වස විස නැති ගොවිතැන අපට හොඳයි | සිළුමිණ

වස විස නැති ගොවිතැන අපට හොඳයි

* කුඹුරු වගා කරන්නේ රටට ආදර්ශයක් දෙන්නයි.
* අපි ගොයම රැක ගන්න විඳින්නේ පුදුමාකාර දුකක්.

එකල නම් පඹයකු නැති කුඹුරක් දකින්නට නොතිබුණ තරම්ය. දණ්ඩි පැටව් නැති ඇළක් දකින්නට නොතිබූ තරම්ය. පලා පෙත්තන්, බත් කූරන් කුඹුරු යායවල ඕනෑ තරම්ය, ඉඳහිට බතට පිසෙන දියහබරල, රතු දණ්ඩ සහිත මුගුණු වැන්නා වෙල් නියරවල ඕනෑ තරම්ය. අහෝ දැන් මේ කිසිවක් නැත. හේතුව කුඹුරුවලට කෘෂි රසායන තෙල්පොහොර ඉසීමය. මේවායේ ඇති වස විස සහල්වලට එකතු වන්නා‍ සේම ඒවා ජලය සමඟ පොළොවට ද එක් වන්නේය. දිර්ඝ කාලීනව සිදු වූ මේ ක්‍රියාවලිය නිසා එහි අවසන් ප්‍රතිඵලය වූයේ වකුගඩු රෝගය බහුල වීමය. සරුසාර අස්වැන්නක් නොව වසවිස නැති ආහාර වේලකට මඟ සැකසීමේ මුලික පියවර නම් යළිත් කාබනික පොහොර භාවිතයට සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයට ගොවියා හුරුකරවීමය. දැන් දැන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන කාබනික පොහොර භාවිතාකර කරනු ලබන වී‍ ගොවිතැන හා ගොවියන් ඊ‍ට මුහුණ දෙන ආකාරය සොයා බැලීමට පසු ගිය දිනෙක අපි එහි ගියෙමු.

“අපි කෘෂිකාර්මික රටක්. සහලින් ස්වයංපෝෂිතයි.” අපි අතීතයේ දී එලෙසින් උදම් ඇනුවෙමු. මඩසෝදාගත් කල ගොවියා ද රජකමට සුදුසුයි. ඒතරමටම අතීතයේ පටන් ගොවියාට සිංහල සමාජය තුළ හොඳ ඇඟයීමක් තිබිණි. නමුදු අද එලෙස නැත. සියල්ල වෙනස් වී ඇත. සාම්ප්‍රදායික ගොවිකර්මාන්තය බිඳ වැටි ඇත. එකල මේ සියල්ල කෙරුණේ මිනිස් ශ්‍රමයෙනි. කෙම් පහන් ක්‍රම, මෙන්ම කෘත්‍රීම රසායනික පොහොර භාවිතයෙන් එකල ගොවියා හුරු වී තිබිණි. නමුදු දැන් තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් මෙන්ම පහසුවද මුල් කරගෙන අද ගොවියා තෙල් පොහොර භාවිතයට හුරු වී සිටින්නේය. කුඹුර මඩ කිරීමේ සිට ගොයම් කරල් පිදී පැසෙන තුරුම කෘෂි රසායනික පොහොරවල සහාය පැතිමට දැන් ගොවි මහත්වරුන්ට සිදුව ඇත්තේය. දශක ගණනාවක් තිස්සේ සිදු වූ මෙම ක්‍රියාවලියේ අයහපත් ප්‍රතිඵල අද වන විට ජනතාව භුක්ති විඳිති. රජරට මෙන්ම අනෙකුත් ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගය එහි එක් ප්‍රතිඵලයකි. මේ වකුගඩු රෝගය වළක්වාලීමේ එක් පියවරක් ලෙස වසවිස නැති වී ගොවිතැන කිරීමට දැන් ගොවි ජනතාව පෙලඹී සිටින්නේය.

