ඉංග්‍රීසි සහ අමෙරිකානු නවකතාව අතර පැවති සීතල යුද්ධය | සිළුමිණ

ඉංග්‍රීසි සහ අමෙරිකානු නවකතාව අතර පැවති සීතල යුද්ධය

නවකතාව නමැති සාහිත්‍යාංගය කෙරෙහි වඩාත් පොදුජන අවධානය යොමු කරවීම පිණිස 1969 වර්ෂයේ ආරම්භ කරන ලද්දකි, ‘බුකර් මැක් කොනල්’ සම්මාන ප්‍රදානය. මේ සම්මානය සඳහා මුල් කාලයේ දී තෝරාගනු ලැබුවේ ඉංග්‍රීසි ජාතික ලේඛකයන් විසින් ලියන ලද නවකතා ය. මෙහි දී එක්සත් රාජධානියේ ජනතාවගේ කෘති ද, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට අයත් ලේඛකයන්ගේ කෘති ද, දකුණු අප්‍රිකානු ජනරජයේ මෙන් ම අයර්ලන්තයේ හා පාකිස්තානයේ ලේඛකයන් විසින් ඉංග්‍රීසි බසින් ලියන ලදුව මුල්වරට එක්සත් රාජධානියේ පළ කළ කෘති ද මේ සම්මානය සඳහා තෝරාගනු ලැබිණි. මෙහි දී පෙනී ගිය ප්‍රමුඛ කාරණාවක් වන්නේ මෙලෙස තෝරාගනු ලබන නවකතාකරුවන්ගෙන් හතරෙන් එකක් පමණ බ්‍රිතාන්‍ය පුරවැසියන් නොවන බව යි. මේ ත්‍යාගය පිරිනැමීම එක් අතකින් තවදුරටත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදි සංකල්පය තහවුරු කිරීමට ගන්නා ලද උත්සාහකැ යි විචාරකයෝ කියා සිටින්නට වූ හ. මේ ත්‍යාග කමිටුවේ තේරීම් මණඩලයේ සමාජිකයකු වූ ඇලන් මාසි පවසා සිටින්නේ ඉංග්‍රීසි නවකතාව සම්බන්ධයෙන් හැට ගණන්වල ගනු ලැබූ තීරණය අසාධාරණ එකක් වූ බව යි. ඔහුට අනුව ඉංග්‍රීසියෙන් ලියවුණ නවකතා පටු ජාතික කඩතුරාවකින් වසාදැමීමෙන් සිදු කෙරෙනුයේ දැඩි අසාධාරණයක් බව යි.

කෙසේ වුව අද වන විට ‘ඉංග්‍රීසි නවකතාව යනු කුමක් ද?’ යනුවෙන් පැවැති බෙදීම අහෝසි වී ගොස් ඇති බවක් දක්නට ලැබේ. ඉංග්‍රීසි නවකතාව යනු කුමක් දැ යි හඳුනාගැනීමට සුප්‍රකට ඉංග්‍රීසි විචාරක වෝල්ටර් ඇලන් විසින් ලියන ලද Tradition and Dream යන අගනා කෘතිය අපට බොහෝ තොරතුරු සපයයි. උදාහරණයක් වශයෙන් ඇලන් පෙන්වා දෙන්නේ අප කලින් සඳහන් කළ රටවලින් බිහි වන ඉංග්‍රීසි නවකතාවත් අමෙරිකාවේ බිහි වන නවකතාවත් ලියවෙන්නේ එකම ඉංග්‍රීසියෙන් බව යි. එසේ හෙයින් ඒ නවකතා කලා දෙක අතර එතරම් වෙනසක් නැති බව බැලූ බැල්මට පෙනී යන බව යි. මන්ද යත්: අමෙරිකානු නවකතා ද පොදුවේ ‘ඉංග්‍රීසි නවකතා’ ලෙස පාඨකයන් විසින් සලකනු ලබන බැවිනි. එහෙත් මේ යුරෝපීය ඉංග්‍රීසි නවකතාවත් අමෙරිකාවේ ලියවෙන ඉංග්‍රීසි නවකතාත් අතර කිසියම් වෙනසක් දක්නට ඇත. අපට පැහැදිලිව හඳුනාගත නොහැකි මේ වෙනස කුමක් දැ යි වොල්ටර් ඇලන් අමෙරිකානු නවකතාව හා ඉංග්‍රීසි නවකතාව එකිනෙකට සංසන්දනය කරමින් කරන විචාරයෙන් අපට දැකගත හැකි වෙයි.

අප බොහෝ දෙනා හෙන්රි ජේම්ස් හඳුනාගන්නේ අමෙරිකානු නවකතාකරුවකු ලෙසින් ද එසේත් නැත් නම් ඉංග්‍රීසි නවකතාකරුවකු ලෙසින් ද? මේ සඳහා ලැබෙන පිළිතුර වන්නේ ඔහු අමෙරිකානු නවකතාකරුවකු ලෙස මෙන් ම ඉංග‍ීසි නවකතාකරුවකු ලෙස ද පොදුවේ සලකනු ලබන බව යි. ඔහුගේ නවකතා මේ සාහිත්‍ය ධාරා දෙකට ම ඇතුළත් වෙයි. හෙන්රි ජේම්ස් 1843 දී අමෙරිකාවේ නිව්යොර්ක් නගරයේ උපන්නෙකි; තරුණ කාලය යුරෝපයේ ගත කළ කෙනෙකි. එහෙත් පසු යුගයේ යුරෝපය පසුබිම් කරගනිමින් ඔහු නවකතා රැසක් නිර්මාණය කළ ද සාමාන්‍ය පාඨකයෝ ඔහු අමෙරිකානු නවකතාකරුවකු බව අමතක කරති. එසේ ම නැතෑනියෙල් හෝතෝන් ද, එංගලන්තයේ ගැමි ජීවිතය විනිවිද දුටු ජෝර්ජ් එලියට් මෙන් ඉංග්‍රීසි ලේඛකයකු ලෙස සැලකීමට බොහෝ දෙන පුරුදු ව සිටිති. එහෙත් අමෙරිකානු නවකතාකරුවන්ගේ කෘතිවල බොහෝ පාඨකයාට නොපෙනෙනසුලු වෙනසක් දක්නට ලැබේ. අමෙරිකානු නවකතාකරුවන් තම කෘති මඟින් ඉදිරිපත් කරන අත්දැකීම් හා ඓතිහාසික සාධක ඔස්සේ විමසා බලන විට, ඔවුන්ගේ නවකතා ඔස්සේ ඉංග්‍රීසි නවකතාවේ දක්නට නැති විශේෂ චරිත ලක්ෂණ රැසක් ගොඩනැඟී තිබෙන බව අපට දැකගත හැකි ය.

එංගලන්තයේ වික්ටෝරියානු නවකතාව හා සමාන්තර ව වර්ධනය වූ දහනව වැනි සියවසේ අමෙරිකානු නවකතාව ඉංග්‍රීසි බසින් ලියවුණ ද මේ සාහිත්‍ය ධාරා දෙක අතර පැහැදිලි වෙනසක් අපට දැකගත හැකි ය. මෙහි දී චාල්ස් ඩිකන්ස්, තැකරේ, ජොර්ජ් එලියට් වැනි ලේඛකයෝ අමෙරිකානු සමකාලීන ලේඛකයන් වූ හෝතෝන් හා හර්මන් මෙල්විල් වැන්නන්ට කෙසේ වත් සමාන වන්නේ නැත. බස ඉංග්‍රීසිය වුව ද සියුම් වෙනසක් ගැබ් ව ඇති බව අපට පෙනෙයි.

මෙසේ එක් වර ම පිටට නොපෙනෙන මේ අසමාන බවෙහි ඇති විශේෂත්වය ගැන ප්‍රකට ඉංග්‍රීසි විචාරක එෆ් ආර් ලීවිස් තම Great Tradition නමැති අගනා කෘතියෙන් අපට පැහැදිලි කරගත හැකි ය. එහි දී ඔහු ප්‍රකට ඉංග්‍රීසි නවකතාකරුවන් ලෙස ජේන් ඔස්ටන්, ජෝර්ජ් එලියට්, හෙන්රි ජේම්ස්, ජෝසප් කොන්රඩ් හා ඩී. එව්. ලෝරන්ස් යන කතාකරුවන් පස්දෙනාගේ කෘති කිහිපයක් පැහැදිලි සාකව්ඡාවකට ලක් කරයි. ඔහු පොදුවේ දක්වා සිටින්නේ මේ ඉංග්‍රීසි නවකතාවත් අමෙරිකානු නවකතාවත් අතර දකින්නට ලැබෙන්නා වූ වෙනස වූකලි කිසියම් සංස්කෘතිකමය හා සදාචාරාත්මක වෙනසක් වන බව යි. ‘සංස්කෘතිය’ යන වචනය තුළ ප්‍රබල ධාරණාවක් පවතින බවත්, එය අවධානයට ලක් විය යුතු කරුණක් බවත් ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුව ද ආරම්භයේ සිට ම අමෙරිකානු නවකතාකරුවෝ ඉංග්‍රීසි නවකතාවත් අමෙරිකානු නවකතාවත් අතර පවතින මේ වෙනස ගැන දැනුවත්ව සිටියෝ ය. ඒ වෙනස කුමක් දැ යි හඳුනාගැනීමට මේ ආරම්භක නවකතාකරුවන්ට බල කර සිටියේ ඔවුන්ගේ සමාජ වාතාවරණය යි. සැබවින් ම පවසනවා නම්‍: මුල් යුගයේ අමෙරිකානුවන්ගේ ජීවිත ගත වුණේ එංගලන්ත සමාජයේ ජීවත් වන මිනිසුන්ට වඩා වෙනස් වූ විලාසයකිනි. මීට සියවස් එකහමාරකට පමණ පෙර පෙනිමුවර් කුපර් නම් ලේඛකයා විසින් අමෙරිකානු සමාජය හා ලේඛකයා දකිනු ලැබ ඇත්තේ මෙසේ ය:

‘‘මෙහි ජීවත් වන්නා වූ ලේඛකයන්ට හිඳ-හිට හෝ ඛනිජ සම්පත්වලින් ධනයක් ලැබුණොත් හැරෙන්නට යුරෝපයේ ලේඛකයන්ට මෙන් අන් ධනයක් දකින්ට නැත. මෙහි ඉතිහාසඥයන්ට උපුටා දැක්විය හැකි ඉතිහාසයක් නැත. උපහාස පූර්වක ව වර්ණනා කළ හැකි අන්දමේ අනුවණකම් හා මෝඩකම් (පොදු ස්ථානවල දී දක්නට ලැබෙන අසික්කිතකම් හැරෙන්න) දකින්නට නැත. නාට්‍යකරුවන්ට තිබිය යුතු විනයක් දකින්නට නැත. රොමාන්තික නවකතාකරුවන්ට සොයාගත හැකි අප්‍රකට කතාවස්තු දක්නට නැත. සදාචාරවාදීන්ගේ අදහස්වලට උචිත වන අන්දමේ දැඩි විරෝධයක් මෙහි දක්නට නැත. කාව්‍ය පිණිස උපස්තම්භක වන්නා වූ දෙයින් පොහොසත්කමක් මෙහි ඇත්තේ නැත.’’ මේ විස්තරයෙන් අපට පෙනී යන්නේ අමෙරිකානු ලේඛකයා මුල් යුගයේ බිහි වන විට පැවැති සමාජ වාතාවරණය යි.

එහෙයින් මෙකළ බිහි වූ අමෙරිකානු නවකතා රචකයන් වුව ද (ඉංග්‍රීසි නවකතාව හා සසඳමින් දෝ) තම නවකතා, නවකතා ලෙස හැඳින්වීමට පසුබට වූ බවක් දක්නට ලැබේ. වික්ටෝරියානු ගැමි ජීවන රටාවට සමාන වන ලෙසින් නවකතා ලියූ නැතෑනියෙල් හෝතෝන් නමැති ලේඛකයා (1804-1864) පසු කලෙක වේදනාවෙන් යුතු ව ප්‍රකාශ කර තිබුණේ තම පාඨකයන් විසින් තමා ලියූ කතා, නවකතා නො ව, ‘රොමෑන්ස්’ ලෙස හඳුන්වනු ලබන බව යි.

සැබෑ නවකතාවෙන් සිදු විය යුතු දේ ලෙස ඔහු දැක්වූයේ මෙය ‘සිදු විය හැකි’ දෙයක් නො ව, ‘සිදු වන’ දෙයක් බව සැම මොහොතක ම පාඨකයා තුළ තහවුරු කරවීම බව යි. නවකතාකරුවා මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතයේ දක්නට ලැබෙන දේවල් කියා පෑම නොකළ යුතු බව යි. ඒ නිසා තමා නවකතා නොලියන බවත්, නවකතාවට වර්තමාන අමෙරිකානු සමාජය තුළ පැවැත්මක් දැකිය නොහැකි බවත් ඔහු දක්වා සිටියේ ය. හෝතෝන්ගේ ජීවිතය ගැන විචාරක ඇසින් යුතුව ලියන හෙන්රි ජේම්ස් අමෙරිකානු සමාජය ගැන කරන මේ විස්තරයෙන් තත්කාලීන අමෙරිකානු සමාජය පිළිබඳ කිසියම් අදහසක් ඇති කරගත හැකි ය.

‘‘වෙනත් රටවල පවත්නා ඉහළ ශිෂ්ටාචාරයේ විශේෂ ලක්ෂණ එකින් එක කෙනකු දක්වා සිටිය හොත් අමෙරිකානු ජීවිතයේ එවැනි නිශ්චිත ආකෘතියක් විශේෂතාවක් දක්නට නැති හෙයින් ඇමෙරිකානු ජීවිතය යනු කුමක්දැයි කියා කෙනකු පුදුම වනු නොඅනුමාන ය. යුරෝපීය ජාතිකයන්ගේ චින්තනයට අනුව නිශ්චිතව පවත්නා වූ කේවල දේශයක් මෙහි දක්නට නැත; සුවිශේෂ වූ ජාතික නාමයක් පවා දක්නට නැත; රජවරුන් දක්නට නැත; උසාවි දක්නට නැත; භක්තිමත් බවක් දක්නට නැත; රදලවරුන් දක්නට නැත; පල්ලි දක්නට නැත; පූජකයක් නැත; හමුදාව නැත; විදේශ සේවාවක් නැත; ගමේ ප්‍රභූන් යැ යි කොටසක් දක්නට නැත; මාලිගා ඇත්තේ නැත; සුවිසල් නිවෙස් නැත; නින්දගම් නැත; පැරණි ගැමි නිවහන් දක්නට නැත; පූජකවරුන් වෙනුවෙන් සැපයෙන් නිවාස නැත; අවමඟුල් පිරිස හා කැටිව යන පෙරහර දක්නට නැත; වටිනා නටබුන් නැත; දැවැන්ත විශ්වවිද්‍යාල හෝ කොලීජි දක්නට නැත; ඔක්ස්ෆර්ඩ් වැනි විශ්වවිද්‍යාල නැත; මහා සාහිත්‍යයක් නැත; නවකතා නැත; කෞතුකාගාර නැත; පින්තූර නැත; දේශපාලන සමාජයක් නැත; ක්‍රීඩා පන්ති නැත; විශේෂයෙන් මීට වසර හතළිහකට පමණ පෙර (හෙන්රි ජේම්ස් මෙසේ ලියන්නේ අදට සියවසකට පමණ පෙර ය) ඉංග්‍රීසි හා ප්‍රංස ජාතිකයන්ගේ ජීවිත හා සමාන කර බලන විට මෙකළ අමෙරිකානු ජීවිතය යනු ‘ජීවිතයක්’ නො වේ. එය අමතක කර-දැමිය යුතු දෙයකි. මෙවැනි චෝදනාවලින් ලැබෙන ආලෝකය ඔස්සේ මේ සියලු අවාසනාවන්ත තත්ත්ව සියල්ල ඉදිරියේ දී ස්වාභාවික ව ඉවත් ව යනු ඇත.’’

හෙන්රි ජේම්ස් තවදුරටත් දක්වා සිටින්නේ මනුෂ්‍යත්වයේ අඳුරු පැත්ත යටපත්ව ගොස්, ප්‍රජාතන්ත්‍රවාදි චින්තනයක් එරට ඉපදිය යුතුව ඇති බව යි. නවකතාව සම්බන්ධයෙන් බලන විට බාල්සාක්, ඩිකන්ස්, ෆ්ලෝබෙයා, තුර්ගිනිව්, ජෝර්ජ් එලියට් නිවැරදි බව ඔහු කියයි. යුරෝපීය නවකතාවේ විශිෂ්ට තේමා විශේෂයෙන් ඉංග්‍රීසි නවකතාවේ දක්නට ඇති මානවවාදි සමාජය පිළිබඳ ප්‍රස්තුත යහපත් සමාජයක් බිහි වීම වෙනුවෙන් අගනේ ය. එසේ ම සමාජයේ ගැහැනු-පිරිමි සියලු දෙනා නිසි අධ්‍යාපනයක් ලැබිය යුතු ය.

ඔහු දක්වන අන්දමට ඉංග්‍රීසි නවකතාව වැඩුණු සමාජ පරිසරය අමෙරිකානු සමාජය තුළ මීට වසර දෙසියයකට පමණ පෙර නොපැවති බව අපට පෙනී-යයි. මෙයට හේතු වශයෙන් දැක්විය හැක්කේ ස්මරණය කළ හැකි තරමේ අතීතයක් අමෙරිකානු ජනතාවට නැති වීම ය. එසේ අතීතයක් අහිමි වීමට හේතුව වන්නේ ඔවුන් විවිධ යුරෝපීය රටවලින් එහි පැමිණ, නව දේශයක් පිහිටුවාගැනීම යි. එහෙයින් ඔවුන්ට සිහි කළ යුතු තරමේ අතීතයක් දක්නට නැත. ඒ නිසා අමෙරිකාව පිබිදෙන්නේ නව මිනිසකු පිළිබඳ සිහිනය සමඟ බව අපට මුල් යුගයේ අමෙරිකානු සාහිත්‍යය ඇසුරු කිරීමෙන් දැකගත හැකි ය.

මෙහි දී අපට නැවතත් ලීවිස් පවසන ‘මහා සම්ප්‍රදාය’ කෙරෙහි අවධානය යොමු කළ හැකි ය. ඔහු ඉංග්‍රීසි නවකතාවේ ශ්‍රේෂ්ඨත්වය ගැන කතා කරමින් තම අධ්‍යයනයට ප්‍රස්තුත කරගත් නවකතාකරුවන් පස් දෙනා හැරුණු කොට එමලි බ්‍රොන්ටේ ගැන ද විශේෂ සඳහනක් කරනු අපට පෙනෙයි. එමලි බ්‍රොන්ටේගේ ‘වදරින් හයිට්ස්’ නවකතාව ඉංග්‍රීසි සමාජය පසුබිම් කොටගෙන නිර්මාණය වුණු අනෙක් නවකතාවන්ට වඩා ඉඳුරා ම වෙනස් බව දනිමු. එහි පවත්නා රැඩිකල්වාදි වෙනස ගැන ‘ගේ‍්‍රට් ට්රැඩිශන්’ කෘතියෙහි ලීවිස් මෙසේ සඳහන් කරයි:

‘‘මම ‘වදරින් හයිට්ස්’ ගැන යමක් නොකියමි. මන්ද යත්: එය මා මවිතයට පත් කරන අන්දමේ ක්‍රීඩකත්යෙන් හෝ මුරණ්ඩුකමකින් යුතු යුතු කෘතියකි. ස්කොට් විසින් තහවුරු කරනු ලැබ සිටි දහඅට වැනි සියවසේ සැබෑ ජීවිතය ලෙස මතුපිටින් දක්නට ලැබෙන දෙය පිළිබඳ විවරණය කරනු ලැබූ රොමෑන්තික නවකතා සීමාවෙන් මි දී, බ්‍රොන්ටේ මෙහි දී නව මඟකට අවතීර්ණ වෙයි.’’

ලීවිස්ගේ ඉහත දැක්වූ කියමන උපුටා දක්වමින් ඉංග්‍රීසි විචාරකයන් විසින් ඉහළින් තබනු ලබන නවකතාවේ ‘මහා සම්ප්‍රදායට’ ඇමෙරිකානු විචාරකයකු වන රිචඩ් චේස් බැට දෙන අයුරු ‘අමෙරිකානු නවකතාව හා එහි සම්ප්‍රදාය’ කෘතියෙන් අපට දැකගත හැකි ය. චේස් මෙවැනි අදහසක් දක්වයි:

‘‘ලීවිස් පවසන දේ සැබෑ ය. බොහෝ රසික ප්‍රජාවකගේ සිත් තුළ අරක් ගෙන තිබෙනුයේ ඉංග්‍රීසි නවකතාව තුළ කිසියම් ක්‍රීඩකත්වයක් නැත් නම් මුරණ්ඩු ස්වරයක් හෝ අද්භූත බවක් දැකිය නොහැකි බව ය. ඒ නිසා ලීවිස්ට අනුව ‘වදරින් හයිට්ස්’ ඉංග්‍රීසි නවකතා සම්ප්‍රදායට අයත් නොවන්නේ ය. එහෙත් යම් හෙයකින් එම වදරින් හයිට්ස් ලියා ඇත්තේ නව එංගලන්තයේ හෝ අමෙරිකානු දකුණු ප්‍රාන්ත පසුබිමකින් නම් එය ශ්‍රේෂ්ඨ නවකතාවක් ලෙස සලකනු ඇත. එවිට එය මුරණ්ඩු හෝ අද්භූත ශෛලියේ කෘතියක් ලෙස නොසලකනු ඇත. මන්ද යත්: එය අමෙරිකානු නවකතා පසුබිමට බෙහෙවින් සමීප වන කෘතියක් හෙයින් එය ඇමෙරිකානු නවකතා අතර උසස් කෘතියක් ලෙස ඔවුන් දකිනු ඇත.’’

එංගලන්තයෙහි ඉංග්‍රීසි නවකතාව බිහි වීමට සුදුසු ස්වාභාවික පොළොවක් සමාජ වාතාවරණයක් පැවතුණ ද මීට වසර එකසිය පනහකට ප්‍රථම අමෙරිකාවට එවැනි සමාජ පසුබිමක් හෝ භුමි පසුබිමක් දක්නට තිබුණේ නැත. අමෙරිකාව තුළ දක්නට ලැබුණේ හිතුමතේ නව ජනපද බිහි කරගැනීම් ය. ඒ මිනිසුන් තුළ සැම විට ම දක්නා ලැබුණේ ක්‍රෑරකම් හා ප්‍රාථමික හැසිරීම් රටා ය. යුරෝපයේ සිට ඇමෙරිකාව කරා සංක්‍රමණය වූ මොවුන්ට යුරෝපය හා පැවැති සැමරුම් නැවත ගොඩනඟාගන්නට නොහැකි විය. නොයෙකුත් බාධාවලට මුහුණ දෙමින් ඔවුන් ජනපද පිහිටුවාගත්ත ද ඔවුන් යුරෝපයෙන් විසිර ගිය පිරිසක් වූ හෙයින් ඔවුන්ට තම මුල් අත්දැකීම් හා සම්බන්ධ වන්නට එසේත් නැත් නම් යුරෝපීය ඍජු අත්දැකීම් සමුදාය තම ජීවිතයට එක් කරගනන්ට අවස්ථාවක් නො වී ය. එක් අතකින් බලන කළ ඇමෙරිකානුවන් වනාහි මඟ පෙන්වන්නකු -එනම්: මොසෙස් කෙනකු නැතිව යුරෝපයෙන් පිටුවහල් වූ පිරිසකි. තම මවු රටවලින් බැහැරව නිර්ජන, ශුෂ්ක ප්‍රදේශ ඔස්සේ ඉබාගාතේ ඇවිද ගිය ඔවුන්ට නිරන්තර ජීවන දැක්මක් නැත්තේ හමු වූ දේශය ‘ස්වර්ග රාජ්‍යයක්’ ලෙස සිතන්ට වූහ. මේ ස්වර්ග රාජ්‍යය යුරෝපයට සමාන නොවුණ ද ඊට හාත්පසින් වෙනස් ස්වභාවයක් ගත්ත ද ඒ තුළ ඔවුහු අමෙරිකානු සිහිනය ගොඩනඟාගන්නට සමත් වූ හ. මෙසේ අමෙරිකාව තුළ ගොඩනැඟුණු මේ මිනිස් ජීවන පසුබිම පිළිබඳ අපට යම් අවබෝධයක් ලබා ගැනුමට 1782 දී හෙක්ටර් ද ක්‍රිව්කිචර් නමැති විද්වතා දක්වන මේ අදහස් මහෝපකාරි වෙතැයි සිතමි. ඔහු මෙසේ සඳහන් කරයි:

‘‘සියල්ල කෙරෙහි අණසක පතුරුවන යුරෝපයේ මහා වංශාධිපතිවරුන් ලෙස හෝ කිසිවක අයිතියකට හිමිකම් නොකියන යුරෝපයේ පොදු ජනතාව ලෙස හෝ මොවුහු සංවිධානාත්මක නො වූ හ. මේ සමාජය තුළ කිසිවිටක රදළ පවුල් දක්නට නො වී ය; විනිශ්චයකරුවෝ දක්නට නො වූ හ; රජවරු හෝ කුමාරවරු දක්නට නො වූ හ; බිෂොප්වරු දක්නට නො වූ හ; පූජක ආධිපත්‍යයක් දක්නට නො වී ය; සුළු පිරිසක් වෙත පවරන ලද නොපෙනෙන බලයක් දක්නට නො වී ය; දහස් ගණන් පිරිසකට රැකියා සපයන විශාල කර්මාන්තශාලා දක්නට නො වී ය. විදග්ධ රසිකත්වයක් හෝ සුඛෝපභෝගි හැසිරීම් රටාවන් දක්නට නො වී ය. යුරෝපයේ ධනවතුන් හා දුප්පතුන් අතර පැවැති දූරස්ථතාව මෙහි දක්නට නො වී ය. ... මෙහි අපි සෑම කෙනෙක් ම එදිනෙදා ජීවිතය ගැටගසාගැනීම පිණිස සියලු සීමා-බන්ධනවලින් මි දී ශ්‍රමය හෙළන්නට වීමූ. ලේ හලා ආරක්ෂා කරගන්න හෝ දිවි පුදා රැකබලාගන්න රජ කුමාරවරුන් අපට සිටියේ නැත... කොටින් ම කියතොත්: අපි ලෝකය තුළ නිශ්චිත පැවැත්මක් සොයායමින් සිටින යථාර්ථවත් පිරිසක් වෙමු....’’

මේ විස්තරය එදා ජීවත් වූ අමෙරිකානු ජනතාව හා ඔවුන් ඇරඹි නව ජීවිතය දැකගැනීමට ලැබී ඇති කදිම කැටපතක් වැන්න. මේ කෙරෙන් අපට පසක් වන කරුණක් වන්නේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය පෙළගැසී තිබුණු ආකාරය යි. එනම්: ඔවුන් පොදු සමාජය වෙතින් ඕනෑකමින් ම ඉවත් වෙමින් පුද්ගල ජීවිතයක් ගොඩනඟාගැනීමට ගත් උත්සාහය යි. මෙසේ බිහි වූ නව අමෙරිකානු මිනිසාගේ ජීවිතය හා හැසිරීම් රටාව බෙහෙවින් සරල එකක් විය. ඒ නිසා ම දෝ බොහෝ ඇමෙරිකානුවෝ තමන්ට යුරෝපය හා කිසිම සම්බන්ධයක් නැති බව ප්‍රකාශ කිරීමට කැමති ය. එහෙත් යුරෝපය සමඟ පැවැති අතීත සම්බන්ධය නොදැනුවත් ව ම ඔවුන්ගේ ජීවිත කිසියම් පීඩනයකට හසු කර ඇති බවක් ඔවුන්ගේ නිර්මාණ තුළින් අපට පැහැදිලි ය. අමෙරිකානු නවකතාවලත් ඉංග්‍රීසි නවකතාවලත් කැපී පෙනෙන තවත් විශේෂ ලක්ෂණයක් ලෙස විචාරකයන් පෙන්වා දෙන්නේ වීර චරිත නිරූපණයේ දක්නට ලැබෙන විශේෂතාව යි.

සෑම ඉංග්‍රීසි නවකතාවකම පාහේ එහි ප්‍රධාන චරිත කිසියම් ඓතිහාසික පසුබිමක් ඔස්සේ, එසේත් නැත් නම් පන්ති ස්වභාවයක් ඔස්සේ ගොඩනැ‍ඟෙන අයුරු පැහැදිලි ය. වේලස්, ලෝරන්ස්, ඕවල්, තැකරේ, ජේන් ඔස්ටින් වැන්නන්ගේ නවකතාවලින් මෙය මනා ව පැහැදිලි වෙයි. එහෙත් අමෙරිකානු නවකතාවල වීරයා -එසේ නැත් නම්: ප්‍රධාන චරිතය- ඉංග්‍රීසි නවකතාවේ මෙන් පදනමක් සහිත චරිතයක් නො ව, ඉබාගාතේ ඇවිද යමින් තම පදනම ගොඩනඟාගන්නා වරිතයකි. ඒ චරිත තුළ බොහෝ විට ඉස්මතු ව පෙනෙන්නේ පොදු බවක් නො ව, හුදෙකලා ව පවත්නා වීරත්වයකි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.