දිය ඇල්ලක් අසල සොඳුරු මොහොතක් | සිළුමිණ

දිය ඇල්ලක් අසල සොඳුරු මොහොතක්

එදින උදෑසන සිටම මා කියවමින් සිටියේ වනගත චාරිකා පොතකි. මහා රූස්ස කැලයක් මැදින් ලස්සන දිය ඇලි ගැන විස්තර කෙරුණු ඒ පොත කියවද්දී මට කාලය ගතවෙනු නොදැනුණා තරම්ය. ඒ වෙද්දී මා කියවමින් සිටියේ ගලින් ගලට පනිමින් කැලයේ රූස්ස ගස් කොළ අතරින් ඈතින් ඇසෙන දිය පාරක හඬක් ඔස්සේ ඒ දිය පාර සොයමින් යන ගමන ගැනය. මා නොදැනුවත්වම මා ද ඒ ගමන යන්නාක් මෙන් මට දැනේ.

මා ඒ ගමන ගියේ මගේ හොඳම මිතුරාද සමඟය. අතුපාර දිගට ඇද වැටුණු විශාල ගසක් උඩින් පනිමින් අප ඒ‍ දිය දහර සොයා ඉදිරියටම ඇදුණෙමු. අපට ඈතින් පෙනෙන්නේ පෙණ බුබුළු නංවමින් කඩා හැළෙනා අලංකාර දිය ඇල්ලකි. එතැනට යනකම් මට ඉවසිල්ලක් නොමැත. මාත් මිතුරාත් දිය ඇල්ල ආසන්නයටම ගියෙමු. සුදු සේලයක් මෙන් කඩා හැළෙන දිය ඇල්ල දෙසින් දෙනෙත් ඉවතට ගත නොහැකි තරම්ය. එය එතරම්ම අලංකාරය. මෙවන් සොඳුරු දසුනක් මා ජීවිතයේ කිසි දිනෙක දැක නොමැති තරම්ය.

අප දෙදෙනාටම කාලය ගෙවී යනු නොදැනුණේ ඒ දසුනෙන් අප වශීකෘතව සිටි බැවිනි.

“අපි දිය ඇල්ල ළඟටම යමුද?” මිතුරා යෝජනා කළෙන් අපි තවත් එතැනට ළං වූයෙමු.

දැන් අප සිටිනුයේ දිය ඇල්ලෙන් විසිරෙන දිය බිඳු ගතට වැදෙනා තරම් ආසන්නෙයේය. ඒ දිය බිඳු ගත වැදෙද්දී දැනෙන්නේ කෙතරම් සනීපයක්ද?

එක් වරම මා මුහුණට තරමක දිය බින්දු කීපයක් වැටුණේ අප තවත් දිය පහරට ළංවූ නිසාය. මා ගැස්සී පසුපසට වූයේ දියෙන් මා තෙමී යතැයි බියෙනි. එහෙත් පසුව බලද්දී මා දුටුවේ පොත අතේ තබා ගෙන නින්දට වැටී සිටි මා මුහුණට වතුර ඉස දිව යන මල්ලීය. එහෙත් සිහිනෙන් හෝ මා කියවමින් සිටි පොතේ විස්තර කරන පරිසරයට යෑමට ලැබීම ගැන මම සතුටු වෙමි.

කවීෂ ඉඳුවර ජයවීර
8 ශ්‍රේණිය ‘බී’,
සාන්ත තෝමස් කුමර විදුහල,
මාතර

 

Comments