පසුගියදා පෑයූ සුපිරි සඳ ඇත්තටම සුපිරි ද? | සිළුමිණ

පසුගියදා පෑයූ සුපිරි සඳ ඇත්තටම සුපිරි ද?

 නව වසර ආරම්භයේ සතුටත් සමඟ අපට තවත් පුවතක් අහන්නට ලැබුණා. ඒ, ජනවාරි දෙවැනිදා සුපිරි සඳක් දකින්නට ලැබෙන බවයි. ‘නව සඳ’ වැනි වචන ජ්‍යෝතිෂයයේ අසන්නට ලැබුණත් මේ සුපිරි සඳ කියන වචනය නූතන විද්‍යාව අනුව සකසන ලද වචනයක්. තාරකා විද්‍යාවේ මේ සඳහා භාවිත වන්නේ උපභූමික විසංයුතිය (perigee syzygy) යන්න වන අතර මින් අදහස් වන්නේ හිරු-පෘථිවිය-චන්ද්‍රයා යන ත්‍රිත්වය අඩංගු පද්ධතියට අදාළ අවස්ථාවක්. එම ‘සුපිරි සඳ’ යන අවස්ථාවේදී සිදු වන්නේ සඳ පෘථිවියට ආසන්න වීමයි. පෘථිවිය වටා සඳ කක්ෂගතව තිබෙන්නේ සෑම ස්ථානයකින්ම සමාන කක්ෂයක නොවන අතර එය ඉලිප්සාකාර, එක් තැනකින් පෘථිවියට ආසන්නව සහ අනිත් කෙළවරින් පෘථිවියට ඉතා ඈතින් පවතිනවා. සඳ තම කක්ෂයේ මෙන්න මේ පෘථිවියට ආසන්න කෙළවරට පැමිණි විට පෘථිවියට එය වෙනදාට වඩා මඳක් විශාලව පෙනෙන අතර, චන්ද්‍රයා එම ස්ථානයට පැමිණීම සුපිරි සඳ ලෙස අරුත් ගැන්වෙනවා. මේ සංසිද්ධියේදී පෘථිවියට ආසන්න වන නිසා විශාලත්වය සාපේක්ෂව වැඩිව දකින්නට ලැබෙන අතර එය කාටූන්වල හෝ සකසන ලද චිත්‍රවල ඇති තරම් සුවිසල් එකක්වත්, අතිදීප්ත එකක්වත් නොවෙයි.

සඳේ බලපෑම නිසා වසරේ අනිකුත් දිනවලදී වඩදිය, බාදිය තත්ත්ව ඇති වෙනවා. මේ නිසා වඩදිය ඇතිවන කාලයේදී ධීවරයන් මුහුදු යෑමෙන් පවා වැළකී සිටිනවා. මෙය පදනම් කරගෙන සමාජයේ තිබෙන තවත් මතයක් තමයි සුපිරි සඳ ආසන්න වන විට භූ චලන, සුනාමි තත්ත්ව සහ ගිනිකඳු පුපුරා යෑම් ඇති වන බව. පසුගිය දෙසැම්බරයේ අතින් අත ගිය වට්ස්ඇප් පණිවුඩයක ද දැක්වුණේ ඉන්දියාවේ බාබු කාලයිල් නමැත්තෙක් එරට ජනපතිට තම අත්සනින් යුත් ලිපියකින් ද දන්වා ඇත්තේ දෙසැම්බර් 31වන දා මහා සුනාමියක් පැමිණ දකුණු ආසියාව විනාශ වී යන බව සහ එකිනෙකට ඈඳන ලද තවත් සුරංගනා කතන්දර රැසක්. මේ පණිවුඩය නිසා බොහෝ දෙනෙක් කලබලවූ අතර විචක්ෂණශීලීව එය බැහැර කරන්නටද අසමත් වුණා. එම පණිවිඩය ඇතැමුන්ට ඔහු යවන ලද ලිපියේ ඡායාරූපයක් ද සමඟ ලැබී තිබුණු අතර එම ලෙටර්හෙඩ්එකේ තිබූ වෙබ් අඩවිය, ඊමේල් පවා නිවැරදි ඒවා නොවෙයි. එතැනින්ම මෙය බොරු කටකතාවක් බව හෙළි වෙනවා. කොහොමටත් කලින් කලට පැතිරුණු විවිධ කටකතා සත්‍ය වූවා නම් 2018 වන විට අපි දැන් හත් අට පාරක්ම මැරිලා.

සුපිරි සඳ හරහා පෘථිවි තල අභ්‍යන්තරයට කිසිදු බලපෑමක් නොමැති අතර එය හුදෙක් කලකට වරක් තම නෑ සියන් බලා යන්නට එන සිදාදියේ දරුවෙකු මෙන් පෘථිවිය ආසන්නයෙන් තම ගමන යනවා. මෙහි අනෙකුත් අවස්ථාව, පෘථිවියට ඉතාම දුරින් සඳ පිහිටන අවස්ථාව හඳුන්වන්නේ මයික්‍රො මූන් හෙවත් ක්ෂුද්‍ර සඳ යන නමින්. දෙල් සහ ලූණු ලොකු වුණාම අපි ඒවාට රටදෙල්, රටලූණු කියනවා. මොකද, අපේ හිතේ හැමවිටම තැන්පත් වෙලා තිබෙන්නේ පෙරදිග ධාන්‍යාගරය හැදුවේ අපේ රජවරුන් වුණත් ලොකු ලොකු දේවල් කරන්නේ රටින් එන අය කියායි. ඒ වගේම ලොකු දේවල්වලට අපි බොහොම කැමතියි. ඒ දේවල් ගැන වැඩිපුර කතා කරනවා. හඳට අත්ව තිබෙන්නේත් එම ඉරණම ම යි. හඳ ටිකක් ආසන්නයට ඇවිත් ප්‍රමාණයෙන් ලොකු වුණාම අපේ හද කිති කැවෙන ගතිය වැඩිව ගොස් හඳ ගැන ලොකු කතා කියන්නට සිත් පහළ වෙනවා. එහෙත් ක්ෂුද්‍ර සඳ පිළිබඳව කිසිවෙකුත් කරදර වන්නේ නැහැ.

