නොපියැවෙන හිඩැස | සිළුමිණ

නොපියැවෙන හිඩැස

මගේ අතීත ස්මරණ, අතරට අනෝජා පිවිසෙන්නී ය. ඈ උපතින් ලද දායාදය වූ රංගනය සමඟ අත්වැල් බැඳගෙන වූවත්, පසුගිය වෙසක් මස විසි එක්වන ඉරු දින හිරු අවරට ගිය මොහොතේ මා අනෝජා දකින්නේ රංගනයට ඉසිඹුදුන්, එහෙත් රංගනයෙහි ම ඔබ්බට ගිය, පුළුල් භූමිකාවකට පණදෙමින් සිටි දිරිය ගැහැනියක් ලෙස ය. ඈ මට හමුවන්නේ කොහිදී ද? බෙල්ලන්විල රාජ මහා විහාර මාවතේ, විහාර ප්‍රජා සංවර්ධන පදනම ශාලාව අසල ඉදි කෙරුණු, එළිමහන් රඟමඬල විවෘත කිරීමේ උත්සවයේදී ය. ලොව නිර්මාණය වූ පළමු බෞද්ධ කැන්ටාටාව සේ සැලකෙන අපගේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සූරීන්ගේ පිරිනිවන් මංගල්‍යයද ඊට සමගාමීව, ගැයුණු, ගීතාවලියක ද මිහිර විඳ ගැන්මට අනෝජාගේ ඇරැයුමෙන් රැස්ව සිටි පිරිස අතර කීර්තිමත් කලාකරුවෝ වූහ . මාධ්‍යවේදීන්, රසිකයන්, ආරාධිත ප්‍රභූන් විය.

නච්චගීත වාදන විසූක දස්සන, භික්ෂූන්ට අකැප යැයි බුදු බණෙහි කියැවෙන බව මම දනිමි. එහෙත් ඒ ඉරිදා නිශා යාමයේ , අනෝජා තම රංග කාර්යයෙන් බැහැරව බෙල්ලන්විල රාජමහා විහාර බිමට යාබද පරිශ්‍රයේ පවත්වන ලද සංගීතය ප්‍රධාන කොටගත් අපූරු උත්සවයට, වැඩම කළෝ බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් ප්‍රධාන කොටගත් සඟ ගණ ය. නායක හාමුදුරුවන් එහි වැඩම කරවීමේ හේතුව මෙන්ම, විශාල ආරාධිතයන් පිරිසක් කැඳවා පවත්වන්නට යෙදුණු, පිරිනිවන් මංගල්‍යය, කැන්ටාටාව සමඟ ගීතාවලිය සංඝයා වහන්සේලා ද හමුවේ ඉදිරිපත් කිරීමේ තතු ‍හෙළි කළෝ අනෝජාවෝ ය. තම සහෝදර කලාකරුවන් වෙනුවෙන් ඔවුන් ‍ගේ වේදිකා නාට්‍ය රංග පුහුණුවීමේ නිවහනක් ගොඩනැඟීමේ සිහිනය තුරුළු කොටගත්, අනෝජාගේ පිහිටට විමලරත්න නාහිමි පැමිණි අන්දම ඈ විස්තර කළා ය. වසර ගණනාවක් තිස්සේ පුදබිම කෙළවර බිමක ඉදිවුණු ගොඩනැඟිලි තැනුණේ රජය දුන් අරමුදලකින් නොවුණු බව ඈ පැවසුවා ය. රජය , කුමක්වුවත්, ඇගේ බොහෝ ඉල්ලීම්වලට ඔවුන් නෑසුකන් ඇතිව සිටි බවයි කියැවුණේ. බෙල්ලන්විල රාජමහා විහාර දායක සභාව ‍මෙන්ම, ශ්‍රී ලංකා ප්‍රජා සංවර්ධන පදනම, අනෝජාගේ සද්කාර්යනට අත හිත දුන් බැවින්, එකී ආයතන සඳහා අනුශාසක ස්වරයෙන් උපදෙස් දෙනු ලබන විමලරතන නාහිමි ප්‍රමුඛ සංඝයාවහන්සේලා එහි වැඩම කර සිටීමේ කිනම් දොසක් ද? උන් වහන්සේලා අසා සිටියේ නැරැඹූයේ පිරිනිවන් මංගල්ලයයි. සංසාර ගමනේ, සම්මා සම්බුදු වැනි බොදු බැතිය දනවන හෝ අඳුරු කුටිය තුළ, අව්වට වැස්සට හුරු මිනිසුන්ගෙන්, වැනි ජීවිතය දුටු ගීත යි. අනෝජා තම රංග භූමි පුහුණු පාසලේ ඉතිහාසය රැස්ව සිටි පිරිස හමුවේ එකිනෙක විස්තර කළා ය. ඒ ඉතිහාස කතාවේ සතුට වූයේ මඳ වශයෙනි. අපේක්ෂා භංගත්වය කඳුළ, සුසුම ඒ කතාවෙහි විය.

