුට දැරිය නොහැක. පොහොසත් අය පමණක් මෙයට සහභාගි වීම ප්‍රමාණවත් නැත. ස්ත්‍රීන් ඡන්ද බලය ලබා ගැනීමේ සටනට සෑම තරාතිරමකම ස්ත්‍රීන් එක් විය යුතුය.”

දේශභක්තින් (1928 ජන.)

මේ අන්දමට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා වලින් ස්ත්‍රී ඡන්ද අයිතිය ලබාගැනීමේ සටන සහ ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රහාර අඛණ්ඩව වසර දහයකට ආසන්න කාලයක් ඇදී ගියේය.

කෙසේ හෝ 1927 දෙසැම්බර් 07 දා කොළඹ ග්‍රීන්පාර්ක් හි පිහිටි ගර්ල්ස් ෆ්‍රෙන්ඩ්ලි සොසයිට් ශාලාවේදී රැස් වුණ කොළඹ අගනාගරික ඉහළ පැලැන්තියේ රදල, ව්‍යාපාරික, උගත්, දේශපාලනඥ පවුල්වල සාමාජික යනාදි විවිධ සමාජ ස්ථරවල කාන්තාවෝ ‘කාන්තා ඡන්ද සමිතිය’ පිහිටුවා ගත්හ.

“ස්ත්‍රී ඡන්ද අයිතිය ගැන සාකච්ඡා කිරීම සඳහා ඊයේ G.F.S ශාලාවේදි ලාංකික ස්ත්‍රීන් කැඳවූ රැස්වීමට දිවයිනේ සියලුම ජන සමූහවල කාන්ත‍ාවෝ පැමිණ සිටියහ.” එහි වූයේ,

“ලංකාවේ ස්ත්‍රීහු සීමිත ඡන්ද බලයක් ඉල්ලා සිටිති. ආණ්ඩුවට සංදේශයක්. ඊයේ මහජන රැස්වීමක්.” යනුවෙනි. මෙහි විශේෂත්වය වූයේ කුලභේදය, ජාති, ආගම්, උඩ පහත භේදය හෝ නොසලකා සමාජයේ ඉහළ තට්ටුවේ සියලු නියෝජිත කතුන් මෙයට එක්වීමය.

ඒ බව එදා පත්වූ නිලධාරි මණ්ඩලයෙන් කදිමට නිරූපණය වේ. සභාපති ‍ෙඩ්සි බණ්ඩාරනායක ආර්යාව (එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන්ගේ මෑණියන්, මහමුදලිතුමාගේ බිරිය) උප සභාපතිවරු ඩබ්.ඒ. ද සිල්වා මහත්මිය සහ ඊ.ආර්. තම්බිමුත්තු මහත්මිය, භාණ්ඩාගාරික ඒ.සී.ජී. විජේකෝන් මිය, ලේකම්වරු වෛද්‍ය නල්ලම්මා සත්‍යාවාගීශ්වර අයියර් මිය සහ ජෝර්ජ් ඊ ද සිල්වා මිය. කමිටුව මේරි රත්නම් මිය, සී.එච්.ඇස් ප්‍රනාන්දු මිය, එස්.ඩබ්. ඉලංගකෝන් මිය, ඒ.ඊ. ගුණසිංහ මිය, සී.එච්. ජොලිෆේ මිය, කොපල්ස්ටන් ඩයස් බණ්ඩාරනායක මිය, ආර්. ශ්‍රීනියර් මිය, ලයනල් ද සිල්වා, වයලට් බාවා, අයි. ඩේවිඩ් මිය, එම්.ඒ. අරුලානන්දන් මිය, ආර්.එස්.එස්. ගුණවර්ධන මිය සහ ටී.එච්. මේදවනම් මහත්මියයි.

මෙහිදී මේරි රත්නම් මහත්මිය ද අවධාරණය කළේ ඡන්ද අයිතිය ලබා ගැනීමට සෑම ජන සමූහයකම ස්ත්‍රීන් එකමුතු වී ඇතැයි කියාය. “රටේ නීතිවලින් බොහෝමයක් ම ස්ත්‍රීන්ට හා ළමයින්ට අදාළ වන නිසා, ඒ සම්බන්ධව අදහස් දැක්වීමට ස්ත්‍රීන් ඉදිරිපත් වීම නිවැරදි” බව ද ඇය මෙහිදී පැවසුවාය. නමුත් රත්නම් මහත්මිය ද කියා සිටියේ “පළමුවෙන් ම ස්ත්‍රීන්ට ඡන්දය බලය දීමේදි වයස, දේපළ අයිතිය, අධ්‍යාපනය, වැටුප ආදි සුදුසුකම්වලට යටත්ව දිය යුතු” බවය. ඇය ද සර්ව කාන්තා ජන ඡන්ද අයිතියකට එකඟ වූයේ නැත. ඇයගේ යෝජනාව වූයේ,

* වයස අවුරුදු විසි පහට (25) වැඩි විය යුතුය.

