වාරි ඉංජි­නේරු ශිල්පය හා බැඳුණු සුවි­ශේෂ පරි­සර දැනුම | සිළුමිණ

වාරි ඉංජි­නේරු ශිල්පය හා බැඳුණු සුවි­ශේෂ පරි­සර දැනුම

කෘෂිකර්මය පවත්වා ගෙන යෑමට අවශ්‍ය ජලය උපරිම වශයෙන් ලබා ගැනීම සඳහා, වැස්ස උපරිමව ලබා ගැනීම අවශ්‍ය වූවකි. ඒ වෙනුවෙන් කළ යුතු මුල්ම කාර්යය වන්නේ කඳුකර වනාන්තර කිසිදු හානියක් නොකර ආරක්ෂා කිරීමය. මෝසම් වැසි උපරිම ආකාරයට පොෙළාවට ඇද ගැනීමේ පාරිසරික ක්‍රියාවලිට හානි නොවීමට ඔවුන් වගබලා ගෙන ඇත්තේ එනිසාය.

තාක්ෂණය හා බද්ධ වූ සොබාදහම

මෙරට වාරි තාක්‍ෂණය දෙස බැලීමේදී පෙනී යන සුවිශේෂ ලක්ෂණය වන්නේ සොබදහම පිළිබඳව ඔවුන් සතු වූ සංකීර්ණ හා නිවැරැදි දැනුමය. මේ සියලූ වාරිමාර්ග ඉදි කිරිම් කර ඇත්තේ මෙරට සුවිශේෂ පරිසර තත්ත්වයන් මනා ලෙස අවබෝධ කර ගැනීමෙන්ය. එය පැහැදිවම වත්මන් බටහිර පරිසර විද්‍යා දැනුම ඉක්මවන ඥාන සම්භාරයකි.

මේ දැනුම මෙරට භූගෝලී, දේශගුණික, කාලගුණික මෙන්ම පරිසර ස්වාභාවයන්ද නිවැරැදිව අවබෝධ කර ගැනීම මත පදනම්ව ගොඩනඟා ගත්තකි. ඒ නිසා අපේ වාරි තාක්‍ෂණය සෑම විටම පරිසරයට එරෙහි වූවක් නොව, පරිසර ස්වභාවයන් හඳුනා ගෙන, එය සුරැකෙන ලෙස කළ තාක්ෂණික නිර්මාණයන් බව පෙන්වාදිය හැකිය. විශේෂයෙන්ම මේ වාරි පද්ධතිය සැකසීමේදි පරිසරය වෙනස් කිරිමට වඩා පරිසර මනාලෙස හඳුනා ගැනීම කර තිබේ. මෙයින් ස්වභාවික පරිසරය රැක ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. වසර දහස් ගණනක් ඉක්ම ගියද අපේ වාරිමාර්ග පද්ධතිය අදත් අපේ පරිසරයට කර ඇති හානිකර බලපෑම ඉතා අල්ප මට්ටමක පැවතීම මීට කදිම සාක්ෂියකි.

 

බටහිර විද්‍යාත්මකව සැසඳීම

 

මෙය බටහිර විද්‍යාත්මක නිර්ණායකයන්ට අනුව පහදා දිමට ඇති හොඳම නිදසුනක් වන්නේ කඳුකරයයි. එහි කිසිදු ඉදිකිරීමක් නොකිරීමට වගබලා ගැනීම ඊට ඇති එකම සාක්ෂියයි.

කෘෂිකර්මය පවත්වා ගෙන යාමට අවශ්‍ය ජලය උපරිම වශයෙන් ලබා ගැනීම සඳහා, වැස්ස උපරිමව ලබා ගැනීම අවශ්‍ය වූවකි. ඒ වෙනුවෙන් කළ යුතු මුල්ම කාර්යය වන්නේ කඳුකර වනාන්තර කිසිදු හානියක් නොකර ආරක්ෂා කිරීමය.

