දිනකට උපදින දහසක් අතරින් හයදෙනෙකුට හදවත් ආබාධ | සිළුමිණ

දිනකට උපදින දහසක් අතරින් හයදෙනෙකුට හදවත් ආබාධ

 රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ

වර්තමානයේ දී උපතින්ම ඇතිවන (සංජානීය )හෘදයාබාධ තත්ත්වයන්ගෙන් යුක්ත දරුවන් ඉපදීමේ ප්‍රවණතාවය වැඩි වී තිබේ. විශේෂයෙන්ම දරුවන්ට ඇතිවන හදවත් සිදුරු හේතුවෙන් සංකීර්ණ ගැටලු තත්ත්වයන්ට මුහුණ දෙන දරුවන් සැළකිය යුතු ප්‍රමාණයක් ජීවත් වේ. අලුත උපන් දරුවකුගේ ශරීරය හිටි හැටියේම නිල් පැහැ ගැන්වෙනවා නම් එය දරුවාගේ හදවතේ සිදුරක් පිහිටා තිබෙන බව සනාථ කළ හැකි සාධකයක් වශයෙන් හැදින්විය හැකි ය. බොහෝ මව්පියන්ට තමන්ගේ දරුවාගේ හදවතේ සිදුරක් හෝ වෙනත් හදවත් රෝගයක් තිබේ ද යන්න පිළිබදව නිශ්චිත වශයෙන් අවබෝධ කර ගත නොහැකි වේ. එම නිසා මරණයෙන් බේරා ගැනීමට හැකි දරුවකු වුවත් අකාලයේ මිය යෑමට පුළුවන. අලුත උපන් දරුවා හදවත් රෝගවලින් වළක්වා ගැනීමට සිහි නුවණින් යුක්තව කටයුතු කිරීම මවුපියන්ගේ ප්‍රධාන වගකීමයි. හෘද වස්තුවේ සිදුරක් ඇතිවන්නේ කෙලෙස ද?,උත්පත්තියේ සිට හෘදයාබාධ ඇතිවිය හැකි ද?,හදවතේ සිදුරක් ඇති වූ විට දක්නට ලැබෙන රෝග ලක්ෂණ මොනවාද? උපතින්ම ඇතිවන හෘදයාබාධ වළක්වාගැනීමට ගතහැකි ක්‍රමෝපාය මොනවාද? යන කරුණු පිළිබද රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා දැක්වු අදහස් මෙසේ ය.

මිනිසාගේ හෘදය වස්තුව සැකසී ඇත්තේ කෙසේ ද?

මිනිස් හෘදයේ කුටීර 4ක් තිබේ. හෘදයේ උඩ කුටීර කර්ණිකා යනුවෙන් හඳුන්වනු ලබයි. පහළ තිබෙන කුටීර කෝෂිකා යනුවෙන් හඳුන්වනු ලබයි. ශරීරයෙන් එන අපිරිසිදු රුධිරය උත්තර මහා ශිරාව සහ අධර මහා ශිරාව හරහා දකුණු කර්ණිකාවට එකතු වේ. මේ ලේ ඉන් පසු දකුණු කෝෂිකාවට ගලා විත් එයින් පුප්පුශිය මහා ධමනියට පොම්ප කරයි. මේ ලේ පෙනහැල්ලෙන් පිරිසිදු වී පුප්පුශිය ශිරා හරහා වම් කර්ණිකාවට ගලා එයි. මේ පිරිසිදු ලේ ඉන් පසු වම් කෝෂිකාවට ගලා විත් එයින් සංස්ථානික මහා ධමනියට පොම්ප කරයි. මේ පිරිසිදු ලේ ඇඟ පුරා ගමන් කර ආපසු උත්තර මහා ශිරාව සහ ආධර මහා ශිරාව හරහා හෘදය වෙත ගලා ඒම සිදු වේ.

හෘද වස්තුවේ සිදුරක් ඇතිවන්නේ කෙලෙස ද?

හෘදය වස්තුවේ පිරිසිදු සහ අපිරිසිදු රුධිරය මිශ්‍ර වීම වැළැක්වීම සඳහා කර්ණිකා දෙක අතර බිත්තියක් ඇත.කෝෂිකා දෙක අතරත් බිත්තියක් ඇත. මේ බිත්තිවල ඇති වන සිදුරු හෘදය වස්තුවේ ඇති සිදුරු යනුවෙන් හඳුන්වනු ලබයි.ඊට අමතරව සංස්ථානික මහා ධමනිය සහ පුප්පුශීය මහා ධමනිය අතරත් සිදුරු තිබෙන්නට පුළුවන.

