සිනමා තරුවක්වීමේ හීනය මටත් තිබෙ­නවා | Page 2 | සිළුමිණ

සිනමා තරුවක්වීමේ හීනය මටත් තිබෙ­නවා

පෙබරවාරි මාසය කියන්නේ දැවැන්ත සිනමා නිර්මාණයන් තිරගත වෙන, තිරගත වීමට සුදානම් වන මාසයක්. ‘පෝරිසාදයා‘ සිනමා පටය ලබන සතියේ රිදී තිරයට එන මේ නවතම සිනමා අත්දැකීමයි. මෙම සිනමා නිර්මාණය පළමු සිනමා අත්දැකීම කරගන්නා රංගන ශිල්පිනියක් සමග අද රසදුන තුන් වැනි පිටුව හැඩකරන්නට අපිට හැකිවුණා. ඇය ඉමායා ලියනගේ

 ළඟදීම ඉමායට සිනමාවේ දොරගුළු විවර වෙනවා?

ඔව්. ලබන 15 වැනිදා මගේ ප්‍රථම සිනමා නිර්මාණය 'පෝරිසාදයා' ප්‍රදර්ශනය වෙනවා.

'පෝරිසාදයා' මොනවගේ නිර්මාණයක්ද?

හරිම සතුටුයි කියන්න, ඉතාමත් කෙටි කලෙකින් මට වටිනා කියන නිර්මාණවලට සම්බන්ධවන්න හැකි වුණා. 'පෝරිසාදයා' සිනමා නිර්මාණය පාතාල කල්ලියක්, අසාධාරණයට විරුද්ධව නැගී සිටින මාධ්‍යවේදියෙක් වටා ගෙතුණු කතාවක්. මේ චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ වුණේ 2016 අන්තිම කාලේ. ගොඩක් සතුටුයි අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත මේ චිත්‍රපටය තිරගත වෙනවා. මාව මෙම චිත්‍රපටය සඳහා අධ්‍යක්ෂවරයාට යෝජනා කර තිබුණේ හර්ෂ උඩකන්ද වගේම ධනුෂ්ක හුලංගමුව මහත්වරුන්. ගොඩක් සතුටුයි සිරිතුංග පෙරේරා වැනි අධ්‍යක්ෂවරයෙක් යටතේ සහ ප්‍රවීණයන් රැසක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන.

ටෙලි නිර්මාණයන් තුළ දකිනවට වඩා වෙනස් හැඩයක් ඔස්සේ සිනමා නිර්මාණයේ දී ඉමායව දකින්න හැකිද ?

අනිවාර්යෙන්ම මම එහෙම හිතනවා. කියන්න සතුටුයි, මම දායක වුණු නිර්මාණ එක්ක රූපගත කිරීම් ආරම්භ කළ පළමු සිනමා නිර්මාණය මෙය නෙමෙයි නමුත් තිරගත වෙන පළමුවැනි නිර්මාණය මෙයයි. පෝරිසාදයා එක්ක මම තව සිනමා නිර්මාණයකට දායක වුණා. ඒක බොහෝ දුරට ලබන අවුරුද්දේ තිරගත වේවි. ඉතින් මේ දිනවල විකාශය වන මුතුකුඩ ටෙලි නාට්‍යයේ සකුන්තලා ගේ චරිතය , පෝරිසාදයා හි චරිතය අතර ලොකු වෙනසක් තියෙනවා. ගොඩක් සතුටකින්, ගොඩක් බලාපොරොත්තුවකින් ඉන්නේ චිත්‍රපටය තිරගත වෙනතුරු .

මේ සිනමා නිර්මාණයේදී ලැබුණු අත්දැකීම කොහොමද?

පෝරිසාදයා කියන්නේ දැවැන්ත නිර්මාණයක්. මේ සිනමා නිර්මාණය තුළ පාතාලය,පොලීසිය සහ විශ්වවිද්‍යාල ළමයි වටා දිවෙන කතාවක් නිසා බොහෝ පිරිසක් රංගනයට යොදාගෙන තිබුණා.ඉතින් එවැනි පිරිසක් එක්ක වැඩ කරන එක ලොකු අත්දැකීමක් වුණා.සමහර වෙලාවට අපි එක දිගට පැය 24ක් රූපගත කිරීම් සිදු කළ අවස්ථා තිබුණා. හැම කෙනෙක්ම ලොකු කැපකිරීමක් කළා මේ සිනමා නිර්මාණයේ දී. ප්‍රවීණයන් රැසක් මට පෝරිසාදයා නිර්මාණය තුළ මුණගැසුණා. ඒ අයගෙන් ලැබුණු සහයෝගය මේ මොහොතේදී මතක් කරන්නම ඕන.

ඔබ 2014 වසරේ Miss Sri Lanka කිරුළ හිමිකර ගත්තා. එවැනි කිරුළු හිමි කරගන්න හැම කෙනකුගෙම අවසාන බලාපොරොත්තුව 'රංගන ශිල්පිනියක්' වීමද?