පෙරදිග අපි, චන්ද්‍ර මාස ක්‍රමය ඉහළින් පිළිගත් දෙයක්. සුද්දන්ගේ 365 හරියට බෙදාගන්න බැරිව අවුරුදු හතරකට සැරයක් තවත් දවසක් එකතු කරලා වැඩේ ෂේප් කරන ක්‍රමවේදයට වඩා සඳ මත පදනම්වූ දින ක්‍රමය වඩාත් නිරවද්‍ය එකක්. මොකද, මහා ගණිතඥයන්ට දින බෙදාගන්නට නොහැකි වූවාට සඳ අනිවාර්යයෙන්ම තමන්ගේ ගමන ඒකාකාරව ගමන් කරනවා. වෘත්ත චලිතයේ බලපෑම මත අරයේ වෙනස්කම් සිදුවිය හැකි නමුත් එය සැලකිය යුතු කාල වකවානුවක් තුළ ගිණිය යුතු තරම්වත් එකක් නොවෙයි. මේ චන්ද්‍ර මාස ක්‍රමය අනුව බෞද්ධයන් පූර්ණ චන්ද්‍රයා දිස්වන දිනයේදී ආගමික වත් පිළිවෙත්වල නියුතු වනවා. ඇතැමුන් සඳේ විවිධ අවස්ථාවන් පදනම් කරගෙන චන්ද්‍ර මාසයකට දින හතරක් ආගමික වතාවත්වල යෙදීමත් සිදු කරනවා. මාසයක් ගෙවා ගැනීම හදිස්සි නිසා මේ පූර්ණ චන්ද්‍රයා තෝරාගත්තා ද නැත්නම් සුපිරි සඳ නිතර දකින්නට නොලැබෙන නිසා ඒ ගැන අවධානයක් යොමු නොවූවාදැයි පැහැදිලි නැතත්, අවශ්‍ය නම් සුපිරි සඳ පවා කාල නිර්ණය සඳහා යොදා ගන්නටත් අවස්ථාව හිමි වෙනවා.

කොහොම නමුත් මෙසේ සඳ අපේ ආසන්නයට පැමිණීමේදී එය සෑම වාරයකදිම එක ලෙස පෙනෙන්නේ නැහැ. 2018 වර්ෂය සඳහා ඉතාම හොඳින් දිස්වූ දිනය ජනවාරි 2 වන අතර නැවත එළඹෙන ජුලි 13වනදා එතරම් දෘෂ්ඨිමය වශයෙන් විශාල වෙනසක් දකින්නට නොලැබෙනු ඇති. 1948 වර්ෂයේ සිට මේ වනතුරු හොඳින්ම සුපිරි සඳෙහි වෙනසක් දක්නට ලැබුණේ 2016 වසරේ නොවැම්බර් 14 දින යි. නැවතත් එවන් දිනයක් එළැඹෙන්නේ 2034 වර්ෂයේ නොවැම්බර් 25වන දා යි. එනමුත් ටිකක් හෝ සඳ ලොකු වුණාම ලොව පුරාම මාධ්‍යවලට එය හොඳ පුවතක්. දේශපාලනය, හොර මැර දූෂණ ආදී ඒකාකාරී පුවත්වලට ගොනුව සිට එක්වරම හඳ පෑයුවාම ලොකුවට, එය තවත් ලොකුකර පෙන්වන්නට මාධ්‍ය සහ දැන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි බොහොම කැමැත්තෙන් බලා සිටිනවා. අලුත් අවුරුද්ද, නත්තල වෙළෙඳ ප්‍රචාරණය නිසා ‘සුබ’ සහ උත්කර්ෂවත් එකක් ලෙස අපට දැනෙනවා මිස මේ වගේ සුපිරි සඳක් පවා ඒවායෙන් උලුප්පා නොපෙන්වූවා නම් අපිට එය තවත් සාමාන්‍ය සඳක් පමණයි. හැබැයි ඉතින් වැස්සටවත් එළියට නොබහින, දුරකතනයේම මුහුණ ඔබාගත් අයට නම් හඳ බලන්නට හෝ ගොස් කයට ටිකක් ව්‍යායාම ලැබීම හොඳයි. ඒකත්, අන්තර්ජාලය පුරා විවිධ සේවාවන් හරහා සජීවී විකාශයන් ලබා දෙන නිසා ගෙදරින් එළියට නොබැහැම හඳ බලන්නටත් දැන් අවස්ථාව උදාවී තිබෙනවා.

තඹරු විජේසේකර

Comments