මීට අමතරව හෘද වස්තුවේ සිදුරු සහ නහර සිහින් වීමක් එකට පිහිටීම තුළින් වඩා සංකීර්ණ ප්‍රශ්නයක් ලෙසින් පිහිටා තිබීමට ද පුළුවන.

උත්පත්තියේ සිට හෘදයාබාධ ඇති වීමට පුළුවන්ද?

ඔව්. මෙවැනි හෘදයාබාධ හඳුන්වන්නේ සංජානනීය හෘදයාබාධ ලෙසිනි. ගර්භණී සමයේදී කලලයේ හෘදය හැදෙන්නේ ඉතාමත් ම සංකීර්ණ ක්‍රියාවලියක් තුළිනි. මේ ක්‍රියාවලියේදී යම්කිසි ප්‍රශ්නයක් ඇති වුවහොත් හෘද වස්තුවේ එම ප්‍රදේශය නිසි ලෙස සැකසෙන්නේ නැත. දරුවකු ඉපදුණු පසු සංජානනීය හෘදයාබාධ ඇති වන්නේ ද ඉහත සඳහන් කළ ආකාරයට හෘද වස්තුවේ යම් ප්‍රදේශයක් නිසි ලෙස සකස් වී නොතිබීමෙනි.

හදවතේ සිදුරක් ඇති වූ විට දක්නට ලැබෙන රෝග ලක්ෂණ මොනවාද?

හදවතේ සිදුරක් ඇති බව දැන ගැනීමට රෝග ලක්ෂණ කිහිපයක් තිබේ. දරුවෙකු නිල් පැහැ ගැන්වෙනවා නම් එය දරුවාගේ හදවතේ සිදුරක් තිබෙන බව සැක කළ හැකි හොඳම ලක්ෂණයකි. දරුවෙකු පමණට වඩා වේගයෙන් හුස්ම ගන්නවා නම් එය ද හෘදය වස්තුවේ ආබාධයක් යැයි සැක කළ හැකි ලක්ෂණයකි. ඒ වාගේ ම හෘද වස්තුව ගැහෙන වාර ගණන එම වයසේ ළමයෙකුට සරිලන ප්‍රමාණයට වඩා වැඩිනම්, හිසට සහ උඩුකය ප්‍රදේශයට අධික ලෙස දහඩිය දමනවා නම්, කිරි උරා ගැනීමේ අපහසුතාවක් තිබෙනවා නම්, කිරි බොනකොට නිතර නිතර කිරි බීම නතර කරනවා නම්, නිතර නිව්මෝනියාව වැනි ශ්වසන ආබාධ ඇතිවෙනවා නම් හදවතේ ආබාධයක් හට ගෙන ඇතැයි සිතිය හැකි ය.

හෘදය වස්තුවේ ආබාධයක් තිබෙන බව නිශ්චිත වශයෙන් දැන ගන්නේ කෙසේද?

හෘදය වස්තුවේ ආබාධයක් ඇතැයි හරියටම දැනගන්න පුළුවන් හොඳම ක්‍රමය වන්නේ echocardiography පරීක්ෂණයයි. මේ පරීක්ෂණය තුළින් හෘදය වස්තුවේ ආබාධ වලින් 99% ක්ම සොයා ගැනීමට පුළුවන.

උපතින්ම හදවත් ආබාධ ඇති වීමට බලපාන හේතු මොනවාද?

උපතින්ම හදවත් ආබාධ ඇති වීම සඳහා නිශ්චිත හේතුවක් නැත. ගර්භණී සමයේදී හෘදය වස්තුව හැදෙන විට ඇතිවන අඩුපාඩු හේතුවෙන් හෘද වස්තුවේ ආබාධයක් සහිතව දරුවන් ඉපදේ. නමුත් කලාතුරකින් ගර්භණී සමයේදී අනවශ්‍ය ලෙස බෙහෙත් ගැනීම, පාලනය නොකළ දියවැඩියාව, අධික ලෙස මත්පැන් සහ දුම්වැටි වලට ඇබ්බැහි වීම, වෛරස් ආසාදන ඇතිවීම වැනි කරුණු බලපායි. ඒ වගේම down syndrome වැනි ආබාධ සහිත දරුවන්ට උපතින්ම හදවත් ආබාධ ඇතිවීමේ ප්‍රවණතාව ඉතාමත්ම වැඩි ය.

