සඳ­වට රන්තරු | Page 2 | සිළුමිණ

සඳ­වට රන්තරු

සරළ ගීතය, චිත්‍රපට ගීතය, වේග රිද්ම ගීතය යන තුන් ආකාරයෙන්ම ගීත ගයන ඉන්ද්‍රානි පෙරේරාට මෙරට ගායිකාවන් අතර පළමුතැන හිමිවෙයි. මූන්ස්ටෝන්, ත්‍රී සිස්ටර්ස්, සුපර් ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායම් සමඟ ගීත ගයමින් ගායන ක්ෂේත්‍රයේ දිදුළන තාරාකාවක් වු ඇය එදා මෙදා තුර ගැයූ ගීත සංඛ්‍යාවද අති විශාලය. මේ අති දක්ෂ ගායන ශිල්පිනි‍යගේ පුත් නිමේන්ද්‍ර ධනංජයද ටිකෙන් ටික ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් අද වන විට අම්මා මෙන්ම ලාංකික රසික හදවත්තුළ ලැගුම් ගෙන සිටී. මෙවර රසඳුන සඳවට රන්තරු විශේෂාංගයට‍ මේ මවත්, පුතාත් කී කතායි මේ.

අම්මා ගීතය ගායනා කළේ අක්කාගේ දුව වෙනුවෙන්

 ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රානි පෙරේරා

 • පළමුව 'ත්‍රී සිස්ටර්ස්' අතීතය සිහිපත් කරමුද?

මගේ පියා අබේපාල පෙරේරා, මව මියුරියල් පෙරේරා ඔවුන් දෙදෙනා නොසිටින්න මෙරට සංගීත කලාවට ත්‍රී සිස්ටර්ස් යන වචනය පවා අසන්නට ලැබෙන්නෙ නෑ. මල්ලිකා අක්කා ගීත ගායනයට පිවිසියේ 1965වසරේ සිටයි. ඇය තමයි සාමා චිත්‍රපටයට ගීත ගායන කළේ. ඇයත් සමග මමත්, පොඩි අක්කාත් යනවිට වික්ටර් දලුගම, රොක්සාමි, ආදීන් තාත්තට කීවා මේ දෙන්නත් ගීත ගායනයට දක්ෂයි මොවුන්වත් ගීත ගායනයට යොමු කරන්න කියා. එයට හේතුව අපේ පවුලේ මමත් ලොකු අක්කා මල්ලිකා සහ පොඩි අක්කා අයිරාංගනී එකතුකර මගේ පියා ත්‍රී සිස්ටර්ස් නමින් සංගීත කණ්ඩායමක් හදලා තිබීමයි. මම 1969 වසරේදි සංගීත දිවිය ආරම්භ කළා. 1980 වසරේ ලොකුඅක්කා මියයනතුරුම අපි තිදෙනා එකතු වී ප්‍රසංගවල ගීත ගායනාකළා. ලොකු අක්කාගේ වියෝවෙන් පසුව මමත් පොඩි අක්කාත් තනි තනියම ගීත ගායනා කළත් පසු කාලීනව පොඩි අක්කාත් කලාවෙන් තරමක් දුරට ඈත්වූ නිසා මම විතරයි කලා ලෝකේ ගායිකාවක් ලෙස ඉතුරුවුණේ.

• ඉන් පසුව වෙනත් සංගීත කණ්ඩායම් සමග සම්බන්ධ වුණා.

මූන්ස්ටෝන්, සුපර් ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායම් හා සම්බන්ධවුණේ ඉන් පසුවයි. සුපර්මූන් සංගීත කණ්ඩායම සමග සම්බන්ධවෙලා ඉන්නකාලෙ තමයි දිල්හානී දුවනී, කාගෙද ගොන් වස්සා, කුමුදු මල් ආදි ගීත ගායනා කළේ.

• දශක හතරකට වැඩි කාලයක් තුළ ඔබ ගැයූ ගීත අතර විශේෂිතවූ ගීත තිබෙනවාද?

