ඇල්ෆා ගෝ සීරෝ මිනිසාට අභියෝගයක්ද? ආශිර්වාදයක්ද? | සිළුමිණ

ඇල්ෆා ගෝ සීරෝ මිනිසාට අභියෝගයක්ද? ආශිර්වාදයක්ද?

 ඇල්ෆා ගෝ සීරෝ නමින් පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කෙරී ඇති බවත්, මේ මෘදුකාංගයට මිනිසුන් පැරදවිය හැකි බවත් පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තාවල සඳහන් විය. මේ ප්‍රවෘත්තිය වඩාත් ආන්දෝලනාත්මක තැනකට ළඟා වූයේ මිනිසකු මෙන් සිතන්නට හැකියාවක් මේ මෘදුකාංගයට තිබේද යන ගැටලුව මතුවීමත් සමඟයි. මිනිසකු මෙන් සිතන්නට හැකි පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කෙරිණි නම්, එය මිනිසාට අභියෝගයක් වනවාට කිසිදු සැකයක් නැත. ඇල්ෆා ගෝ සීරෝ යනු මිනිසාට අභියෝගයක් වන එවැනි පරිගණක මෘදුකාංගයක්ද?

ඒ ගැන කතා කරන්නට පළමුව 'ගෝ' ක්‍රීඩාව ගැනත්, ඇල්ෆා ගෝ පරිගණක මෘදුකාංගය ගැනත් සඳහන් කර ප්‍රවේශයක් ලබාගන්නට සිදුවේ. ඒ අනෙකක් නිසා නොව යට කී ඇල්ෆා ගෝ සීරෝ පරිගණක මෘදුකාංගය, ගෝ ක්‍රීඩාව සඳහාම නිර්මාණය කර ඇති එකක් බැවිනි; එමෙන්ම එහි හැකියාවන් ඇල්ෆා ගෝ පරිගණක මෘදුකාංගයේ හැකියාවන් ද ඉක්මවා යන බැවිනි.

පුවරුවක් මත කරන ක්‍රීඩා කිහිපයක්ම අප අතර ඇත. ඒ අතර 'ගෝ' යනුවෙන් හැඳින්වෙන ක්‍රීඩාවක් ද තිබේ. ඔබ ගෝ ක්‍රීඩාව ගැන සමහරවිට නොදන්නවා වන්නට පුළුවන. ඒ එය, අපේ රටේ දක්නට නොලැබෙන බැවිනි. එසේ වුවත් එය වසර 2500ක් තරම් පැරණි ක්‍රීඩාවකි. එහි නිජබිම චීනයයි. ගෝ ක්‍රීඩාවේ යෙදෙන්නේ චෙස් ක්‍රීඩාවේ යෙදෙනවාක් මෙනි. එය, වරකට ක්‍රීඩකයන් දෙදෙනකු, පුවරුවක් මත සුදු, කළු ඉත්තන් පිළිගත් නීතිවලට අනුව එහා මෙහා කරමින් කරන ක්‍රීඩාවකි. එසේ වුවත් ගෝ ක්‍රීඩාව චෙස් ක්‍රීඩාවට වඩා බෙහෙවින්ම සංකීර්ණ බව කියැවේ. පැරණි වුවද එතරම් සංකීර්ණ වුවද අදටත් ගෝ ක්‍රීඩාවේ නියැළෙන ක්‍රීඩකයෝ විශාල පිරිසක් ලෝකය පුරා විසිරී සිටිති. ගෝ ක්‍රීඩකයන් ගැන 2008 වසරේදී සොයා බැලීමක් කරන ලදී. එහිදී අනාවරණය වූයේ මිලියන 40කට අධික පිරිසක් අදටත් ගෝ ක්‍රීඩාවෙහි නියැළෙන බවකි. එයින් බහුතරයක් පිරිස වෙසෙන්නේ නැඟෙනහිර ආසියාවේය. අන්තර්ජාතික ගෝ ක්‍රීඩා සංගමයක්ද මේ වනවිට ක්‍රියාත්මක වේ. රටවල් 75ක් පමණ එහි සාමාජිකත්වය දරයි. ගෝ ක්‍රීඩාව ගැන කතා කළ අපට දැන් ප්‍රවිෂ්ට වන්නට සිදුවන්නේ ඇල්ෆා ගෝ නමැති පරිගණක මෘදුකාංගය වෙතය.