ළදරු වියේ දී හටගන්නා හදවතේ ආබාධ මගින් අනාගතයේ ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවාද?

උපතින්ම ඇතිවන හෘදයාබාධ කොටස් තුනකට වෙන් කිරීමට පුළුවන. පළමුවැනි කොටස වන්නේ ඉතාමත්ම සුළු ආබාධ වේ. මෙවැනි ආබාධවලට කිසිදු ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍යතාවක් නැත. ඊට හේතුව වන්නේ එම ආබාධවලින් ජීවිතයට බලපෑමක් නොවන නිසා ය. දෙවෙනි කොටස හෘදය වස්තුවේ ආබාධයට යම්කිසි ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍ය වන කොටස වේ. මෙම කොටසට අයිති දරුවන්ට යම් දිනක ශල්‍යකර්ම මාර්ගයෙන් හෝ කැතීටර්කරණ මාර්ගයෙන් යම්කිසි ප්‍රතිකාරයක් කිරීම අවශ්‍ය වේ. මෙලෙස ප්‍රතිකාර අවශ්‍ය දරුවන්ට ප්‍රතිකාර අවශ්‍ය වේලාවට නොකළහොත් දීර්ඝ කාලීන බලපෑමක් ඇති වීමට පුළුවන. මෙයින් ඇතිවන මූලික ප්‍රශ්නය වනුයේ පෙනහලුවල රුධිර පීඩනය ඉහළ යාම ය. මේ රුධිර පීඩනය යම් පමණකට වඩා වැඩි වුවහොත් එම දරුවා ඉන්පසු ශල්‍යකර්මයක් කළ නොහැකි දරුවෙකු බවට පත් වේ.

තුන්වෙනි කොටස ඉතාමත්ම සංකීර්ණ හෘදයාබාධ වේ. මෙම කොටසට අයත් වන්නේ ඉතාමත්ම සුළු රෝගීන් ප්‍රමාණයක් පමණි. මෙවැනි ඉතා සංකීර්ණ හෘදයාබාධ ප්‍රතිකාර කිරීමට අපහසු රෝගාබාධ ගණයට අයත් වේ. අපට තිබෙන පහසුකම් අනුව මෙවැනි හෘදයාබාධ සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට උත්සාහ කරන්නේ නැත. ඔවුන්ගේ හෘදයාබාධයේ බරපතළකම නිසා ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම අපහසු වේ.

කලට වේලාවට නිසි ප්‍රතිකාර කරන්නේ නම් උපතින් ඇතිවන හෘදයාබාධ නිසා දීර්ඝ කාලීන අතුරු ප්‍රතිඑල ඇති වන අවස්ථා අඩු කර ගැනීමට පුළුවන. ප්‍රතිකාරයකට ලක් කළ පසුව වුව ද මෙවන් දරුවන් දීර්ඝකාලීනව සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ පරික්ෂාවට ලක් කිරීම ඉතාම වැදගත් වේ.

හෘදයාබාධ ඇති දරුවෙකුට සැත්කමක් සිදු නොකළ විට සිදුවන්නේ කුමක්ද?

සැත්කමක් කළ යුතු යැයි නිගමනය කළ දරුවෙකු සැත්කම සිදු නොකර සිටීම තුළින් එම දරුවාට නොයෙකුත් ගැටලුවලට මුහුණදීමට සිදු වේ. හෘදය වස්තුවේ ලොකු සිදුරක් ඇති දරුවෙකු සැත්කමකට ලක් නොකර සිටියොත් ඔහුගේ පෙනහල්ලට යන ලේ ගමන වැඩිවීම තුළින් පෙනහැල්ලේ පීඩනය වැඩි වී යම් කලක දී ඔහු සැත්කමක් කිරීමට නොහැකි තත්ත්වයට පත්වීමට පුළුවන. අධික ලෙස නිල් පැහැ ගැන්වෙන දරුවෙකු සඳහා අවශ්‍ය සැත්කමකට යොමු නොකර සිටියහොත් ඔහුට හදිසි අකල් මරණයට පවා පත්විය හැකි ය.