මා ගායනාකළ සෑම ගීතයක්ම මට විශේෂයි. ගැයූ ගීත ගණනින් මෙපමණයි කියන්න බැරි තරම්. අදටත් ඇතැම් චිත්‍රපට රූපවාහිනියේ දකින අවස්ථාවලදී මේ මගේ ගීතයක් නේද කියා සිහිවනවා. වසන්තයේ මල්කැකුළයි, තිළිණේ ලෙසින්, සුදු අසු පිට නැගලා, අම්මා, ආදී ගීත රසිකයන් අතර අදත් ජනප්‍රියයි. අම්මා ගීතය නම් ටිකක් විශේෂිතයි. එම ගීතය ගායනා කළේ මගේ අක්කා නැතිවනවිට එයාගෙ දුව පුංචියි. ඇය වෙනුවෙන් තමයි අම්මා ගීතය ගායනා කළේ.

• දෙමවුපියන් කලාවෙන් තරමක් ඈත්වන විට ඔවුන්ගේ දරුවන් කලාවට සම්බන්ධ වී සිටීම අද දකින්න ලැබෙනවා. ඇයි ඔබගේ දරුවන් කලාවට සම්බන්ධ නොකරන්නේ..

මගේ දියණිය අංජලී චාරුකේෂි විවාහවෙලා විදේශගතව රැකියාවක් කරනවා. පුතා නිමේන්ද්‍ර ධනංජය කාලයක් නිහඬව සිට මේ වන විට ටික ටික කලාවට සම්බන්ධව සිටිනවා. ඔහු පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකයෙක්. පුතා කුඩා කාලයේදි සමිතා සමග මොනවද අම්මේ අකුරු ජාතියක් ගීතය ගායනාකළා. ඒ වගේම ඔහු කුඩා කාලයේ එඩ්වඩ් ජයකොඩි මහතා ස්වාධීන රූපවාහිනියේ කළ කුරුලු කැදැල්ල වැඩසටහනට ගීතයක් ගායනා කළා. එම ගීතය කැලැරන්ස් විජේවර්ධන ලියා සංගීතවත්කර දුන්නේ.නිමේන්ද්‍ර තරමක් නිශ්ශබ්ද චරිතයක්. ඔහුට ඕගන්, ඩ්‍රම්ස්, පියානෝ, ගිටාර් හොඳින් වාදනය කළ හැකියි. ඔහුට ඕනෑකම තියෙන්නෙ හොඳ දෙයක්කර රසිකයන් අතරට යෑමට. පුතා කලාවට සම්බන්ධ වෙනවානම් මම කැමැතියි.

• ඒ නිසාද පසුගිය දිනක ඔබ පුතා සමග එක්තරා රූපවාහිනී නාළිකාවක සංගීත වැඩසටහනකට සහභාගිවූ‍යේ..

ඇත්තටම මම කැමැතියි පුතා මා සමග ගීත ගායනා කරනවනම්. මොකද මම දන්නව ඔහුගේ හැකියාව ගැන. එදා පුතා මා සමග ගායනා කළ එම ගීතයට රසිකයන්ගෙන් විශාල ප්‍රතිචාර ලැබුණා. පුතා ගැන නොදත් ගොඩක් අය කතාකරන්න ගත්තා ඔහුගේ හැකියාව ගැන. ඉන්ද්‍රානිගෙ පුතාට අම්මාගෙ හැකියාව තිබෙනවා කලාවට සම්බන්ධකරන්න කියා බොහෝ අයගෙන් ඉල්ලීම් තිබෙනවා. මම හිතනවා පුතා මේ අවස්ථාවෙ නම් පස්සට නොගිහින් රසිකයන්ගේ ඉල්ලීම් ඉටු කරයි කියා. මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.


මගේම ගීතවලින් රසිකයින් අතරට එනවා

ඉන්ද්‍රානිගේ පුත් නිමේන්ද්‍ර ධනංජය

• නිමේන්ද්‍ර ඔබ ගැන තොරතුරු නොදත් රසිකයන්ට ඔබ ගැන කෙටි හැඳින්වීමක් කරන්න.

මම නිමේන්ද්‍ර ධනංජය ජේම්ස්. පියා ජේම්ස්.මව අපේ රටේ ගීත ලෝලී රසිකයන් ආදරය කරන ඉන්ද්‍රානි පෙරේරා. සොහොයුරිය අංජලී චාරුකේෂි. මම විවාහකයි මගේ බිරියගේ නම රොෂානි. මම සා.පෙළ දක්වා පාසල් ගියේ සාන්ත තෝමස් විද්‍යාලයට. ඉන් පසුව උසස් පෙළ හැදෑරුවේ රෝයල් ඉන්ස්ටිටියුට් එකේ. පසුව 2009 වසරේදි ව්‍යාපාර අධ්‍යනය පිළිබඳ උපාධිය ලබා ගන්නවා. මා සංගීතයට නැඹුරු වූයේ කුඩා වියේ සිටමයි. මට මතකයි පුංචිම කාලයේ අම්මගෙ සාරි පොටේ එල්ලිලා ප්‍රසංගවලට යනවා. ළදරු පාසල් යන කාලයේ සිට ගීත ගායනය කළා. පල්ලියේ ගීතිකා කන්ඩායමේ පුංචි කාලයේ සිට මේ වනතුරු සිටිනවා. පසුව 2000වසරේ සිට නාරාහේන්පිට පල්ලිය හා සම්බන්ධව වැඩ කරනවා.