රාජ්‍ය අනුග්‍රහය , රජයේ මැදිහත්වීම ඇතිව දියත් කෙරෙන මෙම ව්‍යාපෘතිය දැන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ බොහෝ ගම්මානවල ආරම්භ වී ඇත්තේය. ‘වස විස නැති වී ගොවිතැනට’ ගොවි මහත්වරු දක්වන‍්නේ කෙබඳු ප්‍රතිචාරයක් ද යන්න සොයා බැලීමට ඉකුත් දිනෙක අපි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වී‍ ගොවිතැනෙහි නියැළෙන ගොවියන් සොයා ගියෙමු. ඒ ගිය ගමනේදී අපට මුලින්ම හමුවුයේ සෙට්ටුකාඩු හි වරාකැලේ කුඹුරු යායේ එක් බිමක තම ලියැද්දේ පැළ සකසමින් සිටි දයාරත්න අමරසිංහ ගොවි මහතාය. ඔහු විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපති වරයෙකි.

“දැන් මගේ වයස අවුරුදු හැට අටයි. මම 1975 ඉඳලා කුඹුරු කරන්නේ. අපි මුල් කාලේ ඉඳලම පොහොර වලට හුරු වෙලා හිටියේ. කෘෂි රසායනික පොහොර භාවිත නොකර ගොවිතැන් කරන එක බොහෝම කරදර වැඩක් . මම කුඹුරු කරන්නේ ආත්ම තෘප්තියට. මේ කුඹුරු 2010 අවුරුද්ද වනතුරුම බදු දීලා ති‍බුණේ.

නමුත් විශ්‍රාම ගියාට පස්සේ මම යළිත් කුඹුරු කරන්න ගත්තා. ගියවරත් මම තෙල් පොහෙ‍ාර භාවිතයෙන් තොරව කුඹුරු කළේ. මුළු කන්නයටම ගියේ රුපියල් 4200 ක් පමණයි. සුවඳැල්,කළු හීනටි , රත් ඇල් ආදිය තමයි වගා කළේ. මෙවර මම කුරුලු තුඩ වැපිරුවේ.”

ඔහු පවසන්නට වූයේ පැළ ගොයම අතර තණ කොළ සැදිම වැළැක්වීම සඳහා වීඩර් යන්ත්‍රයක් එහා මෙහා ගෙන යමිනි. ඔහුගේ සහායට ඒවන විටත් සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයෝ පැමිණ සිටියහ.

දැන් “ජාතික වස විස නැති රටක්” යහපත් සංකල්පය ක්‍රියාත්මක කැරෙන්නේය. මෙම ව්‍යාපෘති‍ෙය් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ ප්‍රියන්ත පතිරණ මහතාය. සෙමා ආයතනය සමඟ එක්ව කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවි ගම්මාන දෙසිය තිස්පහක් තෝ‍රාගෙන ඇත්තේය. හැම ගොවියෙක්ම නුණද මෙම ගම්මානවල බොහෝ ගොවියෝ දැන් වස විස නැති ගොවිතැනකට මුල පුරා සිටිති. අහස් දියෙන් මෙන්ම වැව් දියෙන් ගොවිතැන් කරන ගොවියන්ට එක්තරා අන්දමකින් බැලූ විට පොහොර භාවිතා නොකර ගොවිතැන් කිරීම අභියෝගයකි. සමස්තයක් වූ ගොවි ජනතාව නොවුද අද වන විට සැලකිය යුතු පිරිසක් වසවිෂ නැති කාබනික පොහොර භාවිතාකර වී ගොවිතැන් කිරිමට පටන්ගෙන ඇත්තේය.

අයි.ජී. ධනපාල අපට හමුවුයේ පේරමඩු ගමේදි ඔහු පේරමඩු ගොවි සංවිධානයේ සභාපති ලෙස ද කටයුතු කරන්නේය.

කන්තලේ සිට පේරමඩුව ගම්මානයට බොහෝ දුරය. මෙම ‍ගමේ පවුල් දෙසිය තිස්පහක් පමණ ජීවත්වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වී ගොවිතැන් කරති.