දරුවාගේ හෘදය වස්තුවේ ඇති ආබාධය අනුව සුදුසුකම්ලත් ලත් වෛද්‍යවරයකු විසින් අවශ්‍ය සැත්කම පිළිබඳව නිර්ණය කිරීමත් සිදු කිරීම වඩාත් වැදගත් ය. දෙමවුපියන්ගේ වගකීම වන්නේ එම සැත්කම නියම වේලාවට ඉටු කරන බවට වග බලා ගැනීම ය.

හෘදයාබාධ ඇති දරුවෙකුට සැත්කමකින් නොකර සිටීමෙන් කොපමණ කාලයක් ජීවත්වීමට පුලුවන්ද?

මේ පිළිබදව නිශ්චිතවම ප්‍රකාශ කිරීමට අපහසු ය. ජීවත් වෙන නොවෙන කාලය තීරණය වෙන්නේ ඒ ඒ දරුවාගේ ඇති හදවතේ සිදුරේ ප්‍රමාණය හෝ එහි සංකීර්ණත්වය අනුව ය. සමහර ඉතා සංකීර්ණ ප්‍රශ්න සහිත දරුවන් ඉතා කලාතුරකින් දිගු කාලයක් ජීවත් වේ. එසේ වුවත් එයින් අදහස් වන්නේ සැත්කම් නොකරන හැම දරුවෙකුටම සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් යන්න නොවේ.

ශ්‍රී ලංකාවේ වර්තමාන ජනගහනයෙන් හදවතේ ආබාධ සහිත ඇති දරුවන් කොපමණ සිටිනවාද?

ලංකාවේ අවුරුද්දකට දරුවන් තුන් ලක්ෂ හැට පන්දාහක් පමණ ඉපදේ. එනම් දළ වශයෙන් දවසකට දරුවන් දාහක් ඉපදේ. මේ ඉපදෙන දරුවන් දාහක් ගත්තොත් එයින් හය දෙනකුට, අට දෙනකුට පමණ උපතින්ම ඇතිවන හෘදයාබාධයක් තිබේ. එනම් ලංකාවේ වසරකට ළමයින් 2100 - 2900ක් අතර ප්‍රමාණයක් උපතින්ම ඇතිවන හෘදයාබාධ සහිතව ඉපදේ.

උපතින්ම ඇතිවන හෘදයාබාධ ඇතිවීම වළක්වා ගැනීමට ගතහැකි ක්‍රමෝපායන් මොනවාද?

ගර්භණී සමයේ දී අනවශ්‍ය බෙහෙත් නොගෙන සිටීම, දියවැඩියාව හොඳින් පාලනය කිරීම, වෛරස් ආසාදන වලට ලක් වීමෙන් වැළකී සිටීම, මත්ද්‍රව්‍ය සහ දුම් පානයෙන් වැළකී සිටීම වැනි දේවල් තුළින් උපතින්ම ඇතිවන හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය යම්තාක් දුරකට අඩු කර ගැනීමට පුළුවන. Down syndrome වැනි තත්ත්ව ඇති වීම වළක්වා ගැනීමට හැකි හොදම ක්‍රමය වන්නේ වඩා වයසට යන්න කලින් දරුවන් හදා ගැනීම ය. ඒ මන්ද යත් වයසින් වැඩි මවුවරුන්ට down syndrome ඇති දරුවන් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි නිසා ය.

උපතින්ම ඇතිවන හෘදයාබාධ පිළිබඳව ඇති මිත්‍යා මත මොනවාද?