* සාමාන්‍ය සාක්ෂරතාව සහිතව රුපියල් දසදහසකට නොඅඩු (රු. 10,000) වත්කම් තිබිය යුතුය.

* මාසයකට රුපියල් සීයකට (100) නො අඩු වැටුපක් ලැබීම.

* බ්‍රිතාන්‍ය උපාධිධාරින්, වෛද්‍ය, නීති උපාධිධාරින්, පළමු ශ්‍රේණියේ ගුරුවරියෝ

ඡන්ද අයිතිය ලැබීමට සුදුසු අය බවයි. එහෙත් කාන්තා ඡන්ද සංගමයේ සමහරු මෙයට විරුද්ධව, මෙම සුදුසුකම් තවත් පහළ දැමිය යුතු බවට යෝජනා කළහ. රත්නම් මහත්මිය මෙහිදි “ඡන්ද අයිතිය පමණක් නොව, ප ළාත් පාලන ආයතනවලට සහ ව්‍යවස්ථාදායක මණ්ඩලවලට පත්වීමේ අයිතිය ද දෙවනුව දිය යුතු බව” ට ප්‍රකාශකරත්දි විශාල අත‍්පොළසන් නාදයක් පැතිර ගිය බව 1927 දෙසැ. 07 Times of Ceylon පුවත්පත සඳහන් කර තිබිණි. මේ රැස්වීමේදී වෛද්‍ය අයියර් මහත්මිය ද ඇග්නස් ද සිල්වා මහත්මිය ද රාමනාදන් මහතාට දරුණු ලෙස ප්‍රහාර එල්ල කරමින් කථා කර ඇතැයි එම පුවත්පත වාර්තා කර ඇත.

මේ කාන්තා ඡන්ද සමිතිය පිහිටු වූ‍ෙය්ත්, ඊට මුල් වූයේත්, එය ජගහ්‍රණය දක්වා ඇදගෙන ගියෙත් එකල මෙරට සිටි රදල වංශවත්, ධනවත් සැමියන්ගේ සහ කම්කරු නායකයන්ගේ උගත් බිරින්දෑවරුන්ය. නැතිව එය කම්කරු පන්තියෙ කාන්තාවන්ගේ දේශපාලන සටන් ව්‍යාපාරයක් නොවූහ. මේ කාන්තා ඡන්ද අයිතියට පක්ෂව සේම විරුද්ධවද මේ කුලකවලම කාන්තාවෝ කථා කළහ. විශේෂයෙන් මෙහිදී විදේශීය හා බර්ගර් කතුන් විශාල වැඩකොටසක් කළහ.

කාන්තා ඡන්ද සමිතියේ සභාපතිනිය වූ ඩේසි බණ්ඩාරනායක මැතිනියට ඇයගේ පියාගෙන් ද සැමියාගෙන් ද ඒ සඳහා වන ප්‍රවේණි අයිතිය ලැබී තිබිණි. එසේම මෙහි බොහෝ දෙනෙකු ලංකා සභා හෝ ක්‍රිස්තියානු හෝ රෝමානු කතෝලිකයෝ වූහ. බෞද්ධ සහ හින්දු කතුන් සිටියේ ටික දෙනෙකි. එම නිසා බ්‍රිතාන්‍ය පාලකයන් ද මේ කාන්තා ඡන්ද සංගමය පිළිබඳ විරෝධයක් දැක්වූයේ නැත. විශේෂයෙන් මෙය පහළ කම්කරු පන්තියේ හෝ අධිරාජ්‍ය විරෝධි සටන් පාඨ පෙරටු කර නොගත් ව්‍යාපෘතියක් නිසා පාලකයන් ඊට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ දී තිබිණි. මේ කාන්තා ඡන්ද සමිතිය පිහිටුවන විට ඩොනමෝර් ප්‍රමුඛ කොමිසම මෙරටට පැමිණ සති දෙකකි. මේ සංගමය පිහිටුවීම පිළිබඳ පිටුපස සිටි දිරි ගන්වන බලවේගය වූයේ ඩොනමෝර් කොමිසමේ සාමාජිකයකු වූ ඩ්‍රමන්ඩ් ෆීල්ස් මහතා බව ආචාර්ය කමලා ලියනගේ මහත්මිය පෙන්වා දෙන්නීය. ඔහුගේ මඟ පෙන්වීම මත මේ සමිති නායිකාවෝ “ස්ත්‍රීන්ට ඡන්ද අයිතිය ඉල්ලීම පෙත්සමක් මඟින් ඩොනමෝර් කොමිසමට ඉදිරිපත් කළහ.”