මෝසම් වැසි උපරිම ආකාරයට පොළවට ඇද ගැනීමේ පාරිසරික කි‍්‍රයාවලිට හානි නොවීමට ඔවුන් වගබලා ගෙන ඇත්තේ එනිසාය. මේ කඳුකර වනාන්තර නිසා ඇති අනෙක් පාරිසරික ප්‍රයෝජනය වන්නේ පස සෝදා යාම වැළැක්වීම හා එමඟින් ඇදී එන රොන් මඩ ප‍්‍රමාණය අවම කරගැනීමයි, මේ නිසා ලැබෙන ජලය උල්පත්වල රඳවා ගැනිමට හැකියාව ලැබේ.

වසර පුරාම අඛණ්ඩව ජල ධාරවන් ගංගාවලට මුදා හැරිම හා ඒවායෙහි සුවිශේෂ ජෛව විවිධක්ය රැක ගැනීමට මේ නිසා හැකිව ලැබී තිබේ. මේ වනාන්තර අපේ කෘෂිකර්මයේ පැවැත්ම වෙනුවෙන් ජාන සංචිතය රැක ගන්නා භාණ්ඩාගාරය වැනිය.

 

නිරිතදිග මෝසම හා කඳුකරය

 

නිරිත දිග මෝසම් සමයේදී කඳුකරයට වැටෙන වැසි ජලය අවසානයේ මුහුදට ගලා යන්නේ වියළි කලාපය හරහා ගලා යන ප්‍රධාන ගංගා කීපය මඟිනි. මහවැලි ගඟ, මල්වතු ඔය හා වලවේ ගඟ ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මේ වැසි ජලය වියළි කලාපය හරහා ගලා යන්නේ ඒ ප්‍රදේශයට වැසි රහිත වියළි කාලයේදීය.

ඒනිසා අපේ වාරි කර්මාන්තයේ මූලික ලක්ෂණය වන්නේ එම ගංගා හරහා අමුණු බැඳ, ඒ ජලය වියළි කලාපයේ ඇති වැව්වලට රැස් කර ගැනීමය. මේ වෙනුවෙන් වියළි කලාපය පුරා කුඩා, මධ්‍යම සහ විශාල වැව් 30,000ක් පමණ එදා ඉදි කර තිබිණි. නිරිත දිග පෙදෙසට ලැබෙන වැසි ජලය වියළි කලාපයේ මහ කන්නය සඳහා ලබා ගෙන ඇත්තේ මේ ආකාරයටය. මහ කන්නය අවසන්වන විට නිරිත දිග මෝසම් සමය අවසන් වී ඇති නිසා ගංඟාවල ජල මට්ටම පහළ බසී. එහෙත් නොවැම්බර් මාසයේදී වියළි කලාපයට ඊසාන දිග මෝසම් සමය ඇරැඹෙයි.

එය කෙටි කාලයක් පැවතුණත් ඉතා අධික ජල ප්‍රමාණයක් රැගෙන එන වැසි සමයකි. එම අධික ජල ප්‍රමාණය උපරිම ආකාරයෙන් රැස් කර ගැනීමට වියළි කලාපය පුරා ඇති අති විශාල වැව් ප්‍රමාණය සමත් වේ.

මෙහිදී දැකිය හැකි විශේෂත්වය වන්නේ සෑම වැවක්ම ජලයෙන් පිරි ගිය විට, එහි පිටවානෙන් උතුරා යන ජලය තවත් ඇළ මාර්ගයක් දිගේ වෙනත් වැවක් කරා ගෙන යාමය.

මේනිසා අපේ පුරාණ රජරට වාරිමාර්ග පද්ධතිය දෙස බැලීමේදී පෙනී යන්නේ මහවැලි ගඟේ ජලය විවිධ තැන්වලදී අමුණු මඟින් හරවා, වැව් පිරවීමය. වැඩි පුර එකතු වන ජලය මහවැලි ගඟටම නැවත හරවා යවයි.