“අපි කාලයක් තිස්සේ තෙල් පොහොරවලට පුරුදු වුණ අය. ගමේ අය බයයි සම්පුර්ණයෙන්ම කාබනික පොහොරවලට හුරු වෙන්න. පළමුවෙනි කන්නය ලාබයක් නැහැ. ගොයම පැළ කාලෙම තණ කොළ වැවුණා. ඒකට හේතුව වු‍ෙණ් හරියට ‘වීඩර්’කරන්න බැරි වුණා. වීඩර් කළාම තණකොළ මැරිලා ගොයම හොඳට පඳුරු දාලා වැඩෙනවා. කාබනික පොහොර දැම්මට රසායනික පොහොර වගේ ඉක්මන් ප්‍රතිඵල නැහැ. කන්න දෙක තුනක් කළාට පස්සේ තමයි කුඹුර සාර්ථක වෙන්නේ. මේ පාර මම මට ලැබෙන උපදෙස් පරිදිම වගාව කරනවා. ගිය වසර වල අස්වැන්න අඩුවුණා. අපේ කුඹුරුවලට ජලය ලැබෙන්නේ පේරුමඩු වැවෙන්. අපි මේ වගාව රැකගන්න පුදුමාකාර දුකක් විඳිනවා. අලි ගම් වඳිනවා. කුඹුරු විනාශ කරනවා . ඒ මදිවට වඳුරන්ගෙන් හා මොනරු‍න්ගෙන් පුදුමාකාර කරදරයක් තියෙන්නේ. අලි වැට ගහලා තිබුණට අලි ගම් වදින්නේ විදුලි වැට කඩාගෙන ඇවිල්ලා”ධනපාල මාමා පවසන්නේ කනගාටුවෙනි.

පේරුමඩුව, කන්තලේ, ගෝමරන්කඩවල මෙන්ම ඈත පි‍ටිසර ගම්මානවල ගැමියෝ වන අලි උවදුරෙන් බොහෝ පීඩා විදිති. විවිධාකාර රෝග අතර මේ ප්‍රදේශයේ ජනතාව වැඩිපුරම ගොදුරු වී ඇත්තේ වකුගඩු රෝගයටය. එය තුරන් කිරීමේ අරමුණින් කාබනික පොහොර භාවිත කර වී ගොවිතැන කරගෙන යෑමේ ව්‍යාපෘතියට දැන් බොහෝ දෙනෙක් සහාය පළ කරති. ඇතැම්හු අලියන්ගෙන් කුඹුරු ආරක්ෂාකර ගැනීම සඳහා කුලියට පැල් රකින්නන් ගේ සහාය ලබා ගනිති. ඒ සඳහා පැල් රකින්නාට මාසිකව රුපියල් 15000 ක් වැටුප ලෙස ගෙවන්නේය. දිනපතා මේ ගම්මානවල‍ ඇත්තෝ මොනරුන්ගේ පීඩාවට ලක් වන්නාහ.

“අපි වනජීවි එකට කිව්වට වැඩක් නැහැ. හැමදාම පැල් රැකලා එක දවසක් පැලට යන්න බැරි වුණොත් එදාටම අලි ඇවිල්ල කුඹුරු වනසලා යනවා.”

ගැමියකු පවසන්නේ කැලේ දෙවියන්ගේ පිහිට අයදිමිනි.

එක යායට විහිදුණු වෙල් යායේ ඇතැම් ලියැදි මඩකර ඇත්තේය. තවත් ලියැද්දක පැළ ගොයමය. තවත් ලියැද්දක වතුර බැඳ ඇත්තේය. ඇතැම්හු ස්ව කැමැත්තෙන්ම කාබනික පොහොර භාවිතයට පෙලැඹි සිටිති. ඩබ්ලිව්. ධර්මදාස මහතා ද එවැන්නෙකි. ඔහු දැන් අසු හැවිරිදි වියේ පසුවන්නේය. ඔහු ඒ හැන්දෑවේ අපට හමුවුයේ පා පැදියෙන් තම කුඹුර වෙත යමින් සිටියදීය.

“මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. මට දරුවෝ එකොළහක් ඉන්නවා අද වෙනකොට නම් කවුරුවත් ගෙදර නැහැ. අපිව කාබනික පොහොර යොදා ගොවිතැන් කිරීම ගැන දැනුවත් කිරීම් කළා පහුගිය කාලේ ගමේ අයනම් කිව්වේ එයාලට තෙල් පොහොර නොගහා ගොවිතැන් කරන්න බැහැ කියලා. නමුත් දැන් මේ ලෙඩ රෝග පැතිරිගෙන යන හැටියට මේවට විසඳුම් හොයන්න ඕනනේ. මේ පැතිවල අය වතුර බොන්නේ සල්ලිවලට ගෙනැල්ලා. වකුගඩු රෝගය බහුලව තියෙනවා. මම ගමේ අයට කිව්වා මම කාබනික පොහොර යොදලා වගාකරනවා. හරි ගියොත් මාව ආදර්ශයට ගන්න කියලා. හැමදාම උදේට මම කුඹුර‍ට යනවා. මේ පාර බිත්තර වී මිටි 6 ක් වැපුරුවා. සිවිල් ආරක්ෂක බළකායේ දරුවෝ තමයි මගෙ කුඹුරේ වැඩ කරන්නේ. මං මේ ළමයින්ට අවශ්‍ය හැමදේම දෙනවා. දැන් කුඹුරේ පැළ ගොයම තියෙන්නේ. දැක්කම හිතට පුදුම සතුටක් ලැබෙනවා. ඉස්සර අපි හරකුන්ගෙන් කුඹුරු වැඩ කළේ. දැන් හැමදේටම තියෙන්නේ යන්ත්‍ර සුත්‍ර. මොනවා වුණත් මුල්කාලේ අස්වැන්න අඩු වුණත් මේ ක්‍රමයට මම කැමතියි.”

ඔහු පවසන්නට වූයේ නියර දිගේ තම කුඹුරු යායට යමින් ගමන්ය.

දැන් දැන් වසවිස නැති සහල් වලට වෙළෙඳ පොළේ හොඳ ඉල්ලුමක් ඇත්තේය. නමුදු ඊට සරිලන තරම් වී නිෂ්පාදනය නොවීම දැන් ඇති ලොකුම ගැටලුවයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ඇතැම් අවුරුදුවල එක දිගට පායන්නේය. එවිට නියඟය. වැව් සිඳී යන්නේය. එවන් විටෙක වී වගා කිරීම අසිරුය. ඇතැම් විට කුඹුරු ගොවිතැන් කරන්න සිදුවන්නේ වැව් දියෙනි. නමුදු දැන් ක්‍රමයෙන් නොයෙක් බාධක අසිරුතා තිබුණද ගොවියෝ වස විසෙන් තොර ගොවිතැන සඳහා යොමුව සිටින්නාහ.

යහපත් ලෙස සිදුවී ඇති මේ ප්‍රවණතාව වඩාත් පුළුල් කරවීම ජනාධිපති කාර්යාලය හරහා අදාළ ප්‍රදේශිය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරින් මෙන්ම සිවිල් ආරක්ෂක බළකාය එක්ව ගොවියන්ද සහභාගි කරගෙන සිදුවන්නකි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ බොහෝ වැව් පිළිසකර කර ඇත්තේය. වස විෂ සහිත තෙල් පොහොර යොදන විට කුඹුරුවල ඇළවල පුංචි පුංචි මාළු පැටව් දකින්නට නැත. කෘමි සතුන් නැත. අඩුම තරමේ ‍කොකෙක්වත් දකින්න‍ට නැත. නමුදු පේරුමඩු, ගෝමරන්කඩවල, කන්තලේ ප්‍රධාන කොටගත් අවට ගම්මානවල දැනට කාබනික පොහොර භාවිතා කරන කුඹුරුවල දැන් දැන් කොකුන් රැන මෙන්ම විවිධ කුරුල්ලන් ද වතුර පිරුණු ලියැදිවල, ඇළ පාරවල දණ්ඩියන්ද සිටිනු දැකිය හැකිය.

ගම්මාන පුරා ඇවිදිමින් තොරතුරු සෙවු අපට කේ. කුසුමාවති හා ඇගේ සැමියා හමු වූයේ කුඹුරු වැඩ කර ආපසු නිවෙසට යන අතරේය.

“මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒ තුන්දෙනාම පාසල් යනවා. ආදායම නම් අඩුයි මේ විදි‍හට ගොවිතැන් කළාම. ඒත් ඉතිං වකුගඩු රෝග හදාගන්නවාට වඩා බයක් සැකක් නැතිව බත් කටක් කන එක වටිනවා.,, ඒ ගැමියන්ගේ මතයයි. සැබැවින්ම රටපුරා ගොවියෝ මේ ක්‍රමයට හුරුවේ නම් රටේ නව පෙරළියක් ඇතිවනු ඇතිය. ජනතාව තුළ ඇති කළ යුතව ඇත්තේ ආකල්පමය වෙනසයි. එවිට රටක සංවර්ධනය අසිරු වන්නේ නැත. දේශියත්වයට නිසි තැන ලැබෙනු ඇත. වස විස නැති රටක් බිහිවනු ඇත.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.