• ඔබගේ මව අපේ රටේ සිටින ප්‍රවීණ ගායිකාවක්. ඇයගේ නිර්මාණ ගැන මොකද හිතෙන්නේ..

රසිකයෙක් ලෙස කෙටියෙන්ම කියනවනම් කියන්න තියෙන්නේ එදා දැකපු ඉන්ද්‍රානි පෙරේරාමයි අදත් දකින්නේ කියන එක. ඇය සංගීතයත්, රසිකයනුත් සමව පවත්වාගෙන යන ආකාරය හරිම විශිෂ්ටයි. සාමාන්‍ය ජනතාවට රසවිඳිය හැකි ගීත මෙන්ම සංගීතයේ පරතෙරට ගිය රසිකයන්ට පවා එකසේ රසවිඳිය හැකි ගීත රැසක් ඇය ගායනාකර තිබෙනවා. ඇය ගයන 'දිල්හානි ගීතයත්','මතකය ඇසුරෙන්'තමයි මම කැමැතිම ගීත.එම ගීත

දශක ගණනාවක් ගතවෙලත් එකසේ ජනප්‍රියයි. කණ්ඩායම් සංගීතයෙන් ගායන ලොවට ප්‍රවිශ්ට වු නිසාවෙන්න ඇති රසිකයන් ඉල්ලන නිර්මාණ සඳහා විශේෂත්වය දෙන්නේ. මවක් ලෙස ඇය ගැන කියනවා නම් සැමියා සහ දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුකළ ගෞරවනීය මවක්.

• ඔබ කුඩා කල සිටම ගායන ක්ෂේත්‍රය පිළිබඳව ලොකු අත්දැකීමක් තිබියදීත් ඇයි කලාවට පිවිසෙන්න මෙතරම් ප්‍රමාද..

ඇත්තටම මට වෙන ගායකයන්ගෙ ගීත ගායනාකර ජනප්‍රිය චරිතයක් වෙන්න කිසිම අවශ්‍යතාවක් තිබුණේ නෑ. මට අවශ්‍ය වුණේ මටම කියා අනන්‍යතාවක් ගොඩනගාගෙන ගායකයෙක් වීමට. එහිදී මගේම ගීත කිහිපයකින් රසිකයන් අතරට එන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

• ඒ කියන්නේ නිලේන්‍ද්‍ර ගායනා කරන අලුත් ගීත ළඟදීම අපට අසන්නට ලැබෙනවා කියන එකද..

ඔව්.දැනටමත් ඉංග්‍රිසි භාෂාවෙන් කළ ගීතයක් රෙකෝඩ්කර අවසන්. මෙම වසරේ දෙසැම්බර් වනවිට ගීත අවම වශයෙන් තුනක් හෝ හතරක් පටිගත කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කියන්න ඕනෑ පල්ලියෙන් ලැබුණු දැනුමත්, ජානමය හැකියාව සහ කුඩා කාලයේ සිට සංගීතය පිළිබඳව ලැබුණු දැනුමත් ඉවහල් කරගෙන කලාවේ හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

• මම දන්නා හැටියට ඔබගේ බිරියත් ගීත ගායනයට සමත්. ඇය ගැන තොරතුරු ටිකක් කියමුද?

ඇය වැඩි වශයෙන් ගායනා කරන්නේ ඉංග්‍රීසි ගීත.ඇය හදාරලා තියෙන්නේ බටහිර සංගීතය. ඇයත් පල්ලියේ ගීතිකා ගයනවා. අපි හමුවුනෙත් පල්ලියෙදි. ඒ 2001වසරේ. පසුව 2011 වසරේදි විවාහ වනවා. මම හිතනවා ඉදිරියේදි සංගීත වැඩවලට මවත්,බිරියත් මට සහාය වේවි කියා.

 

Comments