 

වාරි කර්මාන්තය සුරක්ෂිත කළ වැසි දිය

 

අනෙක් අතරට අඹන් ගඟේ ජලය අමුණු මඟින් හැරවීමෙන් දඹුළු ඔය හා මල්වතු ඔය හරහා වයඹ පිහිටි යෝධ වැව කරා ගෙන යාමට මේ සංකීර්ණ වාරිමාර්ග ජාලය සමත් වේ. මේනිසා නිරිත දිග මෝසමෙන් ලැබෙන ජලය මෙරට අර්ධ ගූෂ්ක ප්‍රදේශයක් වන මන්නාරම් ප්‍රදේශය කරා ගෙනයෑමට ඔවුන් කටයුතු කර තිබේ.

මෙය අපේ මුතුන් මිත්තන්ගේ ජල කළමණාකරන හැකියාව හා වාපී තාක්ෂණය ලොවටම පෙන්වා දුන් අයුරකි. එය මහා පරාක්‍ර්‍රම බාහු රජුගේ ප්‍රකාශයක් ලෙස ඉතිහාස ගත වි ඇත. “අහසින් වැටෙන එක දිය බිඳක් මුහුදට යානොදී...” වැස්ස ලෙස අහසින් ලැබෙන ජලය සම්පතක් බව අපේ රජවරු අර්ථකථනය කළේ මේ අයුරිනි. එහෙත් අපට ඒ ජලය ප්‍රයෝජනයට ගතහැකි වන්නේ පොළව මතින් ගලා ගොස්, ආපසු මුහුදට එක් විමට පෙර ය. එලෙස ලැබෙන ජලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ නම් ගොඩ මඩ දෙකම සරුසාර කරවිය හැකිය. මේ නිසා මේ ජලය වාරි කර්මාන්තය මඟින් සුරක්ෂිත කිරීමට ඔවුහු පුරුදු වූහ.

වැසි ජලය හැකිතාක් ගොඩබිම රඳවා ගැනීමේ කාර්යය ඉටු කර දෙන්නේ ඇළ දොළ, ගංගා, වගුරු බිම්, පිටාර බිම් හා විල්ලූ වැනි තෙත්බිම් මඟිනි. මේ ස්වාභාවික තෙත්බිම්වලට අමතරව පසු කාලයේදි මෙරට ජනතාව විසින් වැව්, පොකුණු හා කුඹුරු වැනි තෙත්බිම්ද විශාල ප්‍රමාණයක් ඉදි කර ඇත. තෙත්බිම් යනුවෙන් හඳුනා ගන්නේ මිනිසා විසින් ගොඩනඟන ලද වැව්, වාරිමාර්ග පද්ධති මෙන්ම කුඹුරුය.

 

අභ්‍යන්තර තෙත් බිම්

 

ලංකාවේ පවතින අභ්‍යන්තර මිරිදිය තෙත් බිම්වලින් 95%ක්ම මින්සුන් විසින් නිර්මාණය කළ ඒවාය. ඉන් වැඩිප්‍රමාණයක් වැව් හා කුඹුරුය.

මේ තෙත්බිම්වල රඳවා ගන්නා ජලය අවශ්‍යය සෑම තැනකටම බෙදා දීමට ඔවුන් විසින් ගොඩනඟන ලද ඒ සුවිශේෂ වාරිමාර්ග ජාලයට හැකි වී තිබේ.

ඒ ඇළ මාර්ග ජාලය මඟින් ජලය ගමන් කිරිමේදී ජලය පොළවට උරා ගැනීම නිසා, විශාල වියළි බිම් ප්‍රදේශයක භූගත ජල මට්ට ඉහළ නැංවිමට හැකි විය. මෙලෙස විද්‍යාත්මක හා පාරිසරික දැනුම එක්තැන් කිරීමෙන් වියළි බිමක වුව ද සාරවත් කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් ගොඩනැඟිමට හැකි බව අප ලොවටම පෙන්වා දී ඇත. එපමණක් නොව වියළි බිමක ඉහළ ජෛව විවිධත්වයක් පවත්වා ගෙන යාමටත් අපේ මුතුන් මිත්තන් කටයුතු කර ඇති බව ද මෙයින් තහවුරු වේ. මේ සුවිශේෂත්වයට හේතුව ස්වාභාදහමේ විශිෂ්ට පිහිටීම සහ මුතුන්මිත්නන්ගේ අප්‍රමාණ දැනුමය.