ඇල්ෆා ගෝ පරිගණක මෘදුකාංගයත් ගෝ ක්‍රීඩාවත් අතර අපූරු සහසම්බන්ධයක් තිබේ. එය ගෝ ක්‍රීඩාවේ නියැළෙන අතිදක්ෂ ක්‍රීඩකයන් අභිබවා යන්නට හැකි සමත්කමක් ඇල්ෆා ගෝ මෘදුකාංගයට තිබීම මිස අනෙකක් නොවේ.

දක්ෂතම ගෝ ක්‍රීඩකයන් සමඟ කරට කර සිටින්නට හැකි පරිගණක මෘදුකාංගයක් ප්‍රථම වරට නිර්මාණය කෙරුණේ මෙයට වසර කිහිපයකට පළමුවය. එය ඉහත කී ඇල්ෆා ගෝ පරිගණක මෘදුකාංගයයි. එම මෘදුකාංගය වර්ධනය කළේ එක්සත් රාජධානියේ ඩීප්මයින්ඩ් තාක්ෂණික සමාගම බව සඳහන් වේ. එවක නිර්මාණය කෙරුණු මෘදුකාංගය 2015 වසරේ ඔක්තෝම්බර් මාසයේදී වාර්තාවක් තැබුවේය. ඒ, වෘත්තීය මට්ටමේ ගෝ ක්‍රීඩකයකු පරාජයට පත්කරමිනි. ඉන්පසු මේ ඇල්ෆා ගෝ පරිගණක මෘදුකාංගය ලෝ වැසි සියලුදෙනාගේම අවධානයට ලක් වූයේ 2016 වසරේ මාර්තු මාසයේදී යැයි කිවහොත් වඩාත් නිවැරදිය. ඒ, ලී සෙඩෝල් නැමැති ගෝ ක්‍රීඩකයා සමඟ හරි හරියට ක්‍රීඩා කර ඔහුව පරාජයට පත් කිරීමෙනි. තරග වට 5කින් සමන්විත වූ මේ තරගාවලියේ පළමු තරග තුනම දිනන්නට සමත් වූයේ ඇල්ෆා ගෝ මෘදුකාංගයයි. 4 වැනි තරගයේදී මෘදුකාංගය ලීට පරාජය විය. එසේ වුවත් 5 වැනි තරගය ජය ගන්නට යළිත් සමත් වූයේ ඇල්ෆා ගෝ මෘදුකාංගයයි. මිනිස් - පරිගණක මෘදුකාංග ගෝ තරගාවලිය 2016 වසරේ මාර්තු 9,10,12,13, සහ 15 යන දින පහ පුරා පැවැත්වුණේ දකුණු කොරියාවේ සියෝල් අගනුවර ෆෝ සීසන්ස් හෝටලයේදීය. මේ තරග සියල්ලක්ම සජීව රූපවාහිනී විකාශ මගින් ප්‍රේක්ෂකයන්ට දැක බලාගන්නට සලස්වා තිබිණ. එදා පැවති තරගවලදී ඇල්ෆා ගෝ මෘදුකාංගයට ගෝ පුවරුව මත තරග ආරම්භය ලබාදුන්නේ ඩීප්මයින්ඩ් සමාගමේ සාමාජික, ආධුනික ගෝ ක්‍රීඩක අජා හුවැංග් බව වාර්තාවල දැක්වේ. අජා තායිවාන ජාතික පරිගණක විද්‍යාඥයෙකි. හෙතෙම, කෘත්‍රිම බුද්ධිය සහිත උපකරණ නිර්මාණය කිරීමෙහිලා හසල දැනුමක් ඇති විද්වතකු සේ සැලකේ.