ෆීල්ස් මහතා එංගලන්තයේ කම්කරු පක්ෂයේ අයෙක් විය. ඔහු එරට කාන්තාවන්ට ඡන්ද බලය ලබා ගැනීම සඳහා වූ සටනේ ඉදිරියෙන් ම සිටි පුරුෂයෙක් විය.

මේ යෝජනාව ‍ඩොනමෝර් කොමිසමට ඉදිරිපත් වූ අවස්ථාවේ ඊට විවෘතවම අඛණ්ඩව සහය පළ කළේ ඒ.ඊ. ගුණසිංහ මහතා පමණි. ඔහු ෆීල්ස් මහතාගෙ සමීපතමයෙක් ද විය. විශේෂයෙන් මේ කාන්තා ඡන්ද සමිතියේ නායිකා වන්ගේ සැමියන්, පුතුන් සිටි ලංකා ජාතික සංගමය සියලු කතුන්ට ඡන්ද අයිතිය දීම තරයේ ප්‍රතික්ෂේප කරමින් කොමිසම ඉදිරියේ කරුණු ඉදිරිපත් කළේය. එහෙත් (ඩේසි බණ්ඩාරනායක ආර්යාව එවකට රටේ නොසිටි නිසා) 1928 ජනවාරි 11 දා මෙම සංගමයේ නියෝජිත කතුන් කොමිසම ඉදිරියේ පෙනී සිට, තම අයිතිය වෙනුවෙන් උද්වේගකර ලෙස කරුණු දැක්වීම හා විරුද්ධ මතවලට පිළිතුරු දුන්නාහ.

ඔවුන්ගේ පෙත්සම සලකා බැලූ කොමිසම, විශේෂයෙන් ජෝර්ජ් ඊ. ද සිල්වාගේ මැදිහත්වීම මත මේ සමිතියට කොමිසම ඉදිරියට පැමිණීමට ආරාධනා කළේය. ඇග්නස් ද සිල්වා සහ නෙලී ගුණසේකර මෙම නියෝජිත පිරිසට නායකත්වය දුන්නාය. ඔවුන් ඉදිරිපත් කළ පෙත්සම මඟින් ඉල්ලා සිටියේ, පාසල් හැරයාමේ සහතික පත්‍ර විභාගයට සමාන සුදුසුකම් ඇති කතුන්ට ඡන්දය ලබාදීමේ අයිතියය. ඉන්දීය වතු කම්කරු ස්ත්‍රීන්ට ඡන්ද බලය දීමට පක්ෂ ද යනුවෙන් කොමිසම ප්‍රශ්න කළ අවස්ථාවේ ඔවුන් කියා සිටියේ “සත්තකින් ම ඔවුනුත් ගැහැනුය. අපට අවශ්‍ය වන්නේ සියලු ම ගැහැනුන්ට ඡන්ද බලය ලබා ගැනීමට” යනුවෙන් පිළිතුරු දුන් ජේන් රසල් පෙන්වා දෙන්නීය.

කෙසේ වුවද මෙරට අවුරුදු තිහට වැඩි සියලු පුරවැසි කතුන්ට ඡන්ද බලය දීමට ඩොනමෝර් කොමිසම තීරණය කළ විට “එය අපි කිසිසේත් නොසිතූ අන්දමේ ජයග්‍රහණයක්” බව එම කාන්තා ඡන්ද සමිතිය පවසා ඇත.

ඒ අනුව 1931 සිට මෙරට වයස අවුරුදු 21 ට වැඩි කතුන්ට ඡන්ද බලය ලැබිණි. බ්‍රිතාන්‍ය කතුන් දැඩි අරගල, සටන් මැදින් දිනා ගත් ඡන්ද බලය 1931 දි ලාංකේය කතුන් දිනා ගනිත්දි ප්‍රංස කතුන්ට ඒ වරප්‍රසාදය හිමි වූයේ 1945 දීය. ස්විට්සර්ලන්තය 1958 දී ද ජපානය 1947 දී එම වරම හිමි කර ගත්තේය. ආසියාවේ ඡන්ද බලය ප්‍රථම වරට භාවිතා කළේ ලංකාවේ කතුන්ය. යුරෝපීය නොවන රටක සර්ව ජන ඡන්ද බලය හිමි වූ පුරවැසියන් වූයේ ද ලාංකිකයෝය. ඩොනමෝර් කොමිසම මෙම කාන්තා ඡන්ද අයිතිය සහ සර්ව ජන ඡන්ද බලය ලබා දුන්නේ එවකට ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලිගෙ ද මෙරට ධනේශ්වර දේශපාලන නායකයන්ගේ ද බලවත් විරෝධය මැද බව අද ස්ත්‍රී ඡන්ද අයිතිය භුක්ති විඳින සියල්ලෝ දැන ගත යුතු වෙති.

උපුල් ජනක ජයසිංහ

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.