ප්ලේටෝ මත - 1 | සිළුමිණ

ප්ලේටෝ මත - 1

කොමඩි ගණයේ නාට්‍ය නිශ්පාදනය කළ ඇරිස්ටොෆනිස් සිය නාට්‍ය මගින් ජනතාවට පණිවුඩයක් ගෙන යන්නට උත්සුක වූවෙකි. (ඔහුගේ කෘති පිළිබඳ ව පසුව සාකච්ඡා කෙරෙනු ඇත.) තත්කාලීන සමාජය පිළිබඳ මනා අවබෝධයක් ඒ පිළිබඳව ස්වීය විග්‍රහයක් ද ඔහුට තිබිණි. සමාජ විචාරයේ මෙන් ම සාහිත්‍ය විචාරයේ ද පුරෝගාමියා වන ඔහු ඒ කර්තව්‍යය ඉටු කරන්නේ නාට්‍ය මගිනි. රසිකයා විචාරය නොදන්නේ නම් කවියාට ඔහු ඕනෑම ආකරයකට හැසිරවිය හැකි බව අැරිස්ටොෆනිස් විශ්වාස කළේ ය. කවිය ඉතා භයානක අවියකි. නුසුදුස්සකු අත පත් කාව්‍යකරණය හරියට වඳුරාට දැළි පිහිය හසු වුණා වැනි විය හැකි ය. ඒ නිසා කවිය තිබිය යුත්තේ ඊට සුදුසු පුද්ගලයා අත මැ පමණි. කවියා කාලය පිළිබඳ මනා අවබෝධයකින් යුතු විය යුතු අතර ඔහුගේ කෘති කාලානුරූප විය යුතු ය. එසේ නොවුන හොත් සමාජයට ඉන් සිදුවන්නේ අයහපතකි. ‘මැඩියෝ’ නාට්‍යයෙන් ඔහු සමාජගත කළ තර්කය එබන්දකි.

කාව්‍යය පිළිබඳ ව ඇරිස්ටොෆනිස්ගේ ඒ මතය ඉදිරියට ගෙන යමින් ඉන්පසු ප්‍රබල විවේචන එල්ල කළ ප්‍රකට වියතා ප්ලේටෝ (ක්‍රිපූ 427 - 347) ය. ඇරිස්ටොෆනිස් මෙන් නොව ප්ලේටෝ අන්‍යයන් සමග සංවාදයේ යෙදෙමින් ඒ ඇසරින් ග්‍රන්ථ රචනයේ නිරත වූවෙකි. කවිය සහ කවියා පිළිබඳ ප්ලේටෝ මත අදත් විවාදයට බඳුන් වන අතර විශ්ව විද්‍යාලවල නොයෙකුත් පර්යේෂණ පත්‍රිකා ඊට අදාළ ව ඉදිරිපත් කෙරේ.

ඒ වනවිට ග්‍රීක භාෂාවේ ඇතැම් කාරණා සඳහා වචන තිබී නොමැති වූ බව විද්වතුන්ගේ මතයයි. අලුතින් වචන නිෂ්පාදනය කිරීමට දාර්ශනිකයන්ට උනන්දුවක් තිබී නොමැත. වැඩිදුර කියනවා නම් වර්තමානයේ සාහිත්‍යය යනුවෙන් හැඳින්වෙන විෂයය හැඳින්වීමට පවා එසමයේ නිශ්චිත වචනයක් තිබී නොමැත. වෙනස් අර්ථයකින් වුව භාවිතා කරන වචනය කවිය යන්නයි.