ඇල්ෆා ගෝ පරිගණක මෘදුකාංගය සමඟ තරග වැද පරාජයට පත් ලී සෙඩෝල් ගැනත් විශේෂයෙන් මතක් කළ යුතුව ඇත. අන්තර්ජාතික ගෝ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව දෙවැනි ස්ථානයේ පසුවන්නේ ලී සෙඩෝල් බව ඇතැම් වාර්තාවල සඳහන් වේ. තවත් සමහර වාර්තාවන්ට අනුව ලී සෙඩෝල් ලොව සිව් වැනි ස්ථානයේ පසුවන ගෝ ක්‍රීඩකයාය. ලී සෙඩෝල්ගේ ස්ථානය ගැන මෙවැනි අස්ථාවර ප්‍රකාශයන් මතුවන්නේ, ගෝ ක්‍රීඩාවට ස්ථිර ශ්‍රේණිගත කිරීමක් මේ වනවිටත් නොතිබීම හේතුවෙනි. එසේ වුවත් දකුණු කොරියා ජාතික ලී සෙඩෝල්, ගෝ ක්‍රීඩාවෙන් ඉහළම සමත්කම් පා වෘත්තීය මට්ටමට ළඟා වුණු ක්‍රීඩකයෙකි. ඇල්ෆාගෝ මෘදුකාංගය සමඟ තමන් සටන අරඹන්නේ දැඩි ආත්ම විශ්වාසයකින් බව ලී සෙඩෝල් තරගාවලිය ආරම්භ කරන්නට පළමුව මාධ්‍යයට පවසා තිබිණ. එසේ වුවත් තරගාවලිය අවසානයේදී ඔහු කෙරෙන් පළ වූයේ සංවේගයකි.

“... මම, ලී සෙඩෝල් මේ මෘදුකාංගයට පැරදුනා තමයි. නමුත් මුළු මනුෂ්‍ය සංහතියම ඊට පැරදුනේ නැහැ. ...” යැයි හෙතෙම අවසානයේදී පවසා තිබිණ.

අතිදක්ෂ ගෝ ක්‍රීඩක ලී සෙඩෝල් එසේ පරාජය කර දැමුවේ ඇල්ෆා ගෝ පරිගණක මෘදුකාංගයයි. අප දැන් කතා කරන්නට යන්නේ ඒ ඇල්ෆාගෝ මෘදුකාංගයට වඩා අදියර රාශියකින් වැඩි දියුණු කර ඇති ඇල්ෆා ගෝ සීරෝ පරිගණක මෘදුකාංගය ගැනයි. ඇල්ෆා ගෝ සීරෝ පරිගණක මෘදුකාංගය නිර්මාණය කළ බව ඩීප්මයින්ඩ් සමාගම ප්‍රකාශයට පත් කළේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී 'නේචර්' ජර්නලයෙහි ලිපියක් පළ කරමිනි. සමාගම පවසන අන්දමට මෙයට පෙර භාවිත කෙරුණු ඇල්ෆා ගෝ පරිගණක මෘදුකාංග මාදිලියට වඩා, ඇල්ෆා ගෝ සීරෝ පරිගණක මෘදුකාංග මාදිලිය බෙහෙවින්ම ප්‍රබලය. මේ ප්‍රබලකම කෙතෙක්දැයි කිවහොත්, අතිදක්ෂ ලී සෙඩෝල් සමඟ දින තුනක් තුළ තරග 100කට ක්‍රීඩා කර 100 – 0ක් වශයෙන් ජයග්‍රහණය කරන්නට ඇල්ෆා ගෝ සීරෝ මෘදුකාංගයට හැකියාව ඇත. වසර දහස් ගණනක් පුරා මිනිසා අත්පත් කරගත් දැනුම හරහා ගොඩ නැඟුණු ගෝ ක්‍රීඩාවේ සියලු මූලධර්ම දින 40ක් වැනි කාලයක් තුළ ප්‍රයෝජනයට ගන්නටත් මේ මෘදුකාංගයට පුළුවන. එමෙන්ම ගෝ ක්‍රීඩාවේ යෙදෙන්නේ කෙසේදැයි කෙනෙකුට ඉගැන්වීම සඳහාත් ඊට හැකියාව තිබේ. ඊටත් වඩා පුදුමය තවත් කිසිවකු නැතිව වුවද ගෝ ක්‍රීඩාවේ යෙදෙන්නට මේ මෘදුකාංගය සමත්කම් පෑමයි. ගෝ ක්‍රීඩාවට ආවේණික හැකියාවන් රාශියක් කැටිකර වර්ධනය කෙරුණු ඇල්ෆාගෝ සීරෝ මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වයට, මිනිස් දැනුම, දත්ත මෙන්ම මිනිසුන්ගේ මැදිහත්වීම අවශ්‍ය නොවන බව ඩීප්මයින්ඩ් තාක්ෂණ සමාගමේ නිර්මාතෘ ඩෙමිස් හිසාබිස් පවසයි. එපමණ වැඩගොඩක් කරන්නට මෘදුකාංගය හැඩගස්වාගෙන තිබෙන්නේ ගණිතමය ඥානය පදනම් කරගෙන බවත් සඳහන් වේ.