ළමයා හොඳට සෙල්ලම් කරලා දුවලා පැනලා ඉන්නවා නං එහෙම ළමයෙකුට කවදාවත් හෘදය වස්තුවේ ආබාධයක් තියෙන්න බැරි යැයි බොහෝ දෙනෙක් සිතා ගෙන සිටිිති. මෙය ඉතාමත්ම වැරදි ආකල්පයකි. හෘද වස්තුවේ ආබාධ සහිත දරුවන් වැඩිදෙනෙකු හොඳට දුවන පනින අය වේ. හෘදයාබාධයක් තියන දරුවෙකුට කලාතුරකින් දුවලා පැනලා ඇවිදින්න බැරි තත්ත්වයට පත් විය හැකි ය. හෘද වස්තුවේ ආබාධයක් තිබුණ ද එහෙම දරුවන්ට දුවලා පැනලා සෙල්ලම් කරලා ඉන්න එපා කියලා අප ප්‍රකාශ කරන්නේ නැත. දරුවාගේ ආබාධය අනුව ඔහුට කළ හැකි ව්‍යායාම සහ ක්‍රීඩා ගැන වෛද්‍යවරයෙකුට උපදෙස් දීමට පුළුවන. හෘදය වස්තුවේ ඇති සිදුරු සහ වෙනත් ආබාධ ඖෂධ මගින් සුව කළ හැකි යන්නට තවත් මිත්‍යා මතයක් පවතී. මෙවැනි දරුවන්ට ඖෂධ ලබා දෙන්නේ ඔවුන්ගේ රෝග ලක්ෂණ පාලනය කිරීමට පමණි. එසේ නොමැතිව ඖෂධ මගින් සිදුරු වහන්නට බැරි ය. සිදුරු වැසීම සඳහා අනිවාර්යයෙන්ම සැත්කමක් හෝ කැතීටර්කරණ මාර්ගයෙන් කරන ප්‍රතිකාර ක්‍රමයක් කිරීමට සිදුවේ. නමුත් සමහර සිදුරු ඉබේම වැහෙන්නට පුළුවන. ඖෂධ භාවිතා කළත් නැතත් ඒ සිදුරු ඉබේම වැසේ.

හෘදය වස්තුවේ ආබාධ ඇති දරුවන් සහිත දෙමවුපියන් අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු කරුණු මොනවාද?

මතක තබාගතයුතු මූලිකම කාරණාව වන්නේ වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීම ය. ඖෂධ නියමිත වේලාවට ගැනීම, නියමිත දිනයට අදාල වෛද්‍යවරයාට පෙන්වීම, ශල්‍යකර්ම සඳහා යොමු කර ඇත්නම් නියමිත කාලයට ශල්‍යකර්මය සිදුකර ගැනීම යන කාරණා දෙමවුපියන් ඉතා හොඳින් මතක තබාගත යුතු ය. දරුවන් දෙදෙනෙකුගේ ඇති හෘදයාබාධ එකම වුණත්, එක එක දරුවාගේ ශරීරය ඊට ප්‍රතික්‍රියා දක්වන ආකාරය වෙනස් ය. ඒ නිසා එක දරුවෙකුට ලබාදෙන උපදෙස් තවත් දරුවකුට ගැළපෙන්නේ නැත.

හෘදය වස්තුවේ උපතින්ම ඇතිවන ආබාධයක් තිබීම තුළින් ශරීරයේ අනිත් ඉන්ද්‍රියන්වලට බලපෑමක් ඇති වෙනවාද?

මෙහිදී වැඩියෙන්ම බලපෑමකට ලක්වන ඉන්ද්‍රිය වන්නේ පෙණහැල්ල යි. හෘද වස්තුවේ සිදුරු නිසා පෙනහැල්ලට රුධිරය යාම වැඩිවන අවස්ථාවලදී පෙනහැල්ලේ රුධිර පීඩනය වැඩි වීමට පුළුවන. පෙනහැල්ලට රුධිරය යාම අඩු වෙන අවස්ථාවලදී දරුවා තදබල ලෙස නිල් පැහැ ගැන්වීම සහ අනිකුත් ඉන්ද්‍රියන්වලට ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණයට නොලැබී යන්නට පුළුවන. ඇතැම් හෘදය වස්තුවේ ආබාධ නිසා මොළයේ සැරව ගෙඩි ඇතිවීම වැනි තත්ත්වයන් පවා ඇතිවෙන්න පුළුවන. මෙම තත්ත්වයන් මුලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම තුළින් සංකූලතා ඇතිවීම වළක්වා ගත හැක.

හෘද වස්තුවේ උපතින් ඇතිවන හෘදයාබාධ සඳහා දරුවෙකු ගන්නා ආහාරපාන බලපානවද?

හෘද වස්තුවේ උපතින් ඇතිවන හෘදයාබාධ සඳහා දරුවෙකු ගන්නා ආහාරපාන කිසිසේත් බලපාන්නේ නැත. ඒ මන්ද යත් ආහාර ගන්න පටන් ගන්න විට ඒ දරුවාගේ හෘදය වස්තුවේ ආබාධය ඇති වී අවසාන ය. ගර්භණී සමයේදී මව ගන්නා ආහාර වලින් ද හෘදය වස්තුවට විශාල බලපෑමක් ඇති වන්නේ නැත.

මදාරා මුදලි‍ගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.