කවියකු වුව ද ප්ලේටෝ කවියට වඩා රාජ්‍ය පාලනය ගැන උනන්දු වූවෙකි. යහපාලනය පිළිබඳ ඔහුගේ සිහින රිපබ්ලික් නමින් ඉංග්‍රිසියට පරිවර්තනය වී ඇති කෘතියේ ඇතුළත් ය. මෙහි දී සැලකිය යුතු කාරණයක් නම් ප්ලේටෝගේ කෘතිය ඔහුගේ ශිෂ්‍යයා වූ ඇරිස්ටෝටල් ගේ කාව්‍ය ශාස්ත්‍රය මෙන් කාව්‍ය විචාරයක් නොව රාජ්‍ය පරිපාලනය පිළිබඳ විචාරයක් බවයි. ඒ තුළ ප්ලේටෝ කවිය සහ කවියා දකින්නේ රාජ්‍ය පාලන උපදේශක මට්ටමෙනි.

රාජ්‍යපාලනයේ දී කවියාගෙන් සමාජයට අවැඩක් මිස වැඩක් විය නොහැකි බව ප්ලේටෝගේ මතය විය. සමහරවිට ඔහුගේ මේ අදහසට හේතුව තමා ද කවියකු වූ නිසා විය හැකි ය. ඒ නිසා තමා ඉදිරිපත් කරන ආදර්ශවත් සමාජයේ කවියන් නොසිටිය යුතු බව ඔහුගේ අදහසයි. රාජ්‍ය පාලකයකුගේ පැත්තෙන් බලනවිට මේ අරුත වටහා ගැනීම එතරම් අපහසු නොවේ.

කවීන් ඉදිරිපත් කරන්නේ සත්‍යයෙන් බොහෝ දුරස් දෙයක් බවත් එය සත්‍යයේ පිටපතක පිටපතක් බවත් ඔහු සටහන් කළේ ය.

ප්ලේටෝ මෙම මතයට එළැඹෙන්නේ තමාට පූර්වයේ වුසූ සියලු කවීන්ගේ කෘති අධ්‍යයනයෙන් විය යුතු ය. හෝමර් මෙන් ම හෙසයිඩ් ද ප්ලේටෝගේ විවේචනයට බඳුන් වෙයි. හෙසයිඩ්ගේ ‘‍ෙඩ්ස් ඇන්ඩ් වර්ක්ස්’ නමින් ඉංග්‍රිසියට පෙරැළී ඇති කෘතිය හුදෙක් යුද්ධ සහ යුද විරුවන් සම්බන්ධ පුවතක් නොවේ. එය ශ්‍රමයේ අභිමානය ගැන දෙන උපදෙස් මාලාවකි. තවද ක්‍රිපූ 6 සියවසේ ග්‍රීසියට අයත් දිවයිනක වුසූ සැෆෝ නම් කිවිඳියක් ගැන ද වාර්තාගත ය. ඇය ද පොදු ප්‍රශ්න වෙනුවෙන් පෑන මෙහෙය වූ තැනැත්තියකි.

ජනතාව දැනුමින් සන්නද්ධ වීම පාලකයා නුරුස්සයි. ප්ලේටෝ කියන දැයෙහි ව්‍යංඝාර්ථය එයයි. මෙයට උදාහරණ ග්‍රීක සාහිත්‍ය ඉතිහාසයේ ඇත. ග්‍රීක නාට්‍ය කලාවේ පියා ලෙස සැලකෙන තෙස්පීස්ගේ නාට්‍යයක් නැරඹීමට එවකට ඇතැන්ස් පාලකයාව සිටි සෝලොන් පැමිණ ඇත. රඟ දැක්වීම් ගැන පෙර අත්දැකීම් නොමැති පාලකයා නාට්‍යකරුගෙන් විමසා ඇත්තේ ජනතාව ඉදිරියේ සත්‍යයෙන් ඈත් වූ කරුණක් ඉදිරිපත් කරන්නට ඔහුට ලජ්ජාවක් නොමැති ද යනුවෙනි. නොබෝ කලකින් ම සෝලෝන්ගේ විරුද්ධවාදියකු වන පෙසිස්ට්‍රාස් සිය සිරුර ඔහු විසින් ම තුවාල කැර ගෙන ජනතාව ඉදිරිියට ගොස් ඔවුන්ගේ අනුකම්පාව දිනා ගන්නට උත්සාහ කරන රඟ පෑමක යෙදී ඇත. මෙය අපූර්වයකි. පාලකයන් පවා නාට්‍යකරුවන්ගෙන් රඟ පෑම උගත් බව මෙහි අරුතයි. තෙස්පීස්ගේ නාට්‍ය නරඹා රඟදැක්වීම යනු කුමක්ද’යි වටහා ගෙන සිටි සෝලෝන් මේ ගැන දොස් නගා ඇත්තේ තෙස්පීස්ට ය.