 

නිවැරැදි ජල කළමනාකරණය

 

කෘෂිකාර්මික සෞභාග්‍යත්වය ගොඩනැංවීමේදි අපගේ ප්‍රමුඛතම ශාකය වුයේ ගොයම් ගසයි. ගොයම් ගස අර්ධ ජලජ ශාකයකි.

බඩ ඉරිඟු, බජිරි වැනි වෙනත් ධ්‍යාන්‍ය වර්ගයක් ආහාරයට ගන්නා කෘෂිකාර්මික සමාජයක් නොවි, බත් කන ජාතියක් බවට පත් වුයේ ගොයම් වගා කිරීමට තරම් විශාල ජල ධාරිතාවයක් ලබාගැනීමට හා ඒ ජල ධාරිතාව රැස් කර තබා ගෙන ඉන් උපරිම ප‍්‍රයෝජන ගැනීමටත් අප දක්ෂ වූ එහෙයිනි.

ඒසඳහා මුල් වූයේ සොබාදහම පිළිබඳ විද්‍යාත්මක දැනුම පදනම් කර ගත් අපේ නිවැරැදි විද්‍යාත්ම ජල කළමණාකරනයයි. ඒ අනුව අපේ වාරිමාර්ග ඉංජිනේරු තාක්‍ෂණය සඳහා පදනම් වු ජල කළමණාකරනයේ මූලික සිද්ධාන්තයට බලපෑ සාධක මෙසේ දැක්විය හැකිය.

* ලැබෙන වැසි ප්‍රමාණය උපරිමව ලබා ගැනීම සඳහා කඳුකර වනාන්තර රැක ගැනීම.

* ඒ වැසි ජලය වියළි කලාපය තුළ උපරිමව රඳවා ගැනීමට අති විශාල වැව් ප්‍රමාණයක් එකිනෙකට බද්ධව ඉදිකිරිම සහ එකිනෙක බැඳුණු ඇළ මාර්ග පද්ධතියක් මඟින් ඒ ජලය සෑම වැවකටම බෙදා හැරීම. එමගින් එකම ජලය කීප වරක් භාවිතයට ගැනීමට කටයුතු කිරීම.

* වැව් හා ඇළ මර්ග පද්ධතිය මඟින් වියළි කලාපයේ භූගත ජල මට්ටම ඉහළ නැංවීම සිදු කර, එය සජීවී කෘෂිකාර්මික පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට යොමු කිරීම .

මේ ක්‍රමයේ තිබූ විද්‍යාත්මක බව නිසා අපේ මුතුන් මිත්තන්ට ස්වාභාවික වැස්ස අඩු, අර්ධ ශූෂ්ක කලාප වන මන්නාරම හා යාල වැනි ප්‍රදේශ පවා කෘෂීකාර්මික ප්‍රදේශ බවට පත් කිරිමට හැකි විය. එහෙත් අද වන විට මේ ප්‍රදේශ වගා නොකරන පුරන් වූ බිම් බවට පත්ව ඇත.

ජලය සිඳීගිය අවට ඇති අත් හැර දැමූ විශාල වැව් ස්වාභාවික පරිසරය විනාශයේ ආදීනවය මොනවට කියාපාන්නා සේය. මන්නාරමේ පිහිට යෝධ වැව මීට කදිම සාක්ෂියකි.

එදා ලංකාව සහලින් සවයං පෝෂිත කිරිමට පමණක් නොව, පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලී ලැබිමට පවා හේතු වුයේ සොබාදහම මත පදනම් වුණු මේ සුවිශේෂ ජල කළමනාකරණයයි. අද අප විනාශ කරමින් සිටින්නේ මෙලෙස චිරාත් කාලයක් තිස්සේ රැකගෙන ආ ඒ මහඟු සම්පතයි.

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.