කෙසේ වුවද මේ මෘදුකාංගය දැනට මිල කර තිබෙන්නේ ඉතාමත් ඉහළ අගයකටය. මිල ඉහළ යන්නට හේතුවක් වී තිබෙන්නේ මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වයටම සරිලන දෘඩාංගද අවශ්‍යය වීම හේතුවෙනි. ඒ අනුව එක් ඇල්ෆා ගෝ සීරෝ දෘඩාංග කට්ටලයක වත්මන් මිල අමෙරිකා ඩොලර් මිලියන 25කට ආසන්න බව සඳහන් වේ. මේ නිසා ඇල්ෆා ගෝ සීරෝ දෘඩාංග කට්ටලයක් මිලදී ගැනීම ගැන සාමන්‍යය කෙනෙකුට සිතන්නටවත් බැරි තරම්ය.

ඇල්ෆා ගෝ සීරෝ මෘදුකාංගය කෘත්‍රිම බුද්ධි නිර්මාණයෙහි සහ භාවිතයෙහි විශාල ඉදිරි පියවරකැයි බොහෝ පරිගණක විද්‍යාඥයෝ පෙන්වා දෙති. ලෝකය පුරා ඇති ගෝ ක්‍රීඩා සංගම්වල බලධාරීහුද නව ඇල්ෆාගෝ මෘදුකාංග මාදිලිය නිසා උදාමයට පත්ව සිටිති.

“... ඇල්ෆා ගෝ සීරෝ කියන්නේ ගෝ ක්‍රීඩාවේ නියැලෙන ප්‍රජාවට ලැබුණු අගනා දෙයක් පමණක් නොව කෘත්‍රිම බුද්ධි පිළිබඳ පර්යේෂණවල යෝධ පිම්මක් හැටියට හඳුන්වන්නටත් පුළුවන්...” යනුවෙන් බ්‍රිතාන්‍යය ගෝ සංගමයේ සභාපති රොජර් හියුෂි පවසයි.

කෘත්‍රිම බුද්ධි වර්ධනය හරහා ඇල්ෆා ගෝ තුළින් අත්පත් කරගත් දැනුම් සම්භාරය ඩීප්මයින්ඩ් තාක්ෂණ සමාගම මීළඟට ආයෝජනය කරන්නට සැරසෙන්නේ සෞඛ්‍යය ක්ෂේත්‍රයෙහිය. ඩෙමිස් හිසාබිස් පවසන්නේ ඇල්ෂයිමර් වැනි විශාල සෞඛ්‍යය ගැටලුවලින් පීඩාවට පත් ජනතාවට ප්‍රතිකාර කිරීම සඳහා මේ අන්දමේ මෘදුකාංග භාවිත කරන්නට හැකිද යන්න සම්බන්ධයෙන් අද වනවිට සොයා බැලීම් කෙරෙන බවකි. විශේෂයෙන්ම ප්‍රෝටීන නැවුමෙහි පවත්නා ගැටලු නිසා මතුවන රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කරන්නට මෙවැනි මෘදුකාංග ප්‍රයෝජනවත් වන බවට මතයක් ඇති වී තිබේ. එවැනි රෝග අතර පාර්කින්සන්, ඇල්ෂයිමර් වැනි රෝග ඇත. මයික්‍රොසොෆ්ට් පරිගණක සමාගමත් 2016 වසරේදී මෙයට සමානම ප්‍රකාශයක් කළේය. එයින් කියැවුණේ පරිගණක තාක්ෂණය භාවිතයට ගෙන වසර 10ක් වැනි කාලයක් තුළදී පිළිකාවක් නසන්නට හැකි බවයි. මේ කියුම් සහ කෙරුම් අනුව ඇල්ෆා ගෝ සීරෝ, මිනිසුන්ව සුවපත් කරන පරිගණක තාක්ෂණයක් ප්‍රරෝහණය වීම සඳහා බීජය වන්නට බොහෝ දුරට ඉඩ ඇත.

මංජුලා විජයරත්න

Comments