මෙහෙමයි, නිරූපණ ශිල්පිනියක් වගේම රූ රැජනක් වුණ පමණින් රංගනයට එන්න බැහැ. මොකද රංගන ක්ෂේත්‍රය කියන්නේ වෙනස්ම එකක්. නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ තව එකක්. මම විශ්වාස කරන විදිහට රූ රැජින තරගයකින් ජයග්‍රහණය කළාට පස්සේ මේ දේවල්වලට ආරාධනා ලැබෙන්නේ පෙනුමත් එක්ක. නමුත් රංගන ක්ෂේත්‍රයේ රැඳෙන්න නම් අනිවාර්යයෙන්ම හැකියාව සහ හැදෑරීමක් උවමනා වෙනවා. ලස්සන තිබුණ පමණින් රංගන ක්ෂේත්‍රයේ බොහෝ කාලයක් රැඳිලා ඉන්න අදහසක් තියෙනවා නම් ඒක හරි අමාරුයි. මොකද හැකියාව තියෙනවා නම් විතරයි ලොකු ගමනක් යන්න පුළුවන්.

අද වන විට විවිධාකාරයේ රූ රැජිනියන් තෝරන පැජන්ට්ස් පැවැත්වෙනවා කියන එක ඔබ දන්නවද?

ඔව්. අපි සමහර වෙලාවට දන්නෙත් නැති, මීට කලින් අහලවත් නැති පැජන්ට්ස් තියෙනවා. එතකොට එතැනදී ප්‍රශ්නයක් එනවා එවැනි රූ රැජින තරගාවලින් හරහා එන්නෙත්, නිරූපණ ක්ෂේත්‍රයට එන්නෙත් සුදුසුකම් තියෙන අයද කියන එක, මේ කාලයේ ඕන තරම් රූ රැජිනියන් හොයා ගන්න පුළුවන් කාලයක් බිහිවෙලා තියෙන්නේ. ඕනෑම කෙනෙක් පැජන්ට් එකක් වින් කරනවා. ඕනෑම කෙනෙක් පැජන්ට් එකකට යවනවා. එතැනදී ප්‍රශ්නයක් මතු වෙනවා සුදුසුම කෙනාද මේ තැනට යන්නේ, අපේ රට නියෝජනය කරන්න සුදුසුද, ඒ වගේම කිරුළ හිමි කරගන්න තරම් ඒ ගැන වටිනාකම රැක ගන්න පුළුවන් කෙනෙක්ද කියන එක.

රූ රැජිනියක් ලෙස කිරුළ හිමි කරගත් ඔබ 'පෝරිසාදයා වැනි දැවැන්ත සිනමා නිර්මාණයක රංගනය සඳහා තෝරා ගනිද්දී ඔබ ගැන මොනවගේ අවදානමක්ද තිබුණේ?

අවදානමක් තිබුණා....මම අංකල් සෑම් ටෙලි නාට්‍යයේ රඟපාන අතර තුරදියි පෝරිසාදයා සිනමා නිර්මාණයට දායක් වෙන්නේ. ඒ ටෙලි නාට්‍යයේ මගේ රංගනය ලොකුවට එළි දක්වන්න තිබුණේ නැහැ. ඕනෑම කෙනෙක් හීන දකිනවා සිනමා තරුවක් වෙන්න. ඒ හීනය මටත් තියෙනවා.එතැනදී ලොකු වගකීමක් තියෙනවා සහ මට ඒ ලැබුණේ අවදානමක් ගන්න තිබුණු චරිත. ඇත්තටම මට මං ගැන විශ්වාසයක් තිබුණා. පාසල් කාලෙදි මම රංගන කටයුතුවලට සම්බන්ධ වෙලා තිබු නිසා මට විශ්වාසයක් තිබුණා අධි තක්සේරුවක් නෙමෙයි. මට යමක් කරගන්න පුළුවන් වෙයි කියන දේ. අවසානයේ dubbing කරන්න යද්දී මට හිතාගන්න බැරි වුණා මගේ රංගනය දකින විට. ඇත්තටම මට ලොකු සතුටක් ඇති වුණා අවදානමක් අරගෙන හරි මේ චරිතේ සාර්ථකව නිරුපණය කරගන්න පුළුවන් වුණා කියන දේට.

ඉදිරි කාලයේදී ඉමායා සිනමාවට වැඩි තැනක් ලබා දෙයි ද?

වැඩි වැඩියෙන් සිනමා නිර්මාණයන්ට දායක වෙන්න ලැබෙනවා නම් ඇත්තටම කැමතියි. බොරු කියන්න ඕන නෑ. අවංකවම කැමැතියි. නමුත් ටෙලි නිර්මාණවලින් ඈත් වෙන්නේ නැහැ. හොඳ නිර්මාණ විතරක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේ තීරණයක් ගත්තේ මුතු කුඩ ටෙලි නාට්‍යයේ මට ලැබුණු චරිතයත් එක්ක. ඒ නිර්මාණයත් එක්ක මම හිතුවා ඉතාමත් හොඳ, වටිනා නිර්මාණවලට සම්බන්ධවෙන්න ඕන කියන දේ.

 

Comments