‘සෝලෝන් ක්‍රෝධයට පත් වී ඇත්තේ ලොව ජන මාධ්‍යයක් වශයෙන් භාවිත කිරීමේ දී වැරදි පුද්ගලයන් අතින් වැරදි ලෙස භාවිතයට ගත හැකි බව අවබෝධ කොටගත් නිසායි. එහෙත් තෙස්පීස් නොසැලී මෙයට කදිම පිළිතුරක් සපයා ඇත්තේ ය. එනම් ඔහු එසේ කර ඇත්තේ විනෝදය සැපයීමට බවයි.’

(ජයසේකර කමනී- ‘ග්‍රීක සම්භාව්‍ය සාහිත්‍ය විචාර’ ගොඩගේ කොළඹ 2010 29 පිට)

මධ්‍ය ප්ලේටොවාදියකු වන ප්ලුටාච් (ක්‍රිව 46 - 120) සිය මොරාලියා ග්‍රන්ථයේ මේ ගැන දීර්ඝ විස්තරයක් ඇතුළත් කොට ඇත.

ප්ලේටෝ සිය රාජ්‍ය පරිපාලනය ගැන වූ කෘතිය ලියන විට එම කාරණා ගැන සැලකිලිමත් වන්නට ඇත. මහජනතාවට දිය යුත්තේ ඔවුන්ට සුදුසු දේ තෝරා බේරා ය. මේ සඳහා පාලනය විසින් බුද්ධි මණ්ඩලයක් පත් කොට අවශ්‍ය යයි සම්මත දෑ පමණක් ඉදිරිපත් කරන්නට නිර්මාණකරුවන්ට අවස්ථාව ලබා දිය යුතු ය. එහෙත් මෙහි දී නිර්මාණකරු වාරණයට ලක් වී ම අනිවාර්ය ය. ප්ලේටෝගේ මේ අදහස පසුගිය සමයක අපේ රටේ ක්‍රියාත්මක වූ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ ක්‍රියාකාරකම් සමග සැසඳීම වටී. ජනතාවට සුදුසු ද නැද්ද යන්න තීරණය කිරීම රජය විසින් පවරනු ලබන නිලධාරියාගේ ආකල්ප මෙන් ම රාජපාක්ෂිභාවය අනුව ද ‘ජනතාවට දෙන දේ’ වෙනස් වනු ඇත. සශ්‍රීක සමෘද්ධිමත් ජනතාවට සවන් දෙන බුද්දිමත් පාලකයන් සිටි එවක ග්‍රීසිය පමණක් දෙස බලා ගෙන ප්ලේටෝ මේ අදහස් ඉදිරිපත් කරන්නට ඇති බවට කිසිදු සැකයක් නොමැත. (පාලකයන් සැමවිටම බුද්ධිමතුන් විය යුතු බවට ද ප්ලේටෝ එම කෘතියේ සඳහන් කරයි.)

නිර්මාණකරු ඉදිරිපත් කරන්නේ සිය සිතට නැගෙන දේ ය. සිය නිර්මාණය මගින් පාඨකයා හෝ ප්‍රේක්ෂකයා නොමග යවන්නට නිර්මාණකරුට හැකියාවක් තිබේ. පාඨකයා හෝ ප්‍රේක්ෂකයා එය ග්‍රහණය කැර ගන්නේ තම තම නැණ පමණිනි. එනිසා ය පරිස්සම් විය යුත්තේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.