උළෙල ඇරැඹීමට පෙර රැස්ව සිටි ආරාධිතයන්, ඇගේ සහෝදර කලාකරුවන් කලාකාරිනියන්, මිතුරු මිතුරියන් විහාරස්ථ දායක සභාවේ දායක මහත්ම මහත්මීන් අභින පාසලෙහි පුහුණුව හා යෝගාශ්‍රමයේ යෝගීන් හා යෝගිනියන් වෙනුවෙන් අදහසක්, පළකරන ලෙස ඈ විමලරත්න නාහිමියන්ගෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටියා ය. නාවික හමුදාවේ කොමාන්ඩර් ශාන්ත රූපසිංහ, ගයත්‍රි කේමදාස සුසංයෝගයෙන් අපට ඇසුණ ගීතාවලියේ මිහිර හෝ පිරිනිවන් මංගල්‍යය කැන්ටා‍වෙන්, හද සසල වූ විලාසය මතකයේ රැඳී ඇතත්, බෙල්ලන්විල රාජමහා විහාරාධීකාරී විමලරතන අපේ නායක හාමුදුරුවන් දෙසූ කෙටි අදහස් බිඳ එදින එහි රැස්වූවන් සියල්ලන්ගේම හදවත්හි නිදන් ගත වී ඇතැයි මම සිතමි. උන් වහන්සේ, ධර්මය කියාදෙන්නේ, ජීවිතයෙන් ඈත් නොවී ය. බුදුන් වහන්සේගේ ධර්මය අපට නුහුරු නුපුරුදු ආගන්තුක, ගැඹුරු නොවන්නා සේ ය. බෙල්ලන්විල නාහිමියන් අනෝජා පිළිබඳ ඇගේ ධෛර්යවන්තභාවය පිළිබඳ බුදු බණින්ම දේශනා කළ සේක.

වසර ගණනාවකට පෙර, අනෝජා නායක ස්වාමීන් වහන්සේ සොයා පැමිණ, ඇගේ අරමුණ පවසා ආධාර පැතූ අයුරු විමලරතන හිමිපාණන් විසින් සිහිපත් කරන ලදී. එහෙත් අනෝජා වීරසිංහයන් චරිතය සමඟ අතුරු ප්‍රශ්න මතුවෙතැයි උන්වහන්සේට ඒ මොහොතෙහි නොසිතෙන්නට ඇත. විමලරතන නාහිමියන් අතීත තොරතුරු අප ඉදිරියේ තැබූ මොහොතේ රැස්ව සිටි කලාකරුවන් ගේ කලා කාරියන්ගේ මුහුණු රතු වූවා දැයි මම නොදිටිමි.

ගැහැනියෙක් එක්ක වැඩ කරන එක, විශේෂයෙන් නිළියක් එක්ක, පන්සල සම්බන්ධ කරගෙන වැඩ කිරීම පිළිබඳ, ඇතැම් පිරිස් උන් වහන්සේගෙන් විමසූහ. ඒ පිරිස් කවුරුන්දැයි අපි එදින දැනගත්තෙමු. “වෙන පිටස්තර අය නෙවී කිව්වෙ, අනෝජා වගේ කෙනෙක් එක්ක පරිස්සමින් කටයුතු කරන්න කියලා ඔබේ ම සහෝදර කලාකරුවො කලාකාරියො තමයි මට කිව්වෙ. මම ඒ අයට කිව්වෙ මම දන්නවා කොහොමද ස්ත්‍රීන් සමඟ කටයුතු කරන්නෙ කියලා; බුදු හාමුදුරුවන් ගේ ධර්මයේ ඒ පිළිබඳ දේශනා කරල තියෙනවා; ඒ නිසා මම ධර්මය අනුව කටයුතු කරනවා; ඉතින් බයවෙන්න කිසිවක් මට නෑ.” යනුවෙන් උන්වහන්සේට ඇති භක්තිය පෙන්වමින් උපදෙස් දෙන්නට පැමිණ පිරිස් නිහඬ කළ අයුරු පැවසූ සේක. පරිනිර්වාණ සූත්‍ර දේශනාවේදී ආනන්ද හාමුදුරුවන් බුදුරදුන් හා කළ සංවාදයකින් නාහිමියෝ කරුණු ගෙන හැර දැක්වූහ. එය අපූරු ධර්ම දේශනයක අගනාම අර්ථ දැක්වීමක් සේ මට හැඟිණ. දේශනය වඩාත් නිවැරදිව ලිවිය යුතු බැවින් 24 වන බදාදා සවස් යාමයේ මම නාහිමියන් ඇමතීමි. තොරතුරු වඩාත් හොඳින් ලබා ගත් පසු මා පැවසුයේ උන්වහන්සේ ගේ කෙටි දේශනාව උපුටා දක්වන බවයි. මා මවිතයට පත්කරමින් හැරල්ඩ් පීරිස් මිතුරා දුරකතනයෙන් පැවසුයේ බෙල්ලන්විල හාමුරුවන්ට කතා කරන්න ඕන කියල නොම්මරේ හෙව්වා, හාමුදුරුවො කෝල් කරාවි කියලයි. මොහොතකින් නා හිමියන්ගේ ඇමතුම ය. “බුදු හාමුදුරුවො ස්ත්‍රීන් ගැන ආනන්ද හාමුදුරුවන්ට දේශනා කළ දේ මොකක් හරි පත්තරයකට ලියනවද?” මම එහෙමයි අපේ හාමුදුරුවනේ” යයි කීමි. මම ඒක හොයල බැලුවා, මහා පරිනිර්වාණ සූත්‍රයේ ඒ‍ කොටස මෙන්න මෙහෙමයි තියෙන්නෙ” පැවසූ විමලරතන නායක හාමුදුරුවෝ මෙසේ විස්තර කළ සේක.

බුදුන් වහන්සේ පිරිනිවන් පාන්නට මාස කිහිපයක‍‍ට පෙර ආනන්ද හිමියන් හා බුදුන් වහන්සේ අතර වූ සංවාද මෙසේ ය.

ආනන්ද හිමි: වහන්ස අපි මාගම කෙරෙහි කෙසේ පිළිපදුමෝ ද?

බුදුහිමි: ආනන්දයෙනි මාගම නොදැක්ම යැයි බුදුහු වදාළහ.

ආනන්ද හිමි: භාග්‍යවතුන් වහන්ස, දැක්මක් ඇති කල්හි කෙසේ පිළිපැදිය යුතු ද?

බුදුහිමි : ආනන්දයෙනි, ඈ හා කතා නොකිරීම ය.

ආනන්ද හිමි : කතා කළ යුතුම තැනක් වුවහොත්, වහන්ස, මහණහු විසින් කෙසේ පිළිපැදිය යුතුද?

බුදුහිමි: ආනන්දයෙනි, ඇගේ වයස අනුව, මේ මව යැයි, හෝ සොහොයුරිය යැයි හෝ දුව යැයි සලකා සිහි බුද්ධියෙන් කතා කළ යුතුයි.”

විමලරතන අපේ හාමුදුරුවන් දුරකතනයෙන් මා හට දෙසූ ධර්ම පාඨය එලෙසින් මා විසින් ඉහත දක්වන ලද්දේ, එය භික්ෂුවකට පමණක් නොව ගිහියකුට වුව අර්ථවත්, ඵලදායී, දහම් පණිවුඩයක් රැගත් බණ පදයක් බැවිනි. සිහි බුද්ධියෙන් කතා කිරීම, සති සම්පජඥයෙන් යනුවෙන් හැඳින්වෙන බව නාහිමියෝ තවදුරටත් මා හට පැවසූ සේක. බෙල්ලන්විල විමලරතන නායක හාමුදුරුවෝ මෙරට බොහෝ රාජමහා විහාරකාරකාදී නායක ස්වාමීන් වහන්සේලාට ආදර්ශයක් බඳු වූ පරමාදර්ශී චරිතයක් සේ මම දකිමි. උන් වහන්සේ‍, මිනිසුන් අතර වැඩ හිඳිති. ගීත ගායනා ප්‍රසංගයක වැඩ සිට, සාමාන්‍ය මිනිසුන් ගැහැනුන්, කලාකරුවන් සමඟ, ඒ ගී රස විඳිති. නිළියක හා ස්ත්‍රියක වන ජනප්‍රිය චරිතයක් සමඟ කලාවේ නාමයෙන්, කලාකරුවන් වෙනුවෙන් සබඳතා පවත්වාගෙන යා යුත්තේ කෙසේදැයි බුදුන් විසින් වදාළ දහමින් ම කරුණු පහදා දෙමින් අනුශාසනා කරන සේක. පළිඟුමැණිකේ ටෙලිනාට්‍ය පිටපත එළිදැක්වීමේ උළෙලෙහි මුලසුන හොබවන සේක. ටෙලි නාට්‍ය පිටපතක් දොරට වැඩුමක් වැනි උත්සවයක, මුලසුන භික්ෂූන් වහන්සේ නමක විසින් දරන්නේ කෙසේද යන ප්‍රශ්නය මතු වේ යැයි හිමියෝ නොසිතූහ. බිය නොවූහ. ගිහියකුගේ මුලසුන් දෙසුමකට වඩා දහස් වාරයක් වටිනා ඇතැම් ටෙලි නාට්‍ය ගුණාත්මක ලක්ෂණ හා දුර්වලතා පිළිබඳ පවා උන්වහන්සේ අවදියෙන් සිටිනා බව අපට පසක් කොට සිටි සේක. මෙවන් යතිවරු විරලයහ. මහ පොළොවේ පා තබා ජීවත්වීමට අරගල කරන, ජීවිතය හා පොර බදන, මිනිසුන්ගේ දාඩිය සුවඳ හඳුනන යතිවරුන් අවශ්‍ය යුගයක අප ජීවත්වන බව අපට දැනේ.

උන් වහන්සේගේ අපවත් වීම මේ රටේ කලාවේ අභාග්‍යයක් බැව් සිතෙන්නේ මේ කරුණු ස්මරණය වන